Monday, December 28, 2015

සියලුම පිරිසිදු සේවා හි නියුතු සේවක සේවිකාවන් වෙනුවෙනි




අරුණ වැටෙනු පෙර අවදිව හිමිදිරි 
ඒමට ඇත හිරු කිරණක් නොදකින 
සුදානම් විය යුතු අද දවසට මේ ලෙස 
එමටම ඇත වැඩ ගොඩ නම් සිතු ලෙස 

මේසය පුටුවද ඇත නම් නිරතුරු 
රැඳුමට ඉඩ නැත වැඩ ඇත එමටම 
සුළු වැඩ බර වැඩ අමතර ඒ වැඩ 
පදමට ඇත පැය අටටත් වැඩි සඳ 

මේස පිහන අතු පතු ගානා වැඩ 
තේද වතුර අහරද බෙදනා වැඩ 
වැසිකිලි කැසිකිලි පිරිසිදු කරනා වැඩ
දවස ගෙවෙයි දහදිය වගුරාගෙන   

සර් මැඩම් මිස් කියා නැමෙනු ඇත 
කොන්ද කෙලින් නැතුවා අද දවසට
ඇනුම් බැණුම් ගැරහුම් නම් අඩු නැති 
හොඳක් අසන්නට නම් ඒ ඉඩ නැති  

ඉඳ හිට පැමිණෙන ලොක්කන්ගේ ඇති 
ඝනකම ගෙරවුම් බර වදනින් ඇති 
වැඩ මදි තව නම් අවැසිය කඩිසරකම් 
පැමිණිලි නම් ඇත ඇගයුම් නම් නැත  

දිවා රෑ නොබලා වෙහෙසට පත්වන 
පැය අට නොව දොළොසක් අද වෙහෙසන 
නිරතුරු ශ්‍රම බල සූරා ගෙන කන
තුට්ටු දෙකක් ඇත සැම මස අගටම 

කොස්සට ඉදලට බිම පිසිනය වෙත
පිඟන් කොප්පද තේ රොඩු බොඩු වෙත 
මහ මග ගොඩ ගැසි කුණු කඳු රැළි වෙත 
පමණද අපගේ දිවියේ අයිතිය වෙත   

රතු ඇඳිවත ඇඳි නෝනලා මහතුනි
අප දුක නොදකිනු මන්දැයි නොදනිමු
අයිතිය නොමැතිද අප හඬ නැගුමට  
අහිමිද අප හට ඔබ පන්තිය නිර්ධන

---රකිත--- 


Saturday, December 26, 2015

පැරණි මතක / තනිකම / මැද ?




තනි වී ඇත සිත නිවාඩු දින මැද  
කිසිවෙකුවත් නැත වදනක් පවසන්නට
නිහඬව ඇත දුරකථන මුහුණු පොත 
කෙතරම් කුරිරුද තනිකම විඳවන්නට 

නුබ ගැබ අඳුරුය වැහි බීරුම ඇත 
සිසිලක් නොදැනේ තනිකම රිදවන්නට 
මිතුරන් ඇති මුත් හමුනොවෙනා සඳ 
කුමන කරුමයද මෙලෙසින් තනිවන්නට 

කවි සිතුවිලි නැත ගෙත්තම් කෙරුමට 
රුදු විභාගයක් ඇත හිත වද දෙන්නට
මුදු වදනින් ඔබේ සුභ පැතුමන් නැත 
කෙසේ උසුලම්ද සිතේ දුක් ගින්න 

පෙර දිනයක ලෙස එනු මැන මා වෙත 
අතිනත ගෙන පිය මැනුමට මග වෙත 
සිනහව පිරි මුදු වදනින් මා වෙත 
දෙනු මැන ඔබගේ සුභ පැතුමන් මා වෙත 

සිහිනෙන් පමණක් ඔබ රුව දකිමින්නේ  
සිහිනෙන් පමණක් ඔබ හඬ අසමින්නේ 
සිහිනෙන් පමණක් ඔබ සිනහා මවන්නේ 
සිහිනෙන් පමණක් ඔබ හා එක් වන්නේ  

අහස අඳුරු කළ වැහි බීරුම මැද 
දිනයක යමු අපි අතිනත් බැඳ ගෙන
යලි හමුවන්නට පෙරුම් පුරමු අපි 
එතෙක් හිඳිමු අපි දෙපසට වී අද 

---රකිත---


Thursday, December 24, 2015

ගෙවුනු වසර / නව වසර ??????



උඳුවප් මස සීත සුළං ගත දැවටෙන විට සුව දෙන 
සිහි වෙයි පෙර දිනයක මා ඔබෙන් ලැබූ ප්‍රේම සුවය 
තුරු අතු අතරින් ඇදෙනා සිලි සිලි හඬ ඇසෙනා විට 
සිහි වෙයි පෙර දිනයක මා ඔබෙන් ඇසූ ප්‍රේම වදන් 

කිසිවෙකු නැත අද දිනයේ තනිකම පමණයි ඇත්තේ 
හුදකලාව මේ තරම්ම කුරිරුද අසනු මැනවි මා මිතුරේ 
මවත් සොහොයුරන් දෙපලත් පමණයි සැනසුම දෙන්නේ 
ඉගිලී යන්නේ කෙදිනද මිතුරේ අලුත් කූඩුවක් තැනුමට     

දින සති මාසද අතරින් වසරක් ගෙවිලා යන කල 
උරුම වේද විඳගන්නට ජිවිතයේ සොඳුරු පහස  
දෑත් බැඳන් එක් වෙන්නට වසන්තයට අත වනන්න
උදා වෙන්නේ ඒ කාලය සිහිනෙන් පමණද මිතුරේ

සිහින දකිමි ආදරයක උණුසුම සිත් සේ විඳුමට 
දුකම පමණි හිමි වන්නේ කඳුලක සීතල විඳුමට 
දෙවය මෙතරම් සරදම් කරමින් කිමදෝ විඳුමට    
උරුමය කරුමය පමණද දිවියම මෙලෙසින් විඳුමට 

සැනසුම කවදත් හිමි නැති විඳවුම පමණක් හිමි ඇති 
අපහසයද උපහාසයද ඇනුම් බැණුම් ගෙරවිලි මැද 
තනිකම පාළුව දුක මැද ගෙවී යන්න තව වසරක් 
උදා වේවි දින අතරින් ඉතිරිව ඇති දින දසුනේ

---රකිත---   


Friday, December 11, 2015

හමුවෙමුද යළිත්





හමුවන්න එක් වරක් තව 
කැලණි සරසවි පිං බිමේ 
එනු මැනවි සොඳුරියේ 
සුපුරුදු ඉරු දින උදයේ 

ප්‍රේමයෙන් නොව එදින 
මිතුරියක් සේ තුටින 
මතක සයුරේ ගිලෙමු 
පුරුදු බංකුවේ හිඳ 

දින සති මාසයන් මැදින් 
ගෙවුණු වසරක පහස 
විඳිමු සතුටින් එදින 
සිහිල් මද පවන් මැද 

සති අගට එක් දිනක් 
උරුම සරසවි දිවිය 
ලබන්නට පිං ලැබුණි 
ඔබේ රුව දකින්නට        

වරම් නොතිබුණි ලඳුනි 
ඔබට පෙම් බඳින්නට 
හරස් විය වේල පත්කඩය 
දෙගුරුන්ට කීකරුව

තවත් එක් වසරක්ම දැන් 
තනිව ඉතිරිව ඇත මෙමට 
රැඳෙන්නට සරසවි බිමේ 
උසස් අධ්‍යාපන ලබන්න

නව වසරෙ ඔබ නොමැත 
හමුවන්න මින් මතුව 
කෙසේ නම් හැර යම්ද 
ප්‍රථම සරසවි පෙමද  

ඉඩ දෙන්න එක් වරක් 
ඔබේ අත ගෙන තුටින් 
ඇවිද යන්නට මෙදින 
සොඳුරු සරසවි බිමේ 

---රකිත--- 


Sunday, December 6, 2015

දුක / කලකිරීම



උගත්තෙමි දහතුන් වසක් - සොඳුරු පාසැල් වියේ
උගත්තෙමි තව සිවු වසක් - සොඳුරු සරසවි පියේ
උගත්තෙමි දෙවසක් තවත් - සොඳුරු සරසවි පියේ
දැන උගත්තෙමි ඉහළටම - දිවි ගමන් මග මෙසේ

පළමුවම ලැබගතිමි රැකියාව - විධායක ශ්‍රේණියේ
දෙවනුව ලැබ ගතිමි ගෞරවය - සේවා ස්ථානයේ
තෙවනුව ලැබ ගතිමි අත්දැකීම් - ඉහළ පන්තියේ
සිතුවෙමි ජය ලැබුමට මෙලෙස - මේ සුභ දිවියේ 

ඇඳ පැළඳ ජේත්තුව - ගමන යන සේවයට
සිරව ඇත මේසයට - රුදු අට පැයක සේවයට
අක්‍රෝෂ පරිභවද - ඉඳ හිට අගයක් අසන්නට
සැනසුමක් නැතිද ලොව - විඩා සිත් නිවන්නට

සෑමදා යනෙන සඳ - දැනෙයි සෙක්කුවක හැඩ
ආදරෙන් බැඳෙන්නට - නැතිද කාලයක් හැඩ
මිතුරු මිතුරියන් මැද - හිඳුමට කලක් නැති හැඩ
කෙසේ නම් ඉවසමිද - කිසිවක් නොලැබෙනා හැඩ 

වැටුප අත පිරෙන්නට - ගිණුමෙහි ඇති නමුදු
ඇඟලුම්ද පැළදුම්ද - අලංකෘතව ඇති නමුදු
මුදු වදන් රූසපුව - සැනසෙන්න ඇති නමුදු
සැනසුමක් නැත කිමද - සිත් සයුර තුළ නමුදු

නිබඳ පැතුවෙමි වෙනස - දිවි ගමන සොඳුරු ලෙස
නිබඳ පැතුවෙමි පහස - ආලයක සොඳුරු ලෙස
නිබඳ පැතුවෙමි සුභම - පැතුමන්ද සොඳුරු ලෙස 
නිබඳ පැතුවෙමි කඳුළු - නොනැගෙන්න මේලෙස   

රුදු අඳුරේ එලියක්ව - දිලෙන්නට පැතුව මුදු
ඒ අඳුරෙ ගිලෙන්නට - සිදුව ඇත මේ සුමුදු
සැනසුමක් දකින්නට - පැමිණි මුත් ඒ නමුදු
වැලපුමක් පමණක්ය - දිවිගමන මේ රුදුරු

හසරැලක් නැති ලොවක - කුමන සුභ දිවියක්ද
නිදහසක් නැති ලොවක - කුමන සුභ දිවියක්ද
සැනසුමක් නැති ලොවක - කුමන සුභ දිවියක්ද
දුක කඳුළ ඇති ලොවක්  - සැබෑ  සුභ දිවියක්ද


---රකිත---     


සරසවි නිමවා උසස් රැකියාවක් ලැබුණු සොයුරියකගේ ඉල්ලීමක් අනුව නිර්මාණය කරන ලදී 

Thursday, December 3, 2015

වැඩ මැද සැනසුම



කවි සිත නිදි ඇත 
වැඩ නම් ගොඩ ඇත
ව්‍යාපෘතියක් ඇත  
පැවරුම් නම් ඇත 
විභාග ලඟ ඇත 
පාඩම් ගොඩ ඇත 
නිදි වැරුමන් ඇත 
නොසන්සුන්ව ඇත 

සිත සැනසුම් නැත 
ගත සැනසුම් නැත 
නෙත් සැනසුම් නැත 
දිවි සැනසුම් නැත 
අදර වරම් නැත 
සතුටක් නම් නැත 
වැඩ නිමවන් නැත 
වේලාවක් නැත 

තුටින් හිනැහෙන්න 
ගතින් නැලවෙන්න 
සිතින් සැනසෙන්න 
හොඳින් සැතපෙන්න 
කලක් නම් එන්න 
දුරුතු මස පසුවන්න 
සිහින සැබ වෙන්න 
පතමි සුභ වන්න 

---රකිත--- 




Monday, November 23, 2015

අධ්‍යයානය / පාඩම් / විභාග / සිහින


වාරු නැත සිත කවි 
පද ගොතන්නට 
කප්පරක් ඇත වැඩ 
ගොඩ ගැසී ඇත
පැවරුම්ද පාඩම්ද 
ව්‍යපෘති කේෂත්‍ර 
චාරිකා විවේකය 
සොයයි සිත 

සැනසුමක් නැත 
නිම වෙනා තුරු 
විභාගය නම් 
ලබන වසරට 
නිමා කරගන්න 
සියලු වැඩ ගොන්න
ඉතිරිව ඇත්තේ 
දින 31 ක් පමණි 

කවි සිතට සමු දෙමින් 
තාවකාලිකව අද 
ගෙවමි කාලය සොඳින් 
සටහන් පැවරුම් අතර 
සිහිනයක් දකින්නම් 
ජය ලබන්නට හැමට 
එක්ව වැඩ කරමු දැන් 
ඉලක්කය වෙත යන්න 

සොයා ගැනුමට ගමන් 
මග නිවැරදිව 
ගතව ගිය කාලය සමග 
යලිදු තැත් කරන්නෙමි 
සිහිනය විඳගන්න සරසවි 
දෙන්න ඔබ සුභ පැතුම් 
ආශීර්වාද ඔවදන් මෙමට 
ජය ගැනුමට ප්‍රථම වසර 

---රකිත---  

   

Monday, November 16, 2015

සිත /සිතුවිලි



ඇසුරු සැණින් ඇසි පියට
පෙර කල
ඇතිව නැතිවී යනෙනු
කදිමය
මොළය වැඩි සඳ
නැගුනු කළ දෙපය
කුමන අරුමද
පහල වී ඇති

විටෙක ආලය විටෙක වෙරය
ක්‍රෝධ පීඩා නේක
ගෙන දෙන
වරෙක නිවුණු ගති නැවත
දැල්ව එන වීර ගති
කීවා නාහන පාලනය නැති
එක් නොවන්නේ
කිමද මෙතරම් 
 
හැඟුම් දැනුමන් මතින්
රඟ දෙන
යන්න විසිරී සෑම අත
ලොව
කාරුණික දයාබර වන
කලම වෙරයෙන්
පිරී යන
පුදුමයකි මිනිස් ලොව

හදවතේ කොනක නොව
ගත පුරා විසිර ඇති
ගත සේම ගිලන් වන
ප්‍රතිකර්ම ඇත නොමැති
නොකළ සඳ පාලනය
දමනයද නිසි කලට
අරුමයක් නොවේ එය
කරුමයකි මිනිස් සිත


---රකිත---


Thursday, November 12, 2015

මගේ ඉගෙනීම !





කවි සිත නිදයි විභාගය ලඟ ලඟම ඇති   
වැඩ ගොඩ ගැසෙයි පැවරුම් තවම ඇති
විෂයයන් පහක් ඇත ලිපිගොනු පහේ ඇති 
පාඩම් කරයි එනමුදු නැත පාඩම් හිතේ ඇති

ඊයම් බාරු එල්ලූ මෙන් නෙතු පියා වැටේ 
මකර හඬින් ඈනුම් එක පිට එකට වැටේ
බඹර පදම වැදුනක් මෙන් හිස කඩා වැටේ 
ඉව අල්ලයි යටි සිත නිදි යහනටම වැටේ 

වෑයම රජ වන්නට නොව ගොඩ යන්නටමයි 
A පහ නොවෙයි S පහ ගෙන ඉහලට යන්නයි 
අදියර දෙකයි ඒ ඇති මුලු දිවියම ගොඩ යන්නයි 
අවුරුදු දෙකක් විඳවමි මුලු කරුමය ගෙවන්නටයි 

ඉගෙනුම උක් දඬුවකි මිහිරක් කිසි දින නොමැති
මිහිරක් දැනෙනු ඇත කල් ගත වන විට නොමැති 
මිතුරු මිතුරියේ අසනුය මගේ දුක් සැප නොමැති  
උගනිමු අපිත් බාධක මැඬලා සැප දුක් නොමැති

---රකිත---      


Tuesday, November 10, 2015

කමිකසේ නියමුවෙකු වෙත ලියැවුනු ගීතයක්

https://www.youtube.com/watch?v=DKn10wt96kk

( ඉහත සබැඳිය වෙත පිවිස ජපන් ගීතය රස විඳින්න )




සිතට දුකක් දැනෙන මොහොතක 
මා නිතරම නිල් අහස දෙස බලමි 
ඔබ වෙතින් එන සුමිහිරි නාදය 
මට කිසිදා අමතක නොවෙන තුරු 

සිහිනයන් පෙනෙන්න වූ  ඕඕකා 
යානාවේ සැමැරුම් පුෂ්පයක් මෙන් 
ගිම්හාන ඍතුවේ සිරෝ යානාවෙන් 
එන අයුරු කිසිදා අමතක නොවේ 

කොතරම් හඬ නගා කඳුළු සැලුව මුත් 
වැඩි වෙලාවක් යාමට මත්තෙන්  ඔබ 
නින්දට වැටෙන්නාවූ  මෙම රාත්‍රිය 
එන්නා වූ මොහොතේ 

සදහටම //
ලස්සන දවසක මා දෑසින් කම්පා වෙමි
මහත්  සේ ආදරය කරන්න වූ  
ඒ මොහොතට මා  විනාශ කර දැමීමට  
කිසිවිටක නොහැකිය 

ඕනෑම වෙලාවක //
ඔබ නොමැති ඉහළ අහසේ සිරව යමි
සුදුමැලි හා දුර්වල ඔබේ රුව දකිමි 
එය මා හට කිසි දිනක   
අමතක කළ නොහැක

සදහටම //
ලස්සන දවසක මා දෑසින් කම්පා වෙමි
හදවතට නැගෙන්නා වූ වදනින් යුතුව 
අසුනට බරවී ඉදිරියට දෑස් යොමා සිටිමි 
මා කිසි දින විනශ කළ නොහැක 

පරිවර්තනය - රකිත 

උපුටා ගැනීම - www.youtube.com




Monday, November 2, 2015

අවිහිංසක සැනසුම් පැතුමක් ?

ගොඩ ගැසී ඇත වැඩද 
රාජකාරිය හිස් උසට 
තවත් ගොඩ ගැසෙන්නේ 
අධ්‍යාපන වැඩ පාඩම් 
පිඩාව දැනෙන්නේ 
හිත මතට සිරස උඩ 
සැනසීම කොතැනකද 
නිමක් නැති කාලයක

වැඩ රාජකාරි මැද 
ලැබෙන ගැරහුම් බැණුම් 
ඉවසා සිටින්නට සිදුව 
ඇත කරුමයට 
නිමා වන්නට ලඟය 
පළමු වසරද මෙලෙස 
සූදනමින් සිටිමි පැවරුම් 
ව්‍යපෘති විභාග වෙත   

නිදි නොමැති රාත්‍රිය 
දිගුය ගතවන කාල 
සිහිව එන්නේ එකල 
ඔබේ තුරුලට එන්න 
වරම් නැත සැනසෙන්න 
නිමවෙන තුරු වැඩය 
මදක් ඉවසනු මැනව 
සැනසුමක් ලබන්නට 

නිමවී රුදු කතර කෙම් 
බිමක් දකින්නට 
වසන්තයේ ඇද වැටෙන 
මල් වැස්ස විඳගන්න 
සිටින්නට සිදුව ඇත 
තව කලක් මග බලන් 
දෙනු මැනවි සුභ පැතුම් 
ඉදිරි ගමනක් යන්න 

---රකිත--- 


   

Tuesday, October 27, 2015

මගේ දිවිය My Life




අරුණ නැගුමට පෙර අවදිව සිට 
දත කට මැද මුව දොවා ස්නානයට 
එක් හෝරාවකින් දෙවේලක් පිසුමට 
සැරසෙයි තවත් එක් දිනක් අරඹන්නට 

අත් දිගට ඇති කමිස කලිසමට ඇඟලන්නට  
බඳ පටිය තද කර සුවඳ විලවුන් ඉහගන්නට 
ඔප දැමුණු පාවහන් පාද ජාලා මතින් පළඳින්නට 
සැරසෙන්න දුම්රියට බසයට දැන්ම දුවන්නට

අසුන් ලත් සැණින් ඇස් පියව යති නිදිමතට 
විවරවන්නේ දෑස ලඟ ලඟම එන අගනුවරට 
නොදකිමින් කිසිවෙකුත් කතා නැති කිසිවෙකුට 
දුවන්නේ ඒ සැණින් වැඩට කන්තෝරුවට

රාජකාරිය ඇත පැය අටට වැඩියෙන්ම 
විහිලු අපහාසයන් ඇත ඊට වැඩියෙන්ම 
පුළුස්සමි ගත රුධිර සෑම විට වැඩියෙන්ම 
ගැටලු නම් ඒමට ඇත මේ සැමට වැඩියෙන්ම

දිනය අවසානයේ නිමා වන සේවයේ 
සුපුරුදු නින්දම දමයි බසයේද දුම්රියේ
නිවස වෙතපැමිණි සඳ ලබයි ස්නානයේ
පසුව තනිවේය මම සයිබර් අවකාශයේ

පස් දිනක් වැය කරමි රාජකාරි අඩු පඩියට 
එක් දිනක් වැය කරමි අධ්‍යාපන සරසවියට 
එක් දිනක් වැය කරමි නිදියන්න යහනට 
එක් දිනක් හෝ නොමැත සිතක් සැනසෙන්නට  

ගෙවනු කැමතිය එක් දිනක් සහෝදරයන් සමග 
ගෙවනු කැමතිය එක් දිනක් ආදර අම්මා සමග 
ගෙවනු කැමතිය එක් දිනක් පෙම්වතියක් සමග 
ගෙවනු කැමතිය ජීවිතයක් මහා සැනසුම සමග 

---රකිත---    



Wednesday, October 21, 2015

8 සමත් ඔහු / ඇය නොකී කවිය


ඉපදුනේ මවු කුසිනි 
නුඹලා මෙන් මමද 
හැදී වැඩුනේ මම 
නුඹලා මෙන් භූමියේද 
සිප් සතර ලැබුමට 
වියතෙකු නොවූ මමද 
තලනු පෙළනු කිමද මා 
උගතුන් වූ නුඹලාද  

නුඹ යනෙන මහ පාර
නුඹ යනෙන පාසල්ද 
නුඹ යනෙන සරසවිය  
නුඹ යනෙන කන්තෝරු
ගොඩ නැගුව කවුරුන්ද 
ලොක්කන් නොව අපද 
ලේ දහදිය කඳුළු මතින් 
වරම් නොලැබෙන බවද

දිනපතා නුඹ යනෙන ඔබ  
රථය එකලස් කළේ අප 
දිනපතා නුඹ යනෙන බස් 
දුම්රියේ වැඩ කළේ අප 
සුපිරි කන්තෝරුවේ 
වෙහෙස වෙන්නේ අපය 
ගෞරාවය පිළිගැනුම 
නොමැත්තේ ඒ නම් අපට

නුඹ අඳින ඇඟලුමද පාවහන් 
මසන්නේ අප සැමය  
නුඹ පැළඳි අභරණ නේක දෑ
තනන්නේ අප සැමය 
සුපිරි සුඛ විහරණය පිළිගැනුම 
ලබන්නේ නුඹ නිසා අප සැම 
ලබන්නේ කවදාද සැනසුමක් 
දුක් විඳින අප සැමද

එදා ඒ යුධ බිමේ රට රැකුම 
සිත දරා අප සැමද
අණ දුන්නේ නුඹලා මුත් 
සටන් වැදුන අප සැමද 
රුධිරය හෙලා අත් පා පුදා  
දිවි පිදූ අප සැමද
ගොඩබිමද මහ සයුර නිල් 
අහස රැක දුනි ලක් මෑණි වෙත   

දියුණුවට රට සංවර්ධනය නැගුමට
ශ්‍රමය පුද දෙන අප වෙතට ඔබ 
කියන්නේ කට කොනින් ඇද කර
අට පාස් මුන් කුමට කාලකන්ණියන් 
බුදිමින් අප වවන දෑ රසට  
තවත් එක් ජීවියෙකු කියයි 
මුන්ට සුදුසු වැසිකිලි සේදීම පමණි 
උගතෙකු ලෙස තප්පුලමින්

නෝනාවරුනි මහතුනි අසනු මැන  
ලොව අයිති උගතුන්ට පමණක්ද 
අප ශ්‍රමයෙන් නොවේද ලොව 
රැකෙන්නේ මෙලෙස 
රතු කොඩිය ලෙළදෙන්න රතු මල් 
පිපෙන්නට හඬ නගන්නට 
සමරන්ට නුඹලාට මෝස්තරයට 
සැබෑ නිර්ධන පන්තිය අපය 

---රකිත---



Monday, October 19, 2015

???කවි නැත???වැඩ ඇත???


නිහඬව ඇත සිතිවිලි
නොනැගේ  නිමිත්තක් 
බැඳුමට කවි පදයක් 
කුමන අරුමද 
නිහඬ හදවත 
අද මෙලෙස සිටිනු 
යතුරු පුවරුව මත 
ඇඟිලි තුඩු නතරව ඇත 

තාලයක් නැත එලි සමය නැත 
රීතියක් නැත මාත්‍රා නැත
ගැලපුමක් නැත පද බෙදුම් නැත  
ව්‍යංගයක් නැත තේරුමක් නැත 
වෙර දරයි ගොතන්නට 
කවිපදය මෙවරත් 
වාරු නැත අදහස් නොඑයි 
සිත සිරව ඇත

නිදි බරව ඇති දෙනෙත 
පියව යයි එල්ලූ සඳ 
ඊයම් බරු මෙන් 
ඇත වනයි දෙව්දුව නිදි 
යහන මත වැටෙන්නට 
ගොතන්නට කවි තවත් 
නොහැකිය නිදන්නට යමි 
සිහින දැකුමට 
     
සමාවුව මැන 
සියල්ලන් හට 
රාජකාරිය වැඩිව 
ගොස් ඇත
ඉගෙනුම් වැඩද 
හිරව ඇත පෙළට 
කෙසේ නම් කවි පද 
බඳින්නද 

වේලාවක් කලාවක් 
එනු ඇතිය 
ලඟ ලඟම 
හිනැහෙන්න 
ගයන්නට ගීයක් 
ගොතන්නට කවි පද 
විරාමයක් ලබන්නට 
සැනසුමට    
  
---රකිත---


Thursday, October 15, 2015

Office අපේ Life එක Dream එක ?



 


නිමා වී ඇත සුවඳ 
විලවුන් බෝතලය අද 
නිමා වෙන්නට ලඟය 
හිස් ආලේපයද අද 
නිමා වී ඇත මුදල 
සුම්බිය තුළ තිබුණු අද
නිමා වෙන්නට ලඟය 
ගිණුමෙ සුළු මුදල අද

මාසයෙන් බාගයක් 
ගෙවෙන දින පහළොවට
නිමවෙයි හතරෙන් 
තුනක් සුළු වැටුපෙන් අතට 
මාසයේ ඉතිරි අඩ 
ගෙවෙන්නේ කෙලෙසද සිතට
කුමන අරුමද කිමද 
ලැබෙන තුරු වැටුපක් අතට  

අත් දිගට හැඩ කමිස ඇඳ 
හැඩ වැඩට කලිසමද පාවහන්ද 
කොණ්ඩා මොස්තරයද දමා
සුවඳ විලවුන් නහවා
බසයේද දුම්රියේද නැග 
එන්නේ සතුටු මුහුණක් මවා
විධායක නිලධාරීතුමා ගරු 
මුදල් නැති හිස් පසුම්බිය හා 

අයවලුන් දකින තුමු සිතයි 
ගරු මහතෙකු විලස 
යටි සිතින් හිනැහෙතියි
සැබෑ තතු දත්තෝ විලස 
සිහින පැතුමන් දකින 
ආලෝකයක් විලස 
බිඳී යයි සිතිවිල්ල 
අඳුරු නුබ ගැබ විලස   

ඇනුමන් බැනුමන් උපහාස 
අපහසද නොඅඩු 
දෙපැත්තෙන් තැලෙන්නේ 
වැඩ ගොන්නකද සිරව 
ගත වෙහෙස නොවන මුත් 
සිත වෙහෙස උපරිමට 
අනේ අපි අසරණයි 
මහතුනේ නුඹලා සේම  

ලොක්කන්ට ලොකු කුට්ටි 
පොඩ්ඩන්ට පොඩි කුට්ටි 
අප හැමට අන්තිමට 
ලැබෙන්නේ රොඩු කුට්ටි 
පතන හැම සුභ පැතුම් 
දකින හැම සුභ සිහින 
ඉටුවන්නේ කවදද 
මියෙනතුරු අප සැමද

සම අයිති රැක දෙන්න 
ලෙළදෙන්න රතු කොඩිය 
සම අයිති රැක දෙන්න
පිපෙන්නට රතු මල්ද 
සැනසෙන්න එක්ව සිට 
හිනැහෙන්න අපි සැවොම 
ජයගන්න ඒ දිනය 
ලඟ එන්නේ කවදාද 

---රකිත--- 




Monday, October 12, 2015

ආල සිත් දිනූ ඇයටමයි





ගෙවා ආ මග දුරය  
යෑමට ඇත තව දුරය 
සිහින හරි සුමිහිරිය  
සැබෑව හරිම කටුකය 
පැතුම් නම් සුන්දරය  
ඉටු නොව අසුන්දරය 
විඳිනු මෙම ආදරය  
වෙන් වීම නම් දුකය   

තනිව ආ ගමන දිවි  
තබන්නෙමි තිත මෙලෙස 
යුගලයෙන් ගමන දිවි 
අරඹන්නෙමි මෙලෙස
සැප තිබෙන කල සේම 
දුක ඇතිවු කල සේම 
රැඳී හින්දිනෙමු සොඳුර 
දෑත් බැඳ මෙලෙසම තුටින 

ධන බලය නිල බලය 
සදාකල් නම් නොමැත 
රුව පෙනුම ගත සවිය 
සදාකල් නම් නොමැත 
සිත සවිය වෙර වැඩුම 
සදාකල් නම් නොමැත 
හද පතුල ඇති ගැඹුරු 
සදා ප්‍රේමයක් ඇත 

හිනැහෙන්න හිරු සේම
මුදු වදන් පවසමින් 
බබළන්න සඳ සේම
දිවිය ආලෝක කරමින්   
දිලිසෙන්න තරු සේම
ලොවක් මුලු දිනවමින් 
ඇදී යන්න මද නල සේම
ආල සිත පුබුදමින්   

ඉතින් අත් ගනිමු අපි 
එක්ව යන දිවි ගමන 
පැරණි දුක් වේදනා 
කර දමා මතකයෙන් 
මේ ලෙස ඉවත
අඳුරු ආලෝක සහ 
සැප දුකද සමබරව 
විඳ ගනිමු මේ ලෙසට 
සදා ආලයෙන් බැඳී 

---රකිත---   

 


Thursday, October 8, 2015

සියලු මහාමාර්ග ඉදිකිරීම් සේවක සේවිකාවන් වෙත ලියමි


ගිනි ගහන මද්දහනේ චණ්ඩ රිවි කිරණ මැද 
වැඩ කෙරෙයි මහා පාරේ එක දිගට මට සුමට 
හඬ ඇසෙයි යන්තරෙන් තාර කැට තලන සඳ 
පැතිර එයි වළා දූලි හමන සුළඟට කරන මුසු  

පරණ මග පිස දමන උණු තාර වත්කරන අත 
ගල් කැබලි ගොඩ ගසන සමතලා කරන අත 
යකඩ ඇතු මෙහෙයවන බිම මැනුම් කරන අත
කඩිමුඩියෙ වැඩ කරන සියලු මිනිසුන්ගෙ අත 

නළලතින් රූරා හැලෙන දහදඩිය බින්දු පිස දමන 
දුහුවිල්ල කුණුද ඇති දහඩියෙන් පෙඟුණු ඇඳුම
දහවලට පමණක්ය බත බුදින විවේකය ලැබෙන 
රෑ වෙන්නෙ කීයටද යන්න අඹු දරුවො වෙත

දිනපතා ලැබගන්න වැඩ කුලිය පෝලිමට සිට
ගනිමි එය ගෙනයන්න හාල් පොල් දුරු මිරිස් 
දියණියද කුඩා පුතු සිහි වෙන්නේ ඔහු සිතට 
පොත පතද බූන්දිද රැගෙන යයි පැල්පත වෙතට 

මතක නැත කාලයක් නව ඇඟලුමක් මිලදී ගැනුණු
මතක නැත කාලයක් බඩු මුට්ටුවක් මිලදී ගැනුණු
මතක නැත කාලයක් නව නිවසක සිහින මැවුණු 
මතක නැත කාලයක් දිවි ගමන සැනසුමක් ලැබුණු

මහපාරේ වැඩබිමේ කම්මලේ ගොවිබිමේ වෙහෙස වෙන  
කන්තෝරු මේස ලඟ හිඳ ගෙනද දුක් විඳින වෙහෙස වෙන
දහඩියට කඳුලටද දුකට සැනසුම් ගෙනුමට වෙහෙස වෙන
පායන්නේ රතු ඉරක් කෙදිනටද සැබෑවට වෙහෙස වෙන

---රකිත---