Saturday, December 28, 2019

~~ යථා බව දැක්ම ~~



වෙදඟිල්ල මුදු නොමැති 
නුඹලාට ගැටලුවකි
කලට අකලට පැහුණු කෙස්
ඔබට සරදම් වෙද

ගෙවෙන කාලයට බැඳි 
සෝපහස එමට ඇත
ජීවිතේ කතාවක් 
නොදන්නා තෙපි කුමට

අවැසි කල පියාණන් 
මෙලොව හැර ගිය කලක
අනාගත ලොවක තතු 
නොදැන අතරමං වූද

කාලයේ ඇවෑමට 
අහිමි දෑ බොහෝ වේය
උපහාස අපාහස 
කරන නුඹලා කිමද 

නිසි කලක නිසි දෑ 
ලබන්නට පින නොමැති
අඳුරු ලොව එළිය 
වන්නට කලක් ගියා ඇති

කාල රේඛාව එකිනෙකට 
වෙනස් බව නොදැන
කුමන නම් අරුමයක් 
ගැටලු ඇති නුඹලාට

මිල මුදල් දේපළ සියල් 
නොමැති නම් කුමට
වැටුප් දිරි දීමනා 
සුළු වනා කලට නම්

නොහැක දුක් දෙන්න 
තවත් ඒ ජීවිතයකට
මිනිසත් කමට ඇයිද 
නිගා දෙන නුඹලා

සිප් සතර ලැබුමට වරම් 
පමා විය පෙර වරදකින්
දැනුම වේය සැනසුම 
සිතට ගතට දෙන නිරතුරුව

කලා කම් නොමැති වුව 
කලා කම් ලබන්නට
වරම් ගෙන අදිටනින් 
සැරිසරන මනෝ ලොව

පෙර සසර පුරුදු ඇත 
තනිකමක් විඳින්නට
කුමට නම් සරදම්ද 
අපහාසයන් නිමක් නැති

වසන්තය නිමා වන බව 
දනිමි ගිම්හානයේ පාමුල
තනි ගමන සැප වේය 
බඹ සරින් රකින්නට සදා

---රකිත---


Sunday, December 15, 2019

~~ සේයාරූ ශිල්පියා වීමි ~~




පනා හසරැල් 
සුන්දර වුවනින්
මදහස කදිමය 
ඔහු දෙස බලමින්

නෙක නෙක ලෙස 
ඉරියව් රඟමින්නේ
තුටු වන දෙපලක 
ලොව දකිමින්නේ

තෙවැනි නෙතින් කළ
ලොව දකිමින්නේ
මුසු කර නිපැයූ 
තාක්ෂණ දැනුමින්නේ

දර්පණ ප්‍රිස්මය ආලෝකය 
අංකිත තිර මතිනේ
රාමුව කර ත්‍රිමාන ලොව 
ද්විමානිත කරමින්නේ

රැය දහවල වෙනසක් 
නොමැතිව ඇති
කාචය යුමුහුව 
කේන්ද්‍රය කරමින්නේ

ද්වාර වේගයෙන් 
රටාවන් කරමින්නේ
ඉසව් රූප ඉල්ලුම් 
ආවරණය සිදුවන්නේ 

වර්ණ රටාවන් තීව්රය 
නිසි සකසමිනේ
රළු පරළුව ඇති තැන් මුදු 
සුමුදුව ඇති කරනා

පරිගණකය තුළ 
මෘදුකාංග හසුරවමිනේ
අලංකාර සේයාරුව 
සාදන මන පිනවන

ගුණ දොස් අසමින් 
නිහඬව සිටිමින්
වැරදුනු තැන් 
නිවැරදි කරමින්නේ

නව දැනුමින් ලොව 
නිති වැඩිවන්නේ
අවධානයමයි 
වැදගත් වන නිරතුරු

විනොදවන කළ 
මිතුරු මිතුරියන්
තෙවැනි නෙතින් 
හසුකරමින් ඒ රඟ

සොබා සෞන්දර්යය 
ලොව දකිමින්
සොයමි මගේ 
සේයාරුව ඒ අතරින්

---රකිත--- 


Saturday, December 7, 2019

~~ ටිකක් වැඩි වයස ලඟ හුඟක් සුරැකුම් තියේලු ~~



මතක පෙළ රැගෙන ඇති
ගිලිහුනු වසන්තයක තතු
ගිම්හානයේ යුග ගෙවෙන
දිවියක හැරවුමක් විලසා

දුටු නුදුටු වසන්තය 
කුමකටද ගිම්හානයට
නෙතු ගැටුනු මුල් දිනක
සිතේ සිතුවම් ඇන්දූ

සුපිපි කුසුමක් බඳුය පිරිපුන්
වෑහෙනා මකරන්දයෙන්
ගත වියපත් මුදු තුරුණු සිත
කරවනා ඔද්දල් නුරාවෙන්

දුටු නිමේෂයකට බැඳුනු සිතකින් 
විමසුවා බිය මුසු හඬින් ආලය
පිරි සිනාවෙන් කෝල බැල්මෙන් 
ඇගේ හදවත බැඳුණි ප්‍රේමය

පියෙකු දියණියක ලෙස ලොව 
දකින කල අප කුමක් කරමුද
පෙමට බාධා නැතිය වයසක් 
ඇගේ වදනින් සැනසුනා සිත

පටලා අත්වැල් තුරුලුව රිසි සේ 
එක මග යන්නට වරමක් ඇති
රොස් පරොස් දොස් සරදම් මැද 
ආලය ගලනා කාලය කදිමය

ජවය තෙද බල පිරුණු ඇති
තුරුණු කම ඇතිය තව
කළ නොහැක්කක් නොමැත 
මැදි වියට පා තැබුවා වුවද 

ඇඟිලි තුඩු මතින් ගත 
පුරා දිවෙනා රිද්මයට
වසන්තය යලි පැමිණෙනා 
බිඳ දමා වාන් දොරටුව

රකිමි නුඹ නිබඳවම 
මාණික්‍ය සේ ලැබුණු
සෙනෙහසින් පුදමි නුඹ 
පිරි දයාබර නුරාවෙන්

මුළු ලොවක් හිනැහුනත් 
නොවේ නම් ඒ අපට
ඉතින් අපි සොයා යමු 
ප්‍රේමයේ සොඳුරු තැන් 

---රකිත---


Tuesday, December 3, 2019

~~ වසක ප්‍රේමාන්දරය ~~

මිතුරෙකුගේ ප්‍රේමයට වසරක් සපිරීම නිමිත්තෙන් රචනා කරන ලදදකි.  










නිවහල් සිත පාව ගොස් 
වර්ණිත වූ අවකාශයක
මලින් මල රොන් ගැනුම 
සිහිනයක් වූ පමණ

සයුරු තල මත රැඳි 
රුවල් නැති නෞකාව ලෙස
මිරිඟු පමණක් දුටු 
අතීතය සිහිනයක් මෙනි

අහඹු ලෙස හමුවෙලා 
පවසා වදන් යුවතියක තතු
දුරු රටක සිටින බව 
සත් මුහුදු ගෙවා ගොස්

සොයනු කුමරෙකු ඇයට 
ලැබූ පණිවුඩයකට
සිත බැඳුනු කිමද 
එදින මත නොව අමතකද

අවකාශ මතින් යන 
තරංගයකින් සුසැදි
ඔබේ හඬ හැඳිනියෙමි 
අංකිතව සුහුරු ලෙසින

රුවත දුටුවෙමි දිනක 
තාක්ෂණ මහිමයට
ඉදින් නුඹ වේය මා 
සිහින කුමරියද පැතු

කෙළි කවට සිනා මැද 
ඉඳ හිටද පුංචි රණ්ඩුවක සිරි
විඳිමින් මවා මතු ලොවක 
පැතුම් මල් ඒ අතර

වසක් ගෙවිලා නොදැන 
කාලයා ගමන් කර
සිත් දෙකක් එක් වෙලා 
එක් වසක් ගත වෙලා 

මනාලිය වී නුඹත් 
අත ගන්න මංගල දිනක
බලා සිටිමි පුරවලා හද 
ප්‍රේමයේ සොඳුරුම හැඟුම

වසක් නොව සිය වසක් 
ආයු ලැබ රැකගන්න
හමු වෙමුද අපි දෙදෙනා 
සසර වසනා තුරාවට

--- රකිත ---



Wednesday, November 27, 2019

~~ රාජකාරියක් ? ~~



පිරී ඇත සවනත වදන් 
උන් දොඩන නිති
මුව රිදුම් දෙයි නිතර 
පවසනා සම වදන් පෙළ

දෑස් කකියනා කල 
දොරටුවේ හැඩ බලමිනා
පිට කොන්දත් දෙන වේදනා 
අසුන් ගත් අයුරක් නිසා

හෙළ බසින් හා ඉංගිරිසි බස 
සුදුසු කල් ලෙස උසුරමින්
අචාර කරමින්ද යනෙන 
සැම වෙත මද හසින්

තබමින් සටහන් පොතින්
නිකුත් කරමින් අවසර පත්‍රයන්
සිදුව ඇත හරවා යවන්නට 
ඇතැමුන් වෙනතකට සැමවිට

එකා පසුපස එකා 
නිමක් නැති පෝලිමක්
හසුරවන්නට සෙනඟක් 
තනි මුවක හඬකින්

රුදු බිණුම් ගැරහුම් ලබා 
ද්වේශ ඇති මිනිසුන්ද
හසරැල් මතින් සඟවමි 
මුසුප්පු වූ සිතක හැඩ

කාලයට පැරදිච්ච 
ගෙනා දිවා පතරාසයක් 
පිළුණු වේ සිසිලසට 
වායු සමනිත කුටිය තුළ

ඇල් වෙනා කිරි තේක 
වේය අමෘතය විලස
සිතින් මවා ගනිමි රසමසවුළු 
අහිමි එක් මොහොතකට

හැඩකාර රුව පිරුණු 
නේක අඟනුන් දකින
උසස් නූස් කවරෙකුත් 
හිස නමා තතු අසන

ඉඳ හිටක පිරිස අඩු 
නමුදු පාළුව නොමැති
පිළිගැනීමේ කවුළුවත් 
විටෙක කදිමය රාජකාරියට

---රකිත---


Wednesday, November 13, 2019

~~ දුටු සෙබළ යුවතියට ~~



ඔප දැමූ පාවහන් හැඩට 
කළු පැහැය ගත්
දක්ෂිණව ඇලය ගත් 
හිස් වැසුම මනරම්ය

නිල ඇඳුම ඇඟලෑව 
හැඩ කාර රුවැත්තිය
නුඹ වුවන දුටු දිනක 
සිතත් නැවතුනා වැනි

අත දරා ගිනි අවිය 
රකින ඇය මහ ජනතාව
රළු පෙනුම එහි නොමැත 
සියුමැලිය ඒ බැල්ම

තියුණු නෙතු අවට සිසාරන 
උකුසු ඇස් ලෙසින් ඇති
හැඩකාර නුඹ අද්දරට 
නැවතුනි දෙපා ඒ දිනක

මද සිනා පිරුනු මුව 
කතා බහ සුහද ලෙස 
රට රකින රාජකාරිය 
කරනා ලෙස දේව කාරිය

අව් වැසි සුළං මැද 
නොසැලී සිටින නුඹ අද
දෙවඟනක් ලෙස දුටිමි 
මිහිකත බට දෙව් ලොවෙන්

සියල් සපිරි විසිතුරු ලොවක 
සිහින ලොව දකින
රුවැති තරුණ තරුණියන් 
සිත් සේ තුටු වෙනා

සිතේ කොනක මුත් 
ඇති නොවෙද නුඹ සතුව
එවන් ලොවක සැරි සරන 
සිහිනයක් ඇතිවාට

තුරුණු විය ගෙවී යන 
කැප කරන රට රැකීමට
සරුව පිත්තල ලොවක පිරි 
අගනා මාණික්‍යයකි ඔබද

සෙනෙහේ ලබන්නට නුඹේ 
පැතුමක් දරන් අද සිටිමි
අමතන්න හැකි වුවොත් 
දුටු විගස කවි පදය

---රකිත---


Monday, November 4, 2019

~~ ඉනික්බිති සැබෑ ලොව ~~













පුරා එක් මසක් කඹුරා 
වේය තැම්පතු බැංකු ගිණුමට
වැටුප නම් ලද නමට පමණකි 
දින ගණනකට සෑහෙනා

වයස ගෙවු මුත් තවත් රැඳෙනා 
මව්පියන් සොයුරන් සෙවණ මැද
දින පැමිණේ තනිව සිටිනට 
දිවි ගෙවන්නට තම දිරි මතින්

විදුලි ජල අන්තර් ජාල බිල් පත් 
ගෙවනු කෙලෙසක එකම වැටුපෙන්
අහර පානද ඇඳුම් පැළඳුම් ගමන බිමනට
දරණ වියදම් කරනු කෙලෙසද

රූ රටා පිරි සොඳුරු ලොව ඇති 
නේක වර්ණිත දෙව් සිරිය ඇති
විනෝදය පිරි දිවිය විඳිනට 
වරම කෙදිනක ලැබේ අප හට

නුඹ පතන ඒ සිහින පෙළ 
නුඹ දකින මහිමය ලොවක
සැරිසරනු කැමති ඇති 
අන් ලඳුන් සමව සිටිමින

මුදල අප කරන අසරණ විලස
මගක් නොමැතිව සොයා යන්නට
හෙළනු ඇත නුඹ දිනක සුසුමන් 
සිතන්නට තිබුණා කියා පෙර කල

කම් නොවේ නුඹ හැර යන්න මා 
සැබෑ ලොව තතු දැන දැනම සිට
තුන් සිතක හෝ කහටක් නොමැත 
ඔබ තුටින් සිටිනා හැටි දකින කල

දියණියක සොයුරියක යෙහෙළින් 
සියල් ලඳුන් දකිනා සිහිනයන්
දුකක් නොවනට පැතුම් ඇත හැම
මව්පියන් නෑ සොයුරු සොයුරියන් හට

දිනක නුඹ දිනනා ලොවක් දැක 
තුටු පහටු වෙමි හදවතින් නිති
කරමි දන් පිං හැකි සෑම විට 
මතු බවක ඉපදුමට ධන බලය ලැබ

---රකිත---


Wednesday, October 30, 2019

~~ දැමූ බිඳ යදම් ~~



සුපිපි කුසුමක රොන් උරනු වස් 
මත් බඹරිඳු වන්නට
තලා වෙරළු මල් හෙලා 
රත් නෙළුම් පෙති මතට

රඟන්නට නිති රතී ලොව 
දැකුම් පා විස්කම් මතින්
මවන්නට නව ලොවක් 
සිට දිගු මොහොතකට

දෙතොල මත රැඳි කුළුඳුලේ 
හාදුවෙන් ඇරඹි රඟ
ලමැද පුළුලුකුළු වෙත 
යනෙනා ගමනක අරුම

වෙලී අත් පා නොවෙනා 
දුරට දෙදෙනෙකුද තව
තලා යහන් ගැබ 
රැයේ නුරා උණුසුමින් පිරි  

කාලයා නොම දැනේ අද
ගෙවෙනා මද අඳුරු කුටි තුළ
වදන් නැති මුදු නැගේ 
කෙඳිරිලි හඬින් මුමුණන

පිරි ඉතිරෙන නෙළුම් විල 
මුසුව රාගයේ සුවය
වාන් හැර ඇත හැඟුම් 
පෙළ මතින් ගැලුමට

රැකි බඹසර අවැසි නැත 
කල අකල වන කලට
වෙහෙසකර දිවියකට 
අවැසි හැඟුමන් නොලැබ

අදින් පසු අප වෙමුය 
අපටම අයිති ලොව
සොයා යමු ආලයේ 
සොඳුරු තැන් මෙතැන් සිට 

---රකිත---


Wednesday, October 23, 2019

~~ මහ මග සිතුවිලි ~~



දුනු මතින් 
පැද්දෙමින් 
සිහි කරන 
තොටිලි සුව 

දිගෑදී අසුනක 
උස්ව ඇති 
පියා නෙතු කියන 
සිත නින්දකට 

නින්ද බස් නිවන 
ලද වෙහෙසකට
නුඹේ රුව මැවේ 
සිහින ලොව මතට

ලොබ බඳිමි හරින්නට 
නෙතු ඒ රුවට
සැබෑ ලොව නොලද සුව 
විඳිමි නින්දක අතර 

නිදි වරන රැය නිතර 
ගනිනු නම් කෙලෙසකද
විසි වයස් කළ යුත්ත 
තිස් වයසක කෙරුනු

සිතින් කියනා තුරුණු කම 
ලොවේ නැත සැබෑවට
වසන්තය උදාවන 
දිනයක් නොමැත්තේද

නික්මෙනා කාලයට 
සමුදෙමින් යොමා සිත
පමා වනු කෙලෙසකට 
හිස බරව ඇත වැඩට

දිනක් ගත වී තවත් 
දිනක උදාවක දැකුම
ජීවිතය අවසරයි 
එක්ව ගෙවමින් යන්න

--- රකිත ---


Saturday, October 19, 2019

Wednesday, October 16, 2019

~~ පෙමක රහස ~~












සඟවා බියෙන් මිතුදම් 
රැකි අහිමි වන
අවමන් නොවිඳ 
වන්නට පසෙකින් සිටින

සිතකින් පමණි 
පෙම් බැඳි නුඹ වෙතින
වරමක් නොමැති විය 
නිසි කල කියන

ඇරයුම් ලදිමි නුඹ මඟුලට 
සිහිනය දුටුව
මනාලියක සේ දැකි 
නුඹ සිටි කදිම

ඔහු අත අරන් 
නව ලොව වෙත පා නැගුම
අසිරි පැතුම් එක් කළා 
ඉතා සිතින් තුමූ

කල් ගත වෙලා නුඹ 
නුදුටුව වසර ගණන්
ඉඳ හිට මතකයට නැගි
දුටු විට හිස් අසුන 

රැකියාවද ඉගෙනුම හා 
මුසු වී ගිය කලක
අමතක වුනා නොව 
යටපත් වූ මතක පෙළ

ඉසිඹුවක් ලෙසින් දින 
පැමිණි නැවතත් නුඹද
තුටු විය හදවතත් සිත රැඳි 
ආලය සැඟවූ ඔබට

වරමක් නොමැත ඇය 
එක දරු මවක් වෙද
පෙර දින මෙන් සිනාවෙන් 
මුව සරසමිය ඔබ

බිඳලන්නට මිතු දම් බැඳි 
නොමනා ලෙසිනා
නොකළෙමි ප්‍රකාශය 
ආලය සිත් බැඳි තුටිනා

මතු භව හිමි වන්නට 
පැතුමන් ඇති වූ නිතිනා
සොඳුරුය ප්‍රේමයත් 
සඟවන විට නොකියා

---රකිත---  


Saturday, October 5, 2019

~~ හැරවීම ~~













හිරු වැටී අවර ගිර 
බබළනා රත් පැහැය
පහේ කණිසමට එලි බටට 
මහ මග වන සසල

අහඹු ලෙස නොවේ 
සිත සොයා යන රසය
ලොබ බැඳන් විඳින්නට 
සොයන කම් පහසකට

මුවා කර අහස කුස 
පොරවනා සළු අඳුරු
වීදි අද්දරට නෙතු 
යොමා රස සොයන්නට

රිදී ආලෝක මැද 
මග බසින රෑ සමනලිය
සොයමි රොන් උරන්නට 
මත්වනා ගතට

නෙතු සරින් ඉඟි බිඟි 
කරන් සොඳුරියක්
තටු සලයි රැඟුමකට 
කරන ඇරයුම් මතින්

රැකි කුමර බඹසරින් 
හැඟුම් දම් බිඳ දමා
පා තබන විට මොහොත 
ස්පන්ධනය හදවතට

පඩි පතට කල් ඇතිය 
ගිණුම් පතුලද පෙනේ
අත රැඳුනු සුළු මුදල 
මහ මගට පමණක් ඇතේ

රැකුම නොව යැපුම 
පමණකි ඉතිරිව තිබේ
සලෙළු වරමක් ලබන්නට 
තවත් නම් කම් නොවේ

වංගු නැති වීදියේ 
හැරෙමි අද නුඹ හැර දමා
යදම් දම් තද කරන් 
මරා දමමින් හැඟුම්

දිනක විඳිනට සැපත 
නුහුරු ගත සිත සොයන
සිහිනයත් රන් මසු වටින 
බව දනිමි ශෝකයෙන්

---රකිත---



Wednesday, September 25, 2019

~~ වැසි - මතින් ~~
















ඉඳ හිටක නොව නිතර 
දැනෙන ගත පුරාවට
නුහුරු උණුසුමක තතු 
සිහින එක් වී දකින

සිත පුරා රැඳී ඇති සේම 
හද පුරා දැනී එන
සොඳුරු හැඟුමන් අතර 
මදක් තනිවන්න සිට

ඇද හැලෙන මල් වරුසාව 
ගෙනෙන සිසිලස අතර
වස්සානයේ මල් පිදෙනා 
තුරුණු ජව ලැබ ගතින්

යහන තනි නොවනා 
ලෙසින් දුර තව නොසිට
කුමරියේ වන්නට තුරුලට 
ප්‍රේමයේ නාමයෙන්

ගගන තල ගුගුරුවා 
විහිදි අකුණු එලි මතින්
අඩ අඳුර තුළ නැගෙන 
රැළි පිට රැළි සෙයින්

මුහු කරන්නට තුරුණු කම 
සිහින් හඬ නැගෙනා රැයේ
තරගයක් නොවේ නම්
සොඳුරු ක්‍රීඩාවකි එක්වෙනා

සිසිලසින් විඳි උණුසුමක 
මහිමය ගත සිත පුරා
නොවන්නට අවදිව 
සිහිනයෙන් සුසැදේනා

වසන්තය අග වුව 
ගිම්හානයේ අභිමුවක සිට
වැසි වැටෙන රැයක තතු 
ගොතමි කවි කුටියෙ සිට

---රකිත---






Monday, September 16, 2019

~~ දැනීම ~~











යකඩ ඇතු 
සිය දළ තලින්
කරන තූ තූ 
කොට තුරු ලතා
වුවන මත ගැටි 
තලය වානේ
කපා හෙලා 
බිමට කේෂය

පෙනේ කැඩපත 
රුවක් වුවනේ
පහන් එලියෙන් 
විසුරුවා මුව
සිනා නොම නැති 
හැඟුම් රහිතව
බලා සිට නැති 
ලොවක් දකිමින්

කැපී වැටෙනා කෙස් 
ගස් අතර රැඳි
නර කෙසක් බැලුමට 
නොහැකි සඳ
සුසුම් පමණකි 
සිත ඉතිරි වන්නට
පෙනේ අනියත 
ලොවට උරුමැති

එදා සිටි රුව 
මෙදා නොමැතිව
සිතින් පමණක් 
තුරුණු වන්නට
පමා වන්නට 
වරම් නැති කල
සිහින පමණකි 
එදා මැව් ලොව

තනිව ඉපදී 
තනිව මග තොට
මාපියන් සොයුරන් 
පමණ සිටි
දිනක නිමවන 
ලොවක තතු දැන
සෙවුම් කුමකට 
විසූක දස්සන

ගෙවා මිල අහිමි 
රැවුල් කෙස් ගස්
දොරින් එලි බට 
කලක මග වෙත
දැනේ තනිකම් 
අනියතක සඟවා
මෙනෙහි කෙරුමට 
සසර දුක් කඳ

---රකිත---  


Wednesday, September 4, 2019

~~ සොඳුරු මිතුරියට පෙම ~~



බෙදා කා එක පතෙන් 
එකම පන්තියේ සිට
එකම පැන්සල කර දෙකඩ 
අකුරු කළ නුඹ සමග

කෙළි දෙලෙන් පසුව එක 
සොයුරු සොයුරියක් ලෙස
කාලයා පැන ගිහින් 
මතකයන් ඉතිරි කර අපට

ළමා විය ඉක්මවා 
තුරුණු විය පැමිණිලා 
එදා මෙන් මිතුදමද 
නොවෙනස්ව පැවතිලා

නිමාවන හිරිමල් තුරුණු 
විය අපටත් හොරා
එදා මැව් සිහිනයන් 
කුමකටද යැයි සිතා

මිහිර නුපුරුදු ලෙසට 
දැනේ නුඹ දකින කළ
වෙනසක් වේද හැඟුමන් 
පෙර ලෙසින් ඇති

කාලයා අවෑමෙන් 
පෙරළෙනා මිතුදමක් හද
ප්‍රේමයක් වන අයුරු 
දැනෙන හද පුරාවට

පෙර සේම නුඹ දකිමි 
හඬ අසමි සිත් සේම
ගිරවියක ලෙස කියවනා 
නුඹත් හරි හැඩකාර

සිතේ ඇති දහසකුත් 
දේම පවසන්න අද
බියක් ඇත අහිමි වෙද 
මිතුදම් රැකි කලක්

රකිනු වස් මිතුදම් 
කලක් තිස්සේ බැඳි
සඟවමි සිතක පතුලට 
ආල හැඟුමන් ඇති

දැන හැඳින නුඹ 
දිගු කලක සෙනෙහෙ රැඳි
සත්තකින් නුඹට 
මා පෙම් බඳිමි මිතුරියේ

---රකිත---


Tuesday, August 27, 2019

~~ තනිකඩ කව ~~



ඇද වැටෙන මල් වැසි 
හීතලට සුළං රැළි
කිළිපොලායන ගත 
සොයන නුහුරු උණුසුමක්

වැළඳ කන්වයිනයක් 
පොරෝනය තුළට වී
සිහිනයෙන් විඳිමි සුව 
නොලැබූ සැබෑ ලොව

රැළි පිට රැළි නැගී එන 
සයුරු තල කළඹවා
හැඟුම් දළ සිත පුරා 
රැඳෙන පිරිපුන් ලෙසින්

මත් බඹරිඳු ලෙසින් 
සොයා රොන් උරන්නට
සිහින අවකාශයේ 
සිතක් පියඹනා හැඩ 

රෝමාන්තික වනු කිමද 
සිසිලසත් නුඹ මෙලෙස
රිදවන්න තනිකඩ සිතක් 
ගතට දුක් ගැහැට දෙන

උරුම නොවනා සුවය 
සිහිනයෙන් ලබන්නට
නිදි කුමරියත් අද නැතිවාද 
කුටිය තුළ සිටින්නට

වසන්තය විඳින්නට 
මකරන්ද රසයෙන්ම
මුහු කරන්නට යෞවනය 
මල් පෙති මතට ගෙන

රඟන්නට රතිය නියම
නුරා ගිනි දල්වමින් හදේ
යහන් තල දෙදරවා 
අකුණු සැර විදින්නට

සඟවමින් කඳුළු කැට 
හෙලන්නට වරම් නැති
සොවින් සිට තුටින් යුතු 
වතක් සේ පෙනෙන්නට

මුවා වී කාලයට 
ගෙවෙන වස්සනයක
ඉම පෙනේ නුදුරු ලෙස 
තනි යහන අද්දරට

---රකිත---


Thursday, August 15, 2019

~~ අවසන් අබියස ~~



පවසනා කැඩපතක් 
රහසක් ලොවක් දන්නා
නර කෙසක් පැසී ඇත 
හිසේ දෙපසින් සිටින

රැවුල් ගස් අතරින් 
සුදු කෙසක් සැටි මතුවෙනා
කෙසේ නම් සඟවම්ද 
තුරුණු බව වියැකෙනා

මුහුණතක ලවනතක් 
මැකී යන නියාවෙන්
දෑස් කෙවෙනිද ගිලී ඇත 
ලඟද මන්දා ඇඳිරියට

රැළිත් එක දෙක පෙනෙන 
ගෙල අද්දරින්
නොතේරේ සිතට දැන් 
කුමක් වේ දැයි කියා

පපු තුරේ මස් ගොබ පෙනෙන 
නොපෙනෙන සේම
නෙරයි උදරය කළ හැඩය 
ගෙන  දිස්වෙනා පිටට

දෑත් දෙපා නහර වැල් මතුව 
රැළි වැටේ එක එකින්
ගත අසමබර බවත් දැනේ 
නොදැනෙනා ලෙසට

දෑස් පෙනුමත් දුරට දැන් 
හොරට මෙන් දැනෙන
සවන් ඇසුමන් ඉහළ හඬ 
දරනු නොහැකි ලෙස

සීනී තෙල් මේද ගත රුධිර 
පීඩනද බිය ගෙන දෙනා
මතකයත් එහෙ මෙහට 
අමතක වීමුත් ඇතිව

නැගෙන හිරු බැස යන්න 
කලක් උදා වන බව දනිමි
දිවා සන්ධ්‍යා කලත් ගෙවා 
අඳුරු රැය එන බව දනිමි

වසන්තය සදාකල් නොවන 
බව සිහියෙන් දනිමි
නුදුරු කළ එන මරණයක 
සේයා රැඳෙන බව දනිමි

---රකිත---



Sunday, August 4, 2019

~~ වියෝව ~~



සරසා ගත අගනා 
සළු පිළියෙන්
වත කරවා මනරම් 
හැඩ තලයෙන්

රැගෙන මල් 
කළඹක් දෝතින්
කිමද නුඹ අද 
නිසලව සිටිනු රිසින්

පෙර දිනක සිප සැනසූ 
උණුසුමින් වෙලී
සිසිලසින් දරදඬුව ඇත 
නළල් තල මතද

නිල්වන් නෙතු සඟල යලි 
විවර නොවනා ලෙස පියා
දෙතොල් රත් මුදු නොමැත 
වරම් හාදුවකටත්

මනාලිය වන්නට 
පුරා පෙරුමන්
මනාලිය විය 
මරණ මංචකය වෙත

නිදන නුඹ සුන්දරය 
නොදුටු මනාලිය ලෙසින්
මෘත කලේබර පමණි 
නුඹ නොමැත එහි

වරම් නැත එදා මෙන් නුඹ 
දෑත ගෙන වැළඳ ගැනුමට
වැඳ වැටෙමි දෑත් එක් කොට 
පිදුමට අවසන් ගෞරවය

රතු රෝස කුසුම් පෙති 
එදා නුඹ වෙත පුදා සිට
පුදමි මෙදිනට සුදු රෝස 
කුසුමක් නුඹ වෙතට 

රැව් දෙනා මතකයන් 
දවන හදවත මතින්
ලොවට සැඟවූ පෙමක්  
නොදනිනා කිසිවෙකුත්

සඟවමි කඳුළැලි ලොවෙන් 
ප්‍රේමයේ නාමයෙන්
නොවන්නට නුඹ වෙත 
කලු පැල්ලමක් ලෙසකින්

මතක වත් පිළි ගන්වා
පැන් වත් කරන් පිං දෙනා
මොහොතකින් නුඹ ගතත් 
වෙලෙනු ඇත ගිනි ජාලයෙන්

අවසන් ගමන කැරකොප්පුවේ 
ආදාහනාගාරය වෙතට 
බර දරා මමත් එමි නුඹ 
දේහය රැගත් පෙට්ට්ටියට

නුඹ නොමැත 
අදින් පසුව
මතකයක් පමණක්ය 
අතීතය හා එක්ව

සසර මග අකල් මරණයන් 
නොම වේ පැතුම්
එක් කරමි හදවතින් 
සෝ සුසුම් මුසු කරන්

---රකිත---