Sunday, May 20, 2018

~~ ඉරු දිනට ලියන කවි ~~


සැප සේ සැතපෙන වෙන අය ඉරු දින
හමුවෙන පෙම්වත පෙම්වතින් ඉරු දින
දරු දැරියන් බිරිඳද හා තුටු වන ඉරු දින
යන මා සිප් සතර ලැබුමට සැම ඉරු දින

නිසි කල නිසි දෑ නොකළ වරද විඳවන
අහිමිව ඇත ඉරු දින සතුට දුක් විඳවන
අහිමි ලොවක් හිමි කෙරුමට විඳවන
නිහඬව සිටිනෙමි මා කළ වරදට විඳවන

බාල තුරුණු විද්‍යාර්ථයන් අතරින් සිට
සඟවනු කෙලෙසද වැඩිමහලු බව සිට
වෙනසක් නැති වුව ඔවුන් සිත් තුළ සිට
හදවත පවසයි පමා වූ බව නුඹ හා සිට

කාලයක් නොමැත විනෝදය ලැබුමට
රාජකාරියද ඉගෙනුමද ගෙවන දවසට
සියල්ල සමබර කෙරුමට තැත් කරනට
කෙසේ නම් කැප කරම්ද සොඳුරු දිවියට

වයස ගතවේ කාලය හා අත්වැල් බැඳ නිබඳ
ලොවක වෙනසක් දකින නෙතු මත නිබඳ
තැවෙන සිත පමාවට අහිමි වූ කලටම නිබඳ
මතකය කළ නොහැක අමතක අමිහිරි නිබඳ

ආලය කරමි සිතකින් පමණක් වරමක් නැති
රූපය සිතේ ඇඳි සම රුව තවමත් දැක නැති
අත හිත දෙන්න සහයෝගය ශිල්පයට නිති
අවැසිය ආලයක් ලැදි ඇති ඉගෙනුමට නිති

නිදි නැති රැයක ගෙතෙනා කවියක දිවිය
යථා බව පැවසුමට කරනා සැටි දිවිය
විදින මුත් විඳවනා රඟ බලනට දිවිය
සිහිනය දකිමි ජය ටැඹ වෙත යන දිවිය

පරිණත වනා දින දින වයසින් ගෙවන
අංකය පමණි සිතකට වසරින් ගෙවන
ඉතුරු තුරුණු කම ඇපයට තබා ගෙවන
පමා නොවී යමි ජය ලැබුමට දිවි ගෙවන

---රකිත---


Tuesday, May 15, 2018

~~ ඇයට ලිවූ කවි පද ~~



නුඹ මා ලද ජිවය විය
නුඹ මා හෙලූ සුසුම විය
නුඹ මා සතු ආත්මය විය
නුඹ මා හද ගිනි සිළුව විය
හැර නොයනු මැන දමා මා
දිවි ගෙවමි අද නුඹ නිසා මා
සවිය ඔබ ලැබූ දිවි මග මා
බලා සිටිමි නැවත එන තුරා මා
හද පැතූ මා සොඳුරියයි නුඹ
අවැසිය හෙට දිනද අද මෙන් නුඹ
ජිවන දිය මා ලද විය නම් නුඹ
ගෙවිය නොහැක නොමැතිව නුඹ
පතමි නිරතුරු එක් වන්න හා ඔබ
සොයමි සැම තැන රූපයද හිමි ඔබ
රැයක නෙතු නොපියෙන නිසා ඔබ
පවසමි සිතින් සැනසෙන නාමය ඔබ
ලොවක් නැත නොමැති සිටිනට ඇය
අලෝකයම විය අඳුරු ලොවට ඇය
දුරස් වනු නොව ලඟා වන්නට ඇය
දිනෙන් දින දිදුලමි සෙනෙහසට ඇය
සිටින්නට දෙමි පොරොන්දුව ඔබට
රැකුමට ලොව ඇති නපුරින් ඔබට
නිහඬ නොවෙමි දොඩමළු වන ඔබට
පිරෙන හදින් සෙනෙහස පුදමි ඔබට
වියැකී යන බිය දොම්නස් නුඹ දුටු කල
දිවි මග ඔප කරනා පැතුමන් ලැබ කල
රිදුමක් නම් හද කිසි දින නොඑනා කල
ගමනක ඉදිරිය යමි නොව අසමත් කල
නිසි මග යමි ඔබ පවසන කල නිති
ඉර සඳ තරු වේ නුඹ දිවි මග නිති
ගතකින් සිතකින් ලංවී නුඹ නිති
සිව් පද බඳිනෙමි ඔබ නමටම නිති
---රකිත---


Thursday, May 10, 2018

~~ වැස්සක ඇය ! ~~
















අහම්බෙන්
ගිලිහුණු
කළු
වළා තුළින්
අද හැලුණු වැසි
පොදෙන්
එක්
කුඩා බිංදුවක්


දෙතොල්
මත වැදි කල
සුව මතකයට
නැගේ
ඔබ දෙතොල්
මා මුව හා
බැඳි
සෙනෙහසින්


සිසිලස
ගත දොවන කල
සොයමි
නුහුරු උණුසුම
පෙර දිනක
නුඹ වෙතින්
ලැබූ
සිහිනයක පහසින්


දියට එක්
විලවුන් සුගන්ධය
දහදියෙන් මුසු වී
හමා එන
ඔබේ සුවඳක
මතකයන් පෙළ
කරනා
ආවර්ජනා සිතට


සනසනා ආදර
වදනින් සවන් පෙති
මුමුණා
සිහින් හඬ මුදු ලෙසින්
ඔබේ වුවනේ පහස
සිහිවන
තදබදව යන
කළ ගමන් රථ


එක කුඩය යට එකට
ගිය එදා
අද තනිව යමි
එම කුඩය දිග හැරන්
නොතනියට ඇද වැටේ
වැසි බිංදු පෙළ
අකුණු හඬ නම් ඇතේ
විදුලි එලි විහිදෙනා


යහන තනි වුවද එදා
මෙන් අද දිනද
සිතක් නම් තනි නොවුනි
පිරී ඇති හදවතින්
පියස්සක හා ගැටෙන වැසි
හඬක් පමණි අද
සීතලට සීත වූ
ගත සිතද නිදි නොමැත


සම්මත දිවියක දකින
අසම්මත
පෙමක පහසක් ලැබුමට
පතන
හෙණ හඬට බියෙන් පව
පලදෙනා කලට
නිහඬ වූ රැය පිරී
වැසි හඬින්


---රකිත---



Wednesday, May 9, 2018

~~ අපි තාම අට වසරේ බිල්ඩිමේ ~~












ගුඩු විදපු ඒ කාලේ
සමිතයාගේ ඇහැ ගාව
මතකයිද තාම ඇති
පැල්ලමක් හරි තදට...


ඉස්සරහා පේළියේ
හිටිය අර සුදු කෙල්ල
යසෝමා ගිය සතියේ
පොඩි එකා වඩාගෙන
ගිනි ගහන අව් රැල්ලේ


සති පොළේ මම දැක්කා...
මතකයිද උඹ දීපු
ලියුම් කරදහියටත්
ඒකි දුන් උත්තරය
මිනිහා රට ගිහිල්ලලු
ලියුම් කරදහි නැතිලු


මට ගණන් බෑ කිව්ව
ලලිතා දැන් කෘෂිකර්මේ
මගේ ෆැක්ටේරියේ
වැඩ නැද්ද අහනවා
ලොකු කොල්ලා උපාධිය
අරන් ඉවරයිලු දැන්...


අට වසරේ බිල්ඩිමේ
කසුන් උඹ දණ ගහන්
නැගිටපන් නැගිටපන්
හත් දොහේ දානේ හෙට
ටෙක්ලා මිස්ගේ පුතා
ඊයේ රෑ මට කීවේ..


---උත්පලා රසාංගිකා---



~~ චේතනා ඇත්තමයි ~~ මම උඹට ආදරෙයි ~~










ඊයේ රෑ කෑවේ නෑ
බඩගින්න ආවේ නෑ
මාව මට හිමිත් නෑ
චේතනා ආවේ නෑ...


කඳුළු වැස්සක් අතරේ
හේදිලා සීරුවට
නුඹ පෑව හස කැල්මේ
තනි වෙලා හීනියට


ඇත්තමයි චේතනා
තරගයක් නෑනේ මට
නුඹ එක්ක තනි වෙන්න
පිඹුරු සැලසුම් හැදුවේ....


ඊයේ රෑ මැදියමේ
නුඹේ අකුරේ හැංගිච්ච
ප්‍රේමයක් මම හෙව්වා
මට මාව නැති වෙච්ච....


හීනියට දළු දාපු
ආදරය හංගාපු
මම ඇදලා අරගත්තු
පෙම් පතක් නුඹ වස්තු


සීමාව මායිමක්
ගැන නිතර උඹ කියපු
පසු කරලා ලියනවා
මම ඒක අද දැකපු


නුඹේ අත අල්ලාන
අනන්තය වෙත යන්න
ඕන හන්දානේ මම
බාරු කිව්වේ චේතනා....


කමක් නැහැ චේතනා
මගේ දුක් වේදනා
නුඹේ එක වදනකින්
පහව යයි සේදිලා....


---උත්පලා රසාංගිකා---




Monday, May 7, 2018

~~ නුඹට ~~




වැළඳ ගනු කෙලසකද මා නුඹ
දැනම මා හිමි නොවනට  නුඹ
අහිංසක නෙතු දෙස බලා නුඹ
පවසම්ද අද වෙන්වන්නට නුඹ

සිත් සේ සිපිනු දෙතොල් යුග නුඹ
නොහැක මතු සිප නළල් තල නුඹ
එක්ව අතැඟිලි මා බැඳ සිටින නුඹ
හැර යම්ද අහිංසක සිත රිදවා නුඹ

හැඟුමක් දැනුමක් පිළිබඳ නැති නුඹ
කුමකට සිටිමිද තව නම් සමගින් නුඹ
හද රැඳි රිද්මය නම් නැත කියනා නුඹ
නොකියමි කිසිවක් පාරවනා හද නුඹ

සිරි පොද වැස්සක සිසිලස මැද නුඹ
උණුසුම පතනා මද නල වෙත නුඹ
වියෝවක පෙර මට හිනැහෙන නුඹ
දිවුරා පවසමි අහිතක් නම් නැත නුඹ

මිහිරැති මතකය ලැබගෙන වෙත නුඹ
වෙනතක යනු වස් අවසර ගෙන නුඹ
අලුත් ලොවක් තැනුමට ගමනක නුඹ
ඉතින් වෙන්ව යමු මා සොඳුරියේ නුඹ

---රකිත---



Tuesday, May 1, 2018

~~ හිමි / අහිමි ? ! ~~



සමුගැන්මට මතු වැළඳ පපු තුරට
කොඳුරමි ගීතය නුඹේ සවනතට
කල් පැමිණ ඇත වෙන්ව යන්නට
මතකය පමණක් රඳවා මුදු හදකට

කඳුළැලි සිරකර නෙතු අද්දර සිට
හඬනා හද සඟවා මදහස රැල්ලට
නැවතුම් ඇත මින් පසු හමුවන්නට
සියුමැලි ඔබ මුදු සුවය විඳින්නට

මල් පෙත්තක පහසක සුව දෙන්නට
තුරු වැල් සේ එක් වී සැනසෙන්නට
අහස් ගැබට නෙතු පා හිනැහෙන්නට
මින් මතු නොමැතිය අවසර පැතුමට

අප හට හිමි නැති සුන්දර ලොවකට
ඔහු ඔබ යන කල වෛරය නොවනට
තනි වෙමි ලොව තුළ හිමි වන මා හට
පෙර පෙම් රසයක ලොල් වූ සුවඳට

ඇද හැලෙන ආසිරි මල් වැස්සකට
සිසිල් මද නලින් මුකුලිත වන්නට
සොඳුරු හිරු රැසින් ගත දොවන්නට
වස්සානයේ මිහිර ඔබ හා විඳින්නට

ලොව සැමට හිමි එකම අහිමිකමට
හැඟුමන් නොමැති මිනිස් හදවතට
දෙපෙල මතක පමණක් ඉතිරි කොට 
අහිමි වූ ලොවක් සතුට පිරි අප හට

එක් වරක් පමණක් හමුවන අවසරයට
පවසමි එක වදනක් පමණ නුඹ හට
මුව පුරාවට ස්තූතියි යන්න ඔබ වෙතට
ආලයේ ඉගෙනුම නුඹ හා උගත්තාට

වේදනාවන් පිරි සැබෑ යථා භාවයට
ඔබ මතකයන් දෙනු ඇත එහි සවියට
දෙලොවක තනි වූ මුත් අප දෙපලට
වසන් වී දිවි ගෙවමු රුදුරු ලොවකට

---රකිත---