Sunday, January 31, 2016

වැටුප / වෙනස



ලැබුනි පඩිපත අතට මාසයේ අගට අද  
ගනිමි එය රුපියලෙන් පුරුද්දට සේ අදද  
දකිමි අඩු පඩියක්ම ඒ ගනින දිනට අද 
හෙළමි සුසුමක් මෙසේ පුරුද්දට දින අදද  

දින පහට ගාස්තුව ප්‍රවාහනය හා සමග 
වියදම්ය සති අන්තයේ එළියට නම් යෑම
සසඳමින් මිල ගණන් සිකුරාදා දිනයන්ට 
නිමා වන හැටි දකිමි බැංකු ගිණුමෙන් කාසි

දිවි මග ඉලක්කයන් සිහිනයන් එමට ඇත 
සිව් සකක් ඇති රියක සිහිනයද එහිම ඇත
ඒ සියලු සිහිනයන් බිඳ වැටෙනු දකිනු ඇත 
ලැබෙන ශේෂය ගිණුම් මාසයේ මැදට ඇත

යැපෙන්නට නොහැකි සඳ තනිව හිඳිනා මේ ලෙසට  
යැපෙන්නේ කෙලෙසින්ද කූඩු වී දෙදෙනෙකු ලෙසට
දකින්නේ සිහිනයන් කිසි දිනක සැබෑ නොවනා ලෙසට
සිටින්නේ මන්ද තව වෙනසක් නොකරමින් මේ ලෙසට  

මිතුරු දම් බැඳී ඇත වෙන්වන්න නොහැකි ලෙස 
කෙසේ නම් සිටින්නද අත වනන කළ සිහිනයන් 
වැටුප නුඹ නම් දිනා ඇත ගනිමි දැඩි තීරණයක් 
වෙන්ව ඉගිලී යන්න සොයා ඉහලම වැටුපකට

---රකිත---     


Saturday, January 30, 2016

පිළිතුරක් ආදරෙන්



සිහින දක්නට සොදූරු විලසට 
හඹා යන්නට පසුපස නොලැබෙන 
පතන්නට පැතුම් කප්පරක් උසට 
පෙර සිතන්නට තිබුනා අවසර 

ඔබ පෙම් කල ඇය ඔබට ලැබේ නම් 
මා පෙම් කල ඔහු මටද ලැබේ නම් 
අපට අවැසි දෑ අපට ලැබේ නම් 
සුන්දර වේද මේ ලොව කෙතරම්

නැවති බැලුවත් නුඹ ආ මග 
වැරදි නැත කිසිවකුත් කොතැන 
නොකරමි සරදම් උපහාස අවලාද 
පිළිගමි මිතුරෙකු ලෙස අන් පිරිස් මැද 

කෙදිනක හෝ මේ දිවි මග තුල 
නුඹ වෙනුවෙන් කෙනෙකු මැවී ඇත 
එතෙක් දයාබර සොයුර 
ඉවසන්න නොවී පස්තාපය  

වරද නුඹේ බව නොසිතන්න සැමවිට 
හුදෙක් වූ සොදුරු හැගුමක් ය සිත පෙළන 
එකඟ වන්නට බැරිවූ කල ඇරයුමට 
සමා වුන මැනවි මිතුර දහස් වර

---පුබුධිකා ගුරුසිංහ---


Friday, January 29, 2016

අපහස / මඩ මත


වැසි දිනක බිම වැටෙන
වැහි බින්දු එක්ව
දුහුවිල්ල හා පිරී ගිය
වතුර වල මඩ පාට
මහ පාරේ දිලිහෙමින්
තේජසින් උජාරුවෙන් එන
දෙමුහුන් රථ රිය සකද
මතින් ගිය සඳ වතුර වල
සියොළඟම නහවමින්
ගිය කලක ඉගිලී
කෝපයෙන් වියරුව
අත් මිට මොළවා දත් කූරු කන
සඳ සිහිවිය සෑම දින
ලබන අපහස උපහාස
ගැරහුම් ඇනුම් බැණුම්
තොපලගෙන් නිමක්
නොමැතිව


---රකිත---


Thursday, January 28, 2016

පහර ??


පෙනහළු තුළ රැඳී 
කැඩී කැස්සෙන් 
උගුරු දඬු තුළින් 
දිව මතින් දත් අතර 
මැද ලිස්සා වෙර දරා 
තුහ් යන හඬින් ඒ 
සුළං පහරින් බල නැගී 
මුසු වෙමින් වාතය අවට 
විනිවිදව පැමිණෙන 
අවකාශය තුළින්
තැම්පත් වූ සඳ කමිස 
අත මත හා හිස මත 
සිතුනි තොප අඹරා 
විකන්නට හක්කේ තබා 
හපයක් ලෙසට මුවින් 
විදුමට බිමට තොප 
එනමුදු සිහි විය සිතට 
සොච්චමට සූරා කන 
ශ්‍රමය ගත සිතේ සවි ඇති කල
ගෙවී ගිය පසු කලක 
විද බිමට විසිකරන සඳ 
සේ විලස හපයක් 

---රකිත---  


Wednesday, January 27, 2016

තීරණය ( ද ) ??


දුවනු නොහැකිය තවත් නම්
මේ ලෙස දුරක් දැන් තවත් 
හති වැටී ඇත දැනේ අද සොඳින් 
වෙහෙසක් නොව විරූ පෙර ලෙස 

සිහින දුටුවෙමි සොඳුරු විලසට 
හඹා ගියෙමි පසුපස නොලැබෙන 
බවක් දැනුනා වුවද පැතූ දෑ සැම 
සිතුවෙමි නිරතුරු ලැබගන්නට ඔබ 

මදක් නැවතී බලමි ආ මග මෙවර 
වැරදි ඇත්තේ කොතැනද කියා සඳ 
දුන මැනවි ඔබ අවවාද උපදෙස් 
නොකර සරදම් විලස අන් පිරිස් ලෙස 

වසන්තය ගෙවෙන කල පැමිණි ගිම්හානය 
පිළිගනිමි දෑත පා පිවිසෙමින් සැබෑ ලොවට 
දනිමි කාලය ගෙවී යන බව විදුලියක් ලෙසම 
ගනිමි තීරණය පමා නොවී මෙලෙසින් ඉතින් 

දිවි ගමන තනිව යන්නට සිදුව ඇත 
වරද ඔබ නොව මගේ බව දනිමි සැම විට
සමුගනිමි ඔබෙන් අද යලිදු හමුනොවන්නට
දෙනු මැනවි අවසර නික්ම යන්නට අද  

දුරක් ඇත ගෙවන්නට ගමන දිවි තවත් නම් 
ගත සවිය සිත දිරිය ලැබ ගනිමි මේ ලෙසින් 
මිතුරු මිතුරියනි අසනු මැන සවනත යොමා 
සදා තනි වෙන්නෙමි දිවි ගමන තුළ මෙමා   

---රකිත--- 



Wednesday, January 20, 2016

වරමක් හමුවන්නට

















දුරින් සිට පමණක් 
දෙස බලමි ඔබ රුව 
වදනක් පවසන්නට 
ඉඩක් නොමැති සඳ 
ගොඩ ගැසෙන වැඩ 
කන්ද නොනිමේය 
සවස් යාමය තුරුම 
ඔබේ සිනහව දකින්නට 

නොලැබේය විවේකය 
පැය අටක කාලයට 
තිරය මත පරිගණක 
ඇස යොමා සිටින කළ 
දිගටි අතැඟිලි සියුම් 
දිවෙයි යතුරු පුවරුව පුරා 
වැඩ ගොන්න නිමා කර 
සැනසෙන්න සවස් කල  

හමුවෙලා හිනැහෙන්න 
මුදු වදන් පවසන්න 
සිතේ ඇති අදහසක් 
ඔබ හදට කොඳුරන්න
කාලයක් ලැබෙන්නේ 
කවදාද යැයි කියා 
ලතැවේය සිත අහෝ 
දුරින් ඔබ දෙස බලා 

හිඳිනු මැන මදක් කල් 
පුරුදු බස් නැවතුමේ 
ඉඩ දෙන්න හමුවන්න 
පවසන්න සිතේ දෑ ඇති 
එක්ව යන්නට දිනක 
පතමු ඔබ කැමති නම්
සිටිනෙමි බලා මෙසේ 
ඔබ හමුවන්නට තනිව   

---රකිත--- 


Monday, January 18, 2016

සිරවුණු හැඟුමන්












තැත් කළෙමි තෙපලන්න 
හදේ රැඳී සියලු දෑ 
ගොළුව ගිය මුව 
ඔබ ලඟදි අද කුමක් 
වූවද නොතේරේ මුත්  
කියා දෙනු මැන 
නොකර සරදම් 

පමා වීමද ගැටලුවකි අද 
ඉඩක් ඇත ඔබද අහිමි 
වන්නට දුකින පෙර 
කෙසේ නම් පවසම්ද 
සිත්සේ සිතට නැගෙනා 
සොඳුරු හැඟුමන් 
ඔබ සවන් පත් 
තුළට මෙලෙසින්

බියක් නම් දැනේ  
පවසන්න එක් වරක්
සිරව ඇති ඒ වදන් 
මුදු හඬින් ගලපන්න 
වෙර වඩමි සිත 
දිරි ගනිමි අද 
පවසන්න සියල්ලම 
තුටින් ඔබ වෙතම සුදූ 

වේලාව පැමිණේද 
හමුවන්නට නිදහසින් 
තනිව මොහොතක් 
පවසන්න හැකිවේද 
සියල්ලම ඒ මතින් පතමි 
ඒ සිහිනයත් සැබෑවක් 
වන්නටම කාලයෙන් 
විසඳුමක් ලැබගන්න 

---රකිත---   


Sunday, January 17, 2016

මවකගේ අවසන් වදන්











නිමිත්ත - ISIS පුතු සිය මව ඝාතනය කරයි

කිව මැන පුතුනේ 
අවසන් මොහොතේ 
මා කළ වරදක් 
නුඹ වෙත මෙතරම් 
නාමය කුමටද 
දෙවියන් යැදුමට 
මෙලෙසින් කුරිරුව 
හැසිරෙනු විලසට

ඉපදුනු දින සිට නුඹ 
මගේ පුතුනේ 
ජිවය වූයේ මා හට 
සැම දින දිවියේ
වරදක් කෙරුමට 
නොතිබුණි ඉඩ කඩ 
දේව වදන් මත නුඹ 
හැදු වැඩුවෙමි 

පොතට පතට නොව 
අවියට හිත ගිය නුඹ 
පුදුමයි පුතුනේ 
නුඹ සිතනා සැටි 
එකම ආගමක් ඇදහුව 
ලෙස වුව මන්දැයි  
පුතුනි එරෙහිව 
යන්නේ මෙලෙසින් 

නොමගට යන නුඹ 
සුමගට ගැනුමට 
දුන් අවවාදය නපුරුද 
මෙතරම් දුරකට 
මවටත් වැඩියෙන් 
වැදගත් වූවද 
කළු ඇඳි ඒ රුදු 
ත්‍රස්තවාදී රැල   

ගලවා ගන්නට පාපෙන් 
පුතුනේ කීවෙමි 
අත්හැර යන්නට 
රක්කා නගරය 
දෙවියන් වෙත කිසි 
දිනක නොවුනෙමි 
අකීකරු කිව මැන 
වරද කළ මා නුඹ හට 

තබනු මැනවි එක් උණ්ඩය මා වෙත - දස මස නුඹ කුස තුළ හොවා සිටි 
තබනු මැනවි එක් උණ්ඩය මා වෙත - ලේ කිරි කර නුඹ කුසගිනි නිවූ සඳ 
තබනු මැනවි එක් උණ්ඩය මා වෙත - යහමග ගැනුමට තැත් කළ වරදට 
තබනු මැනවි එක් උණ්ඩය මා වෙත - දෙවියන් වෙත නැවතත් යෑමට 

( ISIS ත්‍රස්තවාදයෙන් බැට කෑ සියලුම මවුවරුන් වෙනුවෙනි )

---රකිත---


Friday, January 15, 2016

නිදි නැත / ඇය ඇත / සිත ???













මන්ද නින්ද ඔබ අද දින  
හේතුව නොපැමිණෙන 
මා වෙත පෙර දින මෙන් 
සුවයක් දෙන්න සිහින මැද 
ඈනුම් හරින නිදිබර දෙනෙත 
වෙහෙසද අද නැති වන්න
කිව මැන කිමද මේ වෙනස 
අද දිනයට පමණක් 

දහවල නිදා වැටුණු සඳ අහරින් 
පසුවද පෙර නොවන ලෙසින් 
එනමුදු වෙනසක් නැත මැදියම 
පසුවන කලට පෙර කලේ 
වෙනසක් දැනේ සිත තුළ 
පෙර මෙන් නොවනා සේ 
කවුරුද ඇවිත් සිත පිනවයි 
මැවෙනා සුභ සිහින මැදින් 

නිරතුරු දකින ඔබ රුව
සිත් සැනසුම කරයි මෙසේ 
ආසයි අසන්නට හඬ වරක් 
ඔබේ මුදු වදන් මතින්  
මිතුරනි මිතුරියනි මදකට 
අසනු මැනේ දෙන්නට 
හැකිද සහයක් අද  ගමන් 
කෙරුමට ඇය හදවතට මෙසේ 

බලා සිටින්නෙමි දිනයක් 
හමුවන්නට තනිව සිට 
පවසන්නෙමි සිත තුළ 
ඇති අදහස් සිත් සේ තුටින 
පතමි ලැබගන්න පෙම් සුව  
පටන් මතු දින සෑම කල 
නින්දට වැටන්නෙමි අද 
සොඳුරියේ සිහින මැදින්   

---රකිත---



Wednesday, January 13, 2016

සිත් ගත් යුවතියට මෙලෙස


දකිමි ඔබ රුව 
සේවයට පැමිණි 
සඳ දිනපතා උදෑසන 
සිනහවෙන් පිරුණු 
වත ගෙන දෙයි 
සැනසුමක් නිදි බර 
විඩා බර මනසට 
ඇරඹුමට නව දිනයක්

දුටු දින පටන් 
සිත බැඳුණි ඔබ වෙත 
එනමුදු පැවසිය 
නොහැකිය පැතුම 
මුහුණටම බිය 
වේ මිතුරු දම්ද 
නොමැති වෙන්නට 
හැකි බැවින් 

මිතුරියන් මිතුරන් සමග 
මුදු මද හසින් තුටින් 
ගෙවන පැය අටක කල 
දුරින් සිට බලා සිටිමි 
ලං වන්නටද වරම් නැති 
ගෙවෙන දින සෑම කල 
සිතිමි ඔබ වෙත මගක් 
ගමන් කෙරුමට 

දිනද සති මාස අවුරුදු 
ගෙවී යති වේගෙන් 
විදුලියක් ලෙස 
නික්ම යන්නට සැරසෙන 
වසත් කල කරයි 
ඇරයුම් ගිම්හානයට 
උදා වෙන ඇවෑමෙන් 
කාලයේ 

සිටින්නෙමි බලා උදා 
වන තුරු නිසි කලක් 
සිතේ ඇති දෑ පවසන්න 
මොහොතක් සුදුසු 
උදා වේවා සුභ කලක් 
එලෙසට දකින්නට 
සිහිනයන් මංගල 
දිනයක සොඳුරු 

---රකිත---



Monday, January 11, 2016

මතක පැරණි










ගොතන්නට පැදි පෙළක් 
සිතක් නැත මෙදින නම් 
සිහි වේය සෑම දින 
පෙර දිනක මතකයන්
එක්ව සිටිනට සදා 
පැතූ හැටි මතකයේ ඇත 
කුමක්දෝ සිදුවුනේ 
වරද කොතනද වුනේ 

නොමැති මුත් ධන බලය 
නොමැති මුත් රුව සවිය 
නොමැති මුත් තෙද බලය 
තිබුණි බල හදවතේ සවි
මද කලක් ගතව ගිය කල 
නොදැනුනිද සැබෑවක් කටුක
නොගැලපෙන බව දුටුද
හැර යන්න සදහටම 

හැර යන්න නම් මෙසේ 
කිමද ලං වුනේ මෙලෙස 
නොකරමිය තැත් ඔබ 
නතර කෙරුමට නැවත 
හැර යන්න ඉඩ දී මෙසේ 
තනි වෙමින් දුක දරා 
බලාසිටිනෙමි යලිදු 
ආදර හදක් ලඟ නැවතුමට 

---රකිත--- 



Sunday, January 10, 2016

පස්වරුවේ විභාගය










සවස එකට 
දහතුන්වන පැයට 
ලබාගතිමි පිටු 
විස්සක් ඇති පිළිතුරු 
පොත තුටින් දෑස 
එයින් පසුව තවත් 
වරක ලබාගතිමි 
ප්‍රශ්න පත්‍ර රුදුරු 

ඉගෙනගතිමි සටහන් 
පුරවා න්‍යායාත්මක 
සිද්ධාන්ත හොඳ 
හැටි කට පාඩම් කරන්න 
ඇත දිග හැර ලියා ගන්න 
දුටුව විටදි ප්‍රශ්න පත්‍රය 
අද සවස් වරුවෙ 
සිහිවිය දෙවියන්ද මෙමට 

න්‍යායයන් කොහි 
ගියාදෝ? සිද්ධාන්තයන් 
කොතැනක තිබේදෝ?
හිසින් පටන් පා මුල 
දක්වා විදුලියක් සේ ඇදුනි 
කොතනින් පටන් ගෙන 
මොනවා ලියම්දයි  
සිතුණි මට 

ප්‍රායෝගිකය ගැටලුව 
ප්‍රතිශතයෙන් සියයක්ම 
පිළිතුරු දිය යුතුව ඇත 
ප්‍රයෝගික ලෙසින් මෙසේ  
හිසේ අත් ගසා දෑස 
පිසදමා දුකින ලියන්නට 
ගතිමි වන්නට හෝ 
නොවන්නට සමත් 

රිදුම් දේය අත් තලයම 
තුවාලයක් ලෙසට මෙසේ 
දබර ඇඟිලි මාපට ඇඟිලිද 
මිරිකුණු පෑනටද තදින් 
රිදුම් දේය දෙගුණයකින් 
හිසද රිදෙයි හදවත 
ගැස්සෙයි පිළිතුරුද  
කරුණු දකිනා කලට 

එක්කර දන්නා සියල්ල 
ලිවුවෙමි දහයකටත් 
වැඩියෙන් පිටු 
සතුටුදායකයි පිළිතුරු 
ප්‍රශ්න දෙකක පමණක් 
මෙලෙසින් ඉතිරිය 
ලිවුවෙමි මිතුරේ එක් 
ලකුණක් හෝ ගැනුමට 

ගිනි පෙනෙලෙන් බැට කා
ඇති කණා මැදිරි එළියටත් 
බිය ඇති මෙලෙසට 
ලියාගන්න නොහැකිය සඳ 
අමාරු ප්‍රශ්නෙට පිළිතුරු 
ඉතිරිව ඇත්තේ තනිවම 
යැදුමට දිවි ඇසින් 
මාගේ දුක දකිනා තුරු   

තුනකින් හෝරා ගෙවිලා 
නිමා වුනෙමි විභාගය 
මෙලෙසින් 
ලඟ එන නව ඉරුදිනයේ 
අවසන් විෂයය ඇත්තේ 
සමත්වෙන්න  
පතනෙමි සටහන් පොත් 
තුරුලට ගෙන පාඩම් 

---රකිත--- 






Thursday, January 7, 2016

අහිමි වූ සරසවි පෙමට















නිමාවී යන්නට පෙර 
සොඳුරු සරසවි දිවිය 
සොඳුරියේ පැමිණෙන්න 
වරක් දැකගන්න රුව

හිනැහෙන්න අමුණන්න 
මුදු වදන් පෙර ලෙසම 
පුරුදු බංකුවේ හිඳ 
කරමු අවදි මතකයන් 

සතියකට වරක් වුව 
පැමිණි සරසවිය වෙත
කෙටි කලක් ගත වුවද
ඉගෙනගත් දේ බොහෝය 

නිමා වෙන්නට ප්‍රථම 
වරක් හමුවෙමුද අපි 
පෙම්වතුන් ලෙස නොවේ 
මිතුරු මිතුරියන් ලෙසේ  

විභාගය පැමිණ ඇත 
ලියන්නට අත් රිදෙන තුරු
දෙනු මැනවි පෙර ලෙසම 
ඔබේ සුභ පැතුම් වදන   

වසන්තය ගෙවී යන  
ගිම්හානයට ඇදෙන 
දිවි ගමන මේ ලෙසට 
යමු දුරස් වී මතුව 

පිං කරමු මේ පටන් 
එක් වන්න මතු භවේ 
මේ පුණ්‍ය භුමියේ 
සරසවි යුවලක් ලෙසින් 

---රකිත--- 





Wednesday, January 6, 2016

නව පැතුමක් / සිහිනයක්




කලකින් දිය බිඳක් නොදුටු
මරු කතරට පැමිණි බව 
හැඟුනි වස්සානය 
ඔබ දුටු පළමු දින 
ගිම්හානය දකින මුත් 
දැනේ වසන්තය පැමිණි 
බව කලක් ගතවී 
පමාවෙන් 

දිගු වරලසින් හැඩ නිතර 
සිනාවෙන් පිරී ඇත මුවග 
වැඩ කරයි කඩිසරව 
ඔබ මොබ යමින් නිතර 
මුදු වදන් තෙපලමින් 
යෙහෙළියන් හා හිනැහෙමින් 
සිත් ගතිමි ඔබේ රුව 
හිමි කුමරියක සේම

ලං වෙන්න සිත් ඇතිය 
එනමුදු බියකරුය 
අකුණු ගෙරවිලි සුළි කුණාටු
මැදින් එන්නට වරම් නැත 
සිතේ රැඳී අදහසක් 
පවසන්න ඇය වෙතට 
ලතැවෙමින් සිටින්නෙමි 
දුරින් ඇය දෙස බලා 

හමුවන්න හැකිද ඔබ දිනක 
පස්වරු යාමයේ තනිව 
සිතයි පවසන්න සිතේ 
ඇති වන්තකම ආල
සිහිනයක් දකින්නෙමි 
දිනක සැබෑවක් වන්නට 
බලා සිටින්නෙමි 
වරක් ඔබ දකින්නට මෙලෙස 

පැමිණෙන්න හිනැහෙන්න 
සොඳුරු බස් තෙපලන්න 
දෑත් බැඳ එක්ව දිවි 
ගමනෙ දුර හැර යන්න 
වරම් ලැබගනිම්ද ඔබ 
දිනන්නට හදවත 
පතන්නෙමි මෙවරවත් 
දිනාගන්නට හද වරම්   

---රකිත--- 


 

Tuesday, January 5, 2016

රිදුනු සිත / හද














පවසනු මැන මිතුරියේ 
තව වරක් කෙරුමට 
තහවුරු පෙන්නන්නට 
නොහැකි බව
මා වත සැබවින්ම 
එහෙත් කිව මැන මා 
කළ වරද නුඹ හට 
මෙසේ හිංසා පීඩා 
විඳින්නට මනසින් 
සෑම දින 

දනිමි මා වත ප්‍රිය නොවන 
බව හැම දින 
කඩවසම් නොමැත හා නුඹලා 
මෙන් උගත් නැත 
නොමැත දිවි අත්දැකීම්
නුඹලාට මෙන් සොඳුරු 
දනිමි මා වදන් හා කෙරුම් 
නුඹලාට නොගැලපෙන විටෙක
නොකරනු මැන සරදම් 
සිත් රිදවෙනා ලෙසට 

වරද කොතනද කියනු මැන 
හොඳින් අසා සිටින්නම් 
කන් යොමා නිරතුරු 
නිරන්තරයෙන් ඇසෙන 
වදන් සිත පාරවයි 
කටුක ලෙස 
නොගැලපේ නම් මිතුරු 
ඇසුරකට සුහද 
ඍජුව කිව මැන නැවතත් 
නොඑන්නට 

වෙනස්කම් යම් ලෙසක ඇති මුත් 
මම ද මිනිසෙකි 
ඇට මස ලෙයින් තැනුණු 
ඔබ මෙන් මිතුරියේ 
කුමන දෝෂද මෙසේ කියුමට 
අදට වත් නම් නොතේරෙන මා   
පෙනෙන්නටවත් නොහැකි 
සේ අප්‍රියම වේ නම් 
සිටින්නෙමි ඔබ ඇස 
නොගැටි මින් මතු 

---රකිත--- 


Friday, January 1, 2016

නව වසර / නව පැතුම්



දින සති මාස ගෙවී ගෙන ලබා ඇත 
නව වසරක් මෙලෙස 2016 නමින් 
නව සිතුම් නව පැතුම් පුබුදුවා හදවතින් 
ඉතින් එමු සමරන්න ජනවාරි පළමු දින 

පෙර වසරේ අඩු පාඩු වැරදි දුක් වේදනා තරහ  
අත් හරිමු නව වසරෙ අලුත් මිහිසුන් ලෙසින් 
මිතුරු දම් වඩවමින් ආදරය මෙලෙස පතමින් 
අරඹන්න නව වසර සුභ සිහිනයන් මැදින් 

උසුළු විසුළු අපහාස උපහාසයන් මතින් නොව 
දිරිය ආදරය දෙන වදන් තෙපළමින් සොඳුරු 
ජය ගන්න නව වසර පතන්නෙමි ඔබ සැම සහය 
ඉතින් අරඹමු ගමන නව උදා වූ 2016 වසරෙ   

ගෙවා ඇති මග දුරය යෑමට දුර බොහෝ ඇත 
එක්ව යමු තුටින් මෙලෙස සැවොම ඒකා වන්ව
ජය ගනිමු ඉලක්ක පැතුමන් සියල්ලන් එක්ව 
හදවතින් පතන්නෙමි නව වසරෙ ආසිරි පැතුම්

සුභ නව වසරක් වේවා !

---රකිත---