Thursday, August 31, 2017

~~ පෙම් සිත වියපත් ~~


නෙතු කොනින් බලනු මුත්
වරම් නැත නෙතු උරුමයට
මුදු සිනා පානු මිස සුහද
වරම් නැත පෙම් සිනාවට

දිගු වරලස කාල වර්ණිතව
නීල නෙතු වදන් තෙපලන
වුවන මනරම් මද සිනා පිරි
ගමන හැඩකාර සිත් බඳින

සිහිනයෙන් පෙනෙන මුත්
පෙමින් නම් වෙලෙන්නට
නිරතුරුව මවන්නෙමි සිත
සතු කරන්නට නුඹ තුමුද

තුරුණු සොඳුරු මිතුරියන්ද
එක්ව හිනැහෙන බස් දොඩන
නුඹ අයිති ඒ සොඳුරු ලොව
අහිමි සඳ තුමු කුමක් කෙරුමට

යෞවනය කරවනා මන් මත්
විඳින ඈ මිහිරි පෙම් සිහිනයද
දුරස් වී සිට බලා සිටිනෙමි අද
නෙළා ගැනුමට නොහැකි මල

තෙරපෙනා සිතුවිලිද අතරින්
කියා පෑමට සිතක සෙනෙහස
නොදන්නෙමි කෙලෙසකට නම්
හරස් වන සඳ තුමු ගිම්හානයද

කල්පිතයෙන් පිය මනිමින් පිට
පා තබා යථාර්ථය ලොව දකින
පමා වැඩි තුමු කුමක් කරනු මිස
ගිනි ගත් සිතද ගත දාහය නිවනට

සිහින ලොව පමණ නුඹ හිමි
සැබෑ ලොව නිති පෙළෙන්නට
නොදන්නා නුඹ සිත් තබා ඇති
පෙම්වතා වෙමි සිටින වියපත්

---රකිත---



Wednesday, August 30, 2017

~~ හැර ගිය පසු ~~










පවසමි වදනක් තුටින්
වදනින් නොව සිතින්
කෘත ගුණ දක්වමි
හද පතුලෙන්
නික්ම ගිය
නුඹ සුවඳට පවා


නිරතුරු මතක පොත්
පිටු මත රැඳෙනා
නුඹයි මා මන්මත් කළ
සොඳුරු කුමරිය
නිමා නොවනා
කාලයක් මැද


හිරු සඳු දිලෙනා කලක
අව් වැසි ඇති විටෙක
නුඹ සොඳුරු සිනහ කැන්
සිහි වේය නිරුතුරුව
තනිවන්න අවසරද
මතකයන් අද්දරක


කාලයා ඇවෑමෙන් නිති
දිය කර හරිනු ඇත
නුඹ මතකයන් විටක
සොයා යනු ඇත නමුදු
අකීකරු සිත් මඬල
ඒ සොඳුරු මතක පෙළ


කඳුළු බිඳු නැගෙන මුත්
සිර කරමු එය නෙතේ
පතන්නට නව ලොවක්
සොයනු වස් කාලයක්
හදවතක වේදනා
නොඇසෙන්න නොදකින්න


සිනාසෙන්නට වෙර දරමි
සිරකරන් වියෝ දුක
පෙනේ නම් නුඹට මා
වෙසෙනා තැනක සිට
හමුවෙමුද එක් දිනක්
දිවි මඟේ එක් වරක්


අපහාස උපහාස නොව
සරදම්ද ඇති පමණ
දෙසවනට හුරුව ඇත
දසතින් ඇසෙන
වියෝ දුක් උන් සැමට
වී ඇතිය කට ගැස්ම


ගෙවී ඇති වස්සානයක
ගිම්හානයේ දොරටු අග
සදා තනි වන්නෙමි
රැඳි මතක අතර මැද
පතමි පෙම් සිහිනයක්
සසර නිම වනා තුරු


---රකිත---



Sunday, August 27, 2017

~~ ගොදුරු වූ සුව ~~


නිහඬ වූ රැයක මැද
නිහඬ නොවනා හදක
නිසල සිත තුළ නිතර
චංචල සිතුවිලි දැහැන

අවදි කරවන නිති
සිහින ලොවක රුව
කවුරුන්ද නුඹ කියනු
සිහින කුමරියේ සොඳුරු

අඳුරු රැයක ලොව නිදන
සොමි කිරණ මත පා තබා
වා තලය අතරින් පාවෙනා
සියුමැලි බොළඳ සුදුමැලි

කවුළු පියන්පත් අතරින්
ආරාධනා ලබා මුවින් තුමු
පැමිණෙන විලස කුටියට
දහසක් දෑ බලාපොරොත්තු

වදන් තෙපලන නෙතින්
මන්දාස්මිත බවින්
ගිලිහෙනා සතියෙන්
සියල් ගත නුඹට නතුවන

තුරු කඳක වෙලෙනා ලතාවක
සියල් නිල අවදි කර දෑඟිලි තුඩින්
මවන ලොවක නොදුටු මනරම්
සොඳුරු යෞවනය කර මන්මත්

නුපුරුදු උණුසුම මතින්
නුහුරු සිසිලස දැනෙනා
සිපින බල නහර යුගල
නුඹ මුවින් අතර සුසුමන්

නාදළු දෙතොල් අතරින්
නෙරා ආ රදනක දතින්
සිදුරු කළ බල නහරයන්
සිත් සේ උකහා ගනු ලෙසින්

පහවූ සතිය පැමිණෙනා සඳ
පමා වැඩි කිම ගලන රුහිරය
පිසාචිය නුඹ මිනිස් වෙස් ගත්
ජීව රුධිරය ඇතිද නුඹ හට ඉරූ

ගොදුරු වුව නුඹ සොඳුරු රුව
දුටු නෙතක සිරි හද ගැසෙන
කැඳවනු මැන මා නුඹ ලොවට
විඳිනු වස් සදාකල් වසන්තය

---රකිත---



Tuesday, August 22, 2017

~~ මනාල සිතුවිලි ~~













නෙතින් නෙත ගැටෙන සඳ
දෑතින් තුරුලුව
විඳිමු සුසුමන් තබා මුවින් මුව
හද ගැබේ නාදයට

යොමනු සවනත
ලැමදේ තුරුලුව
විඳිමු එක් මොහොතක්
ආලයේ සොඳුරු බව

සිහිනයක් වන්නට නුඹ
නිදි සුවය විඳිනා
සිසිල් සුවයක උණුසුමක
පහස සොයනා

එක් වන්න වරම් ලද
දිනක තුටිනා
ගිනිගෙන දැවෙනා ආත්මය
සැනසුමට ආලයෙන්

සියුමැලි සොඳුරු නුඹ
ස්පර්ශය සුමුදු ලෙස
සන්ධ්වනියකිය මිහිරැති
දැඟිලි මතින් සැලෙනා

කෙහෙරැලි අතර
සුපිපෙන්න කුසුම් පෙති
වයන්නට අවසරද
රාගයේ කන්කලු නදින්

නුඹද මමද අද
ලඟා වනු වස් උණුසුමින්
රාත්‍රිය මනරම්ය
උතුරනා රෝමන්තිකයෙන්

අවසරද වැයුමට මිහිරෙන්
ගැයුමට මුදු හඬින්
ජීවන ගීතිකවක තාලයෙන්
සසර සැරි සරනා තුරා

---රකිත---



Thursday, August 17, 2017

~~ ?? ~~


පිනූ සඳ වළාපෙළ මතින්
මද නලද සමගින්
පාවී විත් සැහැල්ලුවෙන්
තුමු නළල් තල මත

සිපගන්නා සඳ
අකල් වැසි බිඳුව නුඹ
සනසවන සියොලඟම
දෝවනය කර නිති

සිසිලස අතරින් සොයන
නුඹ නුහුරු උණුහුමට
ගුලි වෙන්න සිත් සේ
සිතක් දකිනා සිහින

බිරුමේ අඳුරු ලොව තුළ
හෙණ පුපුරණ එළි
ගෙරවුම් අතර
සැපයක පහස විඳිනා

වරම් නිරතුරු සෙවුම
නොමැති වෙලා හෝරා
කිමද තනිකමද
නිමක් නොවනා කල

අඳුරු ලොවක තනිව
නෙතු ගැටෙනා රිදී රේඛා
සොයන්නෙමි කෙම් බිම
මිරිඟුවක් අසබඩ සිට

මැදියම් රැයක නිති
නෙතු නොලබන නින්ද
වෙර දරමි දැකුමට
නොදකිනා සිහිනයන්

නොලැබූ මුත් කිසිත්
නොයමි හැරලා ලොවක්
දිනුමට තරගයක් නම්
ඇත තුමුට සිත යොමන්

---රකිත---



Tuesday, August 15, 2017

~~ අවකාශ මොහොත ~~












නෙතු පියා සිටි සඳ
මැවෙනු නුඹ රුව මිස
අන් කවරද සොඳුරිය
විවර වන සඳ මග ආලෝකයේ
නොපෙනේ කිසිවක්
නුඹ හැර මා ප්‍රියේ


තාරකාවියේ නුඹ
අහිමි කළද දෙවය
විහිදුවනු මැනවි
රැස් දහරාවන්
මගේ ලොවට


පපුතුරේ රැඳි සුසුම්
ගොන්නෙන්
සීත සුළන් රැළි
හමා එන විටෙක
හදවත නැවතුමක සිටි මුත්
ගමන යමි සිහිනයන් වෙත


නිම් නොමැති
අවකාශයේ
දිළෙන තරු පොකුරු මැද
සොයන්නෙමි
නුඹේ රුව
සමුගත් මුත් මතු කලක


මතු දිනක සිටි යමෙකු
පා නගනු ඇත මේ මගම
හදවතේ වදන් මත
බිඳී විසිරෙනා සඳ ලොවම
ඉදිරියට යනු මැනවි
ජය කණුව වෙත නිබඳ


---රකිත---


Thursday, August 10, 2017

~~ සිතක සටහන් ~~


නිදි බර දෙනෙතින්
වියවුල් මනසසින්
බර වූ කල හිසින්
සොයමි සැනසුමද

නේක කවි සිතුවිලි
මතින් කළ ගෙත්තම්
නොඑයි නම් සිතුම්
පාෂාණීභූත ඇත හදින්

හිසටත් උඩින් වැඩ
ගොඩගැසෙන සඳ
අධ්‍යාපනය මෙලෙසට
ශාපයක් වූ කලක

පැවරුම් ගොන්න සිත
රිදවයි කන්තෝරුවේදීද
ව්‍යපෘති පාඩම් විභාග
අවුල් වියවුල් කරන හැඩ

කෙටි කලකට සීමා වුවද
මනස නිදහස් නොවන
ගුරුන්ගේ ක්‍රියාවන් මත
කුමන සරදම්ද ලොව

විඳින්නට ලොව සුවෙන්
නිදහසේ සිරි බලන්නට
ලතැවේය සිත අද දුකින්
සිරව ගැටලු අතර මැද

සටහන් අතර දිවෙනා කල
නෙතු පතයි මනරම් දසුන්
පරිගණක තිරය මත වුව
වරම් නැත නෙතු පිනන්නට

තව ටික දොහයි දුක විඳුමට
සැනසුම ඇත ලබන මස මැද
ජය ටැඹ පෙනෙනා මානයක
විඳිමි දුක් සතුටක් දැකුමට

---රකිත---



Monday, August 7, 2017

~~ රැයක මිහිර ~~



ගෙවනා මුත් රුදු
අඳුරු රාත්‍රිය
නින්දක් නම් නැත
සිතද අවදියෙන්

ඝනඳුර අතරින්
පාවී එන සෙවණැලි
බියපත් කරවයි හද
නිම් නැති ලොවකට

කිසිවෙකුවත් නැත
තනිකම නම් ඇත
නුමුදුද මද නල
පිරි නිහඬව නිති

මායා රූ සපු ඇඳෙනා
නෙතු අද්දර
රැය තව තරුණයි
නුඹ අද කොතැනද

කිරි සුදු සේලය
ගත දවටාගෙන
අනුරාගී සුරූපී
බැල්මෙන් හිනැහෙන

පියමන් කරනා මාවත
අද්දර සිට කරනා සන්
අඳුරු රැයක සැනසුමකට
සුවය සොයා රතී

රැළි පිට රැළි නැගෙනා
ලෙස නුරා සයුරෙන්
සුසුමන් කෙඳිරිය
සවනත වැකේනා සඳ

කළඹා මුළු ලොවමද
නිමවා කුණාටු සයුරෙන්
සැනසෙමි තුටු ලෙස
ජීවය විඳිමින් අද දින

ආශා බරිතව විඳි වේදනාවෝ
සැනෙකින් වන්නට සුව
සුර ලොව මවනා රිසි සේ
නුඹමය සිත් ගත් සොඳුරිය

නූපන් ලොවකට විඳිනට
රස පහසින් පිරි
සිහිනය දකිනෙමි අද
මිහිරැති නින්දෙන්

---රකිත---



Wednesday, August 2, 2017

~~ අහිමි සන්නාලියට ~~


මුවින් බිණි සඳ
සිනාවෙන් පිරි
උපහාසය මුසු
වදන් පෙළකින්

පෙනුම හැඩ දුටු
ඇයගේ නෙතු අග
සිතනු ඇත තුමු
පෙනුම පරිණතව

පැසුණු නර කෙස
අකලටය සොඳුරිය
මුත් පරිණත බවද
තුරුණුය සිත සෑම

නුඹත් නොදකින
නුඹත් නොදනින
කතන්දරද ඇත
සිතක් හඬවන්න

රම් නොමැති කළ
කිමද සන්නාලියේ
නුඹත් හිනැහෙන්නේ
මුදු හඬින් මුතු වැලක

අහිමි බව දනිමි ලොව
නුඹ සිටින තැනට දුර
අවැසි නැත කරුණුද
නික්ම යන්නට මෙසේ

රැඳී ඇත සිත් කොනක
නුඹේ රුවද නිරතුරුව
මතු දිනක දකින මුත්
කිසි දිනක ලං නොවන

හමුවන්න දිවි ගමනෙ
නවාතැන්පළක මතු
සසර සැරි සරන තුරු
පතන්නෙමි නුඹද සුදූ

---රකිත---