Sunday, September 20, 2020

~~ සිතුවිලි ~~

 


කේශ තුරු මතින්

පුන් සඳක් පායනා විලස

ඇද වැටෙන තුරු ලෙසින්

කෙසත් ඉදිරී වැටෙන

 

වියකෙනා ලවනතට

සොඳුරු බව රැකගන්න

වරම් නැතිවා නොවෙද

තුරුණු කම ලැබ ගන්න

 

කාලයා බැට දුන්නු

දශකයන් ගණනකට

සඟවන්න හැකි වේද

මුවා කර අන් සිත්ද

 

ඉඳ හිටත් සවනත වැකෙන

වයස්ගත කතාවට

දොසක් නම් නොකියමිය

සත්‍ය හිරු සේ නිතර

 

සිතුවිලිත් සොඳුරු වුව

නොවේ මිහිරක් පෙර ලෙසින්

අනියතක් පසක් වන

මොහොතකට සම වදින

 

හිමි අහිමි වූ දෑට

කලකිරෙනු කුමට තව

නිමා විය වසන්තය

පැමිණි සඳ ගිම්හානයට

 

කල් නොවේ රකින්නට

ගෙවෙන විට කාලයට

නොදැන නොව ආලයට

සිප ගන්න නුඹේ වත

 

දෙනු මැනවි අවසරය

නුඹට පෙම් බඳින්නට

වියපත් හදකට වුවත්

උරුම වස්සානයට

 

මදක් කල් ඇති ලොවක

හිරු බසින විට දිවිය

සැන්දෑව විඳගන්න

මනරම් ලෙසින් ඔබ සමග

 

තවත් එක් වතාවක්

හමුවෙමුද සුපුරුදු ලෙසින්

මතු සසර හමුවන්න

පැතුම් රැගෙනා හදට

 

---රකිත---




Monday, September 14, 2020

~~ ඉඳ හිටත් ~~

 


වසන්තය අගට ඇති 
පිපී හිනැහෙන කලක
වරම් නැති කල නුඹද
නෙළා යන්නට රැගෙන

දොරකඩට පැමිණි සඳ
ගිම්හානයේ රුවක තතු
දැන දැනත් නොකළ යුතු
මිහිරි සුව දෙන හැඟුම

මායිමෙන් ඔබ්බකට 
විතැන් වූ ආලයට
හිමි නොවන මුදු නුඹද
සිතින් පෙම් බැඳි රඟද

දුරක් යන්නට ගමන
නුඹ යනෙන සැටි දකින
දොසක් නම් නොම කියන
වසත් කල නුඹ විඳින

නිමා නොවනා සසර 
වරක් නැවතුම් කියන
ජීවිතය උරුමයක් නැති
පසු තැවෙනු කුමකටද

දුරින් පිපි මල් කැකුළු
බලා සැනසෙමි නිබඳ
සිටිමි මා දුරට වී
පිපෙන්නට නුඹට මතු

---රකිත---




Sunday, September 6, 2020

~~ ඔබ සොයන සයනය ~~


සති අන්ත රාත්‍රියක
හිමින් හිමින් සීතල
කිතිකවන විරාමයක
මොන මොනාදෝ හිත
අවුස්සන එක් නිමේශයක


තනිකම පාලුවට
බෙහෙත් නෑ රාගයට
ගිනිගෙන දැවෙන 
මගේ සයනයට,
එන්න සිසිලස
කිඳුර විගසට


රාග ගිනි නිවාලන්න
රමනයේ පරතෙර විදින්න
හැගුම් සිත් සනාලන්න
තනිකම පාලුවට
ඔබ ඔසුව වන්න


හිමිහිට තුරුල් වෙන්න, 
සිත් පුරා සිපගන්න
ආදරෙන් කියාලන්න
ඔබ මගෙයි පවසන්න,


--- කලිඳු රණසිංහ ---




Friday, September 4, 2020

~~ ඇයට ! ~~



නෙතු අගින් හෙළන බැලුමන්
නොදුටුවා ලෙස සිටින
ඉඳ හිටත් හෙළන සුසුමක් 
නෑසුනා ලෙස සිටින

සුරත දැඟිලි ගැටෙන 
ලෙස ඉඩක් දී සිටින
කියන්නට වෙර දරනු 
කුමක් නුඹ හද සිර කරන්

හිමි අහිමි කම් වලට 
තැවෙනු කිම කල් ගතව
නව ලොවක් ඇත නුඹට 
ජය ගන්න මතු කලට

වසන්තය ගෙවී නැත 
මකරන්ද තවම ඇත
පමා වනු කිමද නුඹ 
පැමිණෙන්න සැබෑ ලොව

නුහුරු මග ගමන් කළ 
මංමුලා වූ කලක
අඳුරු ලොව සිර කෙරුනු 
යොවුන් විය ගෙවී යන

විඳවනා දිවි මගක 
ගමන නම් තව කුමට
නුඹට ඇත වරම් ලැබ 
ජිවිතේ රස ගන්න

අහිමි වූ කාලයට 
ශාප කරනා ලොවක
ඉතිරි වූ දෑ රැගෙන 
නික්ම යන කල දකින

ඉතින් මා නුඹට අද 
දෑත් බැඳ සෙනෙහසින්
පොරොන්දුව දෙමි මෙලෙස
සුරකින්න සෙනහසින්

බිය වෙලා ලොවක් ඇති 
ගතානුගතික මනු දනන්
දොස් නගා පවසාවි 
රොස් පරොස් වදන් ගලප

නෑසු කන් ඇති විලස 
උන් ගණන් නොගෙන සිට 
නව මගක් තනමු අප 
ඒ සොඳුරු ලෝකයට

---රකිත---