Tuesday, March 29, 2016

~~ යථාර්තය ?? ~~











වරක් බලා
යළි නොබලන
හිස ගස්සා
පසෙකට යන
කරදර
බැල්මෙන්
මුමුණන
කුමන අරුම
මෙලෙසින්
යන

නෙතු
කොනකින්
බලන කලක
අප්‍රිය බැලුමන්
හෙළන
සඳක
පසු කරගෙන
ඉවතට යන
කිමද වරද
කළ මා

ලැබෙන කලට
අවස්ථාව
පිට පිට
වදනින් හී සර
මුළු තලයට
ඇසෙන නදින්
කරමින
අපහස උපහාස
හදද සිතද
පාරවන්න

දනිමි කඩුව
මුවහත් නැති
ශිල්ප සතර
ඉහළ මට්ටම් නැති
අයත් නොමැත
එන්නටද බැරිය
පොෂ් රිච් සමාජයට
සිතේ නිතර
නොගැලපෙන්න
ඔබ සියල් සමග

දකින කලක
ප්‍රියමනාප
නැති වග නම්
දැනේ මුහුණ
කතා බහද
හැසිරෙන හැඩ
නොදිරවන්න
ඇති බව
සැක හැර
දැනෙන්නේ

වෙනසක් නම්
කළ නොහැකිය
පෙර කළ දෙන
කරුමය ඵල
හැඟවෙන්නේ නම්
නුසුදුසු බව
තව දුරටත් මෙලෙසට
පවසනු මැන ඍජුව
මුවට අත්හැර
යෑමට වෙනතක

දනිමි සොඳින් නිතර
නිසි දෑ නිසි කල
නොකළ බවට
අල්පය වයසට
හා සමව ලැබූ
සමාජයීය දැනුම
එමෙන්ම දනිමි
නුඹලා මෙන්
බ්‍රයිටෙකු
නොවන බවට

තනිව ගෙවමි
දිවි කතරම
හැකි තුරු
අනුනට බරක්
නොමැති
දරන්නටම
නොහැකි කලක
තිතක් තබමි
රුදු දිවි
ගමනට


---රකිත---


Monday, March 28, 2016

~~ උණුසුම් දිනක පහස / සිතුවිලි ~~




නුබ ගැබ දිලෙයි නිල් පැහැයෙන් වළා නැති
හිරු දෙවි දිලෙයි හිස් අහසට තනිකමක් නැති
රිවි කිරණ සිපින මිහිකත නම් සිසිලසක් නැති
කුමන අරුම දාහය වසත් කල කිසිදාක නැති

ගෙවෙන රැයක දැනෙනා සිසිලසක් නැති
නැගෙන අරුණ දැනෙනා සිසිලසක් නැති
යනෙන දිනක දැනෙනා සිසිලසක් නැති
විඳින කරුම දැනෙනා සිසිලසක් නැති

පුරා දිනක දහදිය ගත වැගිරෙන්නේ
සිසිල් ජලය නිති ගත සිත පුබුදන්නේ
වියළි කලට නින්දක් නැත පැමිණෙන්නේ
දරනු කුමට දාහය අද මෙලෙසින්නේ

උදයක සුවය නොලැබෙන උණුසුම් උදය
දහවල මිහිර නැත අද චණ්ඩය හිරු එලිය
සවසක පහස නැත දාහය ඇත අවර හිරුය
රැයක සිසිල නැත නොලැබෙන නිදි සුවය

ඵලද නොමැත තුරුලිය පෙනුමක් නොමැති
සෙවණ වුවද ගිනියම් ඇත තුරු පාමුලැති
රැඳිය නොහැක පිටට ගත දවනා හිරු එලියැති
නපුර කිමද සියල් සතුන් විඳවන මෙලෙසැති

උගුරු දඬු දවන නිම් නැති පිපාසය දුකකි
දහදිය දමන ගත දවනා නිති දාහය දුකකි
නිතර කිපෙන සැනසුම් නැති සිත දුකකි
කරන කලට වැඩ උණුසුම් දිනයක දුකකි

ගතට සිතට සැනසුම නැති උණුසුම දරනු බැරි
පිටට ඇතුළ සිටුමට නැති උණුසුම දරනු බැරි
වැඩට කලට කරනට නැති උණුසුම දරනු බැරි
නොමරා මැරෙන ගති ඇති උණුසුම දරනු බැරි

සැනසුමට මිහිකතද වියළි ඉරිතලා ගිය
සැනසුමට තුරුලියද මැලවි ඵල නැතිව ගිය
සැනසුමට සියල් සතුන්ද පීඩිතව ගිය
සැනසුමට දිය බිඳක් හෙලනු මැන දිරිය

( රුදු නියඟය නිමා වී මහ වැසි ලැබේවා ! )


---රකිත---

Friday, March 25, 2016

~~වැසි කවියක්~~




නීල වළා රොද බැඳෙනා - නුබ ගැබ අඳුරට වන්නා
සිසිල් මද නලද හමනා - වැහි බීරුම මග එන්නා

සිරුරෙහි හිරිගඩු පිපෙනා - සිරි හිරිකඩ ඇද වැටෙනා
නුබ ගැබ හෙණ එලි එන්නා - වැහි රැල්ලක් ඇද හැලෙනා

දිය බිඳු මිහිකත සිපිනා - සුළඟට තුරුගොමු වැනෙනා
ගඟ ඇළ ළිඳ උතුරන්නා - දිය මත මඩ ඇතිවෙන්නා

සිසිලස ගත දැවටෙන්නා - නිදි සුවයක් ලැබගන්නා
නැවුම් සිහින දැකගන්නා - මුදු සුවයක සැතපෙන්නා

දිය රැළි පහළට ඇදෙනා - ගෙඹි හඬ නිරතුරු ඇසෙනා
කුඩ දිග හැර පිටටම බසිනා - තුටු ලෙස පිරි වැසි නැටුමා

තුරුලිය වැල් දළුලන්නා - ළිං වැව් පොකුණුද පිරෙනා
ගත සිත දෙක පුබුදන්නා - තුටු ලෙස වැසි ඇද වැටෙනා

කෙත් වතු නිල්ලෙන් පිරෙනා - ගඟ ඇළ දොළ සවි කරනා
සිසිලෙන් ලොව සනසන්නා - නැවුම් දිනක් ගෙන එන්නා

ගංවතුරක සේයා එන්නා - ඉපනැල්ලේ පහුරක් පදිනා
මසුන් කෙළින සැටි දකිනා - දියක පහස ලැබගන්නා

රුදු නියඟය නිමවන්නා - මනු සිත ගත සනසන්නා
දිය ගොඩ සරු කරවන්නා - මුළු ලෝකය ගලවන්නා

නිති දාහෙන් දුක විඳිනා - අප වෙත අනුකම්පා කරනා
වැසි දෙවිඳුනි වැඩ ඉන්නා - මහ වැසි ලොව එවනු මැනා


---රකිත---


Thursday, March 24, 2016

අපූරු සිහිනය

 








සිතින් දකිනෙමි
සිහිනයක්
සුළඟිල්ලෙන්
අල්ලා ගෙන
සුරතල් සිනහා පිරි
කුඩා දියණියක්
වසරක් වයසැති
කුඩා පුතු
රැගෙන
එක් අතකින්
සිහින කුමරිය
පැමිණේ
පෙර මා පැතූ
තුටින් විඳින්නෙමි
ආදරය
සෙනෙහෙබර
කුල කුමරියද
කුඩා දරු
දෙපෙල හා
සම උපාධි
සුදුසුකම
මනරම් නිවසක
අසිරිය
සිව් සක රියක
අයිතියද
ඉහළ වැටුපක
විධායක
ශ්‍රේණියේ උසස්
වීමක්
පැතූ සැපවත්
දිවිය
අත පොවන
මානයේ
බිඳී යයි
හිස වදින සඳ
රථ කවුළුවේ
වදින කළ
හොරා මාපකයේ
සිනුවේ නද
උදෑසන


---රකිත---




Monday, March 21, 2016

අවාසනාව ? කරුමය? ලැබිම ?











විටෙක සිතේ
කෙතරම්
අවාසනාවන්ත
වීද මා
සබඳ
පිළිගත් පෙනුමක්
හැඩක්
නැති
මුදල බලය
සමාජ
අපේක්ෂා නැති
වන්නන්නට
නොමැති කඩුවක්
මුවහත්
අධ්‍යාපන ලබන
මුත් සමාජ
පිළිනොගත්
නිසි කල
වයසේ
නිසි දෑ නොකළ
කරුමයට
විඳවන තනිව
නොලැබෙන
ප්‍රේමයක්
අපහස උපහාස
උසුළු විසුළු
ගැරහුම්
නිති ලබන
කෙසේ නම්
විඳවම්ද
උසුලම්ද
කරුමය මෙසේ
ලැබූ පිනැති
මිනිසත් බව
නොමිනිසුන් මැද
දිවි ගෙවන
නිතොර

---රකිත---




Thursday, March 17, 2016

සොඳුරු මිතුරියගේ විවාහ උත්සවය





කලක පටන් දැන හැඳින
සිටි මිතුරිය සොඳුරු
උදයක හමුව දෝතින්
දුනි මඟුල් ආරාධනා පත
කරුණු අවැසි නැත

නොපැමිණ සිටි නොහැක
මිතු දම් නිමයි නොපැමිණි
කළ මඟුල් ගෙට
පුරුදු මද සිනා මැද ඇරයුම්
ලැබගතිමි මංගල්ලයට

පිං සිදුවන්නට රියදුරුට
පුද්ගලික බස් රථය පැදි
ගිලිහුනෙමි දැකගන්නට
මොහොත ඒ පෝරුවේ
චාරිත්‍ර පැවති උදාරත්වය

හිරු මුදුන් වන මොහොතෙ
හාත් පස ගිනියම් වන කලක
ලඟා වුනි මග ගෙවා කෝපෙන්
විවාහ මංගල දිනය පවත්වන
ඒ සොඳුරු නැවතුම වෙතට

පුරුදු මද සිනාවෙන් ඔබ
පිළිගැනුම ලැබගතිමි
සොම්නසින් සිත පිරුණි
ඔබ පැතූ සිහින සැබෑ වුනු කල
මේ සොඳුරු නිමේෂයේ

නේක පැහැ ගත් විදුලි එළි මැද
ගැයුම් වැයුම් වැනුම් නැටුම් මැද
හඬ ගැටෙනා මධු විත බඳුන් මැද
සිනහා ඉතිරෙනා මුදු කියුම් මැද
මඟුල් සිරිය පැතිරේ සිරියාව මැද

රැගෙන මල් කළඹ උඩරට මනාලිය
රැගෙන අතිනතද ඔහු හා තුටින පැමිණ
සැම වෙතට ගොස් හඳුන්වා දෙමින්
ඔවුනොවුන් වෙත තුටින් ඒ දෙපෙල
පැවති සේයාව ජය ගැනුමක සොඳුරු

මංගල භෝජනයෙන් පසු රසවත්
සංගීත නාදයෙන් මන්මත් කර සිත්
බලා සිටියෙමි සූදානමින් කැමරා නෙත්
රුව නැගුමට පිටත්ව යන නැකතටත්
තුටින් කෙරෙන මංගල යුගල නැටුමටත්

සමුගැන්මට පෙර ඇයගෙන්
අත තැබිමි සුභ පැතුම් පත
තිළිණයක් සමගින් පැසසුම්
සුභ පැතිමි දෙපලටම
සොඳුරු සුභ අනාගතයකට

සමුගෙන සියල්ලන්ගෙන්
පැමිණෙන ඒ මොහොතේ
නොදැනුනා නොවේ කෙදිනද
සැබෑවක් වන්නේ තුමු
මංගල සිහිනය සොඳුරු


---රකිත---



ඔබගේ මතු දිවියට මගේ උණුසුම් සුභ පැතුම් දිලිනි වත්සලා මිතුරියේ !


Monday, March 14, 2016

සිතට දැනෙන කවි සීපද


උකුල හැඩ වෙන්නේ කාලයක් තිබුනාම
බෙල්ල හැඩ වෙන්නේ මුතු පොට තිබුනාම
මුහුණ හැඩ වෙන්නේ සිනහව තිබුනාම
කෙල්ලෝ හැඩ වෙන්නේ කොල්ලන් හිටියාම

බොඩිය හැඩ වෙන්නේ සික්ස් පැක් තිබුනාම
කොණ්ඩ හැඩ වෙන්නේ ජෙල් තෙල් ගෑවාම
මුහුණ හැඩ වෙන්නේ රැවුලක් වැව්වාම
කොල්ලො හැඩ වෙන්නේ කෙල්ලන් සිටියාම

හැඩට ඉන්න පුළුල් උකුල ඕනෙමද
මාල නොමැති කරක හැඩක් නැතුවාද
සිනා නොමැති වතක අසිරි දැනුනාද
හැඩට වැඩට ඉන්නට කොල්ලන් අවැසීද

කෑලි හයක ගතට වඩා නේරූ උදර සුන්දරදෝ
ජෙල් තෙල් නැති කොණ්ඩය අඩු හිස මුදුනත සුන්දරදෝ
රැවුල කපා ඇති පිරිසිඳු වත කෙතරම් සුන්දරදෝ
කෙල්ලෝ නොමැති තනි කඩ දිවියම මෙතරම් සුන්දරදෝ

ජැන්ඩි පහට හැඳ පළඳා විලවුන් ඉස ගත පුරාවට
කොණ්ඩය හැඩ වැඩ දමලා රැවුලද සකසා මුව පුරාවට
කාසි පනම් කාඩ් පතද  ස්මාර්ට් මෙවලම් ගෙන අත පුරාවට
දෙමුහුන් රථ ගායෙන් රිච් පොෂ් රවුම් ගසයි නුවර පුරාවට

ගතින් අඩක් පමණ වැසෙන සළු පිලි ගත දවටා ගෙන
මුහුණ අතද පය නියපොතු මේකප් තලියෙන් වසා ගෙන
ඉංගිරිසිය මුසු බසකින් මුදු හඬකින් දොඩමළු වෙන
රිච් පොෂ් කොල්ලන් එක්කම ඉගිලී යති නිදහස් වෙන

රථයක් නැති මුදලක් නැති බලයක් නැති ඒ අතරට
සැපයක් නැති හොඳකුත් නැති කරුමය ඇති ඒ අතරට
දුකකුත් ඇති විඳවුම ඇති මමද අයිති ඒ අතරට
දුරක සිටන් බලා සිටිමි දස්සන විසූක ඒ අතරට

හැඩයක් ඇති කොල්ලන් ඇති හැඩයක් ඇති කෙල්ලන් ඇති
දුක සැප දෙක නිති පෙරළෙන කල් ගතවන ලෝකය ඇති
හැඩයක් නැති රිච් පොෂ් නැති අසරණ කම ඒ තුළ ඇති
නිහඬව නිසලව සිටිමින් සිතමි යථා බව එහි ඇති

---රකිත---


ආරම්භක කවිය චතුර රංගන මහතා විසින් නිර්මාණය කරන ලදී