පාෂාණිභූත අසුන් මත
බොහෝ කල් ගෙවී ඇති
පෙඳ පාසි බැඳී ඇත
සරසවිය සිහිනයක් වන
දශක ද්විත්වයට පසු
සති අගට එන කලට මතු
පමා වැඩි වූ ලෙසේ
තනිකමට හුරු වෙච්ච
හදවතක් හිමි වෙච්චි
දැනේ පාසි බැඳී ඇති
පාෂාණිභූත බංකුව විලස
හමුවන්න සමුගන්න එහි
කිසිවෙකුත නොවූ සඳ
බලා සිටිමි උදාවන තුරුත්
ගිම්හානයෙන් වසන්තය
හමන මද නල සිසිලසක් දෙන
තුරු සෙවණ එහි මනරම්ය
එන්න හැකිවාද තවත් එක් වරක්
හමුවෙන්න පෙර ලෙසින්
වරම් නැති වූ සඳ එහිද
පමා වූ කල් ඇතිවා නොවෙද
හිමි නොවුනු ඒ යුගය
නොවේ නම් යලි අපට හිමි
නැගී සිට නික්මෙන්න පෙර
හැරී බලනෙමි තව වරක්
තනිකමක ඇති රුදුරු කම
පාසි බැඳි සිතක් මෙන් නොවෙද