Tuesday, December 26, 2017

~~ සිත් ගත් ඈ වෙත ~~











යොමනු මැන
නුඹේ සවනත
මෙමා පවසන
වදන් පෙළකට
එබී මදකට නුඹේ
නෙතු වෙත
නොදැනිම
හදවතට පිවිතුරු


එකඟ වුව නොවූවද
සොඳුරිය
නොලැබෙනු ඇත
නුඹට අයෙකු සම
මා හට
සිහි වනු ඇත සිතට
මා නොමැති
කල නිතර


උමතු වන කල
නුඹ නිසා සිත
ඉවසා වදාරමි
සියල් පරිභව
නොතැකි මුත් නුඹ
මාද නිරතුරු
රුව දකිමි අද

නෙතු පුරා සිත් ලෙස

හිමි නොවනා බව
දැනුනු මුදු
විඳ දරන්නට සියලු
කම්කටොලු බාධක
ආදර නදිය ගලා බසිනා
දිය රැළි විහිදුවා
මුණගැසෙන තුරු
සාගර තරංගය


අවකාශයේ පාවෙනා
රුවක් මැවූ
දහස් තාරුකා මැද
දකින නුඹේ රුව
විශ්වයේ එක්
කොනක සිට මෙමා
පතනා නුඹ
සසර පුරාවට


---රකිත---



Friday, December 22, 2017

~~ මා දුටු ඒ සොඳුරු “දසුන්” ~~



ඔබ ගැන වදනක් අවදි කිරීම කෙසේ නම් සිදුකරම්ද කියා මා නම් නොදනිමි. මිතුර. විටෙක මිතුරෙකු ලෙසත් , සොයුරෙකු ලෙසත්, වගකීම් සපිරි වෘත්තිකයෙකු ලෙසත් ජීවන අරගලය සහ වෘත්තීය දිවියද සමබර ලෙස රැගෙන ගිය සාර්ථක මිනිසෙකු ලෙස ඔබ හැඳින්වීම වරදක් නොවේ.

දැනුම, අත්දැකීම්, නව චින්තන ධාරාව, විප්ලවීය වෙනසක් දැකීමට තැත් කළ, කලාත්මක සිතකින් මෙන්ම යථාර්තවාදී විද්‍යාත්මක චින්තනයකින් සන්නද්ධ වූ ඔබ වැන්නෙකු ඇසුරු කිරීමට තරම් අප සියල්ලන් වාසනාවන්ත වීමු.

සයිබර් අවකාශයේ අංකිත වදන් මතින් මතවාද, තර්ක විතර්ක, විවේචන මෙන්ම හදිසි ආපදා අවස්ථාවන් හි ඔබ නැංවූ හඬේ ප්‍රබලතාවය හා එහි බලපෑම ඔබ සතු නොසැලෙන ශක්තියක මහිමය පෙන්වූ කදිම නිදසුනක් විය.

ආයතනයට වටිනා මානව සම්පතක් වූත් ශ්‍රීලංකා මාතාවගේ පුත්‍රයෙකු වූත් අප සැමගේ ලබැඳි මිතුරෙකු වූත් ආදරණිය දසුන් සයුරෙන් එතෙර දූපත් රාජ්‍යකදී මෙලොව හැර යන්නේ සියල් නෙතට කඳුලක් එක් කරමින්ය.

ඔබ අප සියල්ලන් හැරගොස් අවසන්ය. මේ සොඳුරු මිනිසාගේ අවසන් ගමනට එක්වන්නට වරම් නැති මුදු ඔහු වෙනුවෙන් සයිබර් අවකාශයේ අංකිත සටහනක් තබමින් ඔහුට නිවන් සුව ප්‍රර්ථනා කරන්නමි.

“ඉතින් ආයුබෝවන් සොඳුරු දසුන් තරංග මිතුරාණෙනි” සසර වසනා තුරු මෙවන් විපතක් නුඹට කිසි ලෙසකින් අත් නොවේවා !

---රකිත---



Monday, December 18, 2017

~~ ඉන් ඉක්බිති ~~









දොම්නස් වූ
වෙරළත තනිව
සොයනා මදහසක
නටබුන්
හිස් වූ අවකාශයක
තනිව ක්ෂිතිජ ඉම
අද්දරක
සොයමි ඔබ රුව


ඉතිරිව නොමැති
වුවද කිසිවක්
තැත් කරමි ගොඩනැගුමට
සබැඳියක්
අවසානයේ පැමිණ
ඇත ඉරණමට
කිමද මේ ලෙස
තවත් සිටිනට කරුණු


පලා යෑම නොව
විසඳුමක් වන
සිහින පසුපස
හඹා යන්නට
දිගු දිවි ගමනක
එක්ව යන්නට
පැතූ කල්
නැගෙන මතකය


දැකුමට හැකි නම්
නැවතත් ඔබ දිනක
සෝ සුසුමන්
දොම්නස් ඉවතලා
රැලි අතර දිය දෙබෑ කර
එන්නා ලෙසක
ඉදිරියට යනු වස්
පැතූ ලොවකට


දුක්ඛ දොම්නස 
අමිහිරි පිරි ලොවක
ආශ්චර්යය සිටිනු ඇත
අප එන තුරාවට
කිමද එනමුදු
සොයන මේ ලෙස
වසන්තය හිමි
නොවන කිසි දින


උදා රිවි කිරණ
සිපින කල මිහිකතද
විරුවෙකු වන්නට
පුරනා පෙරුමන් අතර
ඇගේ රතැඟිලි හා
බැඳෙන්නට සොඳුරු
වරම් නැති නෙතු
සලනා කඳුළු රැලි


හුරු වන්නට උරුම
තනිකම හා නිබඳ
සොමි කිරණ
සිසිලස විඳින්නට
නික්ම යන්නට මත්තෙන්
අහිමි ලොව පසුකරන්
වරක් නැවතී බලමි
සමුදෙන්නට මත්තෙන්


රුදුරු වැසි
කුණාටු අතර මැද
රිදී ආලෝක දකිනු ඇත
කාල වර්ණිත වළාගැබ
පැරදුම අසතුට දුක අඳුරු
වියෝව ඉගෙනුමින්
පසක් වනු ඇත
සැබෑ යථාවබෝධයද


---රකිත---



Wednesday, December 13, 2017

~~ මතු මහලින් බිම් මහලට ~~














අට වසක්
පමණ වැඩි
සෙවණ දුන්
අපූරුව
අත්හැර
පැමිණි කල
සොඳුරු
කන්තෝරු බිම


නව නිවසකට
පැමිණි
දුක් මැදින්
සතුටු වන
නව මිතුරු
මිතුරියන්
හඳුනා සිත් තුටින්
සිටි කලක


සිනාවෙන්
පිරී ඇති
සොඳුරු වැඩ
පරිසරය සමගින්
දිගහැරුණු
නව මිතුරු දම්
සවියක් විය
සැමදෙනා වෙත


නොව රාජකාරියද
බාධා නොකළ
සිනා කතා මැද
භේද නැත
අංශ ලෙසකින්
සිටි කලක
අප සැමද


නොලැබුණු
වුවද
පැතූ ලෙස
ආලයද
දුරින් ඇය
දෙස බලා
සිටිමි සැනසුම්
හදින්


සොඳුරු
මිතුරියක නව
අසල අසුනේ
සිටින
මනරම් වූ
ඇගේ වදන්
පිනවනා හැම
සිත් සතන්


ඉහළ
බලධාරීන්
දුන් සඳ
අවසන් තීරණය
එරෙහි
වන්නට එයට
වරම් නැති
කල අපට


අකුලාගෙන වහා
සියලු දෑ
යා යුතුය
පහලට නොව
බිම් මහලටම
සැමදෙනා
වියද අවසන්
විසඳුම ඔවුන් දුන්


ප්‍රිය කළ දෑස
නැරඹුව දුරින් සිට
අහිමි වේ අද
මිතුරු මිතුරියන් සැම
සොඳුරු මිතුරියද 
දුරස් වෙන්නා
හදවත පුරවා
දොම්නස් හැඟුම්


අංකිතව සහ
සංඥාවෙන්
දුරකථන කතා බහ
පමණ වනු ඇත
මින් පසු සබඳකම්
සඟවා ගනිමු දුක්
නොවටිනා කල

තත්වයට ලොවට

නොදකින මුත් මින් පසු
අප පෙර කලක සේ
මිතු දම් පවතිනු ඇතද
හද ගැබේ සදා
සමුගන්නෙමු අප
මෙලෙසින් ඔබෙන්
එක් පියසක් යට
වෙන්ව සිටිනට


පැමිණ ඇත කාලය
හැර යන්න
ප්‍රිය කළ ඔබ සැමද
රැගෙන මුත්
සොඳුරු මතකයන්
අවසරයි බැස යන්න
මතු මහලින්
බිම් මහලට මෙලෙස


---රකිත---



Tuesday, December 12, 2017

~~ නුඹ දැකුමට ~~











අඳුරු කරවා
අහස් කුස
වඩින කල
හිරු කුමරු
අවරගිර
පැහැ ගන්වා
රක්ත වර්ණිත
වළාවෙන්


පිවිසෙමි පිටතට
සැබෑ ලොවකට
අත්හැර අමතක කරමින්
වෙහෙස මදකට
සිතක නලියන
නුහුරු හැඟුමෙන්
විඳින්නට සුමුදු
පහසක සුවය


කන්කළු හඬ
නත්තල් බැති ගීතය
සවනත පිනවයි
සැනසුම ලැබ දී
උඳුවප් සිසිලස
ගත හිරි වට්ටන
විමසයි උණුසුම
විඳුමට සිත් ලෙස


දෙසවන් පිරී යන
රථ ඝෝෂාවද
නිමක් නොවනා තරගයක
දිවෙනා නේක මිනිස් කැළ
දහස් ගණනක්
වස්තූන් අතරින්
සොයන්නෙමි නුඹ
නිබඳ ආලෙන්


හොරා යන්ත්‍රයේ
මාපක වේගයද
පෙනේ භ්‍රමණය
වන කාලයද
රිදුම් දෙන තුරා
දෙනෙත් යුග
සිටිමි නුඹ රුව
මැවෙනා තුරාවට


වෙහෙසවූ ගතින්
සිතින් යුතු
රැවටෙනා නෙතු
අන්‍ය ලඳුන් හට
නොයිවසිලිමත්
සිතද අවදිව
කිමද මේ ලෙස
පමා වන්නට


දහස් ගණනින් වූ
තාරුකා අත‍ර
හැඳිනිමි නුඹ මා
තාරකාවිය
දසුන නුඹ මා
නෙතුද රසවිඳි
සනසවයි හද
ඔබේ රුවමද


පවසා සෙනෙහසින්
වදනක් මුවින්
පටලා දැඟිලි දෑත්
සිත් ලෙසකට
හිස තබා උර මතින්
මුමුණන ආදර බසින්
හමු වූ නුඹ දැකුමට
බලමි පෙර මග


---රකිත---



Thursday, December 7, 2017

~~ වදනක් ! ~~









මදක් ඉඩ
හරිනු මැන
දැකුමට
නුඹ දෑස
තවත් එක්
වතාවක්
වෙන්ව යාමටද
මත්තෙන්


හිමි වූ එකම
අහිමි කම
දරා සිටි හද
සිතද සවි
නුඹම විය
ආලෝකයද
අඳුරු වූ
ලොවට මා


අවදි නොකළද
වදනක් සෘජු
රැවටී තෙපළ
අන් මුසා බස්
පෙනෙනා මානයේ
නෙළා ගත නොවූ
සුපිපි මල
හිමි නොවූ එදින


ඈත සිට
සැනසුම් සිතින්
දෑස නරඹා
සතුටින්ද සිටි
වෙන්ව යන්නට
කරුණු ඇත
යෙදී සැමට
විසඳුමක් විලස

විකල්පයක් නොමැති
අසරණව සිට
ඵලක් නැත
වියෝ දුක් දරා
කල් පැමිණ ඇත
මෙදින අප
හැර යන්නටද
සියල්ලම


අස්ථිර ලෝකයේ
ස්ථිර දෑ නොමැති
වැටහෙනා මුදු
නැගෙනා දොම්නස්
සඟවා හැඟුම්
මවනා සිනාවෙන්
නික්මෙන්නට
ලැබුමට අවසරද


මතකයන් රැඳෙනු
ඇත සදාකල්
හද පතුල
කාලයා පියඹාවි
විසඳුමක් වී

සියල් ගැටලු හා
මෙ වදන් පවසමි
නික්මෙනු මත්තෙන්


---රකිත---



Monday, December 4, 2017

~~ මුසපත් වූ ප්‍රේමය ~~











සැබෑ වන්නට
පතනා පැතුම්
සරසවන්නට
ඔබ රුවැත්තිය
පහන් වන
හැම රැයකදීම
ඔබේ රුව ඇත
හද තුළ රැඳී


අවැසිව ඇත
පැවසුමට
හද රැඳි පෙමක
රහසක්
මංමුලා වූ
නොදරුවෙකු මෙන්
පතමි සිටිනට
ඔබ තුරුලටම වී


ආශා පොදි
බඳිනා ලොවක
නැවතිය නොහැකි
කාලය
ඉවසීමෙන් සිමා
නොමැති වූ
වන්නෙමි
පෙම්වතෙකු සිතින්


තුටු පහටු
වන්නට නොවන
සොරා ගැනුමට
සිත් දෙන ලෙසේ
උණුසුම් ස්පර්ශයක
සැනසුම ලබන්නට
ආදර බර දෑස්
යුගලය දකින්නට


ඇසුමට ඔබේ හඬ
සවනතින්
පහන් වන රාත්‍රී
ගණනක් ගෙවෙන
සැනසුමක්
නොමැති කල
නොතේරේ කුමක්
කෙරුමට


මතකයට නැගෙන
ඔබ දුටු මුල් දිනද
දැවී ගිය කල නුරාවෙන්
නොව දයාවේ සිසිලසින්
ආලයෙන් පිරුණු
හදවත් එක්වන්න
අවැසියි පැමිණෙන්න
ඔබ වෙත


පැවසුමට ඇත වදනක්
ඔබ වෙත සොඳුරියේ
හද ගැඹුරු තැන ඇති
පැතුමක නාමයෙන්
නොනවතින බලා නොසිටින
දිගු මොහොතකින්
මා නුඹට පෙම් බඳින
බව කියුමට


---රකිත---



Friday, December 1, 2017

~~ සන්නාලියක ~~











සැඟවෙනා හිරු කුමරු
සැන්දෑ කල
අහවර වූ දිනක
නිමා වන සඳ වැඩ
ඉලක්කයන්
අට පැයකටත් වැඩි
සිහින දකිනා කිරිල්ලියන්

ඉගිලෙන්න නිදහසට

රෑනක් සේ සමනලියන්
කිරිල්ලියන් නේක වර්ණිත
නෙතු ගැටෙන සඳ
සනසවයි සිත
තියුණු නෙත සවනතද
යොමවාද නිරතුරු
සිත සොයයි සෑම තැන
සුපුරුදු මුහුණක්


බාග බසයේ අසුන් ගත්
දකිමි පටවන ලෙසට පොල්
තද කර එකිනෙකා
වෙහෙසකර දිනක
අවසානය දකින ඔවුන්
පෙනේ රුපියල් ලෙස
බස් කොන්දොස්තර මහතා
වෙතටද රියදුරු හටද

විලවුන් ගන්ධයද පරයා
නැගෙනා දහදිය පුසුඹ
දුටිමි නෙතු කොනින් ඇය
පිසිනා මල් ලේන්සුව
තැලෙන පොඩිවෙනා
දිවියක හුරුවට
ඇගේ මද සිනාවෙන
සැනසේවි සිත


නේක අඳුන් නේක වර්ණ
නැත හැඩ කෙරුමට
වුවන ඇගේ
මල් ගවුමට නිල ඇඳුමට
සැරසෙන ඈ හරි කදිමය
අංකිත උපකරණද
තව බොහෝ දෑ නැති වුව
අව්‍යජ දිවිය නම් ඈ සතු


රෝස තොල් පෙති අගින්
මැවූ මදහසින් මුදු
කතා කරන නෙතු සඟල
දුටිමි නුඹ වෙතින්
පවසනා සිත හිමි කෙරුමට
නුඹ දිවි ගමනකට
වරම් නැත එනමුදු තුමු
තෙපලන්න වදනක් තුටින්


සිහින ලොව නොව සැබෑ ලොව
පා තබා දිවිගෙවන
වාසනාවකි සොඳුරිය නුඹ
හිමිවනා හිමි පැතුම
කලාපය අද්දරට නැවත
පැමිණෙන දිනක
හමුවෙමුද එක වරක්
තනන්නට නව ලොවක්


---රකිත---