Sunday, October 30, 2016

~~ පැවසීම ~~













අසාපන් සොඳුරියේ
සොඳින් සිත
සවනත යොමා
මෙමා කියනා වදන්
ගොන්නට මදක්
සිතා බැලුමට
දුරට තවමත්
කල් ඇතිය නිසි
මගද තේරුමට
නුඹ හට

නැතිය පෙනුමක්
නම් පිළිගන්නා
ලොවක් මුහුණේ
හැඩට වැඩි
ශරීරයක් නොමැත
පතනා ලඳුන්
සම්මතව
ඇවිද යන හැඩය
ගැලපේද ඔබට
නොදන්නෙමි

නැත කාසි පනම්
ඉඩ කඩම්
යාන වාහන දේපළ
ඉහළ රැකියාවක්
ලොකු පඩියක්
තනතුරක් විසල්
පිළිගන්නා සම්මතයට
නොදන්නෙමි
තවදුරට ගැලපේද
නුඹට මම

නිරන්තර අන් අයවලුන්
තලන පෙළන සඳ
විහිළුවෙන් උන්
විනෝදයට
රිදව ගන්නා සිත්
සතන් නිතර
කන්තෝරුවේ
පංතියේ සැම කලට
සිතනු මැන තව වරක්
නුඹට මා ගැලපේද

ඉත සිතින් පිළිගනිමි
නුඹ පිදූ ආදරය
දනිමි නොලැබෙන
බවද තව වරක
මෙවැනි වරමක්
එනමුදුම පවසමින්
නැවත වතාවක්
සිතනු මැන සොඳුරියේ
යථාර්තය මැදින්
මා නුඹට ගැලපේද

---රකිත---


Wednesday, October 26, 2016

~~ මවකගේ කතාවක් ! ~~


අඳුරු පැහැ වරලසින් - අඳුරු පැහැ වතකින්
අඳුරු පැහැ දෙනෙතින් - අඳුරු පැහැ පෙනුමෙන්

සිසිල් මගී රථයක අගින් - අසුන් ගෙන පසෙකින්
කවුළු එපිටට බලමින් - මවයි සිහින අනන්තයෙන්

දුටු සඳ මලානික පෙනුමෙන් -  සිතේ පවසන වදන්
සවන වැකි ඇය කතාවන් - මදකට ලොව නවතමින්

දකුණු ලක ඉපද වැඩෙමින් - ජය ලබා පෙම උතුරු දෙසින්
තිදෙනෙකු දරු ඵල ලබමින් - දිවි ගෙවුමට සැම දින තුටින්

කාසි පනම් එන හිඟ වෙමින් - නැත වරම් රැඳුමට කූඩුවෙන්
මව පියා දෙපොලක දරුවන් - තව එක් පොලක සිටිමින්

දිවයිනේ සිට තුන් කොනින් - රැක්මට තුමු තුන් දරුවන්
දිවි සටන කෙරුමට නිතින් -  ගැටෙන්නට සමග යන්ත්‍රයන්

විනෝදය කිසි නොහඳුනමින් - දාරක පෙමම සිතමින්
කෙරුමට අතමිට සරුවෙන් - දෙදෙනා උත්සාහයෙන්

ලොවට නොපෙනී කඳුලින් - දිවි ගෙවන අයුර කියමින්
රකින්නට තුමු දරු පැටවුන් - තුරු පියාපත් වැඩෙමින්

සමුගෙන යන අතරින් - සිතේ මිනිසුන් වෙනුවෙන්
කෙදිනද ජය ගනිමින් - සතුටක් දිනන ගමනින්

දුක විඳින සැම මව් පියවරුන් -  වෙනුවන් නගන හඬක් මුවින්
රට කරනා ධනවත් අයවලුන් - අයෙක් වේද අතරින් ඔවුන්

---රකිත---



Monday, October 24, 2016

~~ දුක දුරයි ~~






ඉරිතලා වියලි ගිය උණුසුම්වූ මිහිකත දිලෙන
ගිනියම් වූ නිරුදක කතර උණු වැල්ල දැවෙන
ගත වැටෙන මද නලද ගිනි සිළුව සේ දැනෙන
දැවෙන තනිකමක පහස සෑම කලටම විඳවන

පලින් පල වළා පිරි නුබ ගැබක දෙස බලන
නෙත දවයි හිරු කිරණ චණ්ඩ ලෙස වැටෙන
ඇවිද යන නිරුදක කතර නිමාවක් නොවන
දකින්නට කෙම් බිමක් පුරන්නේ සිත මවන

නෙතු ගැටෙන යාමයක දිය සිරාවක් නොවන
අගට ක්ෂිතිජය රවටනා මිරිඟුව දිය පෙනෙන
දුක් වේදනා වෙහෙස කාන්සිය සියල් දරාගෙන
ගමන යන්නෙමි මෙලෙස ඉමක් නොපෙනෙන

සිත මවන කෙම් බිමක පහස සිහිනෙන් ලබමි
වැසි බිංදු ඇද වැටෙන තුරු අයා නෙතින් සිටිමි
තනිකමක් මැකුමකට සහය නම් නිතින් පතමි
ඉලක්කය තව දුරයි වෙර දරන් නිසි මගක යමි

රුදු නියඟ දුරලන්න වැසි තොමෝ ඇද වැටෙන
සිත තුටින් ඔපවන්න වසන්තයටද පැමිණෙන්න
ජය කනුව දකින්නට ඉලක්කය වෙතටම යන්න
මග දුරයි තවද සොඳුරියේ ඔබේ අත ලැබගන්න

---රකිත---




Wednesday, October 19, 2016

~~ සෙම්ප්‍රතිශ්‍යාව ~~



දවාලන මුළු උගුරු දඬුවෙන්
පිටවන සැරයන් දෙසවනින්
බරව යන්නා හිස බමනතින්
කඳුළු පිරෙනා නෙතු මතින්

තෙත්ව ගිය නාස් පුටයෙන්
ගලන දිය දහර සොටුවෙන්
පෙනහළුද පපුවද සිරකරන්
ශ්ලේෂ්මලයද ආසදනයෙන්

වියැකෙන කට හඬද ස්වරයෙන්
කිවිසුම් මැද ඇති වන කැස්සෙන්
  ගලනා සොටු දියරය උඩ අදිමින්   
විකාර රූපී ලෙසටම පෙනුමෙන්

මිතුරුව සිටිනා වායු සමනයන්
සතුරුව එන්නා කල ලෙසකින්
විහිදෙන ආසාදිත බිඳු මත්තෙන්
වෙත රෝ වන්නට ඒ අන් දනන්

සැනසුම නැත සිත රාජකරියෙන්
නොහැකිය ලැබුමට නිවාඩුවෙන්
නැති කල සුවයක් නම් බෙහෙතින්
කුමක් කරම් දැයි සිටිමිය සිතමින්

ලේන්සුව වසාලන නාසයද මුඛයද
සොටු දියරද කැස්සද කිවිසුමෙන්ද
මිතුරු මිතුරියනි මට හෙම්බිරිස්සවද
කමා වනු මැනවි දින කිහිපයකටද 

---රකිත---


Monday, October 17, 2016

පරිණත / තුරුණු











හිස දොවන
යාමයේ
රැඳෙන
අතැඟිලි අතර
කෙස් ගස්
ඇත ගිණිය
නොහැකිව
දහසක්

තුනී වන හිස
මැදින්
වර්ණිත ශ්වේත
වටින් අවට
පුළුල්වන සඳ
නළලතින්
අර්ථවත් වන
පෙනුමක්

කැපි කැපී වෙන්ව
යන මුසු
සබන් ආලේපයක
මත දිවෙන
තලයෙන්
දැලි රැවුල් නොව
දල රැවුල්
කොට අතර

කැඩපතක දකින
රුව දිනක
නව යොවුන්
නොවන කලකට
පරාවර්තනය
වන්නට
රුවක් පිරෙනා
පරිණතව

සුමුදු මුදු වුවන
දෙකොපුල්
කන්පෙති දෑස
දෑත් දෙපා
අතැඟිලි
මහ උදරය
සුපිරිවන් පෙනුම
මිලිනවන

වසන්තය අග වැටෙන
පිවිසෙන්න නව
ගිම්හානයට
කිමද ඉඩ නොදෙන
කල තුමු
සිතක් උඩු යටි
බෙදී ඇති
මේ විලස

ළදරු ළමා
හිරිමල් තුරුණු
තරුණ
මැදි වියක
මහලු කම
නොවන කම්පා
කිමද නම්
මෙලෙස

වියපත් වුවද ගත
වාරු නොමැතිව
ගොසින්
කිසිදිනක නොමියන
සදා තුරුණු
අමරණියව
සිටින මා නුඹ
සිතම පමණකි

---රකිත---


Thursday, October 13, 2016

~~ ඒකියක් ? ~~


රඟන්නට ලෙසකට රඟා - අල්ලා සියලුම අඩව්වන්
සතර අත කෙළි කරන් - සිටියි දැන් පතිනි විලසින්

දමා සැට සතර මායාමද - තැත් කළද සිතක් දිනුමට
දනිමි නිහඬව සිටියටද - නුඹේ රැඟුම් වැයුම් සොඳට

මවා නොමැතිව තිබූ - මහන්තත්වයක් පෙන්වමින්
නේක පද කියවමින් - තත්වයක් කියවයි නොමැති

දෙමින් ඔවදන් නිතින් - පවසන වැරදි නිවැරදි කර
නොගැලපෙන බව කියයි - ස්වරුපය මා වෙත ඇති

පෙනුම චලනය කථනයද - තැත් කරයි ඈ සකසන්න
සරදමින් පවසයි විටෙක - නොගැලපෙන බව තුමුද

තුමු සිතක මැවූ ලොවක් - සැබෑ ලොව සොයන්නිය
නොදකින සැබෑ ලොව - නෙතු ඇතිය වෙන ලොවක

සිතන ඇය තම රූප සොබාව - අලංකෘත බවක් ලෙස
විටෙක උපහාස කරයි - අන් අඟනුන් වෙත අඩු රුවින්

හිස කරන් බර බිමට - සිටිනෙමි අසා සියල්ලම ඇගේ
සිතින් මද හසක් මවමින් - ඇගේ පුරජේරුවද බලමින්

නුඹ නැටූ නාඩගම් අඩව් - දනිමි හැටි ලෙස සොඳින්
නොදන්නා ලෙස සිටිමි - නුඹට ඇති අනුකම්පාවෙන්

අඩුපාඩු ඇති බව දනිමි - නිවැරදි වන්න නිසි ලෙස
නොරැවැටෙමි නුඹට නම් - නුඹේ මායම් වලට නම්

---රකිත---


Tuesday, October 11, 2016

~~ යුගයක යෙහෙලියක් ! ~~












නිමා කර සේවාව
හැර යන්න කලාපය
සන්නාලියන්
කලකට
පැමිණියෙමි
අධි වේගයෙන්
සුවෙන් නින්දකද
දැවටි සිසිලෙන්

සියොත් රෑනක්
ලෙසින් විසිතුරු සිය
ගණනකින්
අහඹු ලෙසකට
නෙතු ගැටුනු කල
පෑ සුහද මදහසින්
කවුරුන්ද ඇය
හඳුනන්නේද මා

අතැඟිලි මතින් සන්
පැමිණි කල
ඇය සිනා පිරි
වතින් මුදු
පැවසු සඳ තුමු
හඳුනන ලෙසට එම
නැවතුනා සිත
අතීතය තුළ

දශකයකටත් වැඩිය
ඇති පෙර කලක
යුගයකට පෙර
විප්ලවයක සන්නිවේදන
පාසැල් කලින් පසු
විශ්ව භාෂා පන්තියක
හමුවූ බවක් ඇත
මුල්ලක වූ මතකයේ

අත ගැටෙන තාක්ෂණය
නොමැති කල වුවද
තුටින් මනරම් ලෙසින්
ගෙවුණු සොඳුරුම
අතීතය අද්දරක
තනිවුනෙමු මද කලක්
අමතක කරමින්
මුළු ලොවක්

අහඹු ලෙස ඉරණමද
දෙවයද දෙදෙනාට
සරදමින් කර ඇතුව
දැනගතිමි ලෙසකින්ම
මතකයන් කර අවදි
එදා නොදුටුව ලොවේ
තනිවුනෙමු ඇය
සමග මෙලෙසින්

එදා ඇසුරක් නොමැතිවද
කල් ගතව ගිය කලක
සියල් තතු දනී ඇය
පෙර යුගයක ගෙවුනු
සෙනෙහසින් මිතුරු දම්
කරනට නව වුවන
ඉටාගත්තෙමි තුමුද
මෙතැන් සිට සැම

යුගයක් ගෙවා නව යුගයක
අරුමය විඳිනා අප
ඉරණම දෙවය සරදමින්
ලැබුණු අප
සිටිමු මිතුරෙකු මිතුරියක
ලෙස දිවි ඇති තුරා
රඟන්නට ජීවිත
වේදිකාවක මතින් 

---රකිත---


Monday, October 10, 2016

~~ යථාර්තවාදී අවසනාව ? ~~











පමා වන වසන්තය
ඵල බරය
කියති සැම
ඵලක් ඇති වේද
වසත් කල
ගෙවෙන සඳ
නිසි කලක
අගට එහි
ගිම්හානයේ
නවාතැන්පළ වෙතට

යනෙන නිරතුරුද මහමග
කන්තෝරු බස්
ගමන නිරතුරු
එක දිනක පමණක්
යනෙන සරසවිය
සොයන්නෙමි සොඳුරු
තැන් නිබඳවම
අරුමයට කරුමයට
නොලැබෙන සඳ
කුමක් කරම්ද වනු නිහඬ

කාසි පනම් අත නොගැවසෙන
දෙසතියක අවෑමෙන්
කිනම් හසරැල් පාම්
හිස් පොකැට්ටුව සමග
විඳින්නට සොඳුරු බව සොඳුරු
තැන් සොයා යන
වන්තයන් වන්තියන්
වාසනාවෙන් පිරි
ඇදෙන්නෙමි බලා ඉවත
දරන්නට නොහැකි කල

හිමි එකම අහිමි කම නිතොර
සිත ගතට හැඟෙන සඳ
මග සොයමි
වරදින්න
හේතුවට නිබඳවම
නිසි කලට නිසි දෙයද
නොකළ ඒ වරදකට
ගෙවමි වන්දියක්
කිසි කලක
ගෙවා නිම නොවන දිවි

හැර යන්න
නිරතුරුව සැම
සැරසි සිටිනා ඔවුන්
සමච්චල් බැල්මද සිනාවද
හුරුය සැමවිට නිතින්
පෙර භවක විපාකය
ඵල දෙවන කලක නම්
ඵලක් නැත වසත් කල
උදා වන පිණිස
බලන්නට

සොඳුරු තැන් සොයන්නට
විඳගන්න සොඳුරු බව
නැතිව ඇති වග
දැනෙන අවාසනාවකට
සිහින නොව සැබෑ
ලෙසක තතු දකින්නට
ලැබෙන සඳ නිරතුරුව
වදන පවසන
බලාපොරොත්තුව
කුමන සරදමක් වෙද

---රකිත---