Tuesday, May 31, 2022

~~ සැනසුමක් නැති ~~

 



බොහෝ කල් දිවීමි 
සිහින පසුපස හඹා 
මග දිගු වනවා පමණි
එහි නැවතුමක් නැත

ගිමන් හැරුමට මදක් නැවතුමට
බැලූ කල සියල් හැල්මේ වේගයට
පසු කරන් මා ඉදිරියට යයි ඇදී
නැවතුමට ඉඩක් නැති බව කියා

හිස දරා ආතතිය ගත දරා වෙහෙසින්
ඉසිඹුවක් ලබන්නට සැනසුමක් මදක්
නැවතුමට සිත් දී තරගයෙන් ඉවත්ව
සිතුමට මතක් ආ ගමන් මග මෙතක්

සිප් සතර අසමත්ව පමා වූ විලස
රැකියාව එක් තැනක සිරව වූ ලෙස
මිල මුදල් ධන බලය නොමැතිව
එක් තැනක ඇත සිට තනිව ලොව

හිමි නොවන දෑ ඇතිය 
අහිමි වූ දෑ මහත්ය
කාලයා ගත වී ඇති සේය
එක් තැනක තනි වන්නටය

ඉතිරිව ඇත්තේ පවුල පමණකි
සවියට ඇත්තේ අද ඔවුන් පමණකි
යහළු යෙහෙළියන් අද කොහෙදෝ
සියල්ලන් ඇත ඔවුනොවුන්ගේ ලොවේ

යථා බව දරා සැබෑ ලොව දැක
වටහාගෙන ඇති තත්ත්වය ලැබූ
නිහඬවම වෙමි එක් පසෙකට
විසඳුමක් නොලැබෙනා සඳ

සිප් සතර අවසන් ඉලක්කය වූ
පැමිණ ඇත සියතට ගැනුමට
එය පමණි ඇත සැනසුම සිතට
අසාර්ථක වූ දිවියක කතාවට

තරගයේ නෙත් අඳ වූවා සේ
අවැසි නැත දිවුමට මින් පසු
මිරිඟුවක් සේ හැඟෙනා දිවියක
කුමට නම් ඇතිද තරගයක්

නිමා වූ දිනක සිප් සතර ඇති
අවැසි නැත ව්‍යාජයන් ලොව
සැනසුමක් සොයා දිවියේ ඉතිරියට
ගමන් කරමි යථා බව සොයාගෙන

---රඛිත---


Sunday, May 22, 2022

~~ බිය කල් වූ ~~












සිතක් බියපත්ව 
සොයයි සැඟවෙන්න
තැනක් තනි වන්න 
මුවා වී ලොවට

තර්ජන ගර්ජන පෙළට
පැමිණි සැකයට සිතට
දිවිය රැක ගනු වස් 
පැන යන්න හැකිවේද

සිතට ආ වේගයට 
තත්‍යාසන්න අවකාශයක
අකුරු කළ වරදකට 
වැටහෙන්න පමාවූ

නිල ඇඳුම් ලා රට රකින
ත්‍රිවිධ හමුදා පොලිස් නිල දරු
සිතක් රිදුනාද ඔබ සැමට
පවුල්වල අයවලුන් සමගද

ඉවත් කළ මුදු සියල් දෑ
රුදුරු දුදනන් රැඳී සිටි මෙහි
සැන රූ රැගෙන ඒ සැණින්
ප්‍රසිද්ධ කළා වුන් අවකාශ තුළ

අපහාස උපහාස ගැරහුම් තර්ජන
වැදූ මව්න්ටත් කියනා නොරසුප් වදන්
තුමු රුව ගෙන බෙදා හැර උන්
කරනා මරණ තර්ජන තුටින්

පලා යන්නට මගක් නැත 
සැඟවී ගොස් තත්‍යාසන්නයෙන්  
කලක් ගතවී ඇති නමුදු 
බිය නොමැත පහව ගොස් ඇති

සැබෑ මිතුරු මිතුරියන් 
පැමිණ සිත් සනසාලමින්
ඇතැම් අයවලුන් ලොකු අතු 
සොයා මා රකින්නට වැර දරා

ඉතිරි වී ඇති පල කෙරුම් 
තවත් සිත බියද කරවයි
රටක් ගිනි ඇවිලෙනා කල 
කෙසේ නම් සිත සනසවන්නද

සිප් සතර නිමා වූ කලක් වී නම්
පලා යන්නෙමි රට හැර නොසිට
වරම් නැත නිදහසේ පියඹන්න
අවාසනාව පසුපසින් එන කල

නිල ඇඳුම වෙත නිතර 
නිසි ගෞරවය දෙන්න
අවැසි මිස අනවැසි ලෙසින්
නොදිය යුතු ඒ ගෞරව සුදුසු

---රඛිත---




Wednesday, May 4, 2022

~~ අපි වෙනුවෙන් ~~

 


අට පැයක් දස පැයක් නොව

ඇතැම් විට දොළොස් පැයක්

වැඩ අඩුව අධිකව විඩාපත් වූ

දහස් ගණන් වූ දනන් ඇතිවද

 

සොච්චමක් ලබන්නට

දහදිය වගුරුවා පැය ගණනක්

සිත ගතත් වෙහෙසවා

පීඩන බිණුම් කැපුම් කෙටුම් මැද

 

පාගා දමා බිම් මට්ටමට

නොලැබ පිළිගැනුමක්

දහසක් වූ පැතුමන් පිරි

හැඟුමන් සදා සිහිනයන් වූ

 

අණ පනත් රීති නීති රෙගුලාසි

ගොන්නකට මැදිව සිරවී සිටත්

නොලැබ සැනසුමක් හෝ අයිතියක්

සදාකල් වහල් බව ලබා සිටිනට

 

හිරු නුදුටු සඳ නොදුටු දිනද ගත වෙනා

සති අන්ත යහනටද නින්දටම ලත වෙනා

ජීවිතය දකින්නට සොයන්නට කාලයක්

ලැබේවිද දිනයක් අපටත් දිවි විඳින්නට

 

බිඳ දමා යදම් බැඳි සිඳ දමා රැහැන් බැඳි

දමා මුලිනුපුටා සූරා කන අමනයන් රැල

බැස මහ මගට පවසා සටන් පාඨ පෙළ

අරඹන්න අරගලය නොපමාව සැම එක්ව

 

ගුවන සිසාරා ලෙළදෙන්න රතු ධජය

මිහිකත සිසාරා ජන හඬ පතුරුවා ලන්න

සයුරු තල මතින් ගෙනයන්න ලොව පුරා

සාධාරණතත්වය රැගෙන සමානාත්මතාවය

 

අරගල කැරළි සටන් මැදින් ජය ටැඹ වෙතට

ගමනට අදිටනින් වෙර වඩමු අප සැමත්

දිනන්නට සම අයිතියත් මව් බිමේ උරුමයත්

කැප වී සිටිමු නිති අප වෙනුවෙන් සැමත්

 

---රඛිත---