Sunday, August 28, 2022

~~ මගට ~~


බැට කා කාලයාගේ අවෑමට
ඉක්මවා යමින් නිසි වයස්
වන්නට සිතූ අය වූ නොවී
බිඳ වැටි අපේක්ෂා භංගව

සිප් සතර නම් නොමැති තව
නොගැලපෙන කලට නිසි
අත් හැර කරමි තැත් නමට
ලබා ගනු වස් කිනම් හෝ දෑ

කල් ගතව සිටිනා කලට නම්
හිනැහේවි ලොවක් කියමින්
කිසිවක් නිසි ලෙස නොලැබූ බව
උපහාස අපහාසයන් මැද සිට

හිමි නොවූ සඳ තමන් හට තමන්
වන්නට හැකිද වෙනත් අයවලුන්
වැටහෙනා කල ඒ සියල් පාඩම්
පමා වැඩි බව දැනේ නිරතුරු

රැකියාව තත්ත්වය රැගෙන යන
කාර්යය නිති වන සංකීර්ණ ලෙස
නොහැක දරුමට තවත් නම්
පීඩනයකි නිතර සිත දවාලන රුදු

සිර කරන් ගත හැඟුම් දැනුමන්
දවා හළු කර දමා රුදු විලසට
නිහඬ කර හදවත නිරතුරුව සිට
උරුම නොවනා සොඳුරු ලොවකට

කඩවසම් රුව ධන බල තෙද නොමැති
කුමට නම් සිතුමට දෙසිතක බැඳුම්
නොකරමි ද්වේශයක් කිසිවෙකුට
මා නොලද දෑ උන් ලබන කල

කළ කී දෑ සැම එකතු වූ අතීතය
දෙස බලා වැළපෙනු කිමද අද
දිවි මග ඉතිරිව ඇති දුරක් යාමටද
කල් ඇතිය ඉතිරිව තවමත් අපට

ඉතිරි වූ යම් දෙයක් වේද එහි ඇති
රැගෙන රැකගෙන නිසි ලෙස එයත්
නිසි මගක ගමන් කර නියම ලෙස
වියුක්තව තරගෙයන් අන් දනන් හා

උරුමය ඇති තුමු වෙත සම්මත දෑ
පමණ ගත යුතු නිබඳ නිසි ලෙස
උගත යුතු දෑ තෝරා නිවැරදිව මින් මතු
ගමන් කළ යුතුය ගමන් මග නිමාවට

---රකිත---



Friday, August 12, 2022

~~ ජීවිතය-තම ~~




රිවි මඬල අවර ගිර 
එළිය කළ කලට වූ
නිමා කළ සේවාව 
පහේ කණිසමට තිත

පිටතට පැමිණි වුව 
වෙනසක් නොමැති
එකම චක්‍රයක ඇති 
සිරව ගොස් ජීවිතය

නොදැනීම කාලයා 
රැගෙන ගොස් තුරුණු ජීවිතය
මැදි වයස් සඟවන්න 
කෙසේ නම් තැත් කරන්නද

නූතන පරපුරක් අද 
අප පසු කරන් වේගයෙන්
ඇදේ නම් ඉදිරියට 
සාර්ථක ලෝකයට

දිවෙන්නට උන් සමග 
වරු නැත සිත ගතට
පසුවී සෙමින් පැමිණෙමි 
සම මගක නිසි ලෙසින්

ආලයට සෙනෙහසට 
කල් නොමැත දකින්නට
ඉකුත් වී ඇති සේම 
දැනේ ගත වයස් යන

පරිණතව සිටින්නට අපට
නොදැනේ පරිණත භාවයට
අවැසි තරමට නොවේවිද 
අත්දැකීම් ජීවන ගමනෙ

පෙර කළ කර්මයද 
දෛවයද මා ලැබූ
කළ කී දෑ නොවෙද 
පසුපසින් පැමිණෙන

සිහිනයන් ඇති නමුදු 
දිනෙන් දින දුරස් වන
පලක් ඇතිවාද තැවෙන්නට 
නොලැබූ දිවියකට මතු

හැකි විලස නිසි ලෙසින් 
යා යුතු මගම යමි සොඳින්
නොවේ ඇති තරගයක් 
අන් දනන් හා මෙතැන් සිට

මිනිස් කම පමණි ඇති 
අවසානයට වටින්නට තිබෙන
කළ හොඳ නරක පමණි 
ඉතිරිය අවසානයට ඇති

මතු භවක ලබන්නට
පතනා පැතුම් සිතුවිලිද
දෙව් මිනිස් සැප නිමවා
නිවන් සැප ලබන්නට

---රකිත---