Sunday, July 31, 2022

~~ යථාවට නැවතත් ~~

 





 










හඹා ගියෙමි

සිහිනයක් පසුපස

අන්ධ වූ නෙතින්

බිහිරි වූ සවනතින්

 

නන් දනන් පැවසූ දෑ

නොසලකා සිට

මවා ගත් මායාවක්

පසු පසින් ගිය කළ

 

දින සති මාස අවුරුදු

අවෑමෙන් නිතර

එක් දිනක වෙහස කර

අවසානයක වූ

 

වැටහෙන්නට වූ

සඳ සැබෑ ලොවක තතු

දෙනෙත් විවර විය

යථා බව දැකුමට

 

නොගැලපෙන නොසැසඳෙන

කලට සිටිනා තැනට ඇති

වෘත්තියට දරා සිටුමට

දිවි මගට නිසි ලෙස

 

ලැබේවිද ශාස්ත්‍රාලයෙන්

ඉන් පිටුවහලක්

තරගකාරී ලොවක

ඉදිරියට යන්නට ගමන

 

තේරුම් ගෙන ඇතිව

වටහා ගතිමි නිසි ලෙස

වඩා සුදුසු වන

වෘත්තීය සුදුසුකම්

 

ජය ගැනුමට

දිවි මග නිසි ලෙසින්

ශාස්ත්‍රාලය වෙත

ගමන් කෙරුමට වඩා

 

එක් වැදගත් තීරණයක්

ගතිමි අද දින සිට

අත් හැරුමට ශාස්ත්‍රාලය

වෘත්තියමය නාමයෙන්

 

ඉගෙනුමට සැබෑ ලොව

සැබෑ ලෙස දකින්නට

ලබන්නට වෘත්තීය සුදුසුකම්

ඉගෙන සොඳින්

 

ඇතැමුන් සිනාසෙනු ඇත

නොහැකියාවම කියා

කුමන තැකුමක්ද

උන් කියනා වදන් හැම

 

තත්ත්වය නොවේ වන

හැකියාවම ජය ගනු නිති

කරමින් පාඨය ආදර්ශ ලෙස

උගනිමි මෙතැන් සිට

 

---රකිත---




Monday, July 4, 2022

~~ ජීවිතය නම් දැන් ~~

 



වසන්තය උදා නොවුනි දිවියට

පැන ගොසින් එය නෙතු මානයෙන්

තුරු ලතා ඵල බර නොවේ තවත්

මැලවී ගොසින් දුක්ඛිත ලොවට

 

චණ්ඩ හිරු රැස් අතර වළා නැති අහස් කුස

දූලි සුළි ගැසෙන උණුසුම් වායු ධාරා

වැහැරි වියළිව ගොසින් අප සැමත්

යොමා නෙතු හිස්වූ නුබ ගැබට

 

සිහින පෙන්නා රඟා දස්සන සියල්

උන් රැගෙන ගොස් ඇත අප පැතුම්

ලඝු කර අපේක්ෂාවන් සුළුතරයකට

සිර වෙලා බිමක අප සැමත් හිස් වෙලා

 

තුන් වේල දෙවේලට එක් වේල වන සැටිය

වැටුප් තනතුරු රථ වාහන නිවස වන සිහිනයන්

රාජකාරියත් සිමා වෙලා නිවසට දින ගණන්

විදුලි ජල ගැටලුවත් වී හරස් වන එයට

 

හාල් පරිප්පු කිරිපිටි සීනි පාන් පෝලිම් ඇතිව

ඖෂධත් අන් අහරත් වේය හිඟ දින දිනම

ඉන්ධනත් නොමැතිව රථ පෝලිම් ගණන්

යතුරු පැදියත් දැන් එක තැන මාසයකට වඩා

 

මඟුලට මරණයට යන්නට හැකියාව නැති

රෝහල් පාසල් වැඩපොළ වෙත යා නොහැකි

අවැසි සේවා තෝරා ගනු නම් කෙලෙසකද

සියල් අවැසිය රටක් ගෙනයන්න ඉදිරියට

 

පොදු ප්‍රවාහනය ඇතේ පිරී ඉතිරී ගොසින්

බස් දුම්රියත් දැනුත් ප්‍රමාණවත් නැති සැටිය

විදුලියත් නැති කලට වැඩ නැතිලු වැඩපොළේ

රැකියාව පවතීද යන්නත් ගැටලුවක් වේවිද

 

ත්‍රිවිධ හමුදා තැන තැන සිටියි ස්ථානගතවීද

මැදිහත් වේවි සිවිල් කටයුතු වෙත නිතර

ඇනුම් බැණුම් මැද ඉඳ හිට වදියි පා පහර

නොවදිද වෙඩි පහරත් හෙටත් උන් වෙතින්

 

වැටුප් නම් දැන් නොවේ වන්නේ ප්‍රමාණවත්

ගැට ගැසුමට දිවියත් එය තරම් නම් නොවේ

සිතුනත් යන්නට පිට රටකට සිට රිසියෙන්

වරම් නැත දැන් එයටත් හරස් වී ඇත රටක්

 

පල කෙරුමට අදහසක් ප්‍රත්‍යෙක මධ්‍යයේ

බිය දැනේ සිත පෙර වූ දෑ සිහි වෙන කලට

නිහඬ වෙමි දරා සියල් දුක සිතේ තද කරන්

සිට මරණයට බියේ තැති ගනිමින් ගැහෙමින්


---රඛිත---