Tuesday, March 31, 2020

~~ සෙනෙහසට ~~












සදා සැඟවූ හැඟුම් බර 
පැතුමන් සිතේ
අවසරද නුඹ සමග 
කෙරුමකට හුවමාරු

නෙතු සඟල කිමද අද 
නුඹ වෙතම ඇදෙන්නට
බැඳී යන්නට තනන 
ආත්මය ඔබ සමග

සක්මන් කරමි පසුපසින් 
ඔබට නොදැනෙන ලෙසට
නුඹද වේද ආලෝකයක් 
මග කියන අප දිවි මගට

පෙර දිනක සිත රැඳුනු 
නොකියවූ රහසක මහිම
පවසන්න තැත් කරමි 
නොරිදවා ඔබේ හද

අසල සිට දැවටෙන්න 
සහය ගත සිතට දෙන
සසල වන කලට සිත 
නොයිවසන තුරු නුඹට

සුසුම ජීවනය දෙන 
ලබන්නට ඔබ වෙතින්
අතරමග නතර වූ 
ජීවිතය දකින්නට 

අත්වැලක් වී ඔබට 
ජය ගන්න ලෝකයම
නොයනු මැන මග හැරී 
නුඹ අදත් මා වෙතින්

කුසුමක් සේ සිටින 
සුගන්ධය විඳින්නට
වන්නට හැකි වේද 
උද්‍යානයක් විලසට

දුටු මුල් දිනක ඔබ 
හදවත කියූ නාමයක
නොවේ කීකරු කමක් 
තුරුණු කම මතින්

එදා දැකි නුඹේ නෙතු 
අදත් කරනා උමතු සිත
කාලයා බැට නොදෙන 
හැඟුම් බර ආදරය

---රකිත---


Saturday, March 28, 2020

~~ ආල සිත මිතුරියට ~~


පවසනා රහස් ඇති 
ගුප්ත වූ නුඹ දෑස
හදවතින් සවන් දෙමි 
නිහඬ වූ ඔබ මුවට

නිබඳ පියකරුව ඇති 
සන්සුන් වූ ඔබට
සිටිනු මැන අසලින්ම 
ප්‍රේමයේ සිහින දැක

වෙන්ව යා නොහැකි ලෙස 
සිත බැඳුනු ඔබ වෙතට
ආත්මය බැඳි ඇත 
සෙල් රුවක් සේ නුඹට

ගෙවන ජීවන ගමන 
පැතුම වන ඔබ සොඳුරු
ආලෝක වන කලක 
හිරු කිරණ සේ ලොවට

තාරුකා මල් අතර 
දිලෙන සඳ නුඹය නිති
එක්ව යමු එකම මග 
වෙන් නොවී කිසි දිනක 

සේවනැල්ල වූ කලට 
නොබිඳෙනා සෙනෙහසින්
එක් කරමු මතකයන් 
පසු කලක හිනැහෙන්න

සමබරව දුක සැපද 
එක ලෙසින් විඳගන්න
මතු භවයක වුවද 
නුඹ ලබන්නට පැතුම

ඔබ සුවඳ විඳින්නෙමි 
දුරක සිට දෙස බලා
ඉතින් අප හමුවෙමුද 
දිනක පැතුමන් පුරා

රැයක තනිකම් රකින 
නුඹ උදාවන සඳට
නුහුරු මිහිරක් ඇතිද 
විඳින්නට සිත පුරා

මිතුදමේ සීමාව ඇති 
පැන යන්න ඇති බියට
නිහඬ වනු කෙලෙසකද 
ආල සිත් සඟවලා

---රකිත---



Saturday, March 21, 2020

~~ අගුලු ලෑමක් ~~



සලිත කරවා සියොළඟ 
මර බියෙන් පන නලට
කොරෝනා වෛරසය
වීදියට පැමිණ ඇති

චිනයෙන් උපත ලද මුත්
ඉතාලියෙන් මෙරට ආ
දනන් කළ විකාරෙට 
නිරෝධායන නොවී පැන

බටහිරට වයඹටද 
දකුණු පස තැනින් තැන
රට පුරා පැතිරෙන්න 
තැත් කරන වෛරසය

කී දේ නාහනා කල 
ජනතාව නූගත් නොවූ
විනය නම් කොයිබටද 
නොදන්නා විලස ඇති

බාර වන්නට කියයි 
බලධරයන් හොඳින්
නොඅසාම පැන ගොසින් 
රටක් ඇති ගිනි ගොඩින්

පනවා නීති නිවාඩුව 
අනිවාර්යයත් කරවා
නොඇසූ කන් ඇති 
පිරිස් පාලනය නැතිවා

බියපත් අයවලුන් පැමිණ
රැස්වෙලා නගර මැදකට
කඩ පොළේ ඉන්ධන හළේ 
සොයයි ජීවිතය රකින්නට

ඇති හැකි එකා පුරවා යන 
නැති කෙනා සුසුමන් හෙළන
අතර මැද පනවා ඇඳිරි නීතිය
නිල නොවන සේ අගුලු ලන්නට 

සියොත් සිව්පා සතුන් හඬ පමණි
නොමැත මිනිස් හඬ ඇසෙන
නගර ගම් දනව් පාළුවට ඇතිය
ඉඳ හිටත් දුවන නිල රථ පමණි

රසට නිසඳැස් ගොතනු බැරිවා
සිතට අදහස් ගලනු නැතිවා
ගතට අලසක් දැනෙනු ඇතිවා
යහන පමණක් නින්ද ලැබුවා

---රකිත---



Thursday, March 12, 2020

~~ කොරෝනා COVID-19 ශූන්‍යය රෝගියා Patient Zero නොකී කව ~~




දින සයක වෙහෙසකර
වැඩ ගොන්න නිමා 
සතියක ඉරු දින පමණි 
විවේකය ගතට ලැබගන්න

අඩුවැඩිය ගැනුමට මිලට දී
පා තැබූ වෙළඳපොළ වූහන් 
නොකළෙමි නම් අනුභවය
අහි මාංශය රස කරන්

කැස්ස හෙම්බිරිස්සාවත් 
හුරු පුරුදු දිවි මගට
හිටි හැටියේ වැළඳී ගත්
අමුතුවට සෙම් ගතිය

වියළි කැස්සක ගතිය
උගුරු දඬු නොතෙමෙනා
හිසත් කැක්කුම් දෙවන
ගතත් රිදුමන් දෙනා

උණත් ඉහලට නගින කල
හුස්ම පොදත් ආයාසයෙන්
වෙහෙසකර ගති දැනෙන
නුහුරටම යන රෝගයට

බෙහෙතක් නාහනා ගතට
බියට රෝහල් ගත වුවද
දැනගතිමි පසුව වැළඳුනු
රෝගයේ රඟ භයානක

දින එක දෙකට එන පෝලිමට
රෝගී දනන් දහස් ගණනනකට
අතරින අහිමි වේය ප්‍රාණයන්
සිය ගණන් විටින් විට ඇසෙන

නොවේ වාතය 
නොවේ අවසාදිත බිඳු
ශරීරය නොගැටුණු 
වරද මා අත නැති

සොබාදම් මව කරාද 
මන්දා සරදම්
ලොවක් අද බියෙන් 
ආ කොරෝනාවෙන්

යන්ත්‍ර ගත සිරව ඇති 
රකින පණ නල මෙමා
දකිනෙමි මිනිස්කම් 
නොමිනිස් කම් ලොවේ

වෛරසය ලොව දවන 
වනසනා මිනිස් දිවි
දවනු මැන දෙවියනී 
කොරෝනාවද ලොවින්

---රකිත---



Monday, March 2, 2020

~~ පෑවිල්ලට ~~



දවන ගත දාහයෙන් 
දින පුරා අහස් කුස
චණ්ඩ හිරු කිරණ වැද 
ගිනියම් වූ මහ පොළව

ඇස් හිස් සම් 
කරවා වියලි වන
දෙතොල් පුපුරා 
සැර බිබිලි මුව තුළ

වැසි දෙවිඳු දූ කුමරියද 
නොපෙනනා ලොවක
සුසුම් හෙළනා ඇල 
දොළද ගංගා වැව් තලය

රුධිර පීඩන මැදින් 
ඉහළ යන ආතතිය
කෝප ගින්නෙන් 
දැවෙනා සිතක හැඩ

රූරා හැලෙන ගත දහදිය 
බිඳිති පුසුඹේ රඟට
පන්ති භේදය නොමැත 
එක සේම මෙදිනටත්

තුරුලතා අද්දරක ඇති
සිසිල සොයනා සිහිනයට
අවදිවන ඒ සැරට 
කොන්ක්‍රීට් වනයේ සිටින

ලොවක් හදවත් දවන
වසංගත සංගදිය
දවන්නට තැත් කරන
රිවි රැසින් චණ්ඩ වන

තෙතක් නොමැති හද 
දෘඩ ලෙසින් ඇති
නොමැත රසවත් 
සිතුවිලි ගඟුල් 

කර්කෂක රළු 
වදන් මුවගින්
පිනින රඟ 
බලනෙමුද මිතුරේ

සියල් මිහිකත දවාලන 
ලක් මව්ද හඬවන 
චණ්ඩ හිරු රැස
සියොළඟ දවාලන

බලා සිටිනෙමු 
වඩින තුරු 
වැසි වලාහක 
දෙව් පියාණන් 

---රකිත---