Sunday, December 30, 2018

~~ අවැසුමක් ~~



නිමිත්ත - වසර 1934 - 1935,  මැලේරියා වසංගතයෙන් නිවසේ සිටි අම්මා දුව සහ පුතා මිය යයි.

බතක පහසක් නොලද 
කුස පොත්ත පිට ඇලී
දියක තෙත නොමැති 
තොල් වියළි පුපුරා ඇතී

ගිලී ඇති දෑස් යුග වසා සම 
අස්ථි පමණකි ලෙසේ
අයා මුව පවසන්න 
වදන් නැත ඇත දිව ගිලී

සිදුරු වූ පියැසි තුළ 
පෙනේ ආකාසය නිලේ
හඬින් කෙඳිරිලි මතින් 
වැතිරව පන් පැදුරේ

ව්‍යධිය කරවා වෙහෙසින් 
ගතද පන නැතී
සොයනු නම් කෙසේ අද 
මාරු සිටින දිසාවේ

මහතුන් ඇති ඇඳ සුදට 
පැමිණියා මතකව ඇතී
කඩදාසියේ එතූ පෙති බිව්වා 
නොව පොවා ඇතී

ලොක්කිගේ හඬ නම් නැත 
පොඩ්ඩාද නොපෙනේ
වාරු නැත සොයන්නට 
උන් ගියාදෝ කොහේ

දැනේ හිරු අවරට 
ගොහින් රාත්‍රිය උදාවී
පිටට ගිය දරුවන්ගේ 
පියා නැත තව පැමිණි

වරෙක ගත වෙව්ලවන 
උණ නගින වෙලාවේ
සතිය නම් වියැකෙනා 
විඩින් විඩ මහිමයේ 

සුදු මහැතන් වෙද මහතුන් 
කී ලෙසේ ප්‍රතිකර්ම
කළද නැවතිය හැකිද 
කරුමය ලොවේ

පුතුද දියණිය පැමිණ රෑ 
කියා එන්නට අම්මේ 
යන්න අවසරයි මට 
උන් දෑත් ගෙන එලොව

---රකිත---




Monday, December 24, 2018

~~ උඳුවප් පෙම ~~










සිසිල් උඳුවප් මහේ 
සොයා උණුසුම සිතට
පැමිණෙන්න නුඹ සොයා 
දින ගණන් දුටු

නුහුරු මිහිරක රහස 
කොඳුරනා හදවතට
අවසරයි එක වන්න 
සිහිනයක් දකින්නට

නිදි වැරූ රැයක තතු 
පවසන්න එක්ව සිට
දහවලක දුටු සිහින 
මුමුණන්න සවනතට

ඇඟිලි තුඩු අග රැගෙන 
මුලට ගණින්නට
හමුවෙමුද අප දෙදෙනා 
අදත් සැන්දෑවකට

ක්ෂිතිජ ඉම මත ඇඳෙන 
මනෝ රේඛාවන්ට
තනා මාළිගාවන් 
අනාගත ලොව දින්නට

සුළඟට ලෙළෙන 
කෙහෙරැලි ගෙන මතට
ඔබ මුදු වුවන දකිනෙමි 
හදවත මත් කෙරුමට

අවසර නැතිවාද 
දෙකොපුල් වෙත හාදුවට
දෙතොල් මතට ඒවිද 
ගැඹුරින් හැඟුමකට

සිසිලස දැනෙනා විට 
ඇවැසිද උණුසුමකට
පමා නොමැත ඇත 
යහනක් පිළිගැනුමකට

කැරොල් ගීතිකා නද 
දස අත පැතිරි කාලයට
දුටිමි නුඹත් දෙව් ගෘහ තුළ 
අල්තාරය වෙතට

යැදුම් හඬින් ඉමිහිරි 
ඇසුමන් සිත බැඳුමකට
අවසර ලැබේවිද 
මව්පිය දෙවියන් වෙතින

---රකිත---



Sunday, December 16, 2018

~~ ඈ ගැබ්වූ ~~










පිරී ඇති මුව සොඳුරු 
සිනහවෙන් සැඟවූ වේදනා
දෙපා ඉදිමුම් පෙනේ 
දින දිනම මතු වනා

අත තබා පිටි මුලට 
වෙර දරයි ඈ නිතර
දෑස් මත පෙනේ 
අද නව බලාපොරොත්තුව

මුවට ගත් අහාර පිඬ 
ගිලින්නට වරම් නැත
සුවඳ පවා දැනෙන 
දුඟඳක් සේ නාස් පුටු

උදෑසන සවස් කළ 
කරන වමනය නිතර
විඳින ඈ පීඩාව 
නොතෙපලූ වදනින් මටද

නෙරා එන ඉදිරියට 
සුපැහැදිලි කුසක හැඩ
කළු තලා වන බෙල්ල 
පපුව ඉඳ හිට දකින

නාරි හැඩ නොවේ නම් 
පෙනේ තර විලස ඇය
නිහඬ වූ ලොවට මා 
ඇයම විය ආලෝක ඉර

ඉඳ හිටක කෝප වී 
මුමුණාවී වැඩි හඬින් ඇය
වරදක් නොවේ ගත 
වෙනස දැරිය යුතු වන

ඉවසා සිටිමි කළ හැකි 
කිසිවක් නොමැති විට
බැවින නුඹ වන 
මා පුතු දරණා මව මතු දින

රාග නුරා මවිත කළ 
නිදි යහන සන්සුන්ය 
ගත නොවේ සිතින් 
මැඬලනා හැඟුමන් සෙමින්

නිදන ඇය දෙස බලා 
සිනාසී තනිවම ඉඳන්
සිපිමි ඒ කොපුල් යුග 
නළල් තල ආදරෙන්

කිරි සිනා දකින දින 
ගනිමි රැය පහන් වන
දඟකාර හැඩකාර 
පුතු දකිනු වස් සිටින

දුකක් ලෙස ලොව දකින 
වෙහෙසෙනා ඈ නිතර
නුඹයි මා සොඳුරියද 
මව් පදවි ලබන්නට

---රකිත---



Tuesday, December 11, 2018

~~ සොඳුරු සන්නාලිය ~~










ඇසුරු සැණින් සළු පට 
මත මැවෙනා
ඉඳි කටු තුඩු අග 
සුසංයෝග වූ
වර්ණ රටා පිරි 
හැඩ තල නිමවන්නා
සියුමැලි දෑතින් 
විස්කම් කරනා 

ලාබ පවහන ලබයි ඔබ 
සුසිනිඳු දෙපා පහස
ලෝහ පැදිය තෙරපා 
බල කවා යන්ත්‍රයට
යොමා නෙත සළු මතට 
පියකරු වන්නට
ඇය වේද යුවතිය 
වියනා රටාවන් දිවිය

හමනා විලවුන් සුගඳ වුව 
යටවනා දහවල සැරට
හැඩ වැඩ නැති ඇඟලුම් වේ 
ගත විලි වැසේනා 
විච්චූරණ පිරි 
විසූක දස්සන පෙළ
හිමි නැති ඇය වෙත 
දුටිනෙමි මහ මග

පිරිවරා මිතුරියන් සවස් කල 
වැඩ නිමා කර
මියුරු හඬ අවදි කර 
මිහිර ගෙන සවනතට 
නවාතැන් පොළ වෙත ඇදෙන 
රැගෙන අඩුම කුඩුමද
කුමරියක සේ පෙනේ ඔබ 
මිහි බට රජ මැදුරකින්

දිළිඳුකම සිප් සතර 
නොලැබුම නැණ නුවණ
නුඹ නතර වීද අද 
කලාපය අද්දරට
ගැරහුම් උපහාසයන් 
මුළු ලොවක් එල්ල කරනා
දරණ ඒ සියලු දෑ 
සිනාවෙන් පිරි වතින්

විස්කම් මවන රන් දෑත 
නුඹ දරණ මව් බිමේ
ගෙනෙන ධන බල 
සශ්‍රීක බව නිතර
දිරිය දියණියකි නුඹ 
රට රකින නිහඬව සිටින
පුදමි හද අද ඔබට 
රහසින්ම නොදන්වා

---රකිත---  



Sunday, December 2, 2018

~~ විශ්‍රාමික වනු වස් ~~










උදෑසන ගෙයි සටන 
අවසන්ය හෙට සිටම
මහ මගක තදබදය 
අවැසි නැත තව දුරට

රතු ඉරට පෙර දුවනු 
කුමකටද මෙතැන් සිට
නිමාවක් පෙනේ අද 
වෙහෙසකර ගමනකට

මේස මත පිරෙන්නට 
ගොඩ ගැසෙන ලිපි ගොනුද
පිරී යන විද්‍යුත් තැපැල් 
අංකිත බහලුම් නිතර

ඉලක්කයන් නැගුමන් ඉහළ 
යනු වස් වෘත්තීය දිවිය
නොමැත සිට අද පටන් 
හිසට බර නොවෙනා කලට

නිති නිතර දකිනා තොමෝ 
සොයුරු සොයුරියන් ලෙසද
දූ පුතුන් සේ දකින 
අයවලුන් අඩු නැතුවද නොව

මත ගැටුම් සිත් රිදුම් කේලාම් 
පැති ගැනුම් කුමට තව
සනිටුහන් වන මොහොත 
අවසාන දිනක වැඩ   

බල නොමැති බලැති කල 
නොවෙනස්ව සිට
මෙනෙහි කෙරුමට අනියත 
කමටහන් තව කුමකට

පහේ කණිසමට තව 
තිස් මිනිත්තුවක් ඇත
පෙළ ගැසේ සියල්ලන් 
එක්ව හනිකට සවස 

අතට අත දී කොපුල් 
සිප සනසාලන්න
දුටිමි නෙත් කෙවෙණි තෙත් 
වනා කඳුළු කැටි එක්ව

දෙවැනි නිවසක් වූද සොඳුරු 
කන්තෝරු බිමට අද
සමුදෙන්න අවසරයි 
තවත් හිමි නැති ලොවට

අර්ථ සාධක පාරිතෝෂික මුදල 
එක් වේ ඉපයූ මෙතෙක්
හරි හම්බ කළ මිනිස් කම් ඇතේ 
මිල නොකළ සතු

මතකයන් පමණි අද 
රැගෙන යන්නට ඉතිරී සිතට
ඉතින් ආයුබෝවන් 
සියල් ඔබ සැමට අද

---රකිත---