Thursday, April 20, 2023

~~ අවසන් කලට ~~




අවසන් හාදුවක් 
රැඳවූ මතකයක
නොවේ එය සොඳුරු 
දුක් බරව ගිය කලට

මතු දිනක නුඹ 
යනෙන දිශාවන්
නොසිතමි තවත් 
අහිමි වූ බව දැන

නුඹම වනු ඇත 
සැමදා මා දිනූ හද
නොවනු ඇත එය 
වෙනසක්ද මතුවට

සිත තුළ හද තුළද 
රැඳි නුඹේ සුසුමන්
සදාකල් රැඳෙනු ඇත 
මේ දිවි තුරාවට

සිනාවෙන් යටත් කර 
තෙරපෙනා සිතුවිල්ල
ලොවට පෙන්වමි මෙසේ 
ව්‍යාජයක් වූ වූවන

ඉඳ හිටත් සිහි වේවි 
පැරණි ඒ මතකයන්
තිබෙනු ඇත නුඹට 
හද තුළ ඉඩක් තවමත්

නුඹත් එලෙසමද නම් 
කියා නොදනිමි මමත්
මංපෙත් ද්විත්වයක 
රැගෙන යනු ඇත අපත්

අහිමි කම පමණක් හිමිද 
වෙනස් කම් වන ලොවේ
පෙර භවක පාපයද 
හඹා එන පසු පසින්

නික්ම යන කාලයට 
බාර කළ ඉරණමද
සමාන්තර වන්නටද 
තරගයේ වේගයට

නොවන්නට මුසුප්පු 
හිමි නොවූ දෑ වෙත
සිර කරමි හැඟුමන් 
යළිඳු මතු නොවන්නට 

--- රකිත ---




Monday, April 3, 2023

~~ රුදු සැබෑවක් ~~

 


වෙහෙසකර දිනක

අග පීඩිතව ගිය සිතට

සැනසුමක් සොයන්නට

පහසක් විඳින්නට

 

නොවේ ඒ කිසි දෙයක්

සන්තකව දිවියකට

කලකිරී පිය මනින

සුපුරුදු වූ නවාතැනකට

 

කල් ගතව ඇවෑමට

වසන්තය නික්ම යන

ගිම්හානයේ දොරටු

විවර වී ඇතිව එන

 

ලවනතත් වියැකෙමින්

තුරුණු කම නිමවන

වටහා ගනිමි දින දිනම

සැන්දෑව උදා වන

 

තුරුණු සිත සිරවෙලා

වැඩිහිටි ගත තුළටව

සිතුවිලිද ඉවත ලා

දොස් දකින ලොවට බියව

 

තනිව සිටිනෙමි

තැවෙමින් අහිමි වූ දෑ දකින

නවමු පරපුර ගමන යන

අප සිටි තැන්ද පසු කරන්

 

දිව යන්න ඒ සමග

වෙර නැතිය පෙර ලෙසින්

නවතිමිය දැන් මෙතන

වෙහෙසයි නම් දැන් ගතට

 

හිමි නොවන දෑ වෙතට

පෙම් බඳින සිත කදිම

වෙමින් ඇත දින දිනම

වියපත්ව ගත තුළම

 

තුරුණු සිතුවිලි දැහැන

වදනකට පෙරළමින්

අකුරු කරනෙමි ඉතින්

අංකිතව ජාලයට

 

එදා රැඳි ප්‍රේමයක

සිතුවිල්ල සඟවලා

සිනාවෙන් වසා ගමි

දොම්නසක තතු සලා

 

මතු භවක ලබන්නට

අහිමි දෑ ඉත සිතින්

පිං කරමි ලබන්නට

සැනසුමක් මතු සසර

 

--- රකිත ---