Thursday, May 25, 2017

~~ ( නො) මිනිසත් ~~



මුව අග හසරැලි සිත තුළ නැත්නම්
වදනක මුදු බව හද තුළ නැත්නම්
අනුන්ගෙ දියුණුව උහුලන්නේ නැත්නම්
නිවන් ලබන්නට කොහෙන්දෝ වත්කම්

පැල ඉනි වැට ලඟ බවුන් වදන හිත
තරගෙට බුදු ගෙයි බුදුන් වඳින අත
තව කෙනෙකුගෙ දුක දකින්න බැරි නෙත
කවදා කොයි ලෙස නිවන් දකින්නේ

මුදලට මිනිසත් කම විකුනණවලු
රුපියල් ශත ලඟ දනින් වටෙනවලු
මං වැරදුනු පසු දහම් අහනවලු
තුන් සිත රවටා නිවන් සොයනවලු

---චතුර රංගන---



 

Tuesday, May 23, 2017

~~ නිදි නිසඳ ~~













නිදි නොමැති
රැයක
තැත් කරමි
මැවුමට
කිසි දින
නොදුටු

මුණ නොගැසුණු
පෙම්වතියද
ඉරණම් කාරියද
දිවි ගමන්
සහකරියද
ඇයගේ වත කමල

ව්‍යපෘති පැවරුම්
පාඩම්
සයිබර් අවකාශ
මධ්‍යයේ
සොයන්නෙමි නුඹ

වුවන හෝ
නොදුටු
මුණ නොගැසුණු
ඔබ නම්
කෙසේ නම් මවම්ද
සිත් තුළක

මංමුලා වූ සිත
වංකගිරි
මැද
සොයයි නිති
වසන්නතය

නිමවන ලොවක
ගිම්හානයේ
සුව විඳින
සිහිනයේ මැද
මවනු වස් නුඹේ රුව

අවසරයි සැතපෙන්න
නිදි කුමරිය
වන් තුරුලටම
සොඳුරිය නුඹ නම්
තව දුරද

---රකිත--


Friday, May 19, 2017

~~ සිත් දැනි අනියතක් ! ~~









කැඩපතින්
පෙනෙනා
රුවක් තුළ
සොයමි
තුරුණු බව
ඉතිරිවද ඇති
පරිණතව පිරි
බැල්ම සිසාරා
නෙතු මතින්

කෙස් රැවුලු
අතර නොසැඟවූ
ශ්වේත වර්ණිත
නර කෙස්ද රැවුලුද
මුවා කළ
නොහැකි සඳ
තැවෙයි නිති
තුරුණු සිත

යාන්ත්‍රික
කතුරු තලයෙන්
කැපි කැපී
ඇදවැටෙන
කෙස් රැවුලු කැබලි
කොට කියයි
අනියත කමක්
දිවි ගමන පුරාවට

නිති නේක
මෝස්‌තර
ඇඳුම් පැළඳුම්
කොණ්ඩ
ඵලක් නම්
වේද අද
දිරා යන
සිරුරු කූඩුවට

මෙනෙහි
කරනු වස්
අනිත්‍යද
නිතින්
අවැසි නැත
කසිනයන්
සිත් එකඟ
කෙරුමටද

කැරණවෑමි
තලය සිප
ඇද වැටෙන
කෙස් කැබලි
කියයි
අනියත බවද
බහුරු කෝලම්
පිරි ලොවක

---රකිත---



Thursday, May 18, 2017

~~ වැසි අසිරියක ~~


පිනූ නුබ ගැබෙන් - සිසාරා වා තලය
සිපිනු වස් මිහිකතද - සිසිලසින් ඇද වැටෙන
පුංචි වැසි බිංදු මැද - තනිවන්න අවසරද
විඳින්නට සොඳුරු බව - තුරුලට විත් වැසි කුමරිය

ගැටෙන ධන සෘණ - වළාකුළු පෙළ
එලිය දෙයි හඬ නගා - අකුණු එලි මැද
හමන මද නල- රුදුරු වන මුදු
ගතට සුව දෙයි- සිසිල විඳිනට

රුදුරු හිරු කිරණින් - බැට කෑ දනන් රට
විඳින හැඩ නුඹ - ගමන් ලතාවෙන්
සොඳුරු බව සේම - විඳිනා නුඹ රුදුරු කම
කම් නැතේ කුමරියේ - වෙමි නුඹ තුරුලට

ගංගා ඇළ දොළ - පිරී ඉතිරෙන
ජල දහරින් - වසා ඇදෙනා
මහා මාර්ගද - ඉදිරි වැටෙනා
තුරු ලතා අතරින් - සොයමි ඔබ සොඳුරිය

හිස මතින් රූරා - හැලෙන පිට දිගට
විටෙක පපු අතර - දිවෙන මිහිරෙන්
වැළඳ නුඹ තරව - විඳිමි නුඹ පහස
සොබාදම් නාමයෙන් - ලබනා සැනසුමෙන්

වැසි දියෙන් සෝදා හරිනු - මැන විඳින දුක් කම් කටොලු
දෝවනය කරනු මැන සියල් - සිරුරු සිසිල් දිය දහරින්
අතැඟිලි බැඳ වන්නට නුඹේ - සිසිලට ලොබ බඳිමින්
ඇද හැලෙනු මැන වැසි කුමරිය - සැනසුමට සියල් පණ නල

---රකිත---



Wednesday, May 17, 2017

~~ මංගල යෝජනා ඇරයුමයි ! ~~











සියල්ලන් පවසන සඳ
කල් නියම බව
විවාහයකට
සිත් ගත් යුවතියන්ද
නොලැබෙන සඳ
අවසරයි
පල කෙරුමට
මෙලෙස

මඟුල් යෝජනාවක්

උඩරටද බොදු ගොවි
දැන් නම් වයසත්
තිහට වැඩි පවුලේද මද්දුම
රැකියාව ඇත
පුද්ගලික අංශයේ
විධායක නිලධාරී
නමුදු ටිකක්
අඩු පඩිය
කම් නැතිවාද


හිමි වනු ඇත
නිවසකද හිමිකම්
යථා කාලයේ
ලැබෙනු ඇත තව
උසස් වීම්
රැකියාවේද
වැඩි පඩි ලබනු වස්
ජීවිතය ගෙනයන්න
අත්වැලක්


නැත මහා පෙනුමක්
කඩවසම්
ඇතද පෙනුමක්
උස අඩි 5'5
සාමාන්‍ය ලෙසට
පීනසට අකලට
ශ්වේත වූ කොණ්ඩ ගස්
තුරුණු පෙනුමට රැඳි
පෙනුම පරිණත


පතනෙමි යුවතියක්
සොඳුරු බර
උගත් රූමත් කාරුණික
හැදියාවැති
විසි වයස් මැද හෝ
මදක් මුලටද
වන්නටද අගටද වයස්
අවැසි නැත
මහා දෑවැදි ධනය


උසස් කුලයක් අවැසි
නැති නමුදු
අවැසිය ඇත පහත්
නොවනට
සනසවන්නට දෙමාපිය
නෑසියන් පරපුර
කම් නැතිය පහත රට
ගුණ ගරුක බවය
වැදගත්


තහනමක් නොමැත
විලාසිතාවටද
රැකියාවටද ඉගෙනුමටද
නුඹේ සතුටම
වනු ඇත මගේ සතුටද
ගරුත්වය රැකගන්න
ලැබදෙන්න සමානව
දෙපක්ෂයටම
දෙමාපිය නෑසියන් පරපුර


සිර නොකරමි
කිසි දිනක
නිදහසද දෙමි
අවැසි තරමට
යුතුකම්ද වගකීම්ද
නිසි ලෙස
ඉටුකරනු මැන
යහපත්
පතිනියක විලසින


සිටීවිද කොතැනක හෝ
ඉරණමේ ලියවූ
කුමරියේ සොඳුරු
නුඹට කරනා
ඇරයුමයි
පැමිණෙන්න ඉදිරියට
සෘජුව හෝ
සයිබර් අවකාශයෙන්
එක්වී පෙම් ගීය ගැයුමට


--රකිත---



Saturday, May 13, 2017

~~ පෙමක මිහිර ~~


නික්ම යන්නට මතු - හිඳිනු මැන තව
මොහොතක් සිට - තෙපලනු මැනවි
වදනක් මුදු හඬින් - තුමු මුවින් තුටු
සොඳුරු දෙනෙතින් - හසරැලි මතින්

හා පුරා හමුවන්න - කළ කියූ දෑ තුටින්
සිහිවේ මොහොතකට - හදවතට නිති
දැකගන්නට නිතින් - නුඹ සොඳුරු රුව
සිටිනෙමි බලා තුටින් - සැම කලක නිති

හිරු ගිලෙන අවරගිර - සොඳුරු සැන්දෑ කල
මුහුදු වෙරළක තැබූ - මුතු කැටයකිය තුමූ
මදනලින් විසිරෙනා - කෙහෙරැල්ල සොඳුරුය
සියල් ගත විඩා නිවනා - මද හසින් රුවැත්තිය

තුරුලේ හොවා ලමැද - ප්‍රේමයේ උණුසුමින්
මවන්නට සිහිනයන් - අනාගත සුභ පැතුම්
පිරිමදින නුඹේ හිස - අතර බඳ වටා සුරත
සාගර තොමෝ සිපින - වෙරළ නම් දෙතොල

කැදැල්ලක තනිවන්න - තනන්නට නව ලොවක්
සිහිනයක් දකින්නෙමි - සොඳුරු මනාලියක් තුමු
උදා වන දිනක මතු - අතිනත ගෙන සතොසින
පිය මනිමු අප දෙදෙන - අනාගත කාලයට මතු

වසන්තයේ සොඳුරු බව - විඳින්නට තුටින් සිට
දෑත් බැඳ පා තබමු අද - විඳින්නට ජීවිත ගඟුල
තනි නොවන සොඳුරු බව - ගිම්හානයට මතු
එක්වෙමුද මතු භවයකද - සසර නිම වනා තුරු

---රකිත---


Tuesday, May 9, 2017

~~ ඉක්බිතිව සරදමින් ~~


සවනත වැකෙන සරදම්
තෙපලන මුවින්
නුඹලා සියල් එක්වී
විටෙක පෙළයි සිත හදද

නමුදු ඉවසා වදාරා
සිටිමි නිරතුරු
නොහැකි සඳ අහිමි 
කරගැනුමටද මිතුදම්

පවසන සෑම වදනක් 
ඇසේද නුහුරටම
මිතුරු මිතුරියනී 
නෙතු ගැටෙන විට තුමු

හැඟෙන්නේ සරදම්ද 
වරදක් ඇතිද දොසක්
වන්නට අපහාස 
මෙලෙසකටමද

වරෙක සිතිවිලි 
පවසනා හැඩයකට
සිත් හද පත්ලෙන් 
හැඟෙන්නේ නිති

නොගැලපීමක් 
කුලකයන් වෙත
අයත් නුඹ සියල් 
මෙතැන් සිට දැනේ

වරද ඇති තැනද 
පවසනු මැනවි
සරදමට නොවන
සැබෑ මිතුදම් සේම

කල් ගතව යනෙනා
කාල තීරුව මතින
ඇදී යන්නෙමි ඉවත
නොපෙනෙනා මානයට

සැඟව සිට හඬනා සිතද
සිනා සෙමි පෙරළා නිති
සරදමද නිබඳව සුපුරුදුය
තැලෙන පෙළෙනා හදට

---රකිත---


Monday, May 8, 2017

~~ තුරුණු අග ~~


සැඟවිය නොහැක - ශ්වේත වර්ණිත
හිසකෙස මතුවෙනා - කාල වර්ණිත
කේෂ අතරින්  - අකලට පැසුනද
පීනසයට වුවද නිමි - ගෙවෙනා වසත් කල

සුසිනුඳු තුරුණු - හිරිමල් පෙනුමැති
මුහුණු තහඩුව - නොමැත පෙනුමක්ද
එතරම් නම් - ස්ථූල වන දෑත් දෙපා
නෙරන සඳ - උදරයද ඉදිරියට

දුරට සිප් සතර ලැබුමට - වෙත ගියද
සරසවි මවුන් වෙත - තුරුණු පෙළ අතරින්ම
දැනෙනා සිතට - නොගැලපෙන බව
තුරුණු ලොවකට - තවත් නම්

අහිමි පෙමකට හඬන - හද ගැබක හැඩ
නොවේ නොදැනෙන - කලට තනිකම
පමා වැඩි බව - තෙපලනද යටි සිත
කිමද අරුමය - නොතේරෙන සඳ

නිමා වී ඇත වසන්තය - පැමිණ එන
ගිම්හානයක - පාමුල සිට
සිහින මවනෙමි - සැබෑ නොවනා
දෙනු මැනවි ඉඩ - තනිවන්න නිති

නැගෙන හිරු - දනිමි බසිනා අවරගිර
සඟවා සිහිනයන් - පැතුමන් අතර ඇති
රැයක අඳුරුවන - තනි යහනක පහස
තුරුණු අග සිත - හඬයි මැදි වියක නුහුරට

දැනුම් සවියෙන් - සොයා යනු වස්
ඉදිරි ගමනක - පැතුමකින්
කැපකරන්නට නිති - අවසරයි
සිහින පැතුමන් - මේ ලෙසින්

මහලු නොවනා - තුරුණු සිත හද
සදාකාලික වනුය - සසර අග වන තුරා
නුඹ දුරයි වසන්තය - ලං නොවනා කලට
අවසරයි තනිවන්න - තුමු ලොවකටම

---රකිත---



Saturday, May 6, 2017

~~ කුමරියේ ~~











කඳු මුදුන්
පිසලමින් එන
හමන මුදු
මද නලින් නිති

සවනත වැකෙන
මිහිරෙන්
නුඹේ
හඬ කුමරියේ


නිදි සුවය
විඳින කල රැයක
මැවෙනා මිහිරි
සිහිනයන්

මැවෙන්නේ
නුඹේ රුව
හද පැතූ
කුමරියේ


දිනකරද
නික්ම ගිය
නුබ ගැබක්
සරසන්න
පැමිණි චන්ද්‍රයා
ලෙසක
තරු පිරිස්

පිරිවරා කුමරියේ

විහඟුන් මුදු
ගී ගයන
බිඟුන් වන
මල් සොයන
වස්සනයක
සොඳුරු දිනයක
ඔබේ අත ගැනුමට
කුමරියේ


දිවි ගමන පුරාවට
නොව පමණ
මුළු සසර ගමන
නිමාවන තුරු
කරන්නෙමි
පෙම් ගීය ගැයුමට
ආරාධනාවක්
එක්වන්න කුමරියේ


---රකිත---



Tuesday, May 2, 2017

~~ වසර අවසන් පරීක්ෂණයට පෙර ! ~~










පුරා තෙමසක
දුක්ඛ ගඟුලක
අවසරයි කිමිදුමට
නිමාවන තුරු
රුදු විභාගයද
සිතද ගතද හදද
පාෂාණීභූතව
වියළිව ඇත

පැවරුම්ද පාඩම්ද
ව්‍යපෘති කේවලද
කණ්ඩායම්ද
සිරව ඇත වැඩ
ගොන්න මෙලෙසට
මූලිකයි රැකියාවද
කෙසේ නම් කරම්ද
සියල් සම ලෙස

නිදි බර දෑස් පියන්
වැසේ ඊයම් බාරු
එල්ලූ කලක සේ
රිදුම් දෙයි
පිට කොන්ද හිඳින
එක ඉරියව්ව
අන්තර්ජාල දැනුම් පෙළ
සහය වන පාඩමට

පෙර කලක යට ගිය
දශකයක
සිහිවේ උසස් පෙළ
විභාගය කළ
නිසි කලක නිසි දෑ
නිසි ලෙසින්
නොකළ පව
වත්මන විඳියි මෙලෙස

අහිමි සරසවි සිහින
කල්ගතව හෝ
ලබන්නට
ලැබගැනුමට වස්
සැම සුදුසුකම්
උපාධිය හා සමව
විඳියි දුක් මෙලෙසකට
අහිමි ලොව දකින්නට

ගිම්හානයක දකින
වස්සානයේ සිහින
හැකිවේද දකින්නට
ඉටුකරන් දෙමාපිය සිහින
වෙර දරන් දිරි අරන්
ජයකණුව වෙත යන්න
අවසරයි ලබන්නට
ආශීර්වාදය ඔබ සැම

අත්හැරෙන තුරුණු කම
විටින් විට නෙතු ගැටෙන
සඟවමින් කඳුළු බිඳු
සොයයි ආදරය සැම
උසස් ඩිප්ලෝමාවෙන්
ගොඩ යන්න ඉදිරියට
සිහිනයක් දකිමි
පශ්චාත් උපාධියකට

---රකිත---



Monday, May 1, 2017

~~ මැයි දිනක සිතුවිලි ~~













නිල් රතු කොළ කොඩි
වැනෙනා සැම අත
යකඩ කටින් යකඩ
මුවින් තෙපලනා


නේක සටන් පාඨ
සවන් වැකේනා
අරුම පුදුම දසුනකිය
මැයි දිනක අරුමය 


යට ගිය දිනක
එකදාස් අටසිය ගණනක
වසරක දිනකද
පැය 12 ක වැඩ මුරය


අඩු කරනු වස්
පැය 8 ටත්
රැක ගැනුමට
අයිතිවාසිකම තුමු


රුදුරු වෙඩි පහරට
බිලී වී තෙත් කළේ
රුහිරෙන් එදා
චිකාගෝ නුවරම


උගත් නූගත් සෑම දෙනා
වෙනුවෙනි නුඹලා
දිවි දුන්නේ
අද අප විඳිනා සුවයට


සූරා කන සියල් ශ්‍රමය
විඳිනා දෙව් සැප
රස මසවුළු බීම සමග
සූරා කන රතී සැපය


නොව පමණද මතුවට
මුළු රටමද සූරා කන
දේශපාලුවන් සැම දෙන
රැස්වේ අද අගනුවරට


වදන් බිණියි කරවන
අභියෝගයද පිරි
බතට මතට ලොල්
ජනයා එක්වේ ජය


ඔල්වරසන් නැගුමට
විසඳුම් නැත පෙළෙන
රටට දැයට සැම
උන් කියවයි උඩට යටට


ප්‍රාසාදෙන් මහ පොළවට
යලිදු යනෙන ප්‍රාසාදෙට
නුඹද මමද අප හැම දෙන
සිහින දකියි ප්‍රාසාදෙට


දිනක් වේද අප සැම හට
සිහින පැතුම් ඉටුවී යන
සැබෑ රටක මැයි රැළියක
ධජ විහිදා සිනාසෙන්න


---රකිත---