Sunday, February 25, 2018

~~ ආදරණිය නෙලා වෙත ~~










මහා මැදුරක
ඉපිද
පිං මදව ලොව
දැකුමට
දෙනෙත් යුග අඳව
ගිය කළ
නුඹම විය සැනසුම්
හඬද


තනිකමට සිටි මග
කියන හැරමිටිය
වෙනුවට පැමිණි
මනරම් නාදය
අතින් අල්ලා ලොවක්
දැකුමට
රැගෙන ගිය සැටි
ළදැරියක ලෙස


හිරු එලිය මද
සුළඟ
පා සිපින පිණි බිංදු
තණ බිම්
ගලා යන දිය
දහරාවන්
නේක මල් පෙති
පහස


නුදුටු ලොව දුටිමි
නුඹ හඬින්
මිහිරි වදනින්
නොනැවතී නිතර
මුදු පහස නුඹ
අත් තලයේ රැඳුනු
කරවනා හදවතද මත්
ප්‍රේමයෙන්


වැළඳ නුඹ මා
පපුතුරට
සිහින දුටුවෙමි සොඳුරු
දිවියක
නෙත් පෙනෙනා
දිනක් වෙත
නුඹද පතනා
බව දනිමි


ඇවැස්ස නෑකමට පැමිණි
කුමරියක
සිටියද අඩු නොවුණු නුඹට
හිමි ආලයද
මිහිබට ජිවක තොමෝ පැවසු
කළ නෙත සුවය
දැකුමට දින ගැනුයෙමි
නුඹ රූපය


වෙදැදුරු මහිමයෙන් දුටු
ලොව නෙතින්
නුඹ හඬින් දුටු ලොව දකිමි
සැබෑ ලෙසින්
රූමත් කුමරිය දිව පැමිණ
වැළඳගත් මුත්
මා සෙවූයෙමි නුඹේ රුව
සොඳුරියේ


පෙම් කළෙමි නුඹ රුවට
නොව නුඹ හඬට
අත්වැලක් වූ දිවිය නුඹෙන්
ලද ආලයද
හැරදමා යන්නට
මග හැර මෙලෙසකට
කිමද කළ වරද
නොදනිමි සොඳුරිය


රැගෙන ආ නුඹ සිරුර
පන අග රැඳුනු
දුටිමි නුඹ සැබෑ රුව සඟවන්න
තැත් කරපු
පෙම් කළේ නුඹට මිස රුවට
නොව සොඳුරියේ
හැර ගියේ කිමද මා
වැළපෙන්න දිවි ඇති තුරා


දෙපා අසල වැතිර අයදිමි
ඔබ දිවිය
හැර යනු කෙලෙස නුඹ
මා අත්හැර
අවසන් වරට නැවතත්
පවසනු මැනවි
ආදරෙයි කියා එදා
මෙන් අදද


විරූපී ගතක සැඟවූ
සොඳුරු හදවත
හැඳිනියෙමි නෙත්
නොපෙනෙනා කලද
මුසු වන්න නුඹ අවසන්
හුස්ම පොද
අවකාශයට සුසුමක්
විලසකට


හුරු පුරුදු
සිවුරුහන් හඬ
ඇසෙනා හිරු
නැගෙන යාමයේ
සුරූපී ආත්මය සිනාසී
සමුගන්න
සදාකල් මතකයන් තබා
යන්නට අවසරයි


~~ නෙලා, මම නුඹේ ආදරවන්තයා “ජෝර්ජ්” වෙමි ~~


---රකිත---





~~ නෙලා නොකී කව ~~











සීත කඳුකරය
මැද
දුහුල් මීදුම
අතර
වසන්තය සොයා
ඇදෙන
නුඹ දුටිමි
කුමරුනි

අගු පිලක
ලගින මා
නුඹ මැදුර
අද්දර
නොගැලපෙන
වුවද
තෝරා ගත්
කලක

කඳු යාය අතරින්
ඇදෙන
සිවුරුහන් හඬ
මිහිරි
ඇවිද යන්නට
එක්ව
නුඹේ අත ගෙන
තුටින

අඳුරු වූ ඔබේ
ලොව
කරවනු වස්
ආලෝකය
වදනින් ස්පර්ශයෙන්
එක්ව
තැත් කළෙමි
සැනසුමට

තුරු ලතා මල් සියොත්
හඬ අතර
ගලා හැලෙනා සිසිල්
දිය දහරකින්
දිනිමි නුඹ හද සොඳුරු
වදනින්
රැවටුමෙන් නොව
හදවතින්

කුමරියක පැමිණි ඔබ
වෙතට
හද බැඳෙනු වස්
නුඹට
සිත පෙළුණු මද
ගැටුමකින්
නමුදු නොකළෙමි
ද්වේශයන්

වෙදකමින් හෙදකමත්
එක්ව
සුව කළ නුඹ දෑස්
යුග්මය
හිමිකාරිය වූ කුමරිය
නුඹේ
වැළඳගනු දුටිමි ලොව
දුටු දිනේ

පෙර කලක මෙලොව
එලිය දුටු කල
පාපතර බීමත් පියා
තිරිසන්
අත් හල මෙමා හෙළ පහලට
මියෙනු වස්
දිවි ගැලවුනෙමි සදා
ඇති කැළැල් හා

සුරූපී කුමරියක
හිමි නුඹට
විරූපී මා අවැසි
නැත
පෙනෙන්න්නට නොහැකිය
පැමිණුමට
අවසරයි නික්මී
යන්න

වන බිමක හිරු
නොගැටෙනා
පරුවත ගහනයක
සැතපිලා
මුමුණමින් අහිමි වූ
මව් වෙතට
සිටිමි මරු
එනතුරා

නුඹ දෑස් සුව කළ
වෙදැදුරු
රැගෙන ගිය මුත් මා
නුඹ වෙත
පලක් නැත මා දැකුමෙන්
නුඹට
විරූපී මා නුඹ සොඳුරු
දෙනෙතට

දෙපා අල්ලා හඬා
වැටෙනා
ඔබෙන් දුටිමි මා නිර්මල
ප්‍රේමයද
කුමරුවනි කිසිදාක මා
හිමිනොවන
අවසරයි මට නික්මෙන්න
දිවියෙන්

විරූපී ගතින්
නික්මෙනා
සුරූපී බව කැටි ආත්මය
වෙතින්
සුපුරුදු සිවුරුහන්
හඬ මැදින්
සුභ පතමි නුඹට
සමුදෙමින්

---රකිත---




Wednesday, February 21, 2018

~~ මතකයන් අද්දරක ~~











අහඹු
ලෙසකන් දුටු
සයිබර්
අවකාශයේ
මුහුණු පොත්
ආදමේ
ඔබේ නම
නුහුරු රුවකින්


එක් කර මිතුරු
ලැයිස්තුවට
අංකිතව වදන්
දෙඩුමට
කවුරුන්ද මා කියා
ඇසූ කළ
සිහි විය පෙර
මතක පෙළ


දශක
ගණනකට පෙර
හතර
පන්තියේ අප
අකුරු
කළ අයුරු
සිප්
සතර හදාරා


කෙළි දෙලෙන්
ගත කළ සමය
වීර කතා
බොළඳ සිනා අතර
විටෙක තරහා වෙමින්
නැවත වන මිතුරු
සොඳුරු ළමා
කාලයක සිතුවම්


තරග නැත
ඉගෙනුමට මුත්
තරග ඇත
සෙල්ලම් ලොවට
සුරඟනන් මිනිසුන්
සතුන් මත
ගෙතූ කතා නම්
මතක සැමදා


හිරු දිළෙන
වැසි වැටෙන
සොඳුරු
පාසැල් සාමය
ළමා කල මිහිරියාව
වින්දෙමු අප
සැබවින්ම
අංකිත නොවූ ලොවක


කල් ගතව
ඇවෑමෙන්
වෙන්ව ගිය
අප සැමද
නැවත හමු නොවූ
කල වුව
මතක විය
සිත් කොනක සැම විට


දියණියන් දෙපලකගේ
මවක වූ ඈ මෙදින
එනමුදුද දුටුව දින
රුව එලෙසමය
සුපුරුදු සිනාවෙන්
ඇමතු කල
සිහි වියද අතීතය
සොඳුරු ළමා විය


දරු පැටවුන්
හා සමග
පවුලේ
අයවලුන් හා
හමුවෙමුද
දිනක අප
දැකගන්න
අප සැමට


පිය මනිමු
අතීතයට එක්ව
අමතක කර වත්මන්
ලොව මොහොතකට
තනිවන්න
ළමා ලොව අපේ
සොඳුරු මතකයන්
අද්දරක

---රකිත---




Thursday, February 15, 2018

~~ පෙමක මහිම ~~











පෙර භවක
පැතුමක් ලෙසින්
පාතා ආවෙමි
සොයා ඔබ
සසර ගමනක
නවාතැන්ගෙන
අහඹුවක් නොව
හමුවීම ඔබ අද


රුදුරු මාරු
කතරකද තනිකම
තනිව ආ
ගමන කටුකය
මිරිඟුවක් නොව
දුටු කලක කෙම් බිම
නුඹම විය
අද වසන්තය මට


කරුණු නම් නැත
විස්ම වන්නට
පෙර පැතුමකට
සේම හමුවන
දිවිය වන්නට
කරන සුන්දර
ඔබම විය
මා පෙම්වතා


සැලෙන හදක
රිද්මයක මහිමය
නෙතින් නෙත
හමු වූ දිනක වැටහුනු
වදන තෙපලූ
මුවින් නුඹගේ
වන්නටම සිත
මත් වූ ආලයෙන්


එල්ලී උරයක
වැළඳ පපු තුර
එබී දෙනෙතට
පහස විඳුමට
සොයමි රැකවරණයක්
නුඹගෙන්
ළදරියක සේ
යොවුන් දිවියේ


විඳින්නට සුව
පෙමක පහසින්
සොඳුරු නුඹ
අද සතුව ඇත මා
එක සිතින්
එක වදනකින් ලෙස
සිටිමු ලොව
දිනුමටද එකතුව


වැයුමට ඉමිහිරි
නදින් අද
ගැයුමට මිහිරි
වදනින් මුදුව
පෙම් කවක්
නුඹ නමින්
එක්ව සසර ගමන
නිමා වන තුරු


--- රකිත / දිනූ ---





~~ සිතකට බැඳි පෙම් ~~













නුහුරු ලොවකට
පා තැබූ සඳ
අවැසි වන්නට
රැකවරණයක්
සොයන කළ
නව ලොව පුරාවට
නුඹ රැගෙන ආ
වස්සනයක මිහිර


නොවී බඹරෙකු
රොන් ඉරුමට පමණ
උයන් පල්ලෙකු
ලෙසින් රැකුමට
දුටිමි නුඹ දෑසින්
නිරතුරුව
නුරාවක් නොව
දයාබර බව


හිස තබන්නට
උර තලය මත
වැළඳ ගන්නට
පපු තුරේ වැතිරී
සවන් දෙන්නට
නුඹේ හදවතට
ප්‍රේමයක සුව
විඳින්නට ලොව


රළු වදන් හැඩි
දැඩි පෙනුම පිරි
කදිම පිරිමි කම
පෞර්ෂය පිරි
ඉදිරියක දමනය
වන්නා කලක
තුමු සිනහා

වදන් මැදි කොට

අවුල් වියවුල් ගැටලු
ගැටුම් පිරි ලොව
වෙලා අතිනත
දිනක නුඹ හා
සොඳුරු සිහිනයක
මංගල දිනයක
පා තබන්නට
ඉවතලා සියල් දුක


එකම සිතකින්
නොවෙනස්ව නිරතුරු
රකිනු ඇත නුඹ
මා පන හා සමානව
පුරා සසරින්
එතෙර වන තුරු
එක්ව යමු හමුවී
නිවන වන තුරු


--- රකිත / දිනූ ---




~~ සෙනෙහසින් ~~










හිරු සඳු වන
තුමු
දිවි මග
නිරතුරු
රැකුමට පිං බර
දෑතේ
වෙළෙනා
දුක සැප
අද්දර ඇති
දිවි මග
නොවෙනස්
ඔබ සිත
සනසයි
මා ලොව
හසරැලි පමණකි
පිසිනා දුක්
කඳුළැලි
නුඹමය ආලය
මා දිවි
ඇති තුරු
සසරක


--- රකිත / දිනූ ---



~~ ආදරයක් ! ~~
















හිරුද සඳු
තරුද දිළෙනා
අහස් කුස
වළා පෙළ මැද
සයුරු තෙර
ගං ඉවුරු අද්දර
තුරු ලතා
තෘණ බිම් සිසාරා
මීදුම් මැදින්
හමන මද නල
ඇද වැටෙන
වැසි පොද මතින්
සසරක සුපුරුදු
සුවඳ අතරින්
හැඳිනියෙමි
අද ඔබගෙන්
ප්‍රේමයේ මහිමය


--- රකිත / දිනූ ---



Monday, February 12, 2018

~~ ඉන් ඉක්බිති කල් ගතව ~~










සිර කරනු
වස්
තුරුණු
සිතිවිලි දැහැන
තුරුණු
හදක රැඳි
වියපත්
ගතින්


සන්සුන්ව
සිට
පහන් වූ
සිතින්
ගලපමි
සිත් දමක්
තනිව
ලොවකට


ජනිත
කරවන
සොඳුරු වූ
සිතුවම්
යොවුන් මත්
කිරණින්
වර්ණිතද
නිරතුරු


පා නගන්නට
සිත්ව
යන කළ
නිතර
අදින
පසුපසට
පරිණත ගත
සතු වන


පිනවනා
සිත් සතන්
යොවුන්
කුමරියන්
යනෙන
කුමරුවන් හා
දොඩවනා
පෙම් බසින්


නේක නව
විලාසිතා
උපකරණ
ප්‍රවණතා
දෙස බලා
තුටුවන්න
හිමි නොවනා
කලක


විඩාපත්
ගතින් වාරු
නොමැති
අත් පා
ලවනත
වියැකි වතින්
සුදු හිස
කෙසින්


නෙතු දුබලව
සවනත
සත්සර
නොමැති
මහලු පරිණත
පෙනුම
නොසලකන
කිසිවෙකුත්


එකිනෙකා
දිවි හැර ගොස්ය
සම වයස්
හිත මිත්‍රාදීන්
නව තුරුණු
කැළ අතර
නොමැති අද
ස්ථානයක්


තනි වන්න
සැබෑ ලොවක
කරන අනියත
මෙනෙහි
මරු ඒවි
ලඟ ලඟම
රැගෙන
යන්නට දිවිය


වැඩ නම්
කෙරුම
තව මද
කලකට පමණි
විශ්‍රාම
දිනයක්ද
ලඟ ලඟම
එන හැඩය


පෙර වනු
වස්
අවලංගු
කාසියක් ලෙස
සමුගනිමි
මෙලෙසකට
යථා බව
අවබෝධයෙන්


ඇසෙනු ඇත
උපහාස
වක්‍ර ලෙස
සරදමින්
තුරුණු පෙළ
මත්ව ඇත
යොවුන්
උන්මාදයෙන්


සිහිවේද
ඔවුන් හට
යථා බව
පවතින ලොවක
සිනාවෙන
ගොක් අත්ත
ඇද වැටෙන වියලි

පොල් අත්තකට

---රකිත---



Tuesday, February 6, 2018

~~ පුංචි සන්නාලියට ~~















සවස් කළ
බිම සිපින
පොද වැස්ස
අද්දරක
කලාපයේ
වැඩ නිමාවන
සීනුවක
හඬ අතර


කඩිමුඩියේ
දිව එනා
සමනලියන්
රෑනක් අතර
අහඹු ලෙස
දුටිමි නුඹ
සුරඟනක්
විලස අද


උසත් නැති මුත්
මිටිද නැති
තලෙළු වර්ණය
සුදට හුරුවට
නෙතින් වතින්
අවිහිංසක බව
පෙනෙන
හුරුබුහුටි කම


සිත් ගන්න
ලැසි ගමනක
කදිමය
වදන් කියවන
රැහෙන්
තනිව කිම
ගමනක යන
නුඹද


අට පැයකටත්
වැඩි කලක්
මැහුම් යන්ත්‍රය
හා ඔට්ටු වී
රිදුම් දෙනවාද
නැගණිය
සියුමැලි
දෑත් දෙපා


දුප්පත්ව හෝ
වරම් නැති උගත් කමට
ගෙවන්න්නට
පෙර ණයක්
ගම රට හැර දා
වෙන් වී පවුලෙන්
දුක් විඳින
රඟ දැනේ

ජැන්ඩියට
ඇඳ පැලඳ සිට
තට්ටු ගොඩනැගිල්ලක
උජාරුවට
විඳින වද
ලොවකට හොරා
සිහි වුනෙමි
නුඹ දුටු කලේ


නුඹද මෙන්
මාද අද
විඳින දුක
නොදැනෙනා ලොවට
කුමක් නම්
කරමු අප
අහිමි වූ
ලොවට අද


වසන්තය
අහිමි වූ
මනු සතුන්
වන අපද
සිතේ වදනක්
බිණින්නට
තනිව
නුඹ සමග දිනක


ගෙත්තම් කරනා
දෑත දරා
සිත්තම් කරනා
සිතුවිලි
සඟවා අද
වෙන්ව යමි
දුරක සිට
නරඹා නෙතින්


---රකිත---



Saturday, February 3, 2018

~~ දුටු කුමරියක බඳු ~~















රන් තාරුකා
දිළෙන
ඔබේ නිල්වන්
දෑස
පුන් සඳක් සේ
සුසැදි
ඔබේ වත
මනරම්ය


රත් හඳුන්
දෙතොල් පෙති
අතර
දන්ත කල්‍යාණ
අක් බඹරු
කෙස් කළඹ
අගෙයි ගෙතු
තනි අතට


දිගු ඇඟිලි
නියද වර්ණිත
දෑත් දෙපා
නම් හැඩය
පා තබන
කළ නිබඳ
නලවමින්
මුළු මිහිකතම


දිගුද නොමැති
නොවනා කෙටි ඇඟලුමට
ලාලිත්‍ය පෙනේ
ස්ත්‍රී රුවක රටා
නෙතු අග සොයන
කොමල රේඛා ගත පුරාවට
කදිම රුවකි නුඹ නම්
දුටු දිනක මෙමා


පුරන්නා සේ
අමෘතය මුව
සවනත වැකෙන
වදන් ඔබ
අහඹු ලෙස
ස්පර්ශිත වූ
සලිත වන සිත
නුහුරු හැඟුමෙන්


දනෝ නරඹන
නැවත හැරෙමින්
පුළුගන්වා
තුරුණු සිතිවිලි
මිහි බට වූ
දෙවඟනක් නොවෙදෝ
රාගයෙන් ආලයෙන්
මත් වූ කලක


නෙතින් බලා
මතකයට ලද රුව
යහන් තලා වන
රෑ යාමයට
මුසු කරවනා
තුරුණු සිතුවිලි
මැදියමක රෑ
අරුණ නැගෙනා


දැකුමෙන් පමණ
සනසන සිත නම් තුටින
වදනින් ඇසෙන
මිහිරැති රිද්මය නිතොර
දැඟිලි තුඩට ස්පර්ශිත
කළඹන හැඟුම් පෙළ
කුමරිය නුඹය නොලැබෙන
කිසි දිනක මට


---රකිත---