Thursday, October 26, 2017

~~ මතක ලොව ~~











බිඳුණු අතීතයක
සුන්බුන් අතර
රැකී ඇති
මතකයන් අද්දරක
සොයා සැරි සරන්නට
තනිවන්න මදකට
රුදුරු මුත්
මිහිරි වූ සිහිනයක


සිතිවිලි තරංග
විහිදුවා
කරවා අවදි
මතකයන්
සොයා යන්නට
සොඳුරු තැන්
දුක්ඛ දෝමනස්
මැදක සිට


යට ගිය දවසක
හමු වූ
අහඹු ලෙසකින්
රැඳි ඇත නුඹේ
වදන් පෙළ
ඇයදුමක් නොව
පැවසූ සිතේ
රැඳි පෙමක පැතුම්


සිහින මාළිගා තැනූ
බිඳ වැටුණි එක්
නාඳුනන ඇමතුමෙන්
මවද සොයුරන්
යැවුමට නොමග
නොසන්සුන් සිතිවිලි
වෙලා ගත් හිසින්
සමුගත් ඇය හැර ගිය


කලක් ගත වූ
දිනක
දුටිමි ඇයගේ
රුවක
පුදසුනක සිට
අභියසක
දෑත් ගත්
කුමරෙකුද සමග


පළමු පෙම නොව
පමණ අහිමි වූ
දෙවනද තෙවන පෙම
වියෝවෙන් පමණක්ම
සියල් නිම වී යන්න
අහිමි විය ආලයක
කිසිදිනක හමු
නොවන්නට


තැත් කළද ජය ගන්න
නුහුරු පෙම්
ලෝකයද
අහිමි බව හැඳින්නෙමි
ඒ සොඳුරු ලොවද
සියල් දුක් විඳ දරා
තනිකමක
පතනා මහිම


නිමවන්න
වසන්ත සමය
ටික දොහයි
ගෙවන්නට
වඩමි සංසුන් සිතින්
මෙත් කරුණා සැමට
පිනට ලැදි
වන්නට නිති


---රකිත---



Monday, October 23, 2017

~~ සොඳුරු මිතුරියට ~~










හසරැලි පානා දෙනුවන් දිලෙනා
සුන්දර වූ වත කොමල බැල්මෙන්
කඩිසර ගමනින් මිහිකත නළවන
සුන්දර යුවතිය සිත් මන බන්ඳන

මිහිරැති වදනින් සනසන සිත් සත
රුව දැකුමෙන් දිනයම සුන්දර වන
අංක එකේ වූ රූපවාහිනී නාලියක
ඇය වේ පිළිගැනුමේ නිලධාරිනියක

සරසවි බිම නුඹ රුව දුටු දිනයේ
මිතුරිය වූ සඳ වූ සිත් සතොසින්
ඇය එන තුරු දැඟිලි ගණිනා අප
ඔබ විය කුමරිය සරසවි තුළ අප

හැඩ වැඩ පමණක් නොව ඈ දකිනා
සිප් සතරද නිමවයි නිති සොඳිනා
ඇය පසු බසිනා බව නොදනින්නා
වීරිය දුටුවෙමු ඔබ තුළින්ම නිතිනා

නායක කමටම උපන්න ඒ ගතිනා
දුක් බාදක මුල් ඇය නම් මැඬලන්නා
අපහාස උපහාස ඇය නොතකනා
ආදර්ශය විය ඔබ සැම නිති දකිනා

අදිනා කණ්ඩායම මුලු වගකීමද
උසුලන ගැටලුද වීරිය වඩවා සිත 
එක්වී එක්කර සැම එක මිටකට
ජය ගනු දුටුවෙමු මහ අභියෝගය

දිවි මග පැතුමන් සුන්වී ගිය මුත්
නොහඬා නොවැටී නැගී සිටී ඇය
නව ලොව ගොඩනැගුමට සැරසී
මහිමය දකිනෙමු ඔබගේ ලෝකය

ඔබ සතු වීරිය දැනුමද මුසුකරවා
සිප් සයුරෙන් යනු ඇත එතෙරව
තුටින් සුභ පැතුම් පතනා ඔබටම
ජය වේ මිතුරිය ඔබට වේ වාසනා

සිත් ගත් ඔබ මා නිති මිතුරිය
සිතිවිලි පවසන රහසක් හදටම
නුඹ මතු දිනයක නම් හිමි වන
ඔහු නම් ගෙන යනු ඇත සිරිකත

ආදර බර ඔබ නම් හරි කදිමය සුදු
හිමිකර ගැනුමට නම් මා සිත් දෙන
හදවත පතුලින් අද සුභ පතනෙමි
මිතුරිය නුඹ නම් සැම කල්ම දිනේවා

---රකිත---



Friday, October 20, 2017

~~ සඳේ සිතුම් ~~




සිසාරා නුබ ගැබද අඳුරක
පිරිවරා තාරුකා සේනාව
දිළෙන සඳ කුමරිය සොඳුරු
නහවනා සොමි කිරණයෙන්

තුරු ලතා මහ පොළව මතද
නහවනා ශ්වේත ක්ෂිරයෙන්
ගංගා ඇළ දොළ නෙතු ගැටේ
ක්ෂිර සයුරු සේ සොමි කිරණ

නීල වර්ණිත තණ බිස්ස මත
පතිත සොමි කිරණ මුදු ලෙස
සීත මද නල සේපාලිකා සුවඳ
මදක් වැතිරී විඳින්නට රැයක

නිශාචර හඬ නැගෙන මානයේ
නැවුම් පොළවක පුසුඹ දැනෙනා
හිසින් ජනිතව හදින් හැඩවෙන
දහස් සිතිවිලි නැගෙනා කවියට

පැසුණු නියමිත නෑඹුල් ඵලයද
සාරය උරා බොන වවුල් රැලක
හපය ගිලිහි වැටි තුරු මතින්
පියාඹන උන් තවත් ඵල සොයා

ගිජුව සොමි කිරණ විඳිනට මුදු
මින් රැලක උත් ගංදියක මතින්
මත්ව ගිය සොඳුරු මායා ලොව
බකුසු නිය පා තුඩට ගොදුරුව

පරිණත වන ගතක සිරව ඇති
තුරුණු නෑඹුල් සිතක සිතිවිලි
අවදි වේ සඳ කුමරියක දැකුමට
සුපිපෙනා මානෙල් මලක හැඩ

දුරක සිට සන් කරන මනරම්
අබිසරු ලියක පහසක් සොයා
සලෙලු වරමක් පතන සිතකට
නොවේ සැනසුම සිසිල් රැයකට

සොබාදම් මව් මැවූ සුන්දර ලෙස
ලොවක මහිමය විඳිනු සිත් ලෙස
පරිණත තුරුණු සිත ගතින් ලෙස
අවදි වනු මැන කලා ලොවක් ලෙස

සොඳුරු වූ තනිකමක මිහිරෙන්
ගොතමු කවි පද සඳක සිසිලෙන්
සිත් ගත් විලස අමතනු රිසියෙන්
පද බඳිමි ලෙසිනේ සඳේ එලියෙන්

---රකිත---



Friday, October 13, 2017

~~ මුහුණු පොත් ඔවදනක් ~~















නේක සංඛ්‍යාතයෙන්
නේක නාලියන් මතින්
විහිදෙනා අවකාශයන්
නොපෙනෙනා නෙතින්


සොඳුරු සුසැදි සයිබර් අවකාශයේ
අංකිත මාධ්‍ය ජය ගත් ලෝකයේ
සොඳුරු මාර්ග ගත මෘදුකාංගයේ
මුහුණු පොත ඇති අන්තර්ජාලයේ


මිතුරු මිතුරියන් දුරද ලඟද
එක්වන සොඳුරු  නවාතැන
ගමේ රටේ නොව ලෝකයේ
සියල්ලන්ගේ මිහිරි එකතුව


පුවත් වැදගත් ලිපිද යහපතින්
කවි ගීත විචාර තර්ක විතර්ක
දේශපාලන යුද්ධ සාමය නිතර
අගෙයි මුහුණු පොතද මනරම්


ගොදුරකට ඉව අල්ලනා සඳ
මිනිස් වෙස් ගත් තිරිසනුන්
සයිබර් අවකාශයේ අංකිතව
සැරිසරා පැමිණේ මෙහිද නිති


අපහාස උපහාසයන් පිරි
ජාතිවාදී අදහසින් දැඩිව
කාමුක නොමිනිස් කමින්
උන් රඟනා සැටි බලනුය


තෝරාගත් සොඳුරු ලඳක්
වෙත පවසන ඒ ආදරයක්
එක පිට එක පණිවුඩ මත
ඇගේ සිතද දිනා ගැනුමට


මවා ලෝක සිහිනය මැදින්
ඈ ගෙන යයි සුර ලොවකට
හමුවන්නට මන්මත් වන්නට
ඇය කළඹන සිත් ලෙසිනට


ඇතැම් විටෙක සැබෑ හමුවන
දුර දිග යන්නට සේ සැරසෙන
බලාපොරොත්තු මිටක් කරන
උන්ගේ සැබෑ ගතියද පෙන්වන


රවටනා සියුමැලි සිත් සතන්
කරන වින විටෙක දිවි අඳුරු
ඇතැමෙකු කෙලෙසයි ඈ දිවි
අමන ගති පෙන්වා ලෙස පිරිමි


දියණියේ සොයුරියේ මිතුරියේ
රඟනු තරග කරනු තුටින් සිට
අංකිත සයිබර් අවකාශ එනමුදු
රැක ගනු මැනවි නිති නුඹ චරිත


---රකිත---



Wednesday, October 11, 2017

~~ කැළඹුමක් ~~


මුදු අඳුරු බව විසිරෙනා
රිදී එළියද සිරි විහිදෙනා
සිසිල් මද නලද හමනා
වැසි බිඳු නුබින් එන්නා

ධන සෘණ වළා ගැටෙනා
ආරෝපිත පොළෝ තල
නේක වර්ණය විහිදෙනා
අකුණු සැරද එන ගුගුරා

මුදු සිසිලස ගත සුව දෙනා
මිහිරි හැඟුමන් සිත දෙනා
නුහුරු ලොවට පා තබනා
කිලිපොලා යන මිහිරෙනා

සැබෑ ලොවින් සිහින ලොවට
සිතුවිලි දහරා විහිදෙන කලට
දිය මතුපිට ඉපිලේනා ලෙසට
පැමිණෙන රුදු යථා ලොවට

කල් ගතව ඇත නුඹ නම් අද
නොමැති අයිති අපේ ලොවට
වෙන්වන්නට නම් කැමතිය
අවැසි නොමැත තව දුරටත්

ව්‍යංගයෙන් තෙපළ වදන්
විනිවිද යන හද ගැබ තුළ
එනමුදු සඟවමි කඳුලැලි
නෙතින් පිරිමි කම රැකුමට

නව කුලක ගොඩනැගෙනා
උගත් තුරුණු කම් පිරිපුන්
පෙනුනිද නුසුදුසුද ලෙසින්
කලක් එකට සිටි මිනිසෙකු

යථා ලොවට යළි කැඳවන
නුඹේ වදන් නම් කදිමය
දිවියක ඇති අනියත බව
වැටහුණි සක්සුදක් ලෙසින

අහිමි ලොවක් හිමි කෙරුමට
කරනා තැත දැනත් නොදනින
කැප කෙරුමන් නිති කරනා
නොගෙනා තේරුම් සිතකට

වැසි කුමරිය ලොව සනසන
පැමිණෙනු මැන මේ ලොවට
මුදු සිසිලස සුවයද දිගු කරද
ගනු මැන තුමු නුඹ තුරුලට

තනිකම සොඳුරුය සැම දින
හුදකලාව මිහිරකි නිති දෙන
දසුනින් වැසි කුමරියද රඟන
මිහිර විඳිමි ලොව නැති මතක

---රකිත---



Sunday, October 8, 2017

~~ අප්‍රකාශිත පෙමක තතු ~~










පවසමි සිත් බැඳි
සිතුවිල්ලක්
නුඹ දෑස දුටු දින
සිත බැඳුණි
නොදැන වුව
ලැගුම් ගතිමි සිත
නුඹ හද තුළ
විශ්වාසය රකින


මා වැන්නෙකු
කිසි දිනක

මතු නොලැබෙනු
ඇත නුඹට
කළ නොකළ
විශ්වාසයද
දැනේවි එය
මා සමුගත් දිනක


කුරිරු වුව නුඹ
කෙතරම් මෙමා හට
ප්‍රේමය ලැබෙනු ඇත
නොඅඩුව නුඹට
නුඹ පැවසුවද එය
නුඹ නොබලුවද මා දෙස
කෙදිනක හෝ
හමුවටවත් නොඒවිද


ගැරහීමද
අසාධාරණ ඉවසමි
සිනහාවකින්
නිරතුරුව
පැවසුවද සිතේ
රහසක් නුඹට
නොවනු මැන
වියවුල් සිතින්


දහසක් රැළි
පෙරළෙනා
සාගරය සේ
ආදරය විඳිනා
උස් පහත් වන
හැඟුමන් අතර
නුඹ නොදකින්න
කරුණු සොයනා


තරංගයන් අතරක
පාවී යන්නා සඳ
නුඹේ දෑසක රැඳී
සිටිනට දිනක
ආදරයේ මිහිරියාවක
සොඳුරු නැවතුමට
පවසන්න වදනක්
සිතේ සැඟවූ


---රකිත---


Wednesday, October 4, 2017

~~ විරුවෙකු වෙනුවෙන් ~~


හපුතලේ ප්‍රදේශයේදී තිරිංග ක්‍රියා විරහිත වූ බස් රථය මහ මග අද්දර ගල් පර්වතයක් වෙත යොමු කර තම ජීවිතය පුදා මගීන්ගේ ජීවිතය රැක ගත් ලංගම බස් රියදුරු කීර්ති බණ්ඩාර මහතා වෙනුවෙනි.



















සීත මිහිදුම් වළා අතරින්
මල් වැසි හැලෙනා දිනක
මැදි කඳුකරය වැටි මගක
සුපුරුදු ගමනක පහසින්

රාජ්‍ය සේවය රාජකාරියටද
නිසි ලෙස නියමිතව අකුරට
ඉටුකරනු වස් නිරතුරුව නිති
ලංගම රියදුරු පැමිණිය සඳ

කඳු පල්ලම් හෙල් බෑවුම් පිරි
මාධ්‍ය කඳුකරය සුපුරුදු ලෙස
නිති රිය සක හසුරවන තුමු
කරන සේවය ඇගයුමට රිසිය

සොඳුරු දිනක සුපුරුදු ලෙස
පැමිණි සඳ බස් රථයද ගෙන
සේවා සැපයුම නිරතුරු ඇති
සුක්කානම ඔහුට හුරු පුරුදු

රැගෙන මගී ජනයා රථය තුළ
පදවන රන් දෑතින් මහ මගට
තහවුරු කරනු සුරක්ෂිත ලෙස
ඔහු රැගෙන යන ගමනාන්තය

වෙනසක් දැනුනි නොවන හුරු
සැක හැර දැනුනි අනතුරු සේයා
තිරිංගය ක්‍රියා විරහිත බව දැන
කුමක් කරනු මැදි කඳුකර මගක

බෑවුම් මගේ වේගය වැඩිවන කල
දුටුවේ ලඟ නොවේ දුරමය ඔහුද
ඉදිරි පසක ඇති පාතාලයද දුටුව
සිහි විය මගී ජනයාගේ දිවි මගද

වැඩ නැත තිරිංගද පසුපසටම වන්න
ඔහු හඬ අවදි කළ යන්ත්‍රය පරයන්න
ගත නොව දැඩිය සිත දැඩි කරගන්න
මහ මග අද්දරක කළුගල දැක ගන්න

මරුවා සිටියි හෙල අද්දරට මුවේ
ඇදී යන රථය නැවතියද නොවේ
රැකුමට අන්‍යයන් තුමු දිවි නොවේ
හැරවිය රථය පැරදුමකටද නොවේ

මුහුණට මුහුණ ලා මහ පරුවතය
හඬ නගා ගැටෙන විටද නොසැලී
නොහැර අතින් සුක්කානම හැසිරූ
නෙතින් දුටුවාදෝ මරුවාගේ වතද

බස් රථ ඉදිරියද සුනුවිසුණු වන කල
මරුවා රැගෙන ගිය ඔහු එක් විටම
හුස්ම පොදද හද ගැස්මද නතර වුව
එනමුදු රැක ගත් තව දිවි ගණනකම

මිනිසුන් අතර දෙවියන් වැඩ සිටිනා
නුඹගෙන් දුටිමි දෙව් මිනිසෙකුද
පහත් නොමිනිසුන් අතරක සිටිය
නුඹද රුවනකි අගනා දෙව් ලොවක

අන් දිවි රැකුමට තුමු දිවිද කැප කළ
නුඹ නම් විරුවෙකිය ලොවට අගනා
මැතිඳුනි කීර්ති බණ්ඩාර රියදුරුට
පතනෙමි නිවන් සුව කෙටි වන සසර

---රකිත---

Sunday, October 1, 2017

~~ පෙමක සිතුම් ~~



මදක් තනිවන්න
ලොවකට හොරෙන්
අවසරද ඉතින් සුදූ
මුමුණන්න වදනක්

පැතුමන් සිහිනයන්
තබා එක පිට එකින්
තැනුමට සිහින මාළිගා
අඳිමු සුභ රේඛා තුටින්

අනන්තය සොයනා කල
වෙරළතට වී ස්නේහයෙන්
හිරු කුමරු දින සමු දෙන
බලමු රිසි සේ තුරුලට වී

මිණි මිණි පොද වැටෙන
මල් වැසි අතරින් සොඳුරු
එක කුඩය යට සෙවණ
ඇවිද යමු සිහින ලොවට

තුරු සෙවණ සිසිලස දෙන
උයනකට වී සැනසුමෙන්
ප්‍රේමයේ සොඳුරු බව විඳිමු
කාල හොරාවට පසුවද

හිරු නැගෙන සඳු නැගෙන
වැසි වැටෙන සීත උණුසුම්
කාල ගමනට හරස් වන්නට
පෙමක මහිමය කියමු ලොවට

---රකිත---