Saturday, December 28, 2019

~~ යථා බව දැක්ම ~~



වෙදඟිල්ල මුදු නොමැති 
නුඹලාට ගැටලුවකි
කලට අකලට පැහුණු කෙස්
ඔබට සරදම් වෙද

ගෙවෙන කාලයට බැඳි 
සෝපහස එමට ඇත
ජීවිතේ කතාවක් 
නොදන්නා තෙපි කුමට

අවැසි කල පියාණන් 
මෙලොව හැර ගිය කලක
අනාගත ලොවක තතු 
නොදැන අතරමං වූද

කාලයේ ඇවෑමට 
අහිමි දෑ බොහෝ වේය
උපහාස අපාහස 
කරන නුඹලා කිමද 

නිසි කලක නිසි දෑ 
ලබන්නට පින නොමැති
අඳුරු ලොව එළිය 
වන්නට කලක් ගියා ඇති

කාල රේඛාව එකිනෙකට 
වෙනස් බව නොදැන
කුමන නම් අරුමයක් 
ගැටලු ඇති නුඹලාට

මිල මුදල් දේපළ සියල් 
නොමැති නම් කුමට
වැටුප් දිරි දීමනා 
සුළු වනා කලට නම්

නොහැක දුක් දෙන්න 
තවත් ඒ ජීවිතයකට
මිනිසත් කමට ඇයිද 
නිගා දෙන නුඹලා

සිප් සතර ලැබුමට වරම් 
පමා විය පෙර වරදකින්
දැනුම වේය සැනසුම 
සිතට ගතට දෙන නිරතුරුව

කලා කම් නොමැති වුව 
කලා කම් ලබන්නට
වරම් ගෙන අදිටනින් 
සැරිසරන මනෝ ලොව

පෙර සසර පුරුදු ඇත 
තනිකමක් විඳින්නට
කුමට නම් සරදම්ද 
අපහාසයන් නිමක් නැති

වසන්තය නිමා වන බව 
දනිමි ගිම්හානයේ පාමුල
තනි ගමන සැප වේය 
බඹ සරින් රකින්නට සදා

---රකිත---


Sunday, December 15, 2019

~~ සේයාරූ ශිල්පියා වීමි ~~




පනා හසරැල් 
සුන්දර වුවනින්
මදහස කදිමය 
ඔහු දෙස බලමින්

නෙක නෙක ලෙස 
ඉරියව් රඟමින්නේ
තුටු වන දෙපලක 
ලොව දකිමින්නේ

තෙවැනි නෙතින් කළ
ලොව දකිමින්නේ
මුසු කර නිපැයූ 
තාක්ෂණ දැනුමින්නේ

දර්පණ ප්‍රිස්මය ආලෝකය 
අංකිත තිර මතිනේ
රාමුව කර ත්‍රිමාන ලොව 
ද්විමානිත කරමින්නේ

රැය දහවල වෙනසක් 
නොමැතිව ඇති
කාචය යුමුහුව 
කේන්ද්‍රය කරමින්නේ

ද්වාර වේගයෙන් 
රටාවන් කරමින්නේ
ඉසව් රූප ඉල්ලුම් 
ආවරණය සිදුවන්නේ 

වර්ණ රටාවන් තීව්රය 
නිසි සකසමිනේ
රළු පරළුව ඇති තැන් මුදු 
සුමුදුව ඇති කරනා

පරිගණකය තුළ 
මෘදුකාංග හසුරවමිනේ
අලංකාර සේයාරුව 
සාදන මන පිනවන

ගුණ දොස් අසමින් 
නිහඬව සිටිමින්
වැරදුනු තැන් 
නිවැරදි කරමින්නේ

නව දැනුමින් ලොව 
නිති වැඩිවන්නේ
අවධානයමයි 
වැදගත් වන නිරතුරු

විනොදවන කළ 
මිතුරු මිතුරියන්
තෙවැනි නෙතින් 
හසුකරමින් ඒ රඟ

සොබා සෞන්දර්යය 
ලොව දකිමින්
සොයමි මගේ 
සේයාරුව ඒ අතරින්

---රකිත--- 


Saturday, December 7, 2019

~~ ටිකක් වැඩි වයස ලඟ හුඟක් සුරැකුම් තියේලු ~~



මතක පෙළ රැගෙන ඇති
ගිලිහුනු වසන්තයක තතු
ගිම්හානයේ යුග ගෙවෙන
දිවියක හැරවුමක් විලසා

දුටු නුදුටු වසන්තය 
කුමකටද ගිම්හානයට
නෙතු ගැටුනු මුල් දිනක
සිතේ සිතුවම් ඇන්දූ

සුපිපි කුසුමක් බඳුය පිරිපුන්
වෑහෙනා මකරන්දයෙන්
ගත වියපත් මුදු තුරුණු සිත
කරවනා ඔද්දල් නුරාවෙන්

දුටු නිමේෂයකට බැඳුනු සිතකින් 
විමසුවා බිය මුසු හඬින් ආලය
පිරි සිනාවෙන් කෝල බැල්මෙන් 
ඇගේ හදවත බැඳුණි ප්‍රේමය

පියෙකු දියණියක ලෙස ලොව 
දකින කල අප කුමක් කරමුද
පෙමට බාධා නැතිය වයසක් 
ඇගේ වදනින් සැනසුනා සිත

පටලා අත්වැල් තුරුලුව රිසි සේ 
එක මග යන්නට වරමක් ඇති
රොස් පරොස් දොස් සරදම් මැද 
ආලය ගලනා කාලය කදිමය

ජවය තෙද බල පිරුණු ඇති
තුරුණු කම ඇතිය තව
කළ නොහැක්කක් නොමැත 
මැදි වියට පා තැබුවා වුවද 

ඇඟිලි තුඩු මතින් ගත 
පුරා දිවෙනා රිද්මයට
වසන්තය යලි පැමිණෙනා 
බිඳ දමා වාන් දොරටුව

රකිමි නුඹ නිබඳවම 
මාණික්‍ය සේ ලැබුණු
සෙනෙහසින් පුදමි නුඹ 
පිරි දයාබර නුරාවෙන්

මුළු ලොවක් හිනැහුනත් 
නොවේ නම් ඒ අපට
ඉතින් අපි සොයා යමු 
ප්‍රේමයේ සොඳුරු තැන් 

---රකිත---


Tuesday, December 3, 2019

~~ වසක ප්‍රේමාන්දරය ~~

මිතුරෙකුගේ ප්‍රේමයට වසරක් සපිරීම නිමිත්තෙන් රචනා කරන ලදදකි.  










නිවහල් සිත පාව ගොස් 
වර්ණිත වූ අවකාශයක
මලින් මල රොන් ගැනුම 
සිහිනයක් වූ පමණ

සයුරු තල මත රැඳි 
රුවල් නැති නෞකාව ලෙස
මිරිඟු පමණක් දුටු 
අතීතය සිහිනයක් මෙනි

අහඹු ලෙස හමුවෙලා 
පවසා වදන් යුවතියක තතු
දුරු රටක සිටින බව 
සත් මුහුදු ගෙවා ගොස්

සොයනු කුමරෙකු ඇයට 
ලැබූ පණිවුඩයකට
සිත බැඳුනු කිමද 
එදින මත නොව අමතකද

අවකාශ මතින් යන 
තරංගයකින් සුසැදි
ඔබේ හඬ හැඳිනියෙමි 
අංකිතව සුහුරු ලෙසින

රුවත දුටුවෙමි දිනක 
තාක්ෂණ මහිමයට
ඉදින් නුඹ වේය මා 
සිහින කුමරියද පැතු

කෙළි කවට සිනා මැද 
ඉඳ හිටද පුංචි රණ්ඩුවක සිරි
විඳිමින් මවා මතු ලොවක 
පැතුම් මල් ඒ අතර

වසක් ගෙවිලා නොදැන 
කාලයා ගමන් කර
සිත් දෙකක් එක් වෙලා 
එක් වසක් ගත වෙලා 

මනාලිය වී නුඹත් 
අත ගන්න මංගල දිනක
බලා සිටිමි පුරවලා හද 
ප්‍රේමයේ සොඳුරුම හැඟුම

වසක් නොව සිය වසක් 
ආයු ලැබ රැකගන්න
හමු වෙමුද අපි දෙදෙනා 
සසර වසනා තුරාවට

--- රකිත ---