Thursday, April 25, 2024

~~ සොඳුරු පැතුම ~~




සිහිනයක් දකින්නෙමි
පතන්නට පැතුමකින්
ඉටු නොවන සඳ වුවද
සිතුවිල්ල මනරම්ය

පෙම් බැඳිව සිත් ගත් ඇයට
එකත් පසව එක් පියසි යට
ගොඩ නැගූ ලෝකයක සුවය
ලබන්නට පුංචි දියණියක

නොලැබෙනා කිසිඳු දින
හිමි නොවන ඒ පැතුම
සඟවමින් දොම්නසක්
පාමි හසරැල් ලොවට

දියණියන් පුතණුවන් දුටු කලට
හැඟේ ඒ මාගේම වෙන ලෙසට
සෙනෙහසක වෙනසක් නොවන
දූ දරුවන් වෙත සැම ලෙසින් සිට

මතු භවක හෝ ලබන්නට
දියණියක් සුරතල් දකින්නට
පතන්නෙමි දෙව් බුදුන් වෙත
සොඳුරු දිවියක් විඳින්නට

--- එච්. එම්. ආර්. බී. රත්නායක ---

~~ හමුව ~~



පැමිණ කොළොම් පුර
මංමුලා වූවාද තොප
දියක් නැති මානයේ
නිල්ල නැති ලෝකයේ

වෙහෙසද නුඹටත් අද
මටත් වෙහෙසයි ඉතින්
නුඹට ගොදුරු නැතිවාද
මටද නැත කාසි පනම්

සාගින්නේ නුඹ දැවෙන සඳ
මා දැවේ සිතේ ගින්නෙන්ම
තිරිසන් නුඹත් මිනිස් මමත්
එකම තැන්හි සිටි අපූරුව

හිමි වන්න නියම වූ දෑ සියල්
කපා සොරා ගත් නොමිනිසුන්
අතර අප කුමක් කරමුද ඉතින්
බලා සිටිනු වස් නිහඬව සිටන්

සැඳෑ කල් නික්මෙන්නටද
නැති සඳ කහවණු ලැබුම
දුගී ලෙස හැර යමුද අපි
නිල්ල පිරි දිය කඩ සොයා

--- එච්. එම්. ආර්. බී. රත්නායක ---




Wednesday, April 24, 2024

~~ මතු නික්ම ~~



වස්සානයෙන් ඔබ්බට 
ගිම්හානයේ මොහොතක 
නික්ම යන්නට මතුව
මදක් නවතින්න සිත

හැර දමා යන සියල් දෑ 
වෙර වඩා හිමි කෙරුනු
අයිතියක් නොමැති සඳ
අපට අප වුව නොමැති

මළ හිරුට ගිලිහෙන්න
ක්ෂිතිජ ඉම සීමාව
සංසාර ගමන තුළ
නවාතැන් වූ ජීවිතය 

සිහින ඇති බිඳ වැටුනු
පැතුම් ඇත ඉටු නොවුනු
දොම්නස්ව සිටි කලක
තුටු සිතක් සොයන්නට

ධාවනිත ලොව අතර
මදක් ගිම් නිවන්නට
නවතින්න අවසරයි
සැනසුමක් ලබන්නට

-- එච්. එම්. ආර්. බී. රත්නායක ---

Sunday, March 31, 2024

~~ නොකී කවක් ~~

















තුරුණු බව වියැකි සඳ 
කල් ගතව ගිය කලට
වසන්තය සොයා ගොස් 
සිප් සතර ලබන්නට

හිටි හැටියේ හිත ගොසින් 
අහඹු ලෙස දුටු නුඹට
කවුරුන්ද කියනු මැන 
ඇය පැමිණි දිවි තුළට

සිනාවෙන් කතාවෙන් 
සිත් ඇදුනු ඇය වෙතට
වදන් හුවමාරු විය 
කෙටි පණිවුඩ ලෙසින් සැම

නුදුටුවත් සැබෑ ලොව 
හමු වූ සංඛ්‍යාංගික අවකාශයක
සිහිනයන් දකින්නෙමි 
දිනක නුඹ දකින්නට

එක් දිනක විමසු සඳ 
වයස් මට්ටම නුඹද 
නුඹම පැවසූ කලක 
ඒ වයස් මට්ටමත්

කෙසේ නම් පවසම්ද 
සැබෑ තතු ඔබ වෙතට
නුඹත් දියණියකි මට 
වයස් මට්ටම අනුව

හසරැල්ල පා ඇයත් මුදු හඬින් 
නොපෙන්වා වෙනසක්
මිතුදම්ද පමණක්ම 
පුද කරන් සිටි කලට

ලොවක එක් කොනක 
මා තනි වුනෙමි සිතන්නට
හිමි අහිමි දෑ ඇතිද 
කෙතරම්ම දකින්නට

සසර පෙර කර්ම පෙළ 
රිය සකක් සේ ඇදෙන
හඹා එන කලට නම් 
වැළැක්විය නොහැකි සඳ

දුරින් සිට බලා සිටිමි 
නොවන්නට වියපත් බඹර
සිතක් යටපත් කරමි 
නොලබනා ප්‍රේමයට

--- එච්. එම්. ආර්. බී. රත්නායක ---




Monday, March 11, 2024

~~ සාළිස් වසේ පිරි ආලයක් ~~











තුරුණු හැඟුමන් සුපිපෙනා 
සහන් එළි මත සිටින
හදවතේ රිද්මයත් සැඟවිලා 
මුවා වී ආලයට අපේ

සාළිස් වසක කල් 
සිරුරු මත පිරුණු මුදු
අප හදවත් බැඳෙනු ඇත 
පෙර දිනම ලෙස අදත්

දැවෙන කල ගැඹුරින් 
ආත්මය තුළ නොනිමි 
ගත සිත රැඳි කැළැල් 
සිහි කරන පෙර පාඩමක්

ජය ටැම් පසු කරන් අප 
ආ ගමන් මගක සිරි 
බැඳි පෙමක මහිමයක 
තතු දකින අවදි වී

බොළඳ කම් මග හැරුනු 
පරිණතව නැණවත්ව
ලොව දකින සඳ අප 
වෙනස් වූ නෙත් මතින්

ඉඳ හිටත් අප දකින 
අපේ නෙතු ගැටෙන කල 
නුරා රෝමාන්තික බව 
නොවෙද ඒ අපට හිමි

අතිනත ගෙන යමු 
මංපෙත වන තුරා නිමව
දුක් සුසුම් මුවා කර 
තුටු සිනාවෙන් ජය අරන්

ගෙවෙන සෑම වසරකම 
සතියකම දිනකම තප්පරයකම
දැඩිව සවිමත් වනු ඇත 
ඒ බැඳුම එලෙසින්ම

වයස යනු ඉලක්කම 
බව පමණක් කියන කල
හදවතින් මංපෙත් සොයා 
අප යනෙනා ගමනක අරුම

ගෙවෙන හැම මොහොතකම 
වටිනා කම ඇතිව හැම
මහලු නොවනා ප්‍රේමයක් 
දෙව් ලොවෙන් පිදූ අපටත්

සාළිස් වසක දිදුළ 
ආලයක පිරිපුන් කමක 
සොඳුරු බව පවසනු 
කෙලෙස ගත වූ කාලයට

හිරු අවර හැරී යන 
බව දනින මුත් අපද
ආලයේ උණුසුමින් 
ජීවමාන වෙමු සදාකල්

-- එච්. එම්. ආර්. බී. රත්නායක -- 




Monday, February 5, 2024

"I remind u!" (මතක් කරමි) (Remake)



නොදැනීම කල් "ෆෝටි" නෝටිම වීම
ඔෆීසියෙ වැඩ එක්ක වසන්තය ගතු කීම
කාසි එක්කම හටන් ජීවිතේ යට වීම
දන්නවද සොඳුරියේ විසිපහයි මට තාම

ආදරේ හිරකරන් නොකියාම සිටියාම
ප්‍රශ්නම මතු කරන් කරදර දරාගෙන ඒම
අනුරාව යට කරන සැබෑ ලොව සැර පෑම
අමතකය  ඉඟි කරන් ප්‍රේමෙ කෙඳිරිලි ගෑම

දුර තියන් දුටුවාම ආශාව ගත ගත ලීම
තෙපලන්න බැරි කමට සඟවලා ගත ලීම
අප්‍රකාශිත වූ ලෙසින සිනාවෙන් හැර ලීම
අනුවණ කම් දැනේ කළ කී දෑ සිත ලීම 

කාලයා බැට දුන්නු වුවනට ප්‍රතිකම් කීම
බැහැ තවත් හැඩ වෙන්න කෙසුත් ගැලවී යාම
මුදු මොලොක් පෙනුම නොව පරිණත වීම
කොලු කමට සිත දුවන තම මම එහි වීම

පසු කරන් මග සියල් ගමන ඇත නිමවෙලා
මම තවම අතර මග නොදැන අතරමං වෙලා
හිටි හැටියේ ගිනි පුපුරු හදවතේ දැල්වෙලා
පමා වැඩි වග දැනෙයි අනේ නුඹ නික්මිලා

අහිමි කම වී දැනෙයි ඔබව මට නොලැබීම
යහනෙ කොට්ටය දනියි නෙතට කඳුළැලි ඒම
හදවතට සහනයකි නිතර සුසුමන් ලෑම
හතලිස් වැනි උපන්දිනයට විසිපහයි මට තාම

~~ එච්. එම්. ආර්. බී. රත්නායක ~~


සැබෑ කවි නිර්මාණයේ ගෞරවය : Ishu S Weerawarna New

ඇයගේ නිර්මාණය වූ "I remind u!" (මතක් කරමි) කවි පන්තිය  ඇසුරින් මෙම නිර්මාණය සිදු කළ අතර ඇයගේ කවි පන්තියේ පද කිහිපයක කුඩා වෙනස්කම් කිහිපයක් පමණක් සිදු කිරීම සහ නව කවි පද කිහිපයක් එක් කිරීම පමණක් සිදු කළෙමි.



Sunday, February 4, 2024

~~ සිතට දැනුනු කවි සීපද 3 ~~



කළු කෙසත් අතර නර කෙසත් දිලෙනවා
නර කෙසත් අතර කළු කෙසත් ගැලවිලා
හිස් මුදුන් මැදට දැන් පුන් සඳක් නැගෙනවා 
කුමන හෝ අරුමයක් බව ඉතින් දැනෙනවා

මුදු පෙනුම ඇති වුවන ලවනතත් මැකෙනවා
පරිණතව ගිය පෙනුම එහි ඉතින් මැවෙනවා
රැවුල් ගස් තැන් තැනින් සුදු වෙන්න හදනවා
පෙර පෙනුම අහිමි වන වගක් මට දැනෙනවා

ගිලී ගිය නෙතු සඟලෙ පෙනුම දැන් අඩුවෙනා
සවන් යුගලද ඉතින් ඇසෙන හඬ මදිවෙනා
රස නහර දැන් කොහෙද විඳීමක් නැතිවෙනා
වෙනස නැත ගඳ සුවඳ ඒ දෙකම දැනෙනවා

පිරිපුන්ව තිබූ ගත ටිකෙන් ටික වැහැරෙනා 
රැළි නගින ලෙස සයුර ගත රැළිද නැගෙන්නා
සිතක රැඳි දිරියත් දුබල ලෙසකට දැනෙන්නා
තෙදවත්ව ඇති පෙනුම වියපත්ව පෙනෙන්නා

කඩිසර කමද නොමැති බව නිතර සිතෙන්නා
නිදි සුවය නිති ලැබුම ගත නිතර සොයන්නා
සතර හන්දි නොව සියල් අස්ථින් රිදෙන්නා
වාරුව ගත රැඳි සවිය මා වෙතින් ගිලිහියන්නා

සිප් සතර නැණ නුවණ ගත් කදිම ලෙසින්නා
රැඳී ඇත තවමත් සිත් තුළ සොඳුරු ලෙසින්නා
කාලයා බැට දුන්න සිරුරද රකිනු ලෙසින්නා
බොහෝ දෑ කැප කරන්නට සිදුවන ලෙසින්නා

හැඟුමන් දැනුමන් නොඅඩුවම නිති තිබෙනවා
එනමුදු සිතට දියණියන් සේ ඔවුන් දැනෙනවා 
වියපත් වන ගත තුළට තුරුණු සිත සිරවෙනා
මටම මා හිමි නොවන වගක් දැන් දැනෙනවා

රසට කවි පද බැඳුම පෙර ලෙසම දැනෙනවා
ගද්‍ය පද්‍ය කලා රස ගිලිහෙන බවක් සිතෙනවා
සැපත නොව දුක පමණ සිතක් අද රැඳෙනවා
සිතින් පමණක් රසට ලොවක් මා මවනවා

තරගයේ දිවෙන්නට නොහැකි බව පෙනෙන්නා
තෙද තුරුණු අයවලුන් මා පසු කරන් දිවෙන්නා
ගත සිතද හදවතද වෙහෙස වූ වගක් දැනෙන්නා
මදක් නවතිනු වස් පසෙක දැන් මටත් සිතෙන්නා

දූපුතුන් ලෙසින් මා අන් සියල්ලන් දකිනවා
දිවි මගේ සන්ධ්‍යාව උදා වූ බවත් දැනෙනවා
අඳුරු වන අහස් කුස අනියත බවද කියනවා
කළ හොඳ පමණක්ම රැගෙන මා නික්මෙනා

--- එච්. එම්. ආර්. බී. රත්නායක --