Sunday, January 26, 2020

~~ පැතුමක් ? ~~















හඬා ඵලක් නැත අහිමි වස්සනයට 
කිමද කඳුළැලි නෙතේ සොඳුරිය
හමුවන්න පෙර පින මදිවා ඇතිය 
පමා වී හෝ නුඹ හමුවුන ලෙසේ

නේක මෝස්‌තර විසූක දස්සන 
දැන් නම් මොකටද කුමාරියේ
කාසි පනම් නැති අප හට කුමටද 
මහ මංගල දිනයක එන සිරියක්

බිත්ති සතර ඇත වහල ගසා ඇත 
පුංචි කුස්සියත් නාන කාමරයත්
කාමර දෙකකිය එහි නම් ඇත්තේ 
කුලී මාළිගා නොවේ සොඳුරියේ 

ඇඳ පුටු මේසය අල්මාරිය නිති
කණ්නාඩි මේසයත් එහිම ඇතේ
විසිතුරු සුමිතුරු වන නිරතුරු වන 
එහි නම් වැඩි වැඩ ඇති නොවෙතේ

පුංචි නිවහනට පුංචි මනාලිය
කැන්දන් යන්නට සිහින ඇතේ
අතමිට නැති සරු වුව වේ හදවත 
පිරි ආලය සිතුවම් කරමින්නේ

පොතේ ලියා අත්සනක් තබා 
මව්පිය ආසිරි පමණ ඇතේ
කුමකට සොඳුරියේ වීසූක දස්සන 
මධු දින ඇත නිවහල් සිතිනේ 

සේයාරුව එක් පමණකි අද 
අවැසිව බිතු මත රැඳෙමින්නේ
කුමකට අංකිත වූ වන ශ්‍රමායත
රූ ගොන්නක් පිටු පුරවන්නේ

සියල්ල ඉතිරිව මතු අනාගතයකට 
සිතා හිඳිමු අප සැනසිල්ලේ
ණය ගෙඩි කැඩුමට කුමකට අප නම් 
ආලය වේ නොව කාසි පනම්

සිහින මාළිගයේ කිරි සිනහ දකින්නට 
ප්‍රේමය හමුවන සොඳුරු කලේ
සොයා යමුද ආලයේ සොඳුරු තැන් 
ගිම්හානය අබිමුවට වෙලා 

සඳ රැස් විහිදෙන පුන් පෝ දිනයක 
පැතුමක් පතනෙමු බෝ මළුවේ
සසර වසන තුරු නිවන් දකින තුරු 
හමුවන්නට අප සැම භාවයේ  

---රකිත---


Saturday, January 18, 2020

~~ විවේචනය / පිළිතුර ~~




රස නොමැති බව කියන 
නිසඳැසක් රචනය කරපු
අර්ථයක් නැතිලු එහි 
වදන් පමණක් ඇතිලු

ලියන්නට හැකිලු කදිම 
ලෙස ඇයට මා හට වඩා
දිනා ඇතිලූ එකල තරග 
ලියා කවි පැදි ලෙසින්

එකම වදනක් රැගෙන 
හරවා හරවා ලියන
ඵලක් නැති බව කියයි 
ගලපනා වචනයන්

කවුරුන්ද කියවන්නේ 
නුඹ ලියන කවි පදත්
එලි සමය එහි නොමැත 
තාලයක් නැත කියන

ඉඳ හිටත් ලැබෙන කළ 
ඇගයුමක් අනගි නිර්මාණ ලෙස
පවසනා සෝපහසයෙන් 
අත්ලසින් තේරූ බවට 

කවි පදය නිසඳැසින් 
තෝරා ගන්න බැරි නුඹට
කරනෙමි අනුකම්පාව 
දැක්වුමට දෑ නොමැති කල

ලියනා වදන් නොතේරෙන නුඹට 
කම් නොවේ උපහාසයට දෙන 
මා ලියන්නේ නුඹට නොව 
රසයක් දන්නා ලොවට මිස

එකම වදනක් හැසිරුමත් 
කලාවක් බව නොදනිනා කල
නිසඳැසක කලාවක් නැතිද 
අවබෝධයක් හිස නුඹට

රාමුවට කොටුවෙලා 
සිතක් මානයෙන් පිරි
දැනුම ඇතිවා වුවද 
රසය වරදක් ඇතිද

විඳින්නට නොහැකි නම් 
නොබලන්න ඒ දෙසට
ශෛලියක් ඇත සැමට 
ආවේණිකව විශේෂිත

---රකිත---


Thursday, January 9, 2020

~~ පසු වුව නොනැවතී ~~









පැරණි මතක පත් අතර 
කොඳුරන නුඹේ නාමය
බිඳ වැටුනු කල සිත 
දිරිමත් කළ නුඹේ හඬ

හිරු සඳු නැගෙන නුබ ගැබ 
මවන්නේ නුඹේ රුව
පියඹා යන කාලය මතින් 
මිලින වූ නුඹේ මතකයන්

සොයා යන්නෙමි අහිමි 
වස්සනයක මහිමයක්
සඟවාලමි කඳුළු බිඳු 
පිරිමි හදවතට වරම් නැති

තාරුකා දිලෙනා සඳ 
පහන් රැයක අහස යට
හදවතේ කොනක රැඳි 
නුඹේ සුසුමක් ලදිමි

නුහුරුවට සරසන්න 
සිනාවෙන් පෙනෙන්නට ලොවට
විඳින්නෙමි වේදනා 
විහාරාවක රසයක් රැගෙන

ජීවිතේ කොතැන හෝ 
හමුවෙන්න පතාගෙන
දෙමංසල නික්ම ගිය 
ඉරා දමා ඒ පෙම් කවක්

පෙර දිනක මැව් සිහිනයන් 
වියැකී ඇතිවා අවකාශයට
තනි මගක අරමුණක් පමණි 
ඇති මෙතැන් සිට ලොවේ

ඉඳ හිටත් සිහි වේවි 
හැඟුමන් එදා සිටි නුඹට
දැඩි සිතක තතු කෙලෙසකින් 
නොවෙනස්ව එදා මෙන්

---රකිත---


Saturday, January 4, 2020

~~ 2020 ඇරඹුම ~~




සමුදෙමින් අතීතය වෙත 
මතකයන් පමණක් රැගෙන
කාලයා රැගෙන යන සොඳුරු
වසන්තය නිමා වෙන කල

සිනාවෙන් මුව සරසන්නෙමි 
සඟවා දොම්නස් සිතේ රැඳි
මුවා වී දේව කාරිය සේ රාජකාරිය
ජීවිතය ගෙවුමට රිසි ලෙසින්

රැයක නින්දක් නොමැති 
ගලා එන මතක පෙළ
නුහුරු උණුසුමක තතු 
පවසමින් සෙනේහයේ අරුත

පියා නෙතු සිහි කරමි 
ගෙවුනු කාලයක තතු
පියමනින්නට අතීතය වෙත
හැකි නම් වෙනස් කෙරුමට

නොපෙනෙනා අනාගතයක 
සිහිනයන් දකිනු කෙලෙසක
අහිමි වූ නුඹේ රුව මැවෙන 
මනරම් රැයක සුවයෙන්

වෙනස්වන සැම දෙයක 
නොවෙනස් වන වෙනස් කම්
උරුම නොවනා ලොවක 
දොස් නගනු කිමද අද

ජය ගන්න තුටු වන්න  
විඳින්නට ජීවිතය අභියෝග
වරම් ලැබු මල් සමය 
නිමවෙලා කාලයට ලැබූ

උරුම නැති ලොවක් වෙත 
උරුමකම් කියන්නට
ගෙවන්නට වන්දියක් 
කාලයෙන් වයසෙන්ද

පිං මදිව වනන්නට ඇතිය 
ජීවිතය දිනන්නට
නොපසුබට උත්සාහයත් 
දිරිය ගන්නට මගට

හිමි අහිමි දෑ සිතා 
වැලපුමට කල් නොවේ
ජය ගනිමි සියල් අභියෝග 
වියෝවට මත්තෙන් ලොවේ

---රකිත---