Sunday, December 3, 2023

~~ එක් සිතක ~~















මද නලින් එන ඇයගේ හඬින්
තුටු වේය දෙසවන් පිරී සැනසී
සිසිලසින් පිරි අඩ සඳ එළියෙන්
නුඹ සුවඳ විඳ ගනිමි සිත් ලෙසේ

දිවා රැය ගෙවී කාලයා ඉගිල යන
සෙවනැල්ල සේ පැමිණෙනා කල
නුඹ දුරස් කිමද අද වන්නට පමා
එකම මොහොතක් හිමිද අපටත්   

නොදැනෙන්න ලොවකට හොරා
සිතක් ඇත දුර ගමනක් ගොසින්
වැළඳ ගැනුමට සෙනෙහසින් ඔබ
ඉඩක් ඇත පපු තුරුල මත තවත්

මද හසින් පිරි නුඹ වුවනද දකින
සැනසුමක් ගෙන දේය මා සිතට
ලොවට මා නුඹ පතන නිරතුරුව
නැති නොවන බව දනිමි ආලයක්

රැයක නැගි සඳ සේම නුඹ දකින කලකට
සිසිලසින් නිවන්නට හදක රැඳි ගින්දරක්
සෙනෙහසක අරුත දැකගනුමට ඔබෙන්
ඒ දිනය උදාවන තුරු කල් ගනිමින් සිටිමි

-- එච්. එම්. ආර්. බී. රත්නායක --



Wednesday, November 1, 2023

~~ නැවතුම ~~
















කළ නොකළ දෑ 
බොහෝ ඇතිවාද
වසන්තය ගෙවී 
ගොස් නොදැනීම

ගිම්හානයද එළඹි 
ඇති මොහොතක
සිතින් තනි වීමි 
කල්පනා ලොවක

වියැකෙනා තුරුණු කම 
නටබුන් වූ අතීතය
සිහිකරන පෙර මතක 
හද වේදනා දෙමින

කළ නොකළ දෑ වෙතට 
වන මුසුප්පුව
ඵලක් නැත සිතා ගෙන 
වර්තමනය වෙතට

මග තවත් වැටී ඇති 
යෑමටද දුර තිබෙන
වෙහස නම් දැනේ දැන් 
ගතට මෙන්මද සිතට

නවතින්න මදකට 
ගිමන් හැර ඇරඹුමට
පසුකරන් යන දනන් 
දකිමි මා නැවතූ විටෙක

මටම මා අහිමි වූ 
ලොවක දිවි කුමට තව
තිත තබන්නට දිවිය 
සිතේ නිරතුරුව දැන්

දිනක ලොව තනිවන්න 
සිදුවනා බව දනිමි
කෙසේ නම් දරන්නද 
තනිකමක රුදුරු බව

අවසරයි නවතින්න 
මදක් නිවුමට වෙහෙස
පසුකරන් ගියත් ඔබ 
නොවේ කහටක් සිතක

උරුමයක් නොමැති තැන 
කුමන අයිතියද ඇති
නිවී සැනහී නික්මෙන්න 
අවසරය දෙනු මැනවි

--- එච්. එම්. ආර්. බී. රත්නායක ---



Thursday, October 5, 2023

~~ පැමිණීම ~~










මමද නුඹ ගැන සිතුවෙමි 
පසුපසින් පැමිණියෙමි
නුඹ පැවසූ සකල දෑ 
ඉටු කළෙමි හැකි පමණ

ඉනික්බිති නුඹට මා 
මෙවලමක් පමණ වූ කල
කිමද මා තවත් නුඹ 
වෙතට ආශාක්ත වන්නට

පෙර භවක හමුවූ 
පුරුදු ගති ඇති නොවෙද
ආලයද ලැබි නොවේ 
නම් ණයක් වූවාද

වදන් කියනා දමන 
ලොකු කම් සිතද රිදවනා
තවම මා නුඹ ගැනම 
සිහින මවමින් සිටියි

බොහෝ අය කියන විට නො
ගැලපෙන බව නුඹත්
දෙසවන් යොමු නොකළෙමි 
ඒ වදන් වෙතට මම

දැන් දැන්ව වැටහේවි 
ඒ පැවසූ කරුණු පෙළ මටත්
තීරණය ගනිමි මා 
නුදුරේම නව ගමනකට

ධන බලය රූ සපුව 
නොමැති වුව අන් අය මෙන්
ඒ කිසිඳු දෑ නුඹට 
නොතිබුනා නොවෙද 

කල්පිතය බිඳ හෙළා 
යථාර්ථය වෙතට පිවිසෙමින්
තවත් මා නොඑන්නෙමි 
නුඹේ අත පතාගෙන

දහස් ගණනින් ඇති 
දනන් අතර ඇති හිමිකාරි
සොයා යමි මින් මතුව 
නුඹේ දෙස නොබලාම

කී කළ දෑ නුඹ වෙනුවෙන් 
සිතමි ණය ගෙවූ ලෙස
නික්මෙන්න අවසරයි 
නුඹ වෙතින් නව ලොවට

--- රකිත ---




Sunday, September 3, 2023

~~ හිමි අහිමි ~~

 


පියා සලා නුබ ගැබේ 
සිසාරා ඉගිලෙන්න
වරම් ලැබු මුත් 
නොයන්නට වෙන්ව

නේක වර්ණිත ලෝකයක් 
පාමුල පැමිණි
නව ලොවක් සදන්නට 
සිහිනයන් එක් කරමු 

ග්‍රීෂ්මය ගත දවන 
නිමා වන බව දනිමි
නුඹේ වත ඉඳ හිටත් 
දකින්නට සිත් වේය

පාළු කාන්සිය අතර 
ආලයක ඉතිරියක්
ලබන්නට කවදාද 
උණුසුමක පහසකින් 

සසර මග බොහෝ කල 
පැමිණ ඇතිවා දනිමි
හැර දමා ඉගිලෙන්න 
ඇයිද ඒ කරුණු ඇති

අවදි වන විට දිනක අප
නැවත නොඑනා ලෙසින
අපේ ලොව තනි වන්න 
දිනක් උදා වන තුරු සිටින

පැතුම් පොදි බැඳන් මැවූ 
සිහිනයන් රැගෙන ගොස්
යාත්‍රා කරන්නෙමු අපද 
මැවූ ලොව සොයා දිනක

දිවා රෑ දින සතිද මාස අවුරුදු 
කාලයක් ගෙවා ගෙන
බලාපොරොත්තුව රැගෙන 
කාල තීරුවක සිටිනා අපද

නිමා නොවනා ගමන 
වෙහෙසකර නැවතුමක
කෙටි මගක් නොමැති කල 
නොවේ නම් සැනසුමක්

අප නිතර මුමුණාවි 
සවන් ළඟ නැඹුරු වී 
ආලයක මහිමයක් 
හිමි අහිමි වූ ලොවක

--- එච්. එම්. ආර්. බී. රත්නායක ---





Thursday, August 3, 2023

~~ උදා තතු යුවති ~~




රථ ගමන් වේගයට නැගි සුළං රැළි මතින්
විසිරි කෙස් කළඹ ඇය අසුන් ගත් තැනින්
වසාලන සඳ මා මුව සුසිනිඳු කෙස් ගසින්
මිහිර දැනුනු නාස් පුට වෙත ජීවන සුවඳින්

නොවී මත්ව නුරාවෙන් බලා සිට නෙත් අගින්
තැත් කරමි දකින්නට හිස සිට පා දක්වා පටන්
සොඳුරු යුවතියක බලා සිටි කවුළු පිටට දෑසින්
දුටිමි උදෑසන සේවය බලා යන්නා වූ ගමනින්

බලා වුවන හොරැහින් යාබදව සිට අසුනින්
තැත් කළෙමි අවදි කෙරුමට මනා වදනකින්
එනමුදු වුව යම් ලෙස බියපත් වන සිතකින්
හද රැඳි හැඟුක් සිටිනෙමි අද සඟවා ගනිමින්

මල් සර හීයක පහසක් ලැබුමට පතමින්
කල් ගත වී ඇති පරිණත බව වූ අබිමන්
නොවේ තරම් නම් උදාවට වන වයසින්
සඟවනු කිම නම් තුමු නැගෙනා හැඟුමන්

සිහින පැතුම් පෙළ සිට ඇති කලක පටන් 
නොවේ ඉටුව යන පෙර කර්ම ඵලයකින්
මංපෙත අද්දර සිට හිඳ යනෙනා ගමනින්
ලොවක් තනන්නෙමි නින්දක සිහිනෙන්

ගමනක ඇරඹුම පමණකි වෙන අවසන්
ගනුදෙනු අහවර වනු ඇත කල සසරෙන්
යළි හමු නොවෙනා බව දැනි ලෙසකින්
බැස යමි නැවතුම පැමිණිය වූ  රථයෙන් 

--- රකිත ---



Wednesday, July 12, 2023

~~ හැරීමි ~~




කිසිවක් නොවන තැනක සිට
මා දෙසම නැවතත් හැරී බලමි
නොවේ ඊර්ෂ්‍යා කවරෙකුටත්
ඵලක් නැත අන් දෑ සොයන්නට

බියසුළුය රහිතයි නිසි පෞර්ෂය
කියයි විටෙක අසාමාන්‍ය බව මා
කන් නොදෙමි ඒ කතාවන් වෙත
මටත් රිසි දෑ කරමි මෙතැන් සිට

ඇඟලුම් පැළඳුම් හුරු පුරුදුකම්
අවැසි නැත තව තේරුමට නුඹලා
මටම මා අහිමි කළ ඒ රුදු කාලයට
තිත තබමි නැවතී නව ඇරඹුමකට

තනිව සිටිනා වුව තුටින් සිටිමි අද
කුමක් කළද කුමක් පැවසුවද නුඹ
කම් නොවේ අත්හැර ගියත් සැම
මා යමි ජය ගැනුමට මා ඉලක්කය

වෙහසවී කෙරුමට දෑ බොහෝ ඇත
එක් කරමි වටිනාකමක් දිවිය වෙත
හැඟේ නම් නොගැලපෙන බවට මා
අත්හරිනු මැන මිතු දමින් සැනසුමට

අන් දනන් කළ කී දෑ නොවේ අවැසිය
මා සොයමි අහිමි වූ මා කලකට පෙරත්
පිය මනින මාවතක ගෙන හැරවුමක්
සොයා යමි ජීවිතය විඳින්නට කලක්

අපමණ ගැරහුම් බිණුමන් සරදම් මැද
වෙනසක සුවයක් අත් විඳිනට ඇත
කැප කර බහුතර සුවයන් ඒ විලසට
මහ පොළවේ ඇති අර්ථය වැටහෙන

මෙතෙක් ගිය ගමන නැවතුමට අවසරයි
නව මගක් ලබන්නට හැරවුමට අවසරයි
අහිමි මා සොයන්නට බලන්නට අවසරයි
ඉතින් අද සමුඅරන් නික්මෙන්න අවසරයි

---රකිත---






 

 

Thursday, June 29, 2023

~~ රැයක සිත ~~




තරු එළිය තුරන් වූ 
අඳුරු ඇති නුබ ගැබත්
සුසුම් ලන මද නලින් 
සෙලවෙනා තුරු ලතා

ඉටු නොවූ පැතුමන් මතින් 
වේදනාවද රැගෙන එන
කෙලෙසකද කරනු 
මා රැය පහන් මේ ලෙසින්

ප්‍රිය වදන් ඒ කලක 
මුමුණමින් සවනතට
ලොවට බියවී සැඟවිලා 
රහසින්ම සිටියා වූද

මදහසින් නෙතු අගින් 
කියැවෙනා කතාවක්
අසා සිටි මොහොත 
නික්ම ගොස් කල් ගතව

නොකළ දෑ පමාවට 
නොවේ නම් කරුණු සමාවට
ආලයේ නාමයට වූවාද 
ගොසින් ඒ කලාවට

අත්හරින්නට වූ තැනක 
තදින් අල්ලා ගන්න
කිමද ඒ හේතුවක් 
අරමුණට නොයන්නට

හිස මතට පැටවෙනා 
බර දැනෙන විට හදට
නිදහසේ අරුමයක් 
නොදැනුනා නොවේ මට

දරා ගනු නොහැකි සඳ 
තබා ගනු කෙලෙසකද
හැර දමා ගොසින් ඇත 
දැන් බොහෝ කල් වැඩිය

ඉඳ හිටත් දැනෙන විට 
බුර බුරා නැගෙන කල
කරමි යටපත් හැඟුම් 
වැර වෑයමින් නිබඳවම

පිං මහිම අවැසිමය 
ලබන්න යම් වූ සැපත
හිමි අහිමි කම නොවෙද 
ඒ මඟුල් සක්වලත්

--- රකිත ---



Monday, June 12, 2023

~~ ඇයට ලියූ කව ~~




සිර කළ හැඟුමන් පහව නොයන කල
දැනේ නුඹ අසලක සිටිනා ලෙසින්
පැතූ දෑ අද නොලැබ යන සඳ අප හට
නොදැනුනා නොවේ අහිමි කම ඇති

අමුත්තිය වූ නුඹ සුපුරුදු දිනයක වුව
එහි සැඟව ගිය අරුත තේරුම් ගතිමි
නුඹම පමණි එනමුදු සිටින්නේ ගැබ්ව
හදවතේ පතුලකට සිතුවිලි රටාවට

හඬා වැටෙන සිත දරා රැගෙන වෙර
මුවග සිනාවෙන් වසා කඳුළු කැට
රැඳෙන්නට මදක් වෙනදා මෙන්ම
වරම් නැත අද අප ඇතිවා වෙන්ව

සියල්ල හැර යන්නට කල් පැමිණ
පෙර සේ දැකුමට නොවේ කිසිවිට
නොමැත වන්නට මුසුප්පුවට කල්
අප තනි කර ගමන යන ලෝකයක

නුඹට ගයනා ගීතයක තනුව නිමැවුමට
අවැසි නොවේ තව දොසක් නගන්නට
එක් මගක යනු නොහැකි බව දනිමු අපු
නුදුටු නුහුරු ලෙස පසු කරමු එකිනෙකා

සසර කළ කර්ම බල ඵල දෙනා යුගයකට
පිං තකා කළ දෑම නොවය ඉතිරිව ඇතිව
බල මහිම පුණ්‍ය කර්මයේ ලැබෙන විටක
හිනැහිලා හමුවෙමුද මතු සසර එක් දිනක

--- එච්. එම්. ආර්. බී. රත්නායක ---





Wednesday, May 24, 2023

~~ සැබෑවක් වූ ~~











ළමා කල නිමා වී 
තුරුණු විය ළඟා වී
ගෙවී ගොස් එයද 
අගට වූ වසන්තය වී

සවි ලැබූ පියාපත් 
සලාලා සියොත් කැල
හුන් කැදලි හැර ගොසින් 
නව කැදලි තන්නට

මුහුකුරා ගොසින් ඇති 
පියාපත් යුගල් ඇති
නුඹ තවම කිමද අද
කැදැල්ලට වී මව්පියන් හා

නොමැරී වුව දින දින පණ ලබා
හැඟුමන්ද තිබේ රැලි පිට රැලි නැගී
දරා යට කරමි ඒ හැඟුම් පෙළ
නොලැබෙනා සඳ වසන්තයකට

අහිමි වූ ධන බලය 
තෙද බලය ගත සවිය
නොවේ නම් කඩවසම් 
පෙනුමක්ද ලැබ ඇති 

නෙත ගැටෙන නේක වූ 
සොඳුරු දසුන් පිරිපුන්ව
මග හැර යන අයුරුද දකිමි 
ප්‍රතික්ෂේපය සුපුරුදුව ඇති

පමා වූ සිප් සතර නම්
නොවේ ඇති නිමාවක්
හංවඩු ගැසෙන විට සිතේ 
නූගතෙකු වූ විලසකින්

තත්ත්ව සහ කාර්යය 
මදිවාලු ආලය ලබන්නට
අවැසි දෑ බොහෝ ඇතිලු 
විය යුතුව ඇත සම්පූර්ණව

මා කුමක් නම් කරම්ද 
වසත් කල නිමා වී ඇතිලු
නර කෙසත් මතුව 
ලවනතත් වියැකි යන විලස   

කිසිවෙකුත් නොදකිනා 
කිසිවෙකුත් නොදනිනා
බොහෝ දෑ ඇති නොවෙද 
නුඹලාට නොදැනුනු ලෙසින්

--- රකිත ---   



Monday, May 8, 2023

~~ අවසන් ඇරයුමට ~~



මා නුඹට පෙම් බඳිමි හදවතින්
සඟවා මුළු ලොවකට ඒ පුවත
බොහෝ කල් ගතව හෙයින්
බලා සිටුමට නොමැත වරම්

අතීතය යට කරන් 
කාලයේ පස් යටට
අනාගතයක සිහිනයන් 
දකින්නට එක් විලස

පිටුපා ගොසින් අප
හිනැහෙනා ලොවට
පිය මනිමු සෙනෙහසින් 
අනාගත ලෝකය වෙතට

සකල දෑ නොවනා කලට 
පරිසමාප්තය ලෙසින්
නොවේ අප සැමද 
ඒ ලෙසින් සමන්විත

නිවැරදිව නිසි ලෙසට 
කළ යුතු දෑ සියල්
කුමට නම් වනු පමා 
එනු මැනවි මා වෙතට

අපට අප හිමි නොවූ 
අහිමි කම එහි තිබූ
කම් නොවේ තවත්  
මුසුප්පුව අප ලැබූ

ඉතිරි වූ දෑ රැගෙන 
ගොඩ නගා අපේ ලොව
සැනසෙන්න එනු මැනවි 
ආලයද රැගෙන අද

අවර ගිර ගිනි නැගෙන 
රිවි මඬල නික්ම යන
නරඹමුද අපිත් අද 
අත්වැල් බැඳන් සෙනහසින්

ලවනත රුවද වියැකෙමින් 
නික්මෙන්න මත්තෙන්
වරක් පවසනු මැනවි 
ආලයේ සොඳුරු වදන් පෙළ  

--- රකිත ---



Thursday, April 20, 2023

~~ අවසන් කලට ~~




අවසන් හාදුවක් 
රැඳවූ මතකයක
නොවේ එය සොඳුරු 
දුක් බරව ගිය කලට

මතු දිනක නුඹ 
යනෙන දිශාවන්
නොසිතමි තවත් 
අහිමි වූ බව දැන

නුඹම වනු ඇත 
සැමදා මා දිනූ හද
නොවනු ඇත එය 
වෙනසක්ද මතුවට

සිත තුළ හද තුළද 
රැඳි නුඹේ සුසුමන්
සදාකල් රැඳෙනු ඇත 
මේ දිවි තුරාවට

සිනාවෙන් යටත් කර 
තෙරපෙනා සිතුවිල්ල
ලොවට පෙන්වමි මෙසේ 
ව්‍යාජයක් වූ වූවන

ඉඳ හිටත් සිහි වේවි 
පැරණි ඒ මතකයන්
තිබෙනු ඇත නුඹට 
හද තුළ ඉඩක් තවමත්

නුඹත් එලෙසමද නම් 
කියා නොදනිමි මමත්
මංපෙත් ද්විත්වයක 
රැගෙන යනු ඇත අපත්

අහිමි කම පමණක් හිමිද 
වෙනස් කම් වන ලොවේ
පෙර භවක පාපයද 
හඹා එන පසු පසින්

නික්ම යන කාලයට 
බාර කළ ඉරණමද
සමාන්තර වන්නටද 
තරගයේ වේගයට

නොවන්නට මුසුප්පු 
හිමි නොවූ දෑ වෙත
සිර කරමි හැඟුමන් 
යළිඳු මතු නොවන්නට 

--- රකිත ---




Monday, April 3, 2023

~~ රුදු සැබෑවක් ~~

 


වෙහෙසකර දිනක

අග පීඩිතව ගිය සිතට

සැනසුමක් සොයන්නට

පහසක් විඳින්නට

 

නොවේ ඒ කිසි දෙයක්

සන්තකව දිවියකට

කලකිරී පිය මනින

සුපුරුදු වූ නවාතැනකට

 

කල් ගතව ඇවෑමට

වසන්තය නික්ම යන

ගිම්හානයේ දොරටු

විවර වී ඇතිව එන

 

ලවනතත් වියැකෙමින්

තුරුණු කම නිමවන

වටහා ගනිමි දින දිනම

සැන්දෑව උදා වන

 

තුරුණු සිත සිරවෙලා

වැඩිහිටි ගත තුළටව

සිතුවිලිද ඉවත ලා

දොස් දකින ලොවට බියව

 

තනිව සිටිනෙමි

තැවෙමින් අහිමි වූ දෑ දකින

නවමු පරපුර ගමන යන

අප සිටි තැන්ද පසු කරන්

 

දිව යන්න ඒ සමග

වෙර නැතිය පෙර ලෙසින්

නවතිමිය දැන් මෙතන

වෙහෙසයි නම් දැන් ගතට

 

හිමි නොවන දෑ වෙතට

පෙම් බඳින සිත කදිම

වෙමින් ඇත දින දිනම

වියපත්ව ගත තුළම

 

තුරුණු සිතුවිලි දැහැන

වදනකට පෙරළමින්

අකුරු කරනෙමි ඉතින්

අංකිතව ජාලයට

 

එදා රැඳි ප්‍රේමයක

සිතුවිල්ල සඟවලා

සිනාවෙන් වසා ගමි

දොම්නසක තතු සලා

 

මතු භවක ලබන්නට

අහිමි දෑ ඉත සිතින්

පිං කරමි ලබන්නට

සැනසුමක් මතු සසර

 

--- රකිත ---




Monday, March 13, 2023

~~ විතැන් වූ හැඟුම් ~~



සිසිල් වූ රැයක මුවා කර සඳවතත්
අමාවක දිනක රෑ සැඟව කුටියකත්
රක්ත වර්ණ මුසු අඳුරු ආලෝකයත්
යට ගියවූ හැඟුමන් විසිරී යාමටත්

මධු විතක රස බලා ගතට වෙර නගා
රසමසවුළු ගෙන උදර කුහරයද පුරවා
ස්නානයෙන් පිරිසිදුව ඇඟලුමෙන් සරසා
කුටියේ දොරටුව දෙසට නෙතු බලා අයා

රෝස පෙති විසිරිලා යහන මත සුවඳ දී
කන්වයින වට කරන් අතර මැද ඉඩත් දී
පා තබන මුදු හඬ ඇසේ දොරටුව පිටට වී
සිත ඉවසිලි නැතිය දක්නා තුරු රුවට වී

විවෘතව වැසි දොරටුවෙන් නාරි රුව ඇදී එන
රෝස පැහැ කෙටි ඇඟලුමෙන් සැරසී එන්න
යහන මත හිඳ තුටින් අඩවන් වූ නීල නෙතින
මිහිරි හඬකින් විමසමින් අවැසි තතු පවසන්න

රැළි පිටට රැළි නගින හැඟුම් පෙළ සිත දවන
පිපී එන රොම් කූප පුරාවට කෙලෙසුන් නිවන
මල් කැකුළු පිපී එන රසෝජාව ගලා හැලෙන
සුන්දරය ඒ මොහොත හැඟුම් පිරි ඉතිරෙන්න

නෙතින් නෙත ගැටී යන නළල් තල රැළි නගන
දෙතොල් පෙති මතින් අද සියල් සිරුරත් සිපින
වෙලෙන ලෙලෙන දෑත් දෙපා එකම වූ ලෙසින
ලොවක තනි වෙමු අපි අපේ වෙන කල් එන්න

ලබන්නට ඇති ලොවේ උරුම වූ සොඳුරු සුවයක
පතන්නමි නුඹෙන් අද අඳුරු වී ගිය සීත වූ රැයක
විතැන් කරනෙමි හැඟුම් පෙළ දැරූ ගතකත් සිතක
මුසු කරන් සොඳුරු වූ ආලයට රාගයත් මේ රැයක

--- රකිත ---



Sunday, February 26, 2023

~~ පසුව අවසන් ~~




රචනය කරම්ද ලිපියක් 
විද්‍යුත් තැපෑලක්
කෙටි පණිවුඩයක් 
දුරකථන ඇමතුමක්

නිහඬ වූවෙමි 
නොලැබෙන සඳ පිළිතුරක්
නොපෙනෙනා ලොවට 
කුමට අනාගතයක්

නිරන්තරයෙන් අප දුටුවත් 
එකිනෙකා මුහුණින්
නොවේ තව දුරටත් දැකුමට 
හුරුපුරුදු ලෙසකින්

හැකි නම් වන්නට මුවා වී 
ලෙසකින් අතුරුදහන්
සමු අරන් නික්මෙන්න 
හමුනොවනා ලෙසින්

බිඳී විසිරී ඇති ගොඩ නැගූ 
සිහින අප එකට
මතකයක් පමණි අද 
එක් කොනක සිතට

ගමන් මග කොයිබටද 
නොතේරෙන කලට
කුණාටුවකි අද මුළු ලොවම 
නුඹත් නැති විට

කාලයා නොදැනීම 
අප පසු කරන් යනු ඇතිය
මතක අමතකව යාවි 
තරගයට ඇති වේගයෙන්

තනිව එක් මගක යනු වස්
සිත් හදත් ගොඩනගමි
එකම එක ඉලක්කය පමණි
සිතක ඇති සැනසුමත්

වරම් නැත ලබන්නට සුවය
ඒ සොඳුරු මහිමයක
පෙර කළ පාපය ගෙවුමට
රකිමි බඹසර නුඹ නාමයට

--- රකිත ---





Wednesday, February 8, 2023

~~ තුතියට ~~




කල් ගත වුවත් රඳවා මතකය වූ හදට
කෙතරම් රුදුරු වුව ලොව පිරි මා හට
නිබඳවම මා වෙනුවෙන් සිටිනා ඔබට
හසරැල් ගෙනෙන විට නිබඳව වුවනට

නොවෙනස් ලෙසින් සිටිනා විටක තුටින්
සීමා ඉක්මවා මිතු දම් පරයා නැගූ සිතින්
නරඹා කොඳුරා ඒ දිනක ඉමිහිරි වූ මතින්
උපන් වූ ආලයේ සොයා ආ සොඳුරු තැන්

නොසඟවා පවසන්න සියලු දෑ සිතක ඇති
වටහාගෙන කරුණු විවර වූ නම් මනස් ඇති
ලැබූ දෑ ගෙන තුටින් දිවි ගමන සොඳුරු ඇති
නුඹම විය මිණි පහන මා ලොව එළිය ඇති

නුඹ සතුව ඇති දැනුම මා ගැනත් පවසන්න
හැඟුම් පිරිපුන්ව ඇති නුඹ ගැනත් දැනගන්න
එක්ව ගමනක් යන්න ආලයත් ලැබගන්න
සවිය වෙමු අප අපට එක්ව ලොව ජයගන්න

කළගුණත් සලකන්න නම් සසර තව ඉදිරියට
පතමි හද පතුලතින් හමුවන්න ඇය දිවියකට
සීත රුදු කුණාටුව මැදින් පැමිණි වසන්තයට
තුති පුදමි ඉත සිතින් තනි නොකළ නුඹ වෙතට

--- රකිත ---  



Tuesday, January 10, 2023

~~ අවසානයක් ~~



බොහෝ කල් ගෙවී ගොස්
පැමිණ ඇත එක් මොහොතකට
එකම එක තීරණයකින්
දිවි මගක වෙනසක්ද වන්නට

වෘත්තීය ගමන් මග වෙත
දොළොස් වසරක් ගෙවී යන
ඒ කලට පැමිණ ඇත 
එකම හැරවුම් ලක්ෂ්‍යයක්

පිරිස් බල කෙරුමට අවම
ලොකු පුටු ගත් තීරණ පෙළට
විවේචන නම් නොකරමි
යථා බව දැනෙනා නිසාවෙන්

කිසි දිනක නොදුටු නොලැබෙන
මිල මුදල් ගණනක ගෙවුම්
සැලසුමට එකඟ වෙමි 
මුළු හදින් එක් ලෙසින් සිට

ඉදිරිපත් කර ඉහළට හනික
පිළිගෙන තහවුරු වූ කලට
සිත පිනා යන අයුරක් දැනුනි
මතු ලැබෙන ඒ සැනසුමට

පිනා සිත ප්‍රීතියෙන් පිරි ඇතිව
පැමිණියෙමි නැවතත් අසුන වෙත
එනමුදු නොසිතූ ලෙසින් නම්
දැනුනි හැඟුමක් දොම්නසින් පිරි

මත ගැටුම් සිත් රිදුම් බිණුමන්ද  
තිබි නමුදු සිටියෙමු එක් පවුලක් විලස
දුක සතුට බෙදාගෙන හිනැහෙමින්
එක්ව සිටි සඳ එකම පවුලක් ලෙසින්

අත්හැර යනු වස් සියල් අවසානයේ
මතකයන් පමණක් රැගෙන 
දින ගණන් ගෙවී යන කලට
සිතත් බර වේ වියෝ හැඟුමෙන්

උදා වී ඇත වෙන්ව යන්නට ඉතින්
සඟවමින් නෙත් කඳුළු බිඳු උනනා
අනාගතයක සුබ සිහින දකිමින්
අලුත් ගමනක ඇරඹුමක් ලබන්නට

පොදි බැඳන් මතකයන් රැඳි සිත තුළත්
හදවතින් වැළපෙමින් වියෝවේ රිදුමකින්
බලා ඔබ සැම දෙසත් තවත් එක් වතාවක්
ඉතින් මට අවසරයි සමු අරන් නික්මෙන්න  

--- රකිත ---




~~ මිහිරක මහිමය ~~




ඉහළ නැගෙන ලෙස 
කඳු මුදුනට
නොහැකි වන 
ලෙසක නැවතුමට

සිහින දකින කල 
ඉටු කරලන්නට
නෙතක පිරී ඇති 
පැතුමන් විලසට

මුදු හසරැලි පිරි 
වුවනක් දැකුමට
උණුසුම සපිරුනු 
පහසක් ලැබුමට

හැකි පමණින් 
යුතුකම් කෙරුමට
හදවත පවසන 
වදනක් ඇසුමට

තුරුලුව ළමැදේ 
නුපුරුදු හැඟුමට
හුස්මට යොමු කර 
මදකුත් සවනට

නේක ගැටලුවෙන් 
බර වූ සිතකට
නිමේෂයක සිට 
නිවා සනහාලන්නට

ඉක්මන් ගමනක සිරි 
කෙටි වන දිවියට
දිගු ලැසි ගමනක් 
අසිරිය ඇති ගෙනෙනට

නේක වර්ණ පිරි 
ලොව දැක ගැනුමට
පොදි බඳිනා සිතුවිලි 
මතකය විලසට

නුඹ එනතුරු එහි 
බලා සිටින්නට 
අමතක නොකරනු 
මැන ඒ දිනයට

සුපුරුදු මද හසමද 
රැගෙන දකින්නට
සිත දින දින ලතැවෙන 
ලෙස දිනුමට

--- රකිත ---