Sunday, June 28, 2020

~~ එක් දරු මවට බැඳි පෙම ~~




නිමිත්ත - : මම කවදා හරි බඳින්නේ පුංචි දුවෙක් ඉන්න කෙනෙක්ව. 


පෙර සසර පුරුද්දට 
නෙත නැවතුනාවත්ද 
නුහුරු උණුසුමක ඇති 
පහස ලැබුමට සිතට

ජීවිතේ මටත් පෙර 
නුඹ ඉදිරියට ගියාදෝ
සුලැඟිල්ල අගක එල්ලී 
ගිය පුංචි කුමරියක්

පානා සුරතල් සිනාවෙන් 
දඟකාරකම් සොඳුරු
පවසනා ඉමිහිරි වදන් 
මව් ඇකයේ හොවා ඉඳ

නොලැබූ පෙමක් නැත 
දරු සෙනෙහසට වැඩි
දියණියේ දුටිමි මා 
නොලද දරු පෙමක ඔබෙන්

වරක් දිවි මග වැරදුනු නමුදු 
හරි මගක් තව ඇතිය ඔබ හටද
අවසරද නුඹ සමග යන්නට
දරු පෙමක් කැටි කරන් රහසින්

ඉඳුල් කර සියල් තන්හි
නොයිඳුල් කම සොයන දනන්
හැඩ කර කට පවසනු ඇති 
නුඹටත් මට රස කර පද

දිවි ගමනක මිහිරි පැතුම් 
සිහින සැබෑ වන ලොව මත
නොයිඳුල් කම් සොයනු කුමට 
ආදර සැනසුම ඇති තැන

සුරතල් සිනහව දුවගේ 
බොළඳ කතා ඇගේ මුවගේ
රුධිර බැඳුම් කුමට දුවේ 
පිය පදවිය ලබන ලෙසේ

නුඹ මව් අතගෙන දිනකදි 
ලොවක් සිනාසෙන සරදම්
නොතකා ගැරහුම් බිණුමන් 
ජිවිතයක මහිමය දැකුමට

මදහස පා මුවගට පුංචි දුවේ
පෑ දඟකම් සුරතල් ලෙස
පිය සෙනෙහස හද මඬලට 
අමතන් මා අප්පච්චී ලෙස

---රකිත---


Thursday, June 18, 2020

~~ ආල ! ~~



තුරුණු බල ඇති 
සොඳුරු රූ ඇති
නිසි වයස් ගත 
දඟකාර සිත් ඇති

ජිවිතේ ඇති එකම 
මග නොයා තනිවම
ඉතින් දැන් අවසරද 
පිළිගන්න නුඹත් මට

වරක් නොව සිය දහස් වර 
සසර මතු හමුවෙන්න පැතුමට
බලා සිටිනෙමි එන තුරා නුඹ 
ගෙවෙන මොහොතක පවා 

නුඹේ අත ගෙන දිනූ දිනයක 
මැවූ ලොව නිති සැබෑ වන කල
පෙළුනු සිතකට තැලුනු හදකට 
උදාවේවිද සැනසුමක් මතු

නුඹේ හඬ වෙත නුඹේ රුව වෙත 
ඇදී ගිය කල සිතක මහිමය
වදනකින් හෝ පමා නොව මැන 
කිමද වන්නට කරුණු සිතුමට

දළු ලන තුරු විටප ලතා 
විකසිත මල් පොකුරු පපා
මිහිකත මත වැතිර එනා 
ආදර ගැබ එනු මැන මෝරා

සඳ මඬල  හිරු මඬල ලෙස
බබළන්න සදාකල් ලොවට
රැය අඳුර නිවා සනහන 
තරු පොකුරු සේ රැඳෙන

ඉඳ හිටත් හොරැහින්ම 
නෙතු කොනින් බලන්නට
හෙටත් නුඹ එනවාද 
පුංචි නැගණියේ සුදු

---රකිත--- 



Saturday, June 13, 2020

~~ පෙමක නිම ? ~~











නිමිත්ත -: අනියම් පෙම්වතාගේ පිහි පහරින් සැබෑ පෙම්වතා මියයයි


සිහින් මල් වැසි අතර 
ඉමිහිරි සිහින මවාපා
ගමන් මග අතර මග 
මුණ ගැසුනු මරු දුටිමි

හිරකරන් කිටි කිටියෙ 
අත් පාද ගෙල බදන්
පිහිතලය රස බැලුව 
ආලය මුසු රුහිරයක්

අට වසක ප්‍රේමයක 
මහිමයක් දැනෙන සැටි
බල නහර උගුරු දඬු 
චිරි චිරි හඬින් කැපෙන රඟ

පන ගසන ජීවයක් 
හැර යන්න පමාවට
අවර්ජනා කරන 
මතක සිත්තම් පෙළට 

යවා කය වැඩුමකට 
හැඩ කරන්නට ගතත්
වැඩුනු හද අනියමින් 
බැඳි තුරුණු හදකට

රුව මවන්නට සොඳින්
සොයන්නට කාසි පොදි
කිමද කළ කී දෑ නුඹට
මදි වන්නට කළ වරද මා

සිත් පහන් කරවනා 
ප්‍රේමයක තතු නොදැන
ආලයත් වියරුවක් 
කළ අපූරුව බලන්

මලේ මම පෙම් කළෙමි 
ඇයට නුඹටත් පෙරම
වරද පවසනු මැනවි 
මරණයට පෙර මෙමට  

දින මාස අවුරුදු නොවන 
ආලයක බැඳි හද පැතුම්
මදි වුවා නම් ඉතින් 
කිම නොයනු හැර දමා

මරණයක මහිමයේ 
කම් ඵලය නොදනීද
ඉතින් මට අවසරයි 
හැර යන්න ජීවිතය

---රකිත---



Thursday, June 4, 2020

~~ කියනු වස් ~~
















වෙමින් කම්පිතව 
මිහි මවත් දෙදරවා
ගුගුරවන අහස් කුස 
වැහි වළාවන් නැතිව

සුසුම් වැළපුම් රැගෙන 
සුළං රැළි අතර එන
බිඳී විසිරී ගිය මලක 
පෙති තෙමා ගිය කඳුල

රත් යවට වැහි බිඳක් 
උකුල් මතු දෙපා වෙත
ගලා හැලෙනා කලට 
වේදනා දී තුරුණු සිත

පොරබදා ජීවිතය අහිමිව 
වටිනාකම රැකුනු
සිඳී බිඳී ඇති ලොවක 
කුමට දිවි ගෙවන්නද 

අමන දනන් පවසනා 
හී සර මෙන් වදන්
පපු කැනති කරවනා 
සිදුරු රුහිරය නොසැලි

ලොවක් දොස් කියන 
පටවා වරද ඈ වෙතට
වීරකම් කර ඇතිය 
සලෙළු වරමක් ලැබූ ඔහු

තලා කුසුමක් පිපුනු 
රොන් උරා සිත් ලෙසට
පලා යන වෙනතකට 
රොන් උරන්නට කදිම

මිලින වන ඒ කුසුමටත් 
වරම නැති කිමද ලොව
පුදසුනක තබා නිතර
ගෞරවය ලබන්නට 

බිඳ වැටුනු මල් කැකුළු 
යලි පුබුදුවන්නට ලොවට
පිනැති අයවලුන් ඇතිවාද 
ලොව කොතන දකින්නට

ජීවිතය නම් උරුම
සියල් මල් කැකුළු වෙත
ඉඩ හරිනු මැන ඇයට
වසන්තය විඳින්නට

---රකිත---