Tuesday, May 31, 2016

~~ සිත දුටු අනිත්‍යය ~~




මුවහත් තලයට හසුවී එකතුව
කැපී වැටෙන කෙස් කැබලිව
කළු පැහැ කෙස අතර ඇතිව
ඇති සුදට නර කෙස් කැබලිව

මෝස්තරය දමා කලට යසට
හැඩ ගැන්වූ කොණ්ඩේ සොඳට
සුදු නරකෙස පෙනෙනා කලට
කුමටද හැඩ නම් අතරින් පතරට

ඇති කැඩපත වෙතින් දකින
තුරුණු මුහුණ ඇදටම එන
තුරුණු ගතිය නැතිව යන්න
පරිණත බව පෙනේ නොපෙන

කර කර ගානා හඬට සොඳින්
රැවුල කැපෙන කලට ඉතින්
පෙනුමෙ වෙනස හොඳින් දුටින්
ගෙවෙන තුරුණු බවට නිතින්

ජවය පිරුණු මිහිරැති හඬ පෙරදා
ගොරෝසුය කටුකය වත්මනටද
පෙර සුසිනිඳු සමද නැතිවද අද
පරිණතවද පිරුණු වතද වියැකිද

උසටම හැඩවෙන මහතට සිටි කල
වෙනස්ව ඇත දැන් හැඩ නැති කල
සිරුරු හැඩය වෙනසට එන කල
කුමන අරුම ගෙවෙන තුරුණු කල

සිහින ලොවක් මවන සිතින
දැනෙයි සැබෑ යථා බවද නිතින
සොඳුරු සිතුම් පෙර සේ නොඑනා
අරුමයක්ය තුමුද වයසට යන්නා

වියැකෙන කඩවසමද දනිමි සොඳින්
වියැකෙන හැකියාවද දනිමි සොඳින්
වියැකෙන රුදු කාලයද දනිමි සොඳින්
වියැකෙන දිවි ගමනද දනිමි සොඳින්

කෙටි දිවියක අරුමය කටුකය නිතිනේ
දැනගැනුමද රුදුරුය අමිහිරි නිතිනේ
දිවිගමනේ අවසානය දුකමය නිතිනේ
කරුමයක්ය දිවියම ඵල දෙන නිතිනේ  


---රකිත---


Sunday, May 29, 2016

~~ සිතේ පැතුමක් ~~










වසාලන කල
අඳුරු සළුපටින්
අහස් කුස
සිසිල් මදනල
දැවටෙනා
රිදී එලියේ රැසින්
බිඳින් බිඳ එන
මල් වැස්ස
අතරින්
යන්න ආසයි
එක කුඩය
යට තුරුලුව
තුටින්

අවරගිරින් නික්මෙන
හිරු කුමරු
දැකගන්නට දිනක
හවස් යාමේ
හමුවන්න
මුහුදු වෙරළක
සොඳුරු
දෙපා දෝවා
පෙණ කැටිති රළ
පා සටහනින්
වැලි මත
වෙරළ අද්දර හිඳ
බලා සිටිනට

නිවා ගැනුමට
වෙහෙස ගත සිත
අසන්නට මුදු
වදන් මිහිරිව
සුසිනිඳු ඔබ අත්
තල පහස
ලබන්නට මුදු
දිගු අතැඟිලි
පිරිමැදුමට මා හිස
එකම අසුනක
වදන් අමුණන්න
තුරුලුව
දිනක් නම් වේ කවදා

නිමා කෙරුමට
යහනේ තනිකම
සීත රැයකදි
උණුසුමක් ලැබුමට
තුරු වටා
වෙළෙනා ලතාවක
පහස විඳුමට
බලා සිටිනෙමි
උදාවන
දිනයකදි ඒ
සැරිසරන්නේමි සිහිනයක
පතන කලකදි
ඉටුවන තුරුද පැතුමන්


---රකිත---


Tuesday, May 24, 2016

~~ නොදනිමි ? ~~











දොරටුවෙන්
ඇතුළුව
පැමිණ
නෙතු කොනෙන්
බැලූ සඳ
හොරැහින් මුදු
නොපා මදහස
සඳ වන්
වුවන
ගස්සා හිස
තාලයට
කෙහෙරැල්ල
වන්නට
විරුද්ධ දෙසට
නාදළු දෙතොල
අඹරා ලෙස
විරූපව
දෑස් යොමා
ඍජුව
හඬ නංවමින්
උස් අඩි
පාවහන් යුගලය
කෙටි සායට
සිරවූ
හැඩති උකුල
නලවා
අත්දිග සැට්ටයින්
සැරසුණු
පිරුණු ලයෙන්
යුත් අඟන
පසු කර මා
අසුන් ගත්
සඳ
නොදන්නා
අනෙකෙකු සමග
කුමන අරුමද
වන්නට
තනිකඩව සිටි
සෑම දින
නොබලන බැවින්
නෙතු පියා
වැළඳ ගමි
සිහිනයෙන්
කෙටි
නින්දක පහස
තුටින


---රකිත---



Friday, May 20, 2016

~~ සොඳුරු මතක - වරම ~~













කැමැත්තෙමි
වතාවක්
තව හමුවන්නට
සොඳුරියේ
ඔබ තුටින්
දැකුමට
පින්බර
සරසවි බිමේ
හිනැහී
දොඩමළු වෙමුද
හිඳ සුපුරුදු
බංකුවේ

සිහි කරමු අප
පෙර සොඳුරු
මතකයන්
තනිවෙමුද
මද කලක් සිට
අහිමි වූ
ලෝකයක අප
තුරු සෙවණ
සුවය රැඳි
කෙළිලොල් මිහිරි
හඬ ඇසෙන
සිහිනයක

ඇදහැලෙන මල්
වැසි මැද්දේ
අඳුරු නුබ ගැබ
පෙනෙන
යමු පෙර දිනක සේ
සරසවි බිමේ
එකම කුඩයක් යටින්
මුමුණන්න මුදු
වදන් රහසින්
සුමුදු සවන්
පෙති වෙත
හැකිවේද එදිනට

ආසයි වරක් තව
බුදින්නට
මිල අඩු
බත් පතක්
මිතුරු මිතුරියන්
සමග සතුටින්
පුරුදු කැන්ටිමේ සිට
බලා සිටින්නම්
පෙර මෙන්
ඔබේ රුව දෙස
ඔබ පිරිවරා ඇති
මිතුරියන් හා

පින් මද මුදු පහස
ලැබුමට සරසවි නිසි කල
පින් කර ඇත
සති අග තුරුලට යන්න
සරසවි මවුන් වෙත
ගෙවී ගියද වයස තුරුණු
ඉලක්කය වෙත
යමි තුටින් මතු දින
පැමිණෙන්න
සොඳුරියේ දිනක
කිමිදෙන්න සිතිවිලි
සයුරක තුටින


---රකිත---



Tuesday, May 17, 2016

~~ මිහිකත වෙත ඇදී එන්න ~~ මිහිරාවිය වැසි කුමරිය ~~











කළු වළාව පොරවාගෙන
දවටා සුළං රැළි සළුවද
නේක වරණ ආලෝක මැදින්
ගිගුරුම් හඬ මතුකරමින්
මිහිකත වෙත ඇදී එන්න
මිහිරාවිය වැසි කුමරිය

වියළිව ගිය පොළෝ ගැබට
මැලවී ගිය තුරු ගොමුවට
දාහය විඳිනා සිතට ගතට
මුදු සිසිලෙන් සනසන්නට
මිහිකත වෙත ඇදී එන්න
මිහිරාවිය වැසි කුමරිය

නික්මෙන නුබ ගැබෙන් නිතර
සිසිල් දිය බිඳෙන් සපිරිව
දසතින් එන සිසිල් සුළඟින්
අඳුරට එන රිදීවන් එළියෙන්
මිහිකත වෙත ඇදී එන්න
මිහිරාවිය වැසි කුමරිය

වියළි කතර සනසවන්න
වැව් ඇළ දොළ ගංගා පිරෙන්න
කෙත් වතු නිති සරු කරන්න
නිල්ලෙන් ලොව සරි කරන්න
මිහිකත වෙත ඇදී එන්න
මිහිරාවිය වැසි කුමරිය

දිය බිඳු රැළි ගත සිපිනා
වැළඳ ගනිමි තුටු පහසින්
දොවා දැවුනු ගත සිසිලෙන්
විඳුමට වස්සානය සිහිනෙන්
මිහිකත වෙත ඇදී එන්න
මිහිරාවිය වැසි කුමරිය

ආදරයේ සොඳුරු මිහිර
සිසිලස මැද විඳගන්නට
මනු සතුනට අනුකම්පාවෙන්
ලෙසට විපත් ඇති නොවනා
මිහිකත වෙත ඇදී එන්න
මිහිරාවිය වැසි කුමරිය

රුදුරු විපත් දුරු කරන්න
ජන දිවියට බාධා නොකරන
දුක් පීඩා දුරු කරන්න
සියල් සතුන් සනසවන්න
මිහිකත වෙත ඇදී එන්න
මිහිරාවිය වැසි කුමරිය


---රකිත---



Sunday, May 15, 2016

~~ අවසරයි ! ~~


දිගු කලක සිත රැඳෙන්න
සිහිනයක් හැබෑ වන්න
මුළු ලොවක් දිනාගන්න
මිහිරක් ලෙස විඳගන්න

සැතපෙන්නට ඉඩ දෙන්න
මිහිරි සිහිනයන් දකින්න
සිහිනෙන් ඔබ රුව දැකගන්න
ඔබ වැළඳ සතුටු වන්න

වැසි කුමරිය මිහිකත සිපින
මුදු සීත වස්සානයේ
තනි වන්නට ඉඩ දෙන්න
මේ මිහිරැති වසන්තයේ

මල් පිපී හිනැහෙන්නා
නිල්වන් මිටියාවතේ
සිසිල් දිය දහරා හැලෙනා
මේ සොඳුරු ලෝකයේ

දෑත් බැඳ ඇවිද යමු සොඳුරියේ
අපටම වෙන්වූ ලොවක
ආසිරි මැද සොඳුරු කලක
දිවි ගෙවුමට ආදරයේ

වැසි කුණාටු බාධක අතරේ
සාගත නියං සමය මැද්දේ
අත්නොහරිමි කිසි දිනක
ඔබ සොඳුරු මිහිරාවියේ

එකට එක්වී ඉත සිතින්
ගමන යමු බාධක මැදින්
දිවි ගමන නිමා වන තුරා
සසරෙන් ගොඩ වන තුරා


---රකිත---


Thursday, May 12, 2016

~~ අගනුවර අඟනුන් ~~




දිදුලන මුදු එලි අතරින්
එතී පාට වළාකුලෙන්
දේදුන්නේ පා තබමින්
බිමට බසිති සුර අඟනන්

දිගු කොණ්ඩය දිගු නීල දෑස
සුමුදු කොපුල් තොල් නා දළු
පුන් පියොයුරු පුළුල් උකුළ
ඇත් දළ පැහැ දිගු අත පය

දිලිසෙන නිය ආලේපන ඇත
ගල්වා දෑත් දෙපා ඇඟිලි තුඩේ
නේක ඡවි වර්ණ උලා වුවනේ
කෙටි දිගු ලෙස කේශ කලඹ

දිගු කොට ඇඳුමෙන් සැරසුණු
මෝස්තරය හරියට ඉහලට
පැළඳුම් සුකුරුත්තම් වැඩියෙන්
තාක්ෂණික මෙවලම් ඉහලින්

සුරු සුරු ලෙස හඬ වැගිරෙන
සුපිරි ඉංගිරිසි බස වහරන
තාලයකට අත පය තබමින්
අපූරුවකි යනෙන කලට

මැද පන්තිය උසස් නාගරිකයි
උගත් කමද නම්බුවක්ද ඇත
සිරිත් විරිත් අචාර ධර්ම බෝමයි
ධනවත් බලවත් තෙදවත් පාටයි

නගරේ අයිතිය ඔවුනටද වේය
අප යන එන්නන් පමණය දිනකට
ලංවන්නට නම් නොහැකිය
ඒ ලොව අප හට තව ඈතය

දුරින් බලා සනසමි සිත
නොලැබෙන සඳ කිසිදා අත
රුවද අසිරියද බලමින්
සමුගන්නෙමි ඉතින් සොඳුරු

---රකිත---