Thursday, March 21, 2019

~~ රිදුම් හිතක සුසුම් කවිය ~~












නුඹම පිළිවිස ගැහෙන හදවත 
අස්වසන්නට කුමක් කියනූ
හිතම අවුලා එසැණ නිවෙනා 
හැඟුම් තව ඇත නුඹෙන් රිදුණූ

දිනක හිමිකම නොවේ සුහදේ 
සසර සුපුරුදු බවක් දැනුණූ
ලබැඳි සිතුමක නුඹයි උන්නේ 
මැදින් පුරහඳ ලඟින් එබුණූ

පතිනි අබිසෙස් හිස දරන්නට 
නුඹෙන් ඇරයුම් ලැබුවෙමී
සිහින තොටුපළ සොඳුරු නැවතුම
එදා නුඹ ළඟ දුටුවෙමී

දෙ අත් එක්වන ඉමක් දැක දැක 
සිතම නුඹටම පිදුවෙමී
මටත් වෙන්කළ ඉඩක් නොතියම 
තවත් නුඹ වෙත බැඳුනෙමී

නෙතින් හමුවනු කලින් වූවද 
සියක් සැතපුම් දුර ගෙවා
දහස් ගණනක් දනන් අතරද 
හදවතේ නුඹවම තියා

නුඹෙන් ඇරඹී නුඹෙන් නිමවන 
ඉර හඳට අවනත වෙලා
කෙනෙක් හිටියා නුඹම මැවු ලොව 
නුඹෙම දෙව් රුව අදහලා

නිතින් සවනත යෙහෙන් ගෙන එන 
නුඹේ ඇමතුම් පුරාණේ
සියුම් ලෙස හද කොනිත්තා ලද 
කෙටිම පණිවිඩ විමානේ

පහන් හැඟුමක නුඹට සමවැද 
පණට පණ සේ සමානේ
දැහැන් තිබුනා තවම නොහඳුන 
නුඹට පෙම් බැඳි ප්‍රමාණේ

හිතක් ඇත්නම් කොතැන හෝ 
ලොව සියපතක් සේ පිවිතුරූ
පෙමක් වී නම් කැටපතක් 
රිසි නුඹට හිතැතිව දිලිසුණූ

එවන් හැඟුමකි මටත් තිබුණේ 
සිල් පදක් ලෙස පිරිසිදූ
ඉතින් හුරුවෙමි ඉවසගන්නට 
ගෙනෙන රිදුමන් නුපුරුදූ

වෙනස් වනු මිස ලොවේ කිසිදා 
සනාතන කිසිවක් නොවේ
වෙනස් වුණු නුඹ නිතර මුමුණන 
වදන් සිහිකරනෙමි ප්‍රියේ

හොඳින් දන්නෙමි දුරස් වන්නට 
හේතුවක් මා සතු නොවේ
නමුත් තවමත් දෙනෙත් වෙහෙසමි 
ඒ සොයා මැදියම් රැයේ

උතුම් පැතුමක නුඹේ නාමෙන් 
සෙනේ තවරා දිවුරමී
සියලු යහපත නුඹට උරුමව 
නිති දිනෙන්නට පතනෙමී

පෙමක මහිමය දිනක නුඹහට 
වැටහෙනා වග අදහමී 
එදින නුඹ පෙර දිනක විසිකළ 
“මැණික” නොසොයනු කුමරුණී

--- තිලිණි ---



~~ ආදරෙයි අම්මේ ~~


සය විසි වසක අරුමැසි මතකය අස්සේ
ලේ කිරි සුවඳ මුහුවී හදවත ගැස්සේ
සරතැස නිවා සනහන සෙනෙහස් වැස්සේ
ආශීර්වාද නුඹමැයි ලොවටම ඉස්සේ

ජීවය පෙවූ "මැණිකක්" කුස හොවාගෙන
දස මාසයක් පුර සඳ දෙස බලාගෙන
කිරිකැටි බිලිඳු වත සිහිනෙන් මවාගෙන
නුඹ සිටියාය දරු සෙනෙහස දරාගෙන

හැඬවුණු දිනේ හිරු එළියට මුව පොඩිය
තුටු වෙන්නැතී නුඹ ලොව කාටත් වැඩිය
මවුවත් කුසුම සුදු දෝණිගේ ලඟ හිටිය
බස රැස හරඹ නුඹෙ ගුණ වැනුමට මදිය

දුක සැප සම සිතින් උසුලනු හුරු කෙරුව
අඳුරක, දෙපා සිඹ සිඹ සඳ රැස් එතුව
හිරු සඳු නැති රැයක මට ඉරබටු තරුව
අම්මේ නුඹයි දිවි අරණේ කවි මුතුව 

මරු කතරක නොසිඳෙන උල්පත අම්මා
සංසාරයේ නොනිමෙන සිළුමිණ අම්මා
යහමඟ කියන ජීවන දහමයි අම්මා
දරු සෙනෙහසට ලොව්තුරු සුවයයි අම්මා

උණුහුම සොයාගෙන අලුතින් කැදැල්ලක
මා යෙහෙළියක නික්මුණු පසුගිය දිනෙක
අෂ්ටක මල් තුහින වසිනා විරාමෙක
සිතුණා පිරිමදින්නට සිතිවිලි මවක

මවු ගුණ ගීයෙ උනනා කඳුලක් දුටිමී
ඉරණම් ගමන ඒ යැයි සිතු දැඩි කළෙමී
ලොවටම හොරෙන් මොහොතක් නුඹ දෙස බැලිමී
නුඹ නෙත කඳුලු දැක හුන් තැන ගල් වුණෙමී

එළඹෙන දවස පැහැබර හිරු උදාවක
ඉර හඳ හිස දෙපස බබළන කලාවක
හද ගත් කුමරු රන් සළු හැඳි වෙලාවක
ගෙල වට මාල සත පැළඳූ උදානෙක

තම දිවි දෙවැනි කර පණ නල සමව හිඳ
දෝණිට දුන්නු සෙනෙහස සිහි නැගේවිද
"කිරි මූදක්" තරම් අම්මට හැඬේවිද
නුඹ හැරදමා යනු මට බෑ හිතේවිද

පෙණ පිඬු දොවමි පියුමක හද විල් බැම්මේ
මව් ගුණ නිම්නයේ ලේ කිරි කඳු නැම්මේ
නුඹ තනි නොකරමි, දූ කිසිවිට අම්මේ
සැනසෙමි සෑමදා නුඹ ලඟ දරු පෙම්මේ

තිස් තුන් කෝටියක් දෙවි රැකවරණ ගෙන
මගෙ ආයුත් අරන් දිගු කල් යෙහෙන් ගැණ
මෙතේ බුදුන්ගේ අනුහස් වඩින දින
ලොව්තුරු බුදු බවට විවරණ ලබනු මැන

--- තිලිණි ---


Sunday, March 17, 2019

~~ වැස්සක ~~










කර්කෂක මිහිතලය 
සා පිපාසාවෙන් පෙළුණු
සනහාලන්නට වැටෙන 
මහ වර්ෂාව මනරම්ය

වැසි බිංදු ඇද ගන්න 
උරන පොළෝ තලය
පිපාසය සංසිඳුණු 
නුඹට වූ පෙර කලට

තුරු ලතා අඹරවා 
හමන සුළඟින් සිසිල
පෙම් වදන් පවසනා 
අහස් ගැබ මිහිකතට

සිසිලසින් පුබුදුවා 
උණුසුමක් සැඟව ගිය
කිමද රෝමාන්තික 
සවස් යාමය මෙලෙස

නුහුරු හැඟුමන් අතර 
තනිවන්න සිත් ලෙසින්
ඉඩක් ලද විගස ගලනු 
ඉවුරු තලා යහන් මත

අකුණු එලියට දකින 
නුඹේ ගත අඳුර මැද
හෙණ හඬට බිය නොවන 
සිතක් තුළ ඇති සවිය

මල් ගොමු ගැවසි ඇති
උයනක වැසි බීරුමේ
නුඹ රුව මවමි සිට මා 
ලබා පහස වැසි බිංදුවේ 

එක කුඩය යට වැළඳ 
යන්නට මග සිසිලසින්
විඳින පෙම් පහස වැසි 
සුවය මත සෙනහසින්

සිහිනයෙන් නුඹ දකිමි 
වැසි දිනක රැය පුරා
හමුවන්නෙ කෙදිනකද 
සුවය දෙන නුඹ පතා

නිදන්නට නෙතු පියා 
අද රැයත් සිහිනයෙන්
මතු දිනක හමුවන්න 
පැතුම ගෙන වැසි දිනේ

---රකිත---



Saturday, March 9, 2019

~~ කල් ගතව වූ ~~










පෙර කලක සේවය 
කළ කමට
නැවත එහි පැමිණි 
කල පුරුද්දට

සිටි එකම මුහුණතක් 
හඳුනන සිටින
කතා බස් ආගිය 
තතු අසන්නට

හැඩකාර කටකාර 
කෙල්ල සිටි මහලටම
දීග ගොස් කල් ගතව 
දරුවන්ම දෙදෙනෙක්ලු

පුංචියට හිටි පුහුණුවන 
අභ්‍යාසලාභී කොලුවා
දැන් කළමනාකරුලු 
ටිකක් වයසත් ඇතිලු

එදා සිටි වයස් ගත 
මැටිල්ඩා කොයිබකද
මියගොසින් ඇයද 
හෘදයාබාදයක් ඇතිව

ට්‍රික්සි ශ්‍රියාණි අද 
කොයි ඉසව්වකද සිටින
රට හැරදමා එක අයෙක් 
විශ්‍රාම ගොස් ඇත අනිකි 

පියන් වැඩ කළ කරූ 
දැන් ඇතිද තවත් එහි
ඔහුත් දැන් ලිපිකරුලු 
ලඟදි විශ්‍රාම යන

තේ කොපි කිරි හැදූ 
ගුණවතී නැතිද දැන්
ඒදවස්වලම ඈ හැර ගියා 
නොවෙද අප

රජ කෙරූ කම්පිත කරන් 
මුළු මහල දිනපතා
රාජකරුණා කිමද 
පෙනෙන්නට අද නොමැති

සභාපති වූවා ඔහුද 
මුළු සමාගමට එකල
දැන් නම් එක් තැන්ව 
මරණාසන්නව ඇතිලු

එදා වැඩ දමා කළ 
රාජකාරියට හුරු
පද්ධතිය නැතිලු දැන් 
අලුත් වී ඇත එයද

නූතන යුගය තාක්ෂණයකට 
යල් පැන ඇතිය අප
ඇනුම් පද අසේනවලු 
අගය කළ උන්ට දැන්  

පැරණි උන් කොතන ඇත 
වත්මනේ මිතුරු
උන් එකෙක්වත් නොමැත 
නව මුහුණු පැමිණ ඇත

තුමුත් තව ටික කලයි 
හැර යන්න කන්තෝරු බිම
නුඹත් වයසට ගිහින් 
කාලයත් ගෙවී ඇත

රැඟූ ජවනිකා එකල 
මැවේ අබියස දෙනෙත
කුමට නම් කහටක් 
රඳන අනියත වූ ජීවිතය

ටික කලයි මිතුරු මිතුරියනි 
රැඳෙන්නේ එකට අප
මතකයන් පමණකිය 
ඉතිරි වන අවසානයට

---රකිත---



Friday, March 1, 2019

~~ වැඩ බිම් කුමරිය ~~



නිමිත්ත - නව කැලණි පාලම් වැඩ බිමේ පෙර දිනක දුටු වැඩ පරීක්ෂක හෝ ඉංජිනේරු යුවතිය දුටිමි උදෑසන 

සිසිලසින් සැදි උදය 
කරන ගිනියම් හිරුද
වදින්නට රතු ඉරට 
පෙර දුවන මහ මගද

අදත් දුටුවා එදා මෙන් 
වැඩ බිමේ හැඩටද
දිනක දුටු රුව කරන 
නෙතද පිනනා සිතද

හිස් වැසුම ආරක්ෂිතව 
බර වැඩිද මන්දා හිසට
පයට බර පාවහන් 
රළු වැඩිද මන්දා දෙපතුලට

පැළඳි ඇඳි ඇඟලුම්ද 
හැඩ නැතිවාද මන්දා ගතට 
ඝනකම් ලේන්සුව පෙඟී 
ඇතිවාද මන්දා දහඩියට

කෙස් කලන නොපෙනනා 
හිස් වැසුමේ මහිමයට
ඡවි කලන නොතිබෙනා 
හිරු කිරණ සැඩ මහිමයට

දන්ත කලන ඇතිවද 
අපැහැදිලි කම දුරැති මහිමයට
මසද වය කලනද නොදනිමිය 
හමු නොවූ මහිමයට

සිත් පිත් නැති පස් ගල් වැලි 
සිමෙන්තියද පිරුණු කලක
මිනිසත් ගත් යකඩ යකුන් 
යනෙනා බිම තනි වූ කලක

කම්කරු වැඩකරුවන් අණ දෙන 
වෙත මුව හඬද කලක
කිමද රළුව සියුමැලි නුඹ 
මියුරු නදත් නික්ම වූද කලක

උගත් තැනක නම් පට බැඳි 
අඹ යකිනිය ලෙසින් නුඹද
දුටුවෙමි සේවය දෙන රටකට 
මතු අනාගතයකටද නුඹද

අව් වැසි මීදුම් අතරේ 
මහ පොළවේ දහඩියෙන් නුඹද
සුර කුමරිය සේ දැනෙනා 
මට හිමි වේවිද දිනක නුඹද

---රකිත---