Thursday, April 22, 2021

~~ පීඩනයක් ~~

 


රිදවා පාරවා නිරතුරු 
තලා පෙළා සිත මතින
රිදවා දමා හදවත මා 
ගිනි තබා ගත රටාවට

මිරිකී වියැකි ගිය කල
දරා ගැනුමක් ඇති
නොවේ තවද විසුමක් 
නම් මෙහිද ඇතී

එක පිට එකට නැග 
එන කඳු වැඩ ගොන්න
වැඩකට ඇතිද ඒ හැටි 
වන කුණු කන්ද

හිස මත වැටේ වැඩ බර 
දැනෙනා සිතට ඇතී
අරුමය කුමද හිටිහැටියේ 
ඇති වූ වෙනස කිම

සීමා මායිමත් පසු කර 
ඉක්මන් කෙරෙන
දැරුමන් කෙරුමන් 
හැකියා පසු කෙරෙන

ඉවසා වදාරා ඉනික්බිති 
වැව් බැමි බිඳෙන
සැඩ පහරක් දැනුනාද 
කඩා හැලෙනා හැඟුම

විකල් සිතින් ගතින් හිසින් 
දිව යන ඒ මේ අතට
උමතු වෙසින් වදන් පෙළක් 
මුමුණා යන කළ තනිවම

බිණුම් කෙරුම් කෝප නෙතින් 
සියල් මනස් විකාරයෙන්
දැරුම කෙරුමවී පසුවට 
වූ කරුමය බලන් හිසින් 

රාජකාරිය වී දේවකාරිය 
නැතුවා නැටුම් කොහඹ කංකාරිය
අනවැසි අවැසි නොව ඇතිවට 
වැඩ මවනා කලට ඉතින්

නොකළ නොහැකි කළ නොහැකිව 
පටලැවිල්ල අසිහියකින්
සියල් සපිරි පිළිකුල් ගති 
පැමිණ ඇතිව එපා වෙමින් 

හැරුමක් නැති හැර යන්නට 
ඇවැසිව ඇත සිතට පැමිණ
නොසිට තවත් පලා යන්න 
දැඩි මනසක් ගොඩ නැගෙනා

තලා මරා දරා කරන් 
නොව නිවැරදි ලෙසින් සිතුම්
වී වැටහී යන කලටා 
පමා වැඩියි සියල් නුඹත්

---රකිත--- 



Wednesday, April 7, 2021

~~ සිටිමි ~~



ගෙවෙනා තප්පරයක බරත් 
දැනේ ගත සිත වෙලා
මිනිත්තුවකුත් දැනෙන 
හොරාවක් ලෙසින් නම්

සවස් කල වසන්තයේ 
හිරු කිරණ සැඟවෙන කලට
රැඳී සිට ඉඳිමි නුඹ එනතුරා 
රැගෙන ආ මිහිරියාවට

දහසක් වදන් මුමුණා 
අංකිතව හමුවෙලා
සැබෑ ලොව දකින්නට 
පැතුමක් සිත දරා

දහසක් පෙරුමන් පුරා 
හිමිවනා වාරයට
වසන්නට හැකිද ලොව 
දහසක් දෑස් නම්

හෝරා මාපකය යන 
ඉබි ගමන් දකිමින
දිවෙන ලොව නතර වී 
බලා සැකමුසු බැලුම්

කයි කතන්දර ගෙතුමන් 
සත්‍ය අසත්‍ය  මැදින්
බාධක දුරලා පැමිණි සඳ 
නුඹ දකින්නට තුටින්

එකිනෙකට ගොඩ ගැසෙන 
වැඩ කන්ද නිම නොවන
ගතට මෙන් සිතට බර 
පීඩනය විඳවනා සෑම දින

හිත පුරා රැඳි රුවක 
ඒ සිහිනයන් දකින්නට
දැඟිලි ගනිමි දිනට නොව 
තප්පරයකට එක් වරක්

රිදුම් දෙන හිසින් 
කඳුළු රැඳි නෙතින්
වෙහෙසකර බවින් 
පීඩිතව සිටිමින්

බලා මදකට හැරී 
ඈත මෑතින් එවිදෝ ඔබ
මැවේ රුවකුත් සෙමින් 
අනන්ත වූ අවකාශයක

ලොවට ගෙවී යන 
මට නොගෙවී යන
කාලය කදිමය 
සාපේක්ෂ වන සැටි

නොව කලබල වී 
පිය මනිනු මැනවි නුඹ
මා වෙත අදරින් 
කාලය ගෙන ඇති

---රකිත---