Friday, February 24, 2017

~~ කැපවීම ~~















නේක කෝලම් පෑ
විනෝද සමයක්
වේය අවසන්
ඉරුදින සිට අහෝ !
ඇතිය තරමට 
කරන්නට වැඩ
පාඩම්ද පවරුම්ද
ව්‍යාපෘති

නිසි කලක 
නිසි ලෙසකින් 
ලබන්නට පිං මදිව ගිය 
උසස් අධ්‍යාපනයක් 
ලබන්නට
කැප කරන්නෙමි
ඉතිරිව ඇති සුළු
තරුණ කාලය මෙලෙසකට

මවගේද සොයුරන්ගේද
දුටු සිහිනයක්
කෙරුමට සැබෑවක්
තැත් කරන්නෙමි
ලබාගන්නට
සිප් සතර සයුර කළඹා
ලබන්නට දිනක
සම සුදුසුකම

අවසරයි මිතුරු මිතුරියනී
දැහැන් ගත වන්නට
සටහන් ගොන්න වෙත
සෑම සවසකටම
කාලය නොමැති වේ
විඳින්නට වසත් කල
කුමක් නම් කරන්නද
පමා වූවාට මම

නිදි නොමැති රාත්‍රීන්
ගණනක් තිබෙනු ඇත
සිතටද ගතටද නම්
සැනසුමක් නොලැබෙන්න
කවි පදත් නොලියවෙන
සිතත් ගල් වී ඇදෙන
අවසරයි කැප වන්න
හාර මසකටත් වැඩියෙන්

---රකිත---


Wednesday, February 22, 2017

~~ හැර යන පැරණි කන්තෝරුවට ~~










පුරා අට වසකටත් වැඩියෙන්
සෙවණ දුන් ඒ
සොඳුරු නවාතැන්පළට 
පවසන්න සිදුව ඇත

ආයුබෝවන් !
කල් පැමිණ ඇත අද
වෙන්ව යන්නට අත්හැර
නව නිවහනක් වෙතට

මිහිරි අමිහිරි මතකයන්
සිදුවීම් ගොන්නකට
එකම විය නිහඬ
සාක්ෂිකරුද විඳි සියල්

නිතිව පෙරළෙන
සැපද දුක අතරින්
නොසැලි සිටි කළ
අහෝ මනරම්

සැදුන මුත් ගල් වැලි සිමෙන්ති 
බදාමයෙන් පිඟන් ගඩොලින්
එහි රැඳී ඇත අපේ
සොඳුරු මිහිරි මතකයන්

මුමුණාවී සිහින් වා තලය
ඒ මතක රසකරන්
හිස්ව ගිය අවකාශයේ
අද්දරට වී නිතර

දිනන්නට මුළු ලොවක්
නගන්නට ජය කෙහෙළි
යා යුතුව ඇත මෙදින
නව නිවහනකට අප

නික්ම යන්නට මත්තෙන්
හිඳිමි තව සුළු කලක්
විඳියි දුක හදවතින්
ලොවකට හොරෙන් සිනාසෙන

ජීවයක් නොමැති වුව
ජීවයක් ලැබදුන් සැමට
සමුගනිමු ඔබෙන් අද
වොක්ෂල් කන්තෝරු සබඳ

---රකිත--- 



Monday, February 20, 2017

~~ කඩඉමක් ~~










ලිපිගොනු සයක
පිරුණු සටහන් තොගය
වනපොත් කරනට
පැමිණ ඇත කල්

විවේකය අවසන්ය
ඇත කෙරුමට
කප්පරක් වැඩ
මෙතැන් සිට අද

සටහන් රැඳවුමට
මතකයට
නොදුන් පැවරුම්
මාතෘකාවන්

සිතිවිල්ලක්වත් නොමැති
ව්‍යාපෘතියක් තිබෙන
ගෙදර වැඩ ලෙසකටම
ලිවීමට ප්‍රශ්න පිළිතුරුද

මවන්නෙමි සිහිනයක්
ජයගන්න අරමුණක්
ඉටුකරන්නට පැතුම්
මවගේද සොයුරන්ගේද

තව දුරයි ගමන නම්
බාධකද ඒමට ඇත
සිත ඇදෙයි පාඩමට
නේක සිතුවිලි අතර 

සුදුසුකම් ලබන්නට
උපාධිය හා සම වන්න
වරම් නැති බව දනිමි
ලෝගුවට උරහිසට

එනමුදුද වන්නෙමි මිතුර
සම සුදුසුකම් ගන්න
නමේ අග අකුරු පෙළ
තවත් වැඩි කරගන්න

වසන්තය අගට එන
තේරුම් ගනිමි ගිම්හානයද
අවසරයි දැහැනට වන්න
සටහන් වෙතට සිත

පමා විය වස්සානයද
විඳින්නට සිත් ලෙසට
අවසරයි ගමනක් යන්න
ජය කනුව වෙතට මට 

---රකිත---



Thursday, February 16, 2017

~~ හැඟුමක් ~~




















පෙර දිනක දුටුව
රුව ඔබේ
නැගේ සිතටම නිතර
නොතේරේ නම්
මෙමට 
කුමක්දෝ නම්
මේ අරුමය
සොඳුරු

නහර ගත රුධිර කඳ
සියල් සිරුර තුළ 
ඇදෙනා ලෙසට
ද්විතුන්ඩ ත්‍රිතුන්ඩ
කපාටයන් විවර වෙන
වේගයෙන් දැනෙන
වෙනස නම් කිමද
හදවෙතේ නලියන

නොදැනුනද කලක සිට
දැනෙනා ලෙසට
වත්මනට මුදු
සොඳුරු හැඟුමෙන් 
පොපියවන හද
පවසමින් රහසක්
රසැති මිහිරෙන්
සුසැදි එන

හද පත්ලේ මෙන්ම
සිත් පත්ලේ 
සඟවා සිටිය ප්‍රේමයක්
හෙළි කරනු වස්
පැවසුවෙමි
ලබන්නට සිතැත්තිය
පැතූ ලෙස ගෙවුනු 
අතීතයේ දිනක

බලා සිටිනෙමි කලක් 
තවදුරටමත්
පැමිණෙන්න සොඳුරියේ
ඉගිලී මහ සාගරය
අතරින් අහස් තලයේ
පිළිගන්න සුදූ ඔබ
රන් තොරන් නොමැතිවද
පිරුණු හදවතින්

පායනා හඳ මඬල
සිකුරු තරු අද්දරට
නරඹමුද සොඳුරියේ
දෑත් බැඳ සෙනෙහසින්
පවතිනා තුරාවට
ඉර හඳද තරු රටා
පතන්නෙමි ඔබද
සසර ඇති තුරාවට

---රකිත---


Tuesday, February 14, 2017

~~ ආදරවන්තයින්ගේ දිනයේ සිතුවිලි ~~


සිර කරන් කඳුළු බිඳු
පිරිමි බව නිසාවෙන්
දරාගෙන වේදනාවෝ
හදවතේ සඟවා තබා

මුවා කර හැඬුම් බව
සිනාවෙන් සරසා මුව
අවසරයි පැමිණෙන්න
සභා තොමෝ වෙතට

පෙර දිනක මතකයන්
රිදුම් දෙයි සෑම දින
නොහැකි ලෙස පවසන්න
උපහාස අපහාස මිස

වෙන්ව යමි පිරිසගෙන්
නොගැලපෙන නිසාවෙන්
වරද කොතනද කියන
නොතේරේ මෙමට නම් 

නීල රක්ත වර්ණයෙන්
සරසවා නවම් මස දිනක
ආලයේ සොඳුරු බව
පවසන්නේ හඬ නගා

කෙම් බිමක් සොයන්නට
මාරු කතර අතර මැද
මිරිඟුවයි පෙනෙන්නේ
යථාර්ථය ලෙසට මට

සිහිනයක් දකින්නට නිතර
නිදි සුවය විඳින සඳ
කිමද නොපෙනී යන්න
අවසානයේ නින්ද මැද

උඩු සිතට යටි සිතින්
කියවන්න කරුණු ඇත
අත්හරිනු මැන එයද
නුඹ පමා වැඩි මානවකය

ඇදෙනු මැන සිහිනයට නොව
කාලානුරූපී යථා කල වෙත
ජයකණුව වෙත යන්න
බොහෝ ඇත වැඩ රාජකාරිය

අදිටනින් වෙර වඩා නිති 
ලබන්නට ජය සැම කලට
අවසරයි නික්මෙන්න පතමින්
සුභ ආලවන්තයන්ගේ දිනයකට

---රකිත---


Saturday, February 11, 2017

~~ හැරයාම ~~














කළු කෙස අතර දකිනා
නර කෙසින් ඇති 
හිස රැවුළු අතරින් නිති
වියැකෙන ලාවන්‍යද

පෙනෙනා පරිණත 
පෙනුමෙන් සුසැදි
මැකී යන කාන්තිය
දෑත් දෙපයට පුරාවට

දෙනෙත් පෙනුම අපැහැදිලි
තරමකට වුව
ඇසේ නාදය සවනතට 
පෙර සේම

සොඳුරු සිතුවිලි තරමටම
හැඟෙනා අනියත බවක්
ගතට මෙන් සිතට 
දැනෙනා වෙහෙසකර බව

සොඳුරු සිතුවම් මනරම් 
හැඟුමන් නිති
සිත ඇදේ ඉවතකට
සිතුවිලි මැවේ යථා කලකට

දැනේ තනිකම 
සෑම විටකම නිරතුරු
පා නොනැගේ යන්නට
තරුණ තරුණියන් අතරකට

දනිමි නිරතුරු නිමා වූ වග
වසන්තය ගෙවී ගිය
අවසරයි පා තබන්නට
සොඳුරු ගිම්හානයට

කළ යුතු දෑ බොහෝමය
දිවි ගමන තව දුරය
ඉතින් අවසරයි හැරයන්න
සොඳුරු යෞවනය ආයුබෝවන්

---රකිත---



Wednesday, February 8, 2017

~~ නොලබුම / පැතුම ~~















වෙනු මැන කමා 
සොඳුරියේ
නොපැමිණි සඳ වෙත
ඔබට
කාලේ රථයේ පටවන
ලදිමි සවස් කල
මසුන් ඇසිරූ ලෙසක
තලමින් පොඩි කරමින් 
ඔබමින් පසුපසටම
නොව රථය මැදටම

දුටිමි නුඹ වුවන
පසුපසම අසුනේ
බැලූ සඳ නෙතු කොනින්
නුඹත් බැලුවාද 
මා දෙසම
හොරැහින් නොව
ඍජුව නෙතු යොමා
නැත වරම් සොඳුරියේ
පා නගන්නට 
සිරව ඇත තව සෙනඟකට

උදෑසන සිට පටන්
හැපෙන්නට ඇත යකඩ
මැසුම් යන්ත්‍රය සමග
දුටිමි ඔබ වතේ ඇති 
වෙහෙසකර සුළු පෙනුම
රූපලාවන්‍ය නැති
නේක මෝස්‌තර නොමැති
නුඹේ ගැමි අව්‍යාජ 
බව දුටිමි දුරක සිට
සොඳුරු සන්නලියේ

නෙතු සරද මද සිනා මැද
මුවා කර මිතුරියන්
දනිමි තැත් කරනු දැකුමට
වදන් අවදි මුත් කළ නොහැක
තෙපෙලුමට නුඹට
බොහෝ කල් සේ දැනෙන
දුර බොහෝ සේ හැඟෙන
ගමන නොදැනුනි
වෙහෙස අද
නුඹේ රුව දුටුව සඳ

මිනිස් රැල අතරින් ඇදී
රථ දොරටුවට ලඟා වන
අවසානයේ මුණගැසුණි
මුවට මුව දෙදෙනාම
අව්‍යාජ සිනහවෙන්
වදන් පවසන නෙතින්
සමුගෙන නික්මුනි
නියමිත නැවතුමෙන්
වරම් නොලබා
හමුවන්නට නැවත
වරක් ගැනුමට

සන්නලියේ අසනු මැන
දුටුවොතින් කවි පදය
පැමිණෙන්න සුපුරුදු
නැවතුමට හෙටද
තනන්නට ලොවක්
එක්ව දෙදෙනාම අප
කතාවෙන් සිනහවෙන්
තුටින් ලැබ ආලයෙන්
දිනන්නට ලොවක්
පතනා ලෙසින්

---රකිත---



Monday, February 6, 2017

~~ මංගල මධුසමය ~~














දෑස් පියවන ඇඳෙනා
සොඳුරු සිත්තම්
සුසුම් උණුසුමින් පිනනා
දෙතොල් සඟලෙන්
වෙලී යන්නා ලතා මල් වැල්
තුරු කඳක ලෙස දැඩිව 
සෙනෙහසින් මත්වී
තනිව තුමු ලොවක

විසිරෙනා කෙහෙ රැල්ල
පිපී එන මල් කැකුළු ලමැද
වෙහෙසට නොව ගතින්
ගලනා දහඩිය බින්දු
තණ බිමක තෙරපෙනා 
දෑත් දෙපා වෙලෙනා එක්ව
සොඳුරු රැයකදී
තලා දමමින් රෝස පෙති

රැලි පිට රැලි නැගෙනා
සොයන විලසින තුරුණු
ජවයද සිත පුරාවට
උකුල ලමැද දෙපා මුව 
පුරාවට විඳින
ආලයේ මහිමය 
නුරාවක් මුසු සෙනෙහසින්

කළඹා මුළු ගත සිතම
දෙදෙනෙකු එක් අයෙකු
විලසින් වෙලී අද
නුහුරු නුපුරුදු හංස පැටවුන්
දිය කෙළිනු සඳ සිත් සේ
අවැසි නැත පෙන්වුමට මග
උන් දනියි ලොව
පුරුදු ලෙසකින් නිති

නිමා වන්නට කුමරි
බඹසර නොව පමණ
නිමා වන්නට කුමර
බඹසරද නිසි ලෙස දිනේ
රැකි අගනා මාණික්‍ය
සිල්පදය නොබිඳී තෙවැනි
අවසරයි පුදන්නට
මා නුඹට නුඹ මටද

සොඳුරු යෞවනය පිරිපුන්
මුහු කරන්නටද සෙනෙහින්
සිහින ලොවකට රැගෙන යන්නට 
සොඳුරු ගැයුමක් නොව උස් හඬින්
පිරී ඉතිරෙන සාගරය සේ
පිරුවට මතට පිනු
නුඹගේ මෙන්ම මගේද 
ජය සලකුණු රුහිරු බිඳු

---රකිත---



Friday, February 3, 2017

~~ රැයේ සිතුවිලි ~~





















අවැසිය නික්මෙන්න
සිතද හද පෙළනා
තනිකමෙන්
හනිකට
නිමාවන්නට පෙර
වසන්තය
දකින ලඟ එන 
ගිම්හානයේ රුව දැක

නොදුටුව සේ සිටිය මුදු
දනිමි වියැකෙන
ලාවන්‍ය වුවනේද
ශ්වේත වර්ණිත හිස කෙස
ඉදිරි වැටෙන කෙස් ගස්
තුරුණු පෙනුමට එක්වන
පරිණත පෙනුම
වෙනසක් නැගෙනා හඬක

නව පරපුරක්
පිය නගයි ජය ටැඹට
පසු කරන් තුමු
දිවි ගමන් මග
නොහැකි සේයාවක්
දැනේ සිතට ගතටද
තරග කෙරුමට
ඔවුන් හා සමග

රිවි මඬල අවරගිර
සැඟවෙනා ක්ෂිතිජයේ
සඳ මඬල නැගේ නුබ
ගැබට අඳුරට මුවාවී
තැත්කරයි ගිම්හානයක්
වසා දැමුමට අහිමි වසන්තය 
අභරණින් සළු රැවුල් 
කොණ්ඩා මෝස්තරයෙන්

සයුරු තලයම නිසල වුව
හඬ නැගේ රැළි නැගී බසිනා
රැයම නිහඬව අඳුරුය
එහෙත් කවි සිත අවදියෙන්
වසන්තය ඇත කවි සිතට
නිමා නොවනා ලෙසින්
පද බඳිමි මියෙන තුරු
ආදරය අහිමි වූ

---රකිත---




Wednesday, February 1, 2017

~~ නිදි නෙතු මැද පෙම ~~














වා තලය විනිවිදව
කාල වර්ණ තාර පාර
මතින් දුවන
රථයක බස් තුළ සිටන්
කවුළු අතරින්
හමා එන
වා රැළි පහස ලබමින්
අවැසිය ගතට
නින්දකට 
පුරා හොරාවකටත්
වැඩියෙන්

නේක සිතිවිලි අතර
මැදි වන සිතින්
සොයමි විසඳුම් ගැටලු
ගණනට නිතින්
සියල් අතරින් හැම
සිත සොයයි
ප්‍රේමයක් 
එක් කරනු වස් හදද
සිත එක් තැනට
ජය ලබන්නට
ආලයෙන්

හෙළන නෙතු සර
නොදකින ඇගේ දෙනුවන
දුරක සිට බලමි
හැඩ රුවද සොඳුරිය
වරම් නැත ලඟා වන්නට
නුඹ දුරයි මට
එක්ව යන්නට මෙසේ
දිවි ගමන
සිහිනයක් පමණයි
නිදන නෙතු දකින
ආදරය කිමද නුඹ
නපුරු වන්නට මෙලෙස

ස්වභාවය වෙනස් වන
ගතේ හැඩරුවද සිතිවිලි
තුරුණු සිත නොවේ
මහලු වන ලෙසින්
කෙදිනකවත්ද
පවතිනු ඇත සදාකල්
අහිමි පෙමක
රුදු මතකයන් හද තුළ
වරම් නොමැතිද ලබන්නට
නිමල පෙමක පහස
තුටින් විඳින්නට

ගෙත්තම් කෙරුමට 
කවි පදයක් ලෙසකින් 
සිත්තම් කෙරුමට
සිතුවමක් ලෙසකින් 
මැවෙන්නට රුවක්
සිතුවිල්ලක් ලෙසකින්
පතමි ලැබුමට සොඳුරු
ප්‍රේමයක් හදට
හමුවන්නට භවයෙන් භාවය
සසර නිමවන  
කල දකින තුරු

---රකිත---