Wednesday, December 30, 2020

~~ ඉතින් අවසරයි 2020 ~~










මුවා වී වසංගත කලට 
හීන පොදි සුනු විසුනු වී යන
කාලයා පැන දුවන 
සිර කරන අප සැමද

වසන්තය අග රැඳුනු 
පැතුම් මල් කැකුළු ඇති
නොවී විකසිත ලොවේ 
පරව යන අයුරු ඇති

මිහිකතේ ගීතයට 
තලයක් නොවූ කලක අප
මනුසතුන් බිහි වූ ලොවට 
එරෙහි වී සිටි මොහොත

සියල් දෑ රැස් කළත් 
ඵලක් නැති බව දුටිමි
ඇසට නොපෙනී පැමිණි 
මාරයා වට කර ඇතිය

බලවන්ත තෙදවන්ත 
මනු දනන් ලොව කළ පල්නෙ
කුමට අවි බියකරු ලෙසට 
පැමිණි කළ වසංගත ලොවට

ධන බලය රූ බලය 
නේක බල ඇති නමුදු
සියල් බල අභිබවා 
කොරෝනා ඇති බලවන්ත

හිමි වූ ලෙසින් නොව 
අහිමි දෑ බොහොම ඇති
කල් දමා ඇති සියල් 
ජය කණුව ඉලක්කය ඇතිව

අවදානමට ජීවිතය 
නොව පමණ වෘත්තියද
සලිත වේ මුළු ගතම 
අනාගත දිවිය ගැන 

බැට දෙමින් දිවි මගට 
බිඳ දමා සිහිනයන් සැමද
වසර ඇත ගෙවී යන 
පැමිණි අවසන් දිනට

පමා වූ කලට ඇති 
වසන්තය ඵල බරය
සිතා ඉමු නොහඬමින් 
ගෙවී ගිය කාලයට

නව පණක් ලැබූ ලෙස 
නව ලොවක් තනන්නට
එක් වෙමුද ඉතින් අපි 
අමතක කරන් අතීතය

එක් සිතින් එක් හදින් 
අත්වැල් බැඳන් සහයෝගයෙන්
නව වසර ලඟම එන 
පිළිගමුය මනු දනන් සැම

--- රකිත ---





Sunday, December 20, 2020

~~ නොලබුම ! ~~










වසංගත පැතිර යන 
වරම් ඇති හිමි නොවන
නුඹත් ඇත දුරක වී 
පෙනෙන මානයක නැති

දකින්නට සිතන්නට 
පතන්නටවත් නොහැකි
වසන්තය සිරව ගොස් 
නොදකින්න සැබෑ ලොව

සිමාව පනවලා ඇත 
පැමිණෙන්න සේවයට අප
නොදුටුවෙමි බොහෝ කල් 
නුඹේ රුව අතර මග

එදා විඳි උණුසුමක් 
නොමැත ගල් වී සිතක්
හදවතක් නැති සෙයක් 
ලොව වෙලා ගෙන සේය

ඇඳිරි  නීතිය හුදකලාවද 
නිරෝධායන වචන පෙළ
හුරු වෙලා අද සවන් පත් මත 
බිය දෙමින් අප සිත් සතන් වෙත 

ඇසට නොපෙනෙන 
කනට නෑසෙන වුවද 
වෛරසය ඇති නමින් 
කොරෝනා සාප ලත්

සිනාවක් නොදකින්න 
වසා මුව අවරණයෙන්
නීතියේ මහිමයට වූ 
මීටරේ දුර තියා ඉන්නට

එකඳු ස්පර්ශයක් හෝ
නොලබනා පවක් කළ
දනන් වෙන්නෙමු අපත් 
අසරණව ගොස් සිටින

කාලයාගේ අවෑමට 
නිමා වේද වසංගතයත්
ඈත් වූ මමද නුඹ 
හමුවෙනා දිනක් වෙද

ඉතින් අපි ඉවසමුද 
මදක් කල් දරාගෙන
රැක ගන්න ජීවිතය 
වසංගත කොරෝනාවෙන්

---රකිත---





Saturday, December 12, 2020

~~ ඉනික්බිති වූ කල ! ~~











කල් ගතව රැස් නැතිව 
සැඩ හිරුත් නික්මෙනා
තෙදවත්ව බලගතුව සිටි 
කලක් වෙලා අවසානයට

මලානික රාස්සිගේ අව්ව 
ඇල් මැරී ගිය සිතක
වියළි වූ පියලි මත 
ඇඳී ආ සිතුවිලි රැල්ල

රළු පරළු වූ විටක 
මුදු මෙලෙක් වූ කලක
වසන්තය රැගෙන ආ 
අහිමි කම ඒ විලස

නොදැන කළ දෑ 
බොහොම සිහිවෙනා විට
කළ කම් නොවෙද අද 
යන්නට ඇති රැගෙන

තුරුණු තරු පිරිවරා 
උදා වන නව සඳින්
වේවි ආලෝකයක් 
සුමට මුදු වන ලොවට

පායනා නව ඉරක් 
දකින්නට වරම් නැති
සැන්දෑව පමණකිද 
උරුම වූ කරුමයට

පෙරදාක දුටු සිහින 
ඉටු නොවූ පැතුම් විද
දිවි මගක අත්වැලක් 
වූ බලාපොරොත්තුව

කුමකටද පසු තැවුම් 
නොලැබ ගිය කාලයට
අවලංගු වී ඇතිද 
අප සැමත් මේ ලොවට

සැරිසැරූ තැන්හි ඇති 
සසරින් ගමන දිගු කරන
අවැසි නැත තත් ඒ 
ලඳ බොළඳ හැඟුම් පෙළ

වඳින්නට යදින්නට 
කාලයේ අවෑමට පැමිණ
ඉඳ හිටත් අහස දෙස 
බලමි මතකයන් ඇති

නික්මෙනා කල් පැමිණ 
ඇති වගක්  දැනෙන ගත
වාරු කරගෙන සිටිමි 
ගැට ගසා දිවිය අද

සොඳුරු වුව අඳුරු වුව 
අතීතය අවැසි නැත
හමුවෙමුද තව වරක් 
නික්මෙන්න පෙර දිනක 

---රකිත---




Friday, December 4, 2020

~~ ඈ - සිත්තම ~~
















සිත්තම් කරනු වස් 
නුඹේ රුව කදිමට
මවා වර්ණ රටා ඡවි 
නෙතු නිය දෙතොලින්

හිස් පුවරුවක නොව 
රුහිර පිරි හදවතක
සැඟවි ඇති සිතක් මත 
චිත්ත ධාරා මතින

තෙළි තුඩින් පින්සල් 
කෙඳි අගින් නොව
මනරම් සිතුවිලි මවා 
හැඩ කරන රූපයට

මුසු කරමි නේක 
වර්ණිත වදන් පෙළ මත
දිය රළක ඇඳි 
ඉරක් විලසින් නැගී සිට

නොපෙනෙනා පසුබිමක 
අහස් කුස පොළෝ තල
සොයා ගිය කලක සැටි 
සිතේ ඇඳි වසන්තය

හමුවෙනා පැතුම් මැද 
සැරිසරා අවකාශයක
සියල් කෝමල රේඛා මැදින් 
සොයමි ඒ රුව ඔබේ

වෘත්ත සමචතුරස්‍ර සෘජුකෝණ 
ත්‍රිකෝණ පිරමිඩ කේතු සිලින්ඩර
හැඩතල පරදවා කරවනා 
සොඳුරු විස්කම් මතින්

විඳින්නට රසයක් 
චිත්‍රනය වූ හද මඬල මැද
කළ රූ රටා මනරම්ය 
ඒ අසිරි බලන්නට

යොමු දෙනුවන් 
හදවත සවන් දී සොඳුරු
පියවි නෙතු පින 
ඇතිද නුඹ දකින්නට

---රකිත--- 




Thursday, November 26, 2020

~~ අප ? ~~


 









රස මතක රැස රැගෙන 
ගලා යන ජීවිතය
නිමක් නැති සසර මග 
නැවතුමක් වූ කලක

පෙර භවත් මේ ලෙසින් 
හමුවෙලා ඇති අපත්
ජීවන ගීය ගැයුවාද 
එදත් මේ ලෙසින් අප

ළමා කල තුරුණු කල 
අපටත් හොරා ගෙවී ඇත
සොඳුරු ලොව ඇති මහිම 
සොයා යන කල තවද

හිමි අහිමි හැමදේට හිනැහී 
හඬා වැටුනු සැටි අපද
සැනසුමක් සොයමු අද 
යට ගිය මතක ඇද දමා 

වෙහෙසකර ගමනකට 
විඩාබර ගත මනස
නිවාලන ඔසු ඇතිද 
සනහාලන මුළු දිවිය 

ගෙවා ආ මගක තතු 
බලා ආපසු හැරී සිට
හඬා හිනැහෙමු අපිද 
ඒ මතක ලං කරන්

පිරිස් බල උගත් කම 
ධන බලය තෙදවත්ව
දමා පෑ විකුම් අද කුමට 
අප ලොවට නැති කල

රූ සපුව කඩවසම් 
සිත් ගත්ත දනන් සැම
නොවේ අද උන් කොතන 
මතකයක් නම් නැතිව

උගත් කම් නැණවන්ත කම් 
එදා පෙළහර පෑව
තිබුනාට කම් නොවෙද 
අදත් ඒ වැඩක් ඇති

දරු දැරියන් කරන 
හපන්කම් එදා සිට
උන් ලැබූ සිප් සතර 
අරන් ඉගිලී ගොසින්

හිරු බසින යාමයක 
ලොවට අප ගොඩ නැගූ
අඳුර ඇද වැටෙන සඳ
අප ජීව ආයුෂ මතට

යථා බව තථා ලෙස 
අත් දකින කාලයක
සසර මග එකට යමු 
පැතුම් ගෙන හමුවෙන්න

---රකිත---




Saturday, November 21, 2020

~~ කල් පෙම ~~




සිතක රැඳි මතකයන් 
අද්දරක තනි වෙන්න
ප්‍රේමයක ඇරඹුමක් 
සනිටුහන් උදෑසන

හඬක් හෝ වදනක් 
නොනැගි හැඟුමකින්
සුරත් පැටලුනු කලක 
වූ සොඳුරු නිමේෂය

හද පෙළන තනිකමක 
දොම්නසක බර මහිම
ඒ සියල් කම්කටොළු 
දුරු කෙරූ ඔබ සිතින්

දෙහදක ඇරඹි පෙමක තතු 
බෙදා සන්සුන් ලෙසින්
දෛවයක ගොඩනැගුම 
කළ හැඩය ඔබ හා එක්ව

බැඳුනු හදවතක සුව 
සහන් එළියක් සේ දිලෙන
කිලිපොලා යන ගතක 
රැළි නැගෙන කම් සැපය

පොරොන්දුව වීමි නුඹ
රකින්නට නිරතුරුව
අයදිමින් බල මහිම 
ගොඩනැගූ ලෝකයට

නිමා නොවනා ආලයක 
ඇරඹුමක් කර සනිටුහන්
බලා සිටියෙමි නුඹේ රුව 
අනිමිස ලෝචනයෙන් සිට

මුවා කළ කාලයට 
වැටහෙනා අනියතක තතු ඇතිද
නොවෙනස්ය උණුසුමත් 
එදා මෙන් ලැබී ගිය

පෙර කුසල් මහිමයට ලැබූ 
මිනිසත් භවයක් මැදින්
නුඹ නමට ජීවිතය 
කැප කරන බව සිතන

හිරු නැගෙන යාමයේ 
සඳ නැගෙන රාත්‍රියේ
වෙනස් වන කාලයට 
නොවෙනස්ව එක සිතින්

ගීතයක් ලෙසින් ජීවන නදිය 
ගලා යන රටාවක
ඔබේ දෙනෙතින් දකිමි 
නව ලෝකයක සිතුම්

මෙතෙක් මා නොදුටු 
මා දුටිමි නුඹ නෙතු අගින්
පැහැබර අනාගත ලොවක් 
දකිමි නුඹ ආලෝකයෙන්

වචනයෙන් කිව නොහැකි 
ඒ හැඟුම් බර මොහොත
පියඹා එන්නට සිතේ 
නුඹ වෙතට තව මොහොතකට

රැයක නුඹ රුව සිත්තම් කරමි 
සිහිනයේ අහස යට
සෝ සුසුම් කඳුළු බිඳු 
අවැසි නැත තවත් අප ලොවට

---රකිත---




Sunday, November 15, 2020

~~ වසංගත කලක තතු ~~











ලතාවකට ඇවිදින 

හැඩ මනහරය
ඇඟලුම ගත වැටි 
පැහැයත් කදිම

පා පොඩි වැසුනු 
උස අඩි පාවහන් යුග
මුහුණත බලන්නට 
අවසරයක් ඇතිද

කේශ කලාපය ඇති
දිගු කලු පැහැබරය
නාස් මුව වසා 
ආවරණය ඇතිව

දිදුලන නෙතින් 
කරනා ඇති කතාවක
දුටිමි නුඹේ රුවත් 
අද මහ මග අද්දරක

මුවගින් තෙපලනු බැරි 
ආවරණිත වූ කලක
නෙතකින්  කියන දෑ 
තේරුම් නොයනා කලක

පැමිණිය නොහැකි සඳ 
මීටරයකට දුර වැටෙන
උණුසුම් පහස සිහිනය 
වන කල ඇති සොඳින

විඳින්නට මුදු සුවය 
නුඹේ ලඟ දැවටිලා 
සිහිනයක් පමණක් වේද 
කතාවට ඉඩ නැති නිසා

වරම් නැත අසලට එන්න 
වසංගත සාපය වැදී
මීටරය දෙගුණ වෙයි 
ආවරණ වැඩි වෙන නිසා

එදා විඳි සුව සිහින 
මෙදා උරුමය නොවන
තනිකමක පුරුදු කම 
දැනේ වටිනාකමට

කොරෝනා උඹ ඇවිත් 
කරා වැඩි දුක සිතේ
සිරව නිවහන තුළට 
පර වෙලා පෙම් සිහින

---රකිත---




Thursday, November 5, 2020

~~ ජීවිතයක් ! ~~

 



 










හිමි නොවන ලොව පැතූ

අහිමි කම හිමි කෙරුනු

සිව් දෙසට සිසාරා

හද මඬල කළඹලා

 

සුදුසු කල නොකළ දෑ

රඟ දැනේ කල් ගත වෙලා

හඹා යනු ජය කණුව

පමා වැඩි බව සිතන

 

තුරුණු කම ගිලිහෙනා

වසන්තය නිම වෙලා

සිතක් හදවත දරා

අකුණු එළි විහිදෙනා

 

දහස් වර සිත මැවේ

සොඳුරු පෙම් පැතුම් මල්

අහිමි ඒ සෙනෙහසට

නොසලන්න කඳුළු කැට

 

ගමන් මග දුර ඇති

ගෙවා ආ කාලයට

අහිමි දෑ විඳගන්න

පිනක් නැති කල කුමට

 

සිප් සතර ලබන්නට

තවත් ඇත අදියරට

නොපසුබට අදිටනින්

යා යුතුව ඇත එයට

 

ඉලක්කම පමණක්ම

නොවන කළ වයසට යෑම

සිතුම් ඇති විය යුතුය

ජයක් නම් ලබන්නට

 

දිවි මගේ පරාජය විඳ

ඇද වැටී එමට ඇත

තැවී විඳවා සිටින්නට

වරමක් නම් නොමැත

 

කාලයා පැන යමින්

බැට දෙනා යුගය ඇති

විඳ දරා සියල් දුක

ජය ලබන්නට ලොවේ

 

සසර පිං මදිවාට

නොවේ වරදක් කිසිවෙකුට

කල පවට පෙර භවක

ගෙවමි කර්මය නිසි ලෙසින්

 

---රකිත---





Saturday, October 24, 2020

~~ ගෙයක් වන්නට නම් ~~


පුතෙක් ඇති ගෙයක්
වේය රජෙක් ඇති තැනක්
දුවෙක් ඇති ගෙයක්
වේය රැජිනක් ඇති තැනක්

දඟකාර තෙදවන්ත
පිං ඇති පුතුමය වටින
හැඩකාර කටකාර
දියණියද ඇති වටින

දියණියක වන්නට වුවද
පුතනුවෙකු වන්නට වුවද
පිං ඇතිය අම්මෙකුට
දෙදෙනෙකුම ලබන්නට

හෙට ලොවට කරවන්න
දායාද ලෙස පිනැති
ලබන්නට පුතෙකු මෙන්ම
දියණියක ලබන්නට

පුතෙක් නැති ගෙයක්
නොවේ ඒ රජ මාළිගාවක්
දියණියක් නැති ගෙයක්
නොවේ ඒ වන නිවහනක්

දූ පුතුන් නොමැති තැන
නොවේ ඒ සොඳුරු තැනක්
රකිනු මැන දෙතු සඟල සේ
දියණියත් පුතනුවන් එක ලෙස

---රකිත---



Poornima Herath
Like
Comment
Share

Thursday, October 22, 2020

~~ වියපත් වූ කල වුවත් ~~


 













කල අකල ගත වෙලා
ලවනතත් වියැකිලා
රූ අජුව බව කියා
ලොවක් හිනැහී මෙදා
 
සියොතුන් කැදලි හැර දමා
ඉගිලිලා දුරට වී
තනිවෙලා අහස යට
කඳුළැලිත් සඟවලා
 
එදා දුටු රුව සිතේ
තවත් ඇත සැඟවිලා
ආලයේ මිහිර ඇති
අහිමි වෙද අපට අද
 
රූ රටා පෙති ගොමර
පිරිපුන්ව සිත බැඳුනු
රාග විරාගී වෙලා
අනියතක සිත් ඇතිව
 
කැප වෙලා සොඳුරු යුග
ලොවක් තැනුමට අපට
වියැකිලා තුරුණු කම
ඒ යටට ගොනු වෙලා
 
මතකයන් ගොන්නකට
හිර වෙලා සොඳුරු කම
නිදහසේ හුස්මක් ගන්න
වරම් අපටත් හිමිය
 
සිප ගන්න වත නුඹේ
දෙතොල් පෙති මත තබා
රැළි වැටුනු ගත වුවද
සහනයකි වී සදා
 
වැළඳ ගමි නුඹ වරක්
හමුවෙලා සමුගන්න
මිහිර යලි විඳගන්න
ආලයේ සොඳුරු කම
 
කරට ගෙන සුචරිතය
මොර දෙනා බලවතුන්
උන් දනින කම් කුමට
මා නුඹේ නුඹ මගේ
 
හෙටට හිරු පායයිද
අප ලොවට හිනැහිලා
වසන්තය විඳිමු අපි
ගිම්හානයේ අගට වී
 

---රකිත---




Friday, October 16, 2020

~~ අනියමක් ~~














පෙම් කරන්නට 
බැරි වුනාට
හිමි කරගන්නට 
වරම් නැති වුනාට

හමුවෙමුද දවසක් 
පහස ලැබුමට
ආදරයේ සුවයද 
මදක් විඳින්නට

රුදුරු වුව ඇති 
බාධක මැඬලන්නට
තහනම් ගහේ 
ඵලත් ඇත රසයට

මුවා වී ලෝකයට 
නොපෙනෙන්නට
විඳිමු ඒ රසයත් 
සැඟවී හොරාවට

නොලැබෙනා රසයක් 
සොයා යන්නට
වරද නම් එහි ඇතිද 
දොසක් නගන්නට

යවුල් වූ ප්‍රක්ෂේපිත 
ප්‍රතික්ෂේප වන්නට
යනු නම් කෙලෙස 
වැරදි නොව හරි මගට

හුරු නුහුරු නොමැති 
බව මටත් නුඹටත් 
ලැබූ වරමක සොඳුරු
මහිමයක් විඳින්නට

ඉවසුමක් නැත අවැසි 
සිත් බරක් දරන්නට
පමා වනු ඇයි අපත් 
ජීවිතය විඳින්නට

තුරු ලතා වෙලී සුව 
ඒ රසය ලබන්නට
මකරන්ද ගලා කඳු 
මුදුන් රස ගඟුලකින්

මිහිරි නද මුමුණන්න 
හඬ නගා සැනසෙන්න
ඵල නෙළමු තුරු මතින් 
පසෙක ලා තහනමක් 


---රකිත---





Thursday, October 8, 2020

~~ හි (අ) හිමි කල ~~


 

අහඹුවක් වූ මොහොත
කරවනා හදවත මවිත
පායනා සඳක් ලෙස
අඳුරු වූ ලොවක් වෙත
 
හිටිහැටියේ පැමිණි කල
මගේ ලොව දිදුලවන්නට
කිම්ද ඒ සොඳුරු ඇය
අන් සතුව ගිය හැඩට
 
සොඳුරු වූ ලොව පතා
රැගෙන ගිය සිහිනයක
රුදුරු වූ යථා බව
විඳ දරා දිවි මගක දුක
 
දොම්නස් හැඟුම් බෙදා ගත්
සිත් ලෙසින් සිට බැඳී
මිතුරු දම් පෙරළි කළ
ආලයේ මහිමයට
 
නුහුරු නුපුරුදු වස්සනයක
මිහිර ගත සිත යෙදෙන
කෙලෙසකට සිතන්නද
අන් සතු වස්තුවක් ගැනුමට
 
තෙරපෙනා හැඟුමන් හදක
නොතෙපල සිතුවිල්ලකින්
සඟවමිය ඉමිහිරි පැතුම්
හිමි නොවන නුඹ වෙතින්
 
හිරු බසින යාමයද
උදා වන කලට දිවි
පියඹන්න වරම් නැත
මල් සොයා උයන් වෙත
 
නෙළනු නම් කෙලෙසකද
හිමි නොවන බව දැනත්
පෙම් බඳිනු කිමද අද
අන් සතුව ගිය කුසුමකට
 
පෙර භවක කළ කරුම
පල දෙනා විලසකට
තවත් කර්මයන් නම්
එක් කරනු කෙලෙසකද
 
ගතින් නොව සිතින් වුව
පව කෙරෙන බව දනින
අවසරයි නික්මෙන්න
බැඳි සිහින ලෝකයෙන්
 

---රකිත---