Wednesday, August 26, 2020

~~ නොකී කවක් ~~




නිමිත්ත - පාසැල් යන වයසේ අත්වැරැද්දක් වී ඇති ඇය නුඹ බාර ගන්නේද?


සොයා පෙර වැරද්දක් 
කළ හැඟුමකින් එක්ව
පිරුවටක රැඳි රුධිර 
බිඳු සොයන පිරිමිකම

ඉකි බිඳින මනාලිය 
මධු දිනක වගුරා කඳුළු
මනිනු කිම පතිවතක් 
කිළුටු වූ රෙදි කඩින්

සොයා යන තැනින් තැන
පිනූ කල අතින් අත
තුරෙන් තුර මාරු කළ 
පිරිමි කම වසත් කල

සොයා පිවිතුරු කමක් 
යුවතියක දීග ගිය
බිණියි වදනින් පෙළක් 
සිත් හදත් පාරවා

නුඹට ඇති සම අයිතියක 
ඇයට ඇතිවා නොවෙද
ඉදිබුවෙකු සේ රිංගවා 
සංස්කෘති කටු තුළට

යහන මත තලා ඇති 
මල් කැකුළු කොපමණද
වීරයෙකු කියයි ඔහු 
මේ කුරිරු සමාජය

රුහිරු බිඳු කෙලසකද 
රකිනු පතිවතක් සිත
හදවතක පතුලකින් 
නැගෙන හැඟුමක් නොවෙද

උරුම වන්නට දිවිය 
ඇය පතන සොඳුරු ලොව
කිම්ද අද කර අහිමි 
පිරුවටය මුවා කර

ආලයේ සොඳුරු තැන්
සොයා යන තුරුණු කම
උරුම නුඹටම පමණක්ද 
ඇය තලා පෙළනා සැටිය

වසත් කල සොයා යන 
දිවි මගක සොඳුරු දින
නොකරනු මැනවි අසුබ 
කිළුටු ලෙස පවසමින

රහස් ඇත රකින්නට 
දිවි ඇති තුරා සෙනහසින්
නොතෙපලා සිටිනු මැන 
අතීතය අඳුරු කළ

ගෙන එන්න මුවගටත් 
ඇය සිනා පාන්නට
රකිනු මැන ඇය නුඹේ 
නෙතු සඟල ලෙස කදිම

---රකිත--- 




Saturday, August 15, 2020

~~ සේයාරූ ශිල්පී පෙම ~~


පසුබිමක මනරම්ව කරවා 
වර්ණිතව පරිසරය සිත්ගත් 
සකසමින් ආලෝක තතු
හිඳුවා නුඹත් හැඩයකට සේ

යුමුහු කරවා කාචයද නිසි ලෙස 
නරඹා සොඳින් නියම තන්හිද
රාමුවට ගෙන හදින් නුඹ රුව 
අවැසි සේයාරුවක් සිත තුළ

නිවි නිවී දැල්වෙනා 
වේග ආලෝක මත 
නුඹේ නෙතු කාන්තිය 
පැහැර ගනු කල සිතක් 

ස්පන්ධන වේගයක් 
ද්වාරයට මුසු වන කලට
දර්පණයා හා ගැටුනු 
කිරණ ප්‍රිස්මය තුළින්

නුඹට කේන්ද්‍රය වන්නට 
සිහිනයක් මා දකින
අඳුරු දුරු වී යන්න 
ආලෝකයට පිළිස්සෙන

ත්‍රිපාදික ආධාරකය මත 
දරා ඇති තෙවැනි නෙත
දෙපා වාරුව රැගෙන 
පොළෝ මත පය තබන

මාරු වන කාචයට වුවද 
සැබෑ නෙතු සඟලින් බලන
රුවක් ඇඳ රැකගන්න 
ද්විමානතව ත්‍රිමානයද ලෙස

වර්ණ උස් පහත් වන 
සංතෘප්ත වන ලොවට
මුසු සුමුදු වත හැදෙන 
අමුතු පරිසර මැවෙන

සංස්කරණය වේද අප
සැබෑ ජීවිත ගමන යන
රවටන්න හැකි වේද 
ලොවක් නුඹ මවා ඇති

මිල ගණන් ඉහළ ඇති 
කලට ප්‍රමිතියද ඇති
පැරණි වන කලට ලොව 
අභාවයටත් යන කදිම

නොවේ නම් හද රැඳුනු 
සේයාව මතකයට ඇති
අංකිතව වුවද මුද්‍රිතව 
ඇත සදාකල් රැකෙන

---රකිත--- 




Saturday, August 8, 2020

~~ තනිකඩ සිතක පැතුමක් ? ~~


හිමි නැති කිමද තනිකඩ සිතට 
උපදින්න දරු පෙමක් 
ලේ බැඳුම අවැසිමද 
සෙනහසක් කිරි සිහිනයට

හිනැහෙයිද ඔච්චමට ලොවක් 
පානා සෙනහස දරුවෙකුට
ලෙයින් ඉපදී නැතිඳු 
සසර පුරුද්දටකට බැඳුනු

හිමි සඳු අහිමි කතකට 
මව් පදවි ලැබූ පෙර
වරදක්ද පෙම් කෙරුමකට 
ඇය දිවිය ගොඩ ගන්න

ලෙයින් උපන් කිරි සිනහා 
දකින්නට පින නොමැති
පුදමි ඒ දරු සෙනෙහසක් 
ඒ සොඳුරු දියණියට

හිමි නැති ලොවක අඩුවක් 
පියවිය නොහැකි වුව
සැනසුම දෙන්න අවසරද 
සොඳුරිය නුඹ වෙතට

නේක පද ගොතාවි ඇත්තන් 
ළිංමැඬි සිතින් දූපතක සිරව
නුඹත් මමත් සිටිමු හිනැහී 
නෑසූ කන් ඇතිව ඒ පදයන්ට

වස්සනයක දකිනා සිහිනයන් 
පමා වන කල් ඇති නමුදු
ඵල බරට බව කියන 
පමා වන විට එකල 

හිමිකමක් නොමැති බව 
කියන ලේ බැඳුම නැති
හද තුළක දරු සෙනෙහසට 
ඉපදුමට බාධා ඇතිද

ඉඳින් අපි තනමු ලොව 
හෙට දිනක ජය ගන්න
දූ පුතුන් නොවෙනස්ව 
සෙනෙහසක් විඳින්නට

මිනිස් කම ගරු කරන 
රාමුවේ සිර නොවන
නිදහසේ අරුත පිරි 
ආලයේ නාමයට නිර්මලව

---රකිත---