Wednesday, February 24, 2021

~~ (ආ)පසුව ~~

 


කාලයත් ගෙවෙන්නට ඇති

නොදැනීම අපටත් හොරෙන්

ලෝකයත් වී ඇති වෙනස

නොනැවතී යන ඉදිරියට

 

භෞතිකය වූවාට විවිධාකාර

ජීව මතකය එලෙසමද අද

සිහි කරමි ලොවටත් හොරෙන්

අතීතය ගෙවී ගිය සොඳුරු

 

එදා දුටු සොඳුරු රුව

නොඅඩුව තියේවිද කියා

සිතින් මවනා කලට

නුදුටුව රුවක් කලකින්

 

පෙර දිනක බැඳි පෙමක

සිතින් පමණක් කරපු

විමසන්න ඒ තතු රසට

මග බලා සිට ඉවසිලි නැතිව

 

තුටු කියුම් කෙළි කවටකම්

කෝපයත් මුසු බිණුම් ඇති

පලක් නැති බොළඳ කම්

රණ්ඩු සරුවල් ගැටුම් අතර

 

ගෙවී ගිය වසන්තය

යළිත් නොඑනා ලෙසින්

පසු තැවුම් කුමකටද

ගිම්හානයක අබිමුවක

 

හිමි අහිමි දෑ සොයන

අපට අප අහිමි වූ කලට

කුමන දොස් සොයන්නද

වරද අප අතම නම්

 

සිහිනයෙන් පමණක්ම

ගොඩනැගූ මාළිගා

අතීතය හා එක්ව

මතකයන් වී ගොසින්

 

සැඳ කල ලබා එන

දිනය අවසන් කරන

ඔබට මට උරුම නැති

ලොවක සිරවී සිටින

 

පළමු වරමක් නොලද මුදු

දෙවන වරමක් ලබන

නුඹද මම හමුවෙමුද

තවත් එක් වතාවක්

 

---රකිත---




Sunday, February 14, 2021

~~ සිරි ලංකා වැලන්ටයින් ~~

 



 

සැ. යු. - වදින තැනට වදින්නට රිදෙන තැනට රිදෙන්නට


 

තුරුණු මැදි මහලු

වයස් භේද නැති

මිනිස් කම් වෙත

ලැබි සොඳුරු හැඟුමට

 

දිනක් වෙන් කළ

කලට කිම අද

මොර දෙමින්

ඇතැමුන් කුහක ලෙස

 

එදා පෙර කල තුරුණු

අයවලුන් වෙනුවෙන්

රැගෙන අවදානමක්

දිවියෙන් අහිමි වන

 

ආලයට පෙන්වා

නිසි මගින් ජය ගෙන

එම දිනය සැමරුම

කිමද වරදක් දකින

 

ආලයේ නාමයෙන් හෙළා

රුහිරය පොළෝ තල මත

වී ඇති සාන්තුවරයෙකු

ස්වර්ගයේ වැඩ සිට

 

ජාති ආගම් රට රටක

භේද නොමැතිව තුටින්

සැමරුමට අද ඇයි තහංචි

කුහක කම් පිරි මනු දනන්

 

ආලයේ සොඳුරු තැන්

නිසි වයස් කළ විඳින

දුටු කළට සිහිවෙනා

ආගම දහම සංස්කෘති

 

සිහි වේද තොපිට නම්

රීරී මාංශය බුදින සඳ

දේශපාලුවන් රට මැද

කෝටි ගණනින් මුදල

 

විඳින ජිවිත ආලයේ

මනරම් දුටු කලට කිපී උන්ද

කියයි බණ පිරිතෙන්

සොඳින් අනියතක සැටි

 

ගිහි දිවිය වෙත අනිසි ලෙස

කර බලපෑම දරුණු ලෙස

සියල්ලට පව කියා

එපා බෑ නෑ වදන් පමණකි

 

පෙන්වමින් අපායක් බිය

ගන්වමින් ගිහි දිවිය ගැන

හණ මිටිය ඇද පාරම් බානා

ඉපැරණි ලොවක තතු

 

ආදරය නිසි ලෙසින් විඳුම

පව සේ කියන සැටි

ගල් ටැම් සේ සිටින්නට

නොකියා කියන හැටි

 

නීති රැකි අයවලුන් 

පනියි සිමා මායිම් නැතිව

අපරාධ සේ දකින 

පෙම් සුවය විඳින කල


දස දහස් ගණනින්ම 

සොරකමට මැරකමට

උන් රකින ධ්‍යානය 

අහෝ කදිමයි රටේ

 

කුහක කම් අමන කම්

වපුරුවා ඇති රටක

යල් පිනූ සංස්කෘති

හණ මිටිය කර ගසන

 

සොඳුරු ආදරවන්ත දින

සැමරූ ඔබ සැමට අද

තුති පුදමි සෙනෙහසින්

මට ආල හිමි නොවුන මුදු

 

---රකිත---





Saturday, February 6, 2021

~~ ආලේඛය ~~



මනු නෙතට නාභි ගත 
වන කලට ස්වයං ලෙස
පෙනෙන වත කදිම නැති 
වේද රුවති සේයාරුවට

තනි නෙතින් කාචයෙන් 
අලෝකෙයෙන් අඳුර ඇඳ
කැටි කරන මොහොතකින් 
සැබෑ රුව පෙනෙන සැටි

පුළුල් නළල් තල ඇතිව 
හිස මැදි කර සුදු කෙසින් 
ඇදට ඇති මුහුණු තල 
පිහිටි නෙතුද ඇදයකින් යුතු

දෙතොල් රත් පැහැ වුවද 
එකිනෙකට නිසි යා නොවී
සමමිතිය නොමැති තුමු 
වුවන පෙනෙනා සැටි දුටිමි

නිකට වමටම තල්ලු වී ඇති 
උපතෙ දෝසයක් වෙන්නැති
එකත් පසෙකින් ඇලව ඇති 
තවත් පසෙකින් වැඩිව ඇති

ඇසුත් ගිලිලා හැටිද මන්දා 
රැවුල් හැඩයත් අවුල් වීලා
පිළිවෙල වී ඇති අපිළිවෙල 
බලන් කරුමය පෙනුමෙ ඇති

තනන්නට සිත් ගත් වුවනක් 
හැකි වේද සැත්කමකටවත්
කුමක් කරමුද සිතා බලමින් 
බලා වටපිට සොයයි කිසිවෙක්

පිහිට ලැබදෙයි සංස්කරණය 
ශිල්පියා හට වෙමි බැගෑපත්
තාක්ෂණයේ මහිමයට අංකිත 
බලා වෙනසක වුවන තැනෙනා

අසමමිතිය වන සමමිතිය ලෙස 
ඇද පළුදුකම් වසා දමමින්
එකම හැඩයට සිත් ගත් විලසට
කරනු මැන සැකසුම්ද වුවනත්

සැබෑ රුව සඟවා සිතින් 
සරදම් කරනා ලොවත් හොරෙන්
බලා පෙන්වමි ප්‍රදර්ශනයට 
හදවතේ පැතුමන් පුරාගෙන

---රකිත---