Wednesday, November 27, 2019

~~ රාජකාරියක් ? ~~



පිරී ඇත සවනත වදන් 
උන් දොඩන නිති
මුව රිදුම් දෙයි නිතර 
පවසනා සම වදන් පෙළ

දෑස් කකියනා කල 
දොරටුවේ හැඩ බලමිනා
පිට කොන්දත් දෙන වේදනා 
අසුන් ගත් අයුරක් නිසා

හෙළ බසින් හා ඉංගිරිසි බස 
සුදුසු කල් ලෙස උසුරමින්
අචාර කරමින්ද යනෙන 
සැම වෙත මද හසින්

තබමින් සටහන් පොතින්
නිකුත් කරමින් අවසර පත්‍රයන්
සිදුව ඇත හරවා යවන්නට 
ඇතැමුන් වෙනතකට සැමවිට

එකා පසුපස එකා 
නිමක් නැති පෝලිමක්
හසුරවන්නට සෙනඟක් 
තනි මුවක හඬකින්

රුදු බිණුම් ගැරහුම් ලබා 
ද්වේශ ඇති මිනිසුන්ද
හසරැල් මතින් සඟවමි 
මුසුප්පු වූ සිතක හැඩ

කාලයට පැරදිච්ච 
ගෙනා දිවා පතරාසයක් 
පිළුණු වේ සිසිලසට 
වායු සමනිත කුටිය තුළ

ඇල් වෙනා කිරි තේක 
වේය අමෘතය විලස
සිතින් මවා ගනිමි රසමසවුළු 
අහිමි එක් මොහොතකට

හැඩකාර රුව පිරුණු 
නේක අඟනුන් දකින
උසස් නූස් කවරෙකුත් 
හිස නමා තතු අසන

ඉඳ හිටක පිරිස අඩු 
නමුදු පාළුව නොමැති
පිළිගැනීමේ කවුළුවත් 
විටෙක කදිමය රාජකාරියට

---රකිත---


Wednesday, November 13, 2019

~~ දුටු සෙබළ යුවතියට ~~



ඔප දැමූ පාවහන් හැඩට 
කළු පැහැය ගත්
දක්ෂිණව ඇලය ගත් 
හිස් වැසුම මනරම්ය

නිල ඇඳුම ඇඟලෑව 
හැඩ කාර රුවැත්තිය
නුඹ වුවන දුටු දිනක 
සිතත් නැවතුනා වැනි

අත දරා ගිනි අවිය 
රකින ඇය මහ ජනතාව
රළු පෙනුම එහි නොමැත 
සියුමැලිය ඒ බැල්ම

තියුණු නෙතු අවට සිසාරන 
උකුසු ඇස් ලෙසින් ඇති
හැඩකාර නුඹ අද්දරට 
නැවතුනි දෙපා ඒ දිනක

මද සිනා පිරුනු මුව 
කතා බහ සුහද ලෙස 
රට රකින රාජකාරිය 
කරනා ලෙස දේව කාරිය

අව් වැසි සුළං මැද 
නොසැලී සිටින නුඹ අද
දෙවඟනක් ලෙස දුටිමි 
මිහිකත බට දෙව් ලොවෙන්

සියල් සපිරි විසිතුරු ලොවක 
සිහින ලොව දකින
රුවැති තරුණ තරුණියන් 
සිත් සේ තුටු වෙනා

සිතේ කොනක මුත් 
ඇති නොවෙද නුඹ සතුව
එවන් ලොවක සැරි සරන 
සිහිනයක් ඇතිවාට

තුරුණු විය ගෙවී යන 
කැප කරන රට රැකීමට
සරුව පිත්තල ලොවක පිරි 
අගනා මාණික්‍යයකි ඔබද

සෙනෙහේ ලබන්නට නුඹේ 
පැතුමක් දරන් අද සිටිමි
අමතන්න හැකි වුවොත් 
දුටු විගස කවි පදය

---රකිත---


Monday, November 4, 2019

~~ ඉනික්බිති සැබෑ ලොව ~~













පුරා එක් මසක් කඹුරා 
වේය තැම්පතු බැංකු ගිණුමට
වැටුප නම් ලද නමට පමණකි 
දින ගණනකට සෑහෙනා

වයස ගෙවු මුත් තවත් රැඳෙනා 
මව්පියන් සොයුරන් සෙවණ මැද
දින පැමිණේ තනිව සිටිනට 
දිවි ගෙවන්නට තම දිරි මතින්

විදුලි ජල අන්තර් ජාල බිල් පත් 
ගෙවනු කෙලෙසක එකම වැටුපෙන්
අහර පානද ඇඳුම් පැළඳුම් ගමන බිමනට
දරණ වියදම් කරනු කෙලෙසද

රූ රටා පිරි සොඳුරු ලොව ඇති 
නේක වර්ණිත දෙව් සිරිය ඇති
විනෝදය පිරි දිවිය විඳිනට 
වරම කෙදිනක ලැබේ අප හට

නුඹ පතන ඒ සිහින පෙළ 
නුඹ දකින මහිමය ලොවක
සැරිසරනු කැමති ඇති 
අන් ලඳුන් සමව සිටිමින

මුදල අප කරන අසරණ විලස
මගක් නොමැතිව සොයා යන්නට
හෙළනු ඇත නුඹ දිනක සුසුමන් 
සිතන්නට තිබුණා කියා පෙර කල

කම් නොවේ නුඹ හැර යන්න මා 
සැබෑ ලොව තතු දැන දැනම සිට
තුන් සිතක හෝ කහටක් නොමැත 
ඔබ තුටින් සිටිනා හැටි දකින කල

දියණියක සොයුරියක යෙහෙළින් 
සියල් ලඳුන් දකිනා සිහිනයන්
දුකක් නොවනට පැතුම් ඇත හැම
මව්පියන් නෑ සොයුරු සොයුරියන් හට

දිනක නුඹ දිනනා ලොවක් දැක 
තුටු පහටු වෙමි හදවතින් නිති
කරමි දන් පිං හැකි සෑම විට 
මතු බවක ඉපදුමට ධන බලය ලැබ

---රකිත---