Friday, December 31, 2021

~~ නික්ම යාම ~~











පවසන්න නොහැකි කළ 
සඟවමින් සැබෑ තතු
හැඟුමන් සිතක රැඳි 
කරමින් යටපත් සොඳින්

බලා සිටින්නෙමි නිහඬව 
එකත් පසෙකට සිටන්
නික්ම යන්නට මත්තෙන් 
මදක් හැරී බලමි ඒ දෙස

කල් ගතව තෙපලන්න 
සොඳුරු දෑ සවනත් වෙතට
පමා වැඩි බව දනිමි දිවි මගක 
හිනි පෙළක් නගින්නට

එකිනෙකා පසු කරන් 
මා නොයන වේගයෙන් ගොසින්
හෙමින් යන ගමන් මග 
නුඹට උරුමයක් නොමැතිවද

දිනන්නට තැත් කරත් නම් 
පරාජය උරුමය වී එන කලට
වළකම්ද කර්මයක් කෙලෙස 
පිං මදිවාට විඳින්නට සුඛය

කළ පවට කිමද නුඹ 
කර ගසන්නට දුක් කන්ද ඇති
කම් නොමැත හැර ගියත් 
නොවේ නම් විස්සෝපයන්

ඔච්චම් කරන කාලයා 
ගෙවී යන හැඩ දකිමින් නිතර
ඇද හැලෙන දින දසුනෙ 
දින සති මාස අවුරුදු ගණන්

දෙපසකට වී හිඳන් පලක් නැත 
නරඹමින් එකිනෙකා
වෙන්ව යන්නට යාමම 
පමණ සුදුසු බව දැන දැනම

කාලයා කිසි දිනක නොවිසඳන 
ගැටලු කම්කටොළු ලොව
දිනා ගත යුතුව ඇත වෙර වඩා 
අදිටනින් විඳවා හෝ කලක්

මා විඳින ඒ දුකත් ලබා උපන් 
කර්මයත් නුඹ විඳිය යුතු නැතිව
ඉත සිතින් අවසර දෙමි සොඳුරිය 
නික්මෙන්න මා ලොවින්

නිළ බලය ධන බලය 
තෙද බලය ලොවට ඇති පිළිගැනුම
මුසාවක් නොවේමය 
එකඟ වෙමි නොපවසා කිසිවකුත්

මාපියන් හදා වඩන 
දියණියන් ලොව දිදුලවන දිනක
අකැපය ඇයට දුක් විඳුම 
උරුමය විය යුතු සැපයම ඇයට

---රකිත---



Friday, December 24, 2021

~~ මාද වූ කල ~~












අවලංගු වන කලට 
නොවේ රස පෙර සේම
දැනෙනවලු ඉඟි බිඟි අතර 
එක දෙකක් වදන් අතර

ඉස්සරම තරම් නොවේලු 
දැන් වැඩත් හරි නැතිලු
ලාබාල වියත් අය ඇතිලු 
තුරුණු බව ඉතිරෙමින් සිටි

වැරදිත් නැති ඒ මතය දරා 
හිස නමමි විකල්පය නැතිව
කාලයක් තිබුනාට ගමන 
දුර මදිවාද දැන් ලොවට   

රුවත් හැඩ වියැකේලු 
තිබුනාද පෙනුමක් පෙරත්
පෞර්ෂය ගැටලුවක් මන්ද 
වයසටත් නොගැලපෙන ලෙසට

සිප් සතර මදිවාලු 
දක්ෂකම් අඩුවක්ලු
පමා වී ඉගෙනුමත් 
කැප නැතුවා වාගේලු

හිනි මගක ඉහළට යන්න 
ටිකක් හොර වාගේලු
හුන් තැනමත් ඉන්න එක 
හොඳ නැතිවාලු දැන් දැන්ම

කරුමයට බර දීලා 
සිටියාට හිත් සනසාලා
අබල දුබල කම් ඇති බව 
නොදන්නවා නොවේමද

උපන් විට ලැබුනු ගති 
හැකියාව නිමාවද ගෙනෙන
කෙලෙස නම් වෙනසක් කරම්ද 
නොලැබෙනා දෑ තිබෙන

මටම මා හිමි නොවන 
සිහින ඇති බිඳී යන
කුමට පසුතැවෙනු අද 
හිමි අහිමි කම්වලට

කාල තීරුව ගෙවෙන 
නොවේ හැමට එක සේම
ලැබෙන නොලබුම ඇතේ 
පදනම්ව පෙර පිනට

බලා සැනසෙනු පිණිස 
ගිම්හානයක අබිමුවේ
මාවා පෑ සිනාවක 
සඟවමින් සැබෑ හැඟුමන්

දරාගෙන සියල් බර 
තනි වන්න ජීවිත ගමන
බොහෝ සේ තනා ගතිමි 
සිත පුරා දිරි රැගෙන 

---රකිත---




Wednesday, December 15, 2021

~~ නිමාවක් !? ~~


















එකත් පසෙකට වෙමි 
වෙහෙස දැනුනු වස්
කළ වෑයම් වූ කල 
ගඟට කැපූ ඉනි ලෙසින්

කළ නොකළ නේක දෑ 
නොවුනු කල ඵලක්
කුමන නම් අදිටන්ද 
කර්මයක් ලැබි නවතන්න

පමා වූ ඉගෙනුමත් සිප් සතර 
ලැබුමට නිසි කලත්
මැදි වියට පිය මනින මුත් 
වන්නට සිසුවෙක් විලස

වෘත්තියත් ගෙන කලක් 
ගත වී ගිය දින ගණන වුව
ජ්‍යෙෂ්ඨයා වී ඇති සේය 
කණිෂ්ඨ තනතුරු අතර

රොස් පරොස් ඇනුම් බැණුම් 
අපහාස උපහාසයන්
අඩුවක් නම් නොවේ 
සෑම දින පුරුද්දක් වෙලා අද

විටෙක හදවත යන විනිවිදව 
රිදවමින් සියල් ගතම
නොමැත අන් සරණක් නම් 
ඉවසනු මිස අන් දෙයක්

ලැබෙන නොලැබෙන දෑ සිතා 
ඵලක් නොවනා කලට
නිහඬ වෙමි අද කුමන නම් 
කෙරුමන්ද දිරියක් නැතුව

අවැසි නැත අවැසි කළ 
අවැසි ලෙස නොලැබෙන දෑට
හඬක් නොනගා නිහඬ වෙමි 
නිහඬ බව වටිනා බැවින්

දිවි ගමන ගෙවෙනා සඳ 
වනා පරිණත දිනෙන් දිනටම
සිතෙනා කලට හැඟුමන්
දැනෙනා ගතට යථා බව නිතර

අත් හැර දමා යන්නෙමි 
සොයා ජය ටැඹක් නොලැබූ
අකැප වූ හිමි නොවූ 
කෙම් බිමින් නික්මී සදා කල්  

---රකිත---




Saturday, December 4, 2021

~~ අදත් නැකත් දවසක්ලු ~~


සේවයට යනු වස් පිටට යන කල
සවනතට වැකි ගිනි කෙළි හඬක්
කොනේ ගෙදර සිටි යුවතියත් 
දීග යනවාලු අද මඟුල් ගෙයක්ලු

පාරටත් බැස්සාම ගමනේ යනකොටත්
නෙත ගැටුන නොව මංගල රථ කිහිපයක්
නැකත් දවසක්ලු අද මංගල්‍යයන් ගොඩක්
සුබ දිනයක් වන්නේලු මෙවන් කල් ඇති

කන්තෝරුවෙත් ජේත්තුවට ඇඳ පැළඳ
පැමිණි සිටියන් බොහෝය එකට එකතුව
සොඳුරු යුවතියන් කාන්තාවන් හැඩ වෙනා
බඳිනවාලු අද එක් යෙහෙළියක් ඔවුන්ගේ

ප්‍රධානියාත් පෙනෙන්නට නැතිලු අද දිනේ
ඔහුගේ දුවත් විවාහා වෙනවලු අද නැකතට
මඟුල් උත්සවය නම් ලොකු හෝටලයකලු
ආරාධනාවන් නම් සීමිත පිරිසකට පමණලු

කාටත් නොකියාම සිය පුතුගේ විවාහා මංගල්‍යය
ගන්නවාලු උත්සව ශාලාවක කළමනාකරුත් අද
වසංගත නිසා ආරාධනා නැතිලු කිසිවෙකුටත්
දන්වා ඒවා තිබුනාලු සාදයක් දෙන්නට පසු දිනක

තුරුණු බව පිරි එකට වැඩ කළ අයවලුන් ටික දෙනෙක්
අද පෙනෙන්නට නැතේ විමසුවෙමි ඒ ගැනත් කාරණා 
දෙදෙනෙකු අද විවාහ වෙනවලු සොඳුරු ආදර ගමනකින්
අනිත් දෙදෙනා ඔවුන්ගේ දෙවන මනමාල මනමාලියලු

මුහුණු පොත් බිතු පිරී යයි මංගල සේයාරූ උඩුගත කළ
දකින දුටින හැම තැනක සොඳුරු මංගල කතා පමණකි
සිරගතව සෙක්කුවට වැඩ කළෙමි දින පුරාවට සිටන්
කල් ගතව ගොස් ඇතිය පමාවට වැඩ සිරව සිටි කලට

නිමා කොට සියල් වැඩ පිටතට එන්න පහේ කණිසමට
දන්නා නොදන්නා අය දුටිමි ආදර බර යුවල් යුග ලෙස
නොදුටු සේ නික්ම ගොස් අසුන් ගනිමි කවුළුව අසල
නිදා වැටෙමි යන තුරාවට ගමනාන්තය වෙතට සැම

සරසා ඇති රථයන් ඇදේ මැද රටට සැන්දෑ කලට
මධු දිනක සුවය අද ලබනු ඇත ඔවුන් සැවොම
පිය මනින විට දකිමි ජාතික ධජය ඔසවා ඇතිව
අද මංගල්‍යයන් නම් ගොඩක් තිබිලා නොවෙද

නිවසටත් පැමිණිලා පැන් සුවය ලබා සිත් ලෙස
පැමිණි කළ දුටිමි මේස මත රැඳි ස්තුති පතක්
ලොකු අයියාත් ගිහිල්ලාලු මඟුල් ගෙදරක අද
මිතුරෙක්ලු ඒ ඔහුගේ කන්තෝරුවේ සිටින

අම්මා පැමිණ නරඹයි ඒ ස්තුති පත හොඳින්
අසරණව ඇය බලයි ඉනික්බිති මා දෙසත්
ඒ නෙත් කෙවෙණි තුළ රැඳි ඇති කඳුළු
සැඟවිය නොහැක ඇයගේ සිතේ හැඟුම්

පුතේ නුඹ මනාලයෙකු ලෙස දකින්නට තෙදින්
වරමක් නැද්ද මට දෑස් පියාගන්නා දිනකට පෙරත්
පිළිතුරු නැති මුවින් හරවා මුව බිමට සිටිමින්
නික්ම යමි නිහඬවම ඇය වෙතින් මා කුටියට

රුව නොමැති ධන බල නොමැති උගත් කම සීමාවූ
තුරුණු කම පලා ගොස් මැදි වියට පා තබන කලකට
මංගල සිහිනයට තව දුරයි සිහිනයක්ම වන්නට ඇතිය
අදත් නැකත් දවසක් මංගල සිහින බිඳි දොම්නස් රැඳි

---රකිත---




Friday, November 19, 2021

~~ දිනයක් මිනිස් ~~

නිමිත්ත -  ජාත්‍යන්තර පිරිමි දිනය වෙනුවෙන්...........................  11/19




තුරු මතින් බිම් බටව 
දෙපයින්ම නැගිටි කල සිට
තෘණ බිමින් තැනිතලා 
මහ වනය සාගර මැදින්

වාලුකා කතර තරණය කරන් 
ලොව පුරා විසිරිලා
වැදි ගව ගොවි තඹ යකඩ අඳුරු 
යුග ගණන් පසු කරන්  
  
පෙරමුණට ගෙන ඒ 
ශිෂ්ටාචාරයේ මහිමයට
පැමිණි ඒ ගමන් මග 
නොවේ නම් සුන්දරව

මහා ගොඩනැගිලි පූජනීයව 
මහා නිමැවුම් ලොවක් මවිත කළ
ලොවක ගමන් මග වෙනස කරවා
ජය ගතිමු අප මහිමයෙන් ලත්

බිහි කළෙමු ආගම් දහම් 
පැතිර වූවෙමු ලොව පුරා 
ලොවට සැනසුම ගෙනෙන කලකට 
නොවේමද අප නම් තෙදවතින්

කල් ගතව ලොව කළ සංවර්ධනය අප
රැගෙන ආවෙමු වර්තමානය අනාගතය වෙත
මතු ලොවද ගොඩ නගන ඒ සවිය
නොවේවිද අප ගත සතුව පවතින

වැරදි ඇති බොහෝ සේ 
පීඩාවන් ඇත බොහෝ අය වෙත
සියල් අප නොවේ පූර්ණයෙන් සැදි 
සමා අවසර කරන වරදට

දරා නිහඬව සියල් දුක් බාධක බිණුම්
රකින රට ලොව පවුල් දරු මිනිසත් කම්ද
ඉවසා ගැරහුම් බිණුමන් උපහාසයන්
ලොවක් දිනවන සියලු තැන්හිදි එක්ව

වරද ලත් තැන වහා 
බිහිසුණු වෙමින් අප වෙත
පවසනා තතු කියමින් 
අහිමි වන බව අයිතීන්

පියෙකි සොහොයුරෙකි පුතෙකි 
තරුණයෙකි සැමියෙකි ආදර බර
ලොවට වැරදිද කරන කෙරුමන්
රකින නුඹ අප හැමද ලොව ඇති

දිනපතා නිතිපතා වෙහෙසවන වැඩ කරන
කිමද නොදකින සියල් කරනා මෙහෙය අප
නොවේ සැමරුම් නොවේ විසඳුම් අප හටත්
වෙමු අප පිරිමි මිනිසුන් තනනා නව ලොවක්

---රකිත---




Friday, November 5, 2021

~~ වෛශ්‍යාලය ~~













හිරු ගිලෙන සැඳෑවට 
අඳුරු නුබ ගැබ රැගෙන
මං හසර කොනක සිට 
සොයන බඩ වියත ඇති

රස බලන්නට තහනම් තුරු ඵලය
ඇදෙන දනෝ විසි කර රන් මසුද
මොණර කොළයේ මහිමයට වූ
සළු පටක් ඇත එසවෙලා අහසට

සූරා කමින් රීරි මාංශය ගත
අසහනය පිටකරනා පිරිමි කම්
තලා පොඩි කර යහන මත
පිටව යන සඳ සුදනන් විලස

වැසි දිනක එක් රැයක සිසිලස
මැදින් උණුසුම සොයන කල
අහඹු ලෙස පැමිණි නුඹත්
වසන්තය රැගෙන මා ලොවට

නළල් තල මත සතපවා හාදුව
අරඹලා ඔහු තලයක් වයන
නොතලවා මල උරා රොන් පොද
පහස ලැබීමි පෙර දිනක නොලැබූ

නොකළ හිරිහැර කිසිඳු විටකදි
පහස පිදුවෙමි සැනසුමට ඔහු
මිහිරි සිතුවිලි රටා සිතද පූදින
කවුරුන්ද නුඹ මා හදට ලං වූ

නොවේ වරමක් පති දම් රකින්නට
ආලයට පෙරුමන් පුරා නොලැබුනු
වෙලී උණුසුම ලබා නුඹ වෙතින්
ප්‍රේමයේ ඵල නෙලූ කුලුඳුලේ අද

රැළි පිටට රැළි නැගෙන ඒ සොඳුරු රාත්‍රිය
නුරාවත් දයාවත් සෙනෙහසත් මුසු වෙලා
සමුගෙන ගියත් මිට මොලවා මිලක්
කෙසේ නම් කියන්නද මිලක් නුඹ හට

විදී කොන අඳුර මැද පුරුදු රැකියාව මත
සොයන්නෙමි නුඹේ රුව දකින්නට තවත්
කැවුත්තේ කොනක සිත ඇතුලේ තනිව
අමුතු හැඟුමක් මතුව ඇත නුඹ නමින්

අනේ මහත්තයෝ තවත් එක් වරකට වත්
පැමිණෙන්න දකින්නට වදනක් කියන්නට
මිලක් නම් ඕනෑම නැත පුදන්නෙමි සියල්
සනසන්න සිතක් උණුසුමක් ඉල්ලන

---රකිත---





Sunday, October 24, 2021

~~ සැන්දෑ සිතුවිලි ~~



පැමිණි සඳ අගට 
තාරුණ්‍යයේ
වසත් කල කුමට 
නොලැබූ එදා

නොවේ සිතුවිලි 
පෙර සේ රැඳී
ගිම්හානයේ 
අබිමුවක සිටිනා

සැබෑ ලොව 
සැබෑ ලෙස දකින
නොවේ සිහිනයන් 
නම් සිතක

සොඳුරු ලොවක 
පිරී ඇති පැතුම්
එක් වෙනා කල 
හිස් අවකාශයට

ඇදී යන සිත නේක දෑ 
ඇති ලොවේ
නොවේ නම් තව ඇත 
සන්සුන් ලෙසේ

මිනිස් කම් ඇති අගය 
දැනෙනා වැඩිව
තනි වූ ලොවක සිටිනා 
ටික කලකට

කාලයට හුරු වෙලා 
තලයට වැඩ වෙලා
අවැසි නැති කල තවත් 
විසූක දස්සනයන්

චණ්ඩ වූ රිවි මඬල 
අවර ගිර බැස යන සේම
හැඟුමන් මිනුමන්ද 
ගලා යන හැඩ දකිමි

කළ යුතු දෑ 
බොහෝ ඇති මුත් 
කාලය එන 
කල හරහටම

සිත් යොදවමි 
සිප් සතරේ 
අවසන් කඩඉම 
ජය ගැනුමට

පෙර භව කළ කම් 
පල දෙන විලසට 
වරද නැත අත 
අන් අයවලුන්ට

ජිවිත ගමනේ 
අවසන් කල් එන තුරු 
සිටිමි නිහඬව 
දිරි ගෙන සිතකට

---රකිත---





Tuesday, October 12, 2021

~~ කොවිඩ් පදයක් ~~

 


ගොදුරු කළ වසංගතයට ලොව 
නොවේ පණ නළ රකින්නට
තැත් කරන විරුවන් සිටින
අවසන් නින්ද නිදන්නට නොදී

කටට රස නොදැනෙනා කළ
ගන්ධය නොමැති නාස් පුටයට
හුස්ම වැටෙනා වේග අඩුවන
හිසද ගති කකියන්න රිදුමට

වාතයෙන් නොව ස්පර්ශයෙන්මද
තැන නොතැන නොගිය සිට වුව
වෙලාවටමද කරුමයටමද ලැබුනු
ත්‍යාගය මනරම් මරු සමග වාසේ

සිර වෙලා තනි වන්න එක කුටියකට
දිනම දා හතරක්ම කොටු වෙලා නම්
පිටට ඇදගෙන යන නිළධාරීන් එක්ව
නිරෝධායන මධ්‍යස්ථානයන් වෙත

නාස් පුඩු උගුරු දඬු මැදින් යන
කෘත්‍රිම බට වායුවද ගෙන යන
රකින පණ කෙන්ද රැගෙන එන
මරුවා අත වනන හැටි පෙනෙන

වෙද හෙද ත්‍රිවිධ හමුදා පොලිස් පෙළ
සෞඛ්‍ය බලධාරී ඒ හැම සියලු දෙන
පොඩි තැනේ සිට ලොකු පුටුව දක්වා
වෙර දරණ පැරදුමට වසංගත මාරයා

අගුළු ලන නැවතත් විවර වන රටක
වැඩ මුරයට පමණක් යනෙන කලට
සිප් සතර මාර්ග ගතව පමණක් ඇතිව
හුරු වෙමුද කාලයකට අප සැවොම

යුගයෙන් යුගයකට නොවෙනස් නොවන
වෙනස් බව පමණි තේරුම්ද ගත යුතු
ගැටලු ඇත බොහෝ විසඳුම් දිය යුතු
කල් නොවේ අප ගැටෙන්නට එකිනෙකා 

පෙර තිබූ ලොව නොමැත පැතූ ලෙස තවත්
උදා වී ඇත වෙන්න හුදකලාවට සිටින 
අංකිතව තිර මතින් දකිමින් සයිබර් ලොවේ
භෞතිකව නොමැති මුදු හදවතින් බැඳී ඇති

ඉවසමු මදක් කල් සිට නීතියට කරන ගරු
හමුනොවී ඈතින්ම සිතින් පමණක් බැඳිව
නොයා රට නොරට තැන තැන සිටිමින්
උදා කර ගනිමු අපි හෙට දවස සෙනහසින්

---රකිත--- 




Sunday, October 3, 2021

~~ මතු දින ඇයට ~~




හඬක් නොනැගෙන ලෙසින්
ඇවිද පා ඇඟිලි තුඩු මතින්
පැමිණ ඇය වෙත පිටු පසින්
කර බොළඳ කම් ආලය මතින්

කෝප ගන්වා නේක බස් පවසා
වුවන රත් පැහැ වන අයුරු නරඹා
යන හැඩ බලා ඇය ගස්සා පද්දා
හසරැල් මුසු කරමි තුටින් හඬ නංවා

නෙතු අග දකින ඇය සඳ කඳුළු කැට
පිසලන්න වෙමි යුහුසුළුව ලංවී එවිට
කැඳවන්න මුවගට සිනාවක් ඇයට
වේය යුතුකම කරනා ගැහැණු සිතට

සැබෑ ලොව වෙන් කරනා සිහින ලොවෙන්
ගොඩ නගන්නට එක්වී එය සෙනෙහසින්
කරනා සහය කැපවීම් උරෙනුර ගැටෙමින්
ඔබම වේ සොඳුරිය සිටින දිවි ජය ගනිමින්

සිතට සිත යා වුනු දිනක
ඔබද මා එක් වුනු දිනක
අපට අප හමුවන දිනක
හිනැහෙමු සිට ඒ දිනක  

---රකිත---



 


Sunday, September 19, 2021

~~ ප්‍රිය භාරී ~~



සුළං රැළි කැටිව 
හමා විත් එක්ව
වතට වැටි කෙහෙ 
රැල්ලත් හැඩට ඇති

කරා පසෙකට 
වමතින් ඇඟිලි තුඩු
බලමි නුඹ වත දෙස 
සිනාවන් පිරි

අකුණු හෙණ හඬ 
ගුගුරා නුබ ගැබ
වැසි කුණාටු වන් 
ගැටුම් ඉක්බිති

රක්ත වර්ණිත 
නුඹේ දෑස් ඇති වත
බලා හිනැහී 
සනසවමි රිසි ලෙස

නොගැලපෙන 
ගැටෙන තතු ඇතිද
සැර මවා රැවුම් 
ගෙරවුම් මැදින් සිට

ගස්සා යන හැඩ බලා 
නාරි ගමනින්
නුඹේ සිතුවිලි රටා 
කියවමි හදවතින්

ගිණිය නොහැකි 
දහසකුත් ගැටලු මැද
පිවිසි සටනට 
ජීවිත ගමන යන කල

පීඩනය කම්කටොළු 
දරා නුඹ කතරෙ
ඒ දිරිය දකින්න්නෙමි 
නිහඬ වූ ඔබෙන්

රැළි පිටට රැළි නගින 
නොනවතින තාලයක
රතිය රඟනා කලට 
යහනතලා විඳි සැපය

සියල් සන්සුන් වූ සඳ 
අවසන් මොහොතක
හැඳිනියෙමි ගතින් 
මනසින් තුටුවී සිටි ඔබත්

දිනෙන් දින නොව පැරණි 
විටින් විට අලුත් වන
නුඹත් සමගින් තිබෙන 
ඒ සොඳුරු ආදර මහිම

කෝප බිණුමන් ගැටුම් 
ඇනුම් රැවුම් මැද වුවත්
සොඳුරු කම රැඳෙනු ඇත 
මතකයන් පෙළ සේම

---රකිත---




Friday, September 10, 2021

~~ රටක් තුළ ~~



සිත් පිත් නැති ලොවක සිට
සොයමින් මිනිසත් බවක්
රවටා ඇත සිතක් මායාවෙන්
නොරැඳි ගුණ දම් කියමින්

පාරම් බානා වදන් සැකෙවින්
සංස්කෘතිය සදාචාරය ආගමට
ජාතියලු රැකුම අභිමානය කියා
නොවේලු වෙන රටක් මේ සම

දුකම පමණක් වර නගන කල
කියා සැප විඳුම පවක් ලෙස
නිමල දහමක් කරන විකෘතිය
කරන උන් අද මුවා වී ආගමට

සූරා කා දනන් සොරකමින් මත්ව
අහිමි කර ඇත අප හ‍ට සියල් සැප
කර ණය කරුවන් මුළු ලොවටම
නූපන් පරපුර පවා තබා උගසට

තරුණ වැඩිහිටි සිතන නව කලාවට
තන්නට නව ලොවක් අප වෙත
තැනක් නැත ඔවුන් හ‍ට රටේ ඇති
කුහක පරපුර රජ කරන කල රිසිය 

සඟ වෙද ගුරු පාලකයන් එක්ව
රවටයි අප ඊනියා දේශප්‍රේමයෙන්
සාප ලත් යුගයක සාප ලත් රටක
ගෙවේ අප ජීවිතේ ඉසුරුමත් යුගය

කැප කරන හැටි රටට හොඳ හැටි
කියාවි උන් මුව රවුම් කරමින් මුසා
පටි තද විය යුත්තේ අප පමණක්ද
උන් විඳියි සියල් සැප උරුම වන අපට

අල්පේච්ඡතා කියන දුකට ඇති තව නමක්
දේශනා කරන හැටි රවටමින් මනු දනන්
මහා විහාර රජ මැඳුරු පමණද ඉදි විය යුතු
අපට අහිමිද ඒ ලොවක් කරුමයද ඒ ලැබෙන

උන් බණින බටහිරට යුරෝපය ආසියාවද
මිනිස් බව එහි ඇතිය කුහක කම් නොමැතිව
බොහෝ සැප විඳින ඔවුන් දැක කුහකයන්
සංස්කෘතිය ආගම ජාතිය වැර නගන හැටි

අපට අපි අහිමි වන තුරුණු කම වරදක් වන
නූතන වැඩිහිටි කමත් වරදක් ලෙස දකින
නව ලොවක් පැතුම වරදක් ලෙසින් කියන
කරුමයකි අප සිටින ඒ සොඳුරු රටක් තුළ

---රකිත---




Thursday, September 2, 2021

~~මත්තෙන්~~



වියමන් කළ අපේක්ෂාවක්
කලක් මුළුල්ලේ සිතමින්
හඹා ගිය යුගයක නිමාවක්
දකිමි සිට අද යථාවාදී ලෙස

සිතටත් ගතටත් නොදැනීම 
කාලයත් ගෙවිලා සෙමින්
සිහින දැකි රටාවට නොමැති
ඉටු නොවූ කිසිවක් ඇතිද

හමුවෙලා වෙන් වෙලා 
සිටින ඒ ඒ ගමන් මග
කුමට තව සොයා යම්ද
නොලැබෙනා අඩවියට

ඉතිරි කළ සිත් ලෙසින්
ඉතිරි වූ දෑ නොමැති අත
පැතූ දෑ ඉටු නොවන සඳ
ඵලක් නැත හඬා වැටුමට

කාලයා මුවාවට වී ඇතිව
තිබෙන කල් රැක ගන්න
අවැසි ඇත නික්මෙන්න
සොයා නව ලොවක් වෙත

අපට අප හමු නොවන කල
මටද මා හමු නොවූ කල
කල් මරනු කිම නික්මන්න
අවැසි තැන සොයා ඉගිලී

පෑව්වත් ඉර හඳ තරුද නුබ
අඳුර පමණක් උරුම වී නම්
නුඹ තවත් නම් රැඳෙනු කිම
අවසර ඇත අද නික්මී යන්න

අතීතය ගෙවී ගිය කලට
අවැසි නැත වන පසුතැවුම්
ලබන්නට වරමක් නැවුම්
තබනු පියවර පෙරට නිසි

නුඹට නුඹ නුඹම වන්නට ඇති
වරම් ඇති තැන සොයා යන්නට
ඉතින් දැන් අවසර ලැබෙනු ඇත
නුවණ වැඩ ගෙන සිතින් සවිබල

හමුවෙනා තැනක රිසි 
ඔබට ඔබ මටද මා ඇති
සොයා යමු ඒ නවාතැන
පිටුපා සිනාසෙන ලොවට

---රකිත---



Friday, August 20, 2021

~~ වරක් ~~

 



 












නිදි දෙව් දුව

නොමැති පැමිණෙන

තෙමා කඳුළු බිඳු

කන්වයිනය මතින

 

නුඹ නොමැත

සිටින අසලකට වී

අඳුරු රැය පහන්

නොවනු ඇත

 

සිත් පුරා සිටි වරක

නුඹම වූ දිනක

මැකී ගිය අපූරුව

තනිකමක් උරුම කර

 

මතක පෙළ

පමණක්ම ඉතිරි වී ඇති

කරන ආවර්ජනා

රැය පහන් යාමයේ

 

සියල්ලන් නුඹට

පෙම් බැඳි යාමයක

ඵලක් නැත නම්

නුඹද මට අහිමි විය

 

සමු දී අන් මගක

ගිය යුගයක නුඹද

නොවේ වූ තුමු

සහයෝගයක් ලැබුනු

 

ඔබම වූ කල

දිවි මගට අත්වැලක් සේ

නමුදු නැත

තේරුම් ගැනීමක් නුඹද

 

පෙම් බැන්ද මුත්

ඔබට මුළු හදින්

වරදක් වූවාද කිසිත්

නොපෙනෙන ලෙසින්

 

වරද කොතැනක ඇතිද

හැඳින්නේ නැති කලට

කුමක් නම් කරන්නද

පම වූ කල අපද

 

තවත් එක් වරක් අප

සොයා එමු ඒ ලොවද

එක් වරක් පැමිණෙන්න

ප්‍රේමයේ පහස විඳ

 

---රකිත---




 

Thursday, August 12, 2021

~~ ගුරුතුමිය නොකී කව ~~














සිප් හලත් වැසී ඇත 
කලක් ගත වී ඇතිය
දූ පුතුන් නොදුටුවෙමි 
වසරකටත් වැඩි කලක්

මල් වැටුනු සාරි ටික 
පිළිවෙලින් අල්මාරියේ
ගුලි වෙලා පසෙකට වීලා 
නැහැලු ඇඳලා කලක්

අටවලා අත බනුව 
ආධාරක මතින් ඇද
මාර්ග ගත කරලාලු 
අධ්‍යාපනයත් දැනට

හුණු කූර කලු ලෑල්ලත්
අකැපයිලු නූතන ලොවට
නුහුරු හුරු තාක්ෂණ මතින්
දකිමි අද සිසු සිසුවියන් 

ගෙදරට වෙලා හිර වෙච්ච 
ලපටි මුහුණු පෙළ දකින
වරම් නැත එන්නට උන්ට 
තිරයක් මත පමණිය දැකුමට

මාර්ග ගතව අන්තර්ජාලයේ 
යෙදවුමින් දකිමින් මුහුණු
දරු දැරියන් එදවස පන්තියේ 
අද සිටියි ජංගම දුරකථනයේ

අතරින් පතර දකිමි අඩුවක් 
නැත ඇතැම් දරු දැරියන්ද
නැතිලු උන් හ‍ට එදා වේලවත් 
උරුම නැතිලු මාර්ග ගත උන්ට

පාඩම් කවි ගීත සාහිත සියල්
හඬ ගා කියමි සිප් සතරින් සියල්
එනමුදු නැත එදා මෙන් සියල්
දරුවනි පන්තියේ සිටි සියල්

දඟකාර කටකාර පුතුන් කැළ
හැඩකාර සුකුමාර දියණියන් පෙළ
පෙර දින පන්තියේ කළ කී දෑ
මතකයට නැගේ තනිව සිටිනා විටක

වසංගත මාරයා වෙන් කරද අප
සිප් සතරට පමා නොවෙමු අප
උගනිමු දිරියෙන් සිරව තිරයකට
දිනන්නට දුවේ පුතේ හෙට ලොව

---රකිත---




Tuesday, August 3, 2021

~~ නිමක් ! ~~



දිනක රැඳි මතකයක 
තතු රැගෙන තනිකඩව
කාලයද ගෙවී ඇති කල
විඳිමි ඒ මතක සුවබර

විටෙක වේදනා විටෙක සතුටක්
ගෙන දෙනා ඒ සොඳුරු මොහොතක්
මතකයක් පමණක් වූ විලස
අපූරුව ලොව වෙනස් වූ

නොනවතින ලොවක ඇති
ගලා යන ජීවිතය මැද
නිමක් නැති අභියෝග මැද
අවැසි නැත පෙර කල කෙරුම්

ලැබුනු කල වරම් සිතූ ඵල නැති
අහිමි වූ සඳ දැනේ කළ කම්
වරම් නැති කල නොමැත
ලැබෙන්නට දෙවන වරමක්

හුදකලාවක පහසක් විඳින්නට
ඇබ්බැහිය තනිකමට හැරෙමින්
සිටින්නට සුවයක් ලබා ගනිමින්
සිතත් ගතත් හැරෙනා කල් ඇති

කළ යුතු දෑ ඉතිරිව ඇත බොහෝ
කාලයක් නැත සිතන්නට විසූකයන්
නොලැබූ වරමකට නොව මුසුප්පුව
සිතට දිරි ගනිමි මෙවර නම්

අපට අප හිමි නොවනා යථා බව 
වටහා ගැනුමමයි නුවණැති කමත්
රැකුමට අවැසි දෑ කිරීමමයි සුදුසු
අනාගත ලොව වෙත යන්න

ගෙවී ගිය අතීතය තතු කුමට
නොලැබූ අනාගතයක් කුමට
දිවි ගෙවීමි වර්තමානය තුටින
ලොවට වැඩ ඇති ලෙසින් සිට 

නිමා නොවනා සසරක ඇති
නිමා නොවනා ලොවක ඇති
නිමා නොවනා වැඩක ඇති
නිමා නොවනා ගමනක ඇති

---රකිත---