Friday, July 28, 2017

~~ දැකුම ~~


තෙවැනි නෙතකින්
කළ සඳ ආලෝකය මාධ්‍යයක්
ද්වි මාන ත්‍රිමාන සිවුමාන
තලයක නොව

නමුදු සජීවී රුවක්
දුටිමි අංකිත මාධ්‍යයකින්
තැම්පත් වූ කළ
සිලිකන් පරිපථ තුඩක

අංකිත දත්ත පරිවර්තන
වන සඳ සජීවී රූ පෙළට
දුටු දසුන් රිදවමින් සිත
පෙන්වමින් යථා බව

සුදු නර කෙස ගැවසි හිස
පිටු පසින් පෑදෙනා හිස
ලවන වියැකෙන වුවන
මද හස නොමැති මුව

නුහුරු ස්පර්ශයෙන්
කිති කැවෙනා ගතට සරදම්
සිනා දැක්වූ උපහාසයකින්
නැත නම් කහටක් සිතේ

වස්සානයේ නිමාවක්
ගිම්හානයේ ඇරඹුමක්
අහිමි වූ සුන්දර ලොවක්
සිහි කළා නුඹලා දෙයක්

හිමි නොමැති ඔබ අයිති ලොව
තව දුරටත් තුමු මෙතැන් සිට
නික්ම යන්නට අවසරයි
හැරදා ඔබ සොඳුරු ලොව

ලබන්නට නිසි කලට
නිසි දෙයක නිසි ලෙසට
නොහැකි වූ කළ මෙමට
විඳිනු නොව ලොව විඳවුමට

කවුළු අද්දර වා රැළි අතර
නෙතු ගැටෙන නේක දසුන්
මුමුණයි සවනතට ලොව
යථාර්තය කුරිරු ලෙසිනා

අහිමි ලොව කාලයට අහිමිද
සිත් පහන් කරනේමිද නිරතුරු
සසර ගමනක තවත් එක් වන
නවාතැන් පළකි දිවි මග

---රකිත---



Sunday, July 23, 2017

~~ පෙමක මහිම ~~



මිරිඟුවක්ද මේ මාගේ අබියස
නැවතුනා වූ නුඹේ නෙත් යුග ලඟ
හිමි කමක් නොතිබුනත් ඔබේ වන්නට
සිහිකරමි අදටත් පෙමින් බැඳුන දින...

මිරිඟුවක් නොව සැබෑවකි
අද මා නුඹ අබියස
නැවතුනද ලඟ නෙත් යුවල
වසා මුව මඬල

නොත්රුනා නොවේ සිටියත්
රැක ගොළුවත
ආදරයට සරදමකි කොහොමත්
පමා වූ කාලය...

--- // ---



Saturday, July 22, 2017

~~ එක් පැතුමක් ~~



රහසේ සඟවා නෙතඟ රැඳි
කඳුළු බිඳු
ලොවට පෙන්වා සිනා කැන්
මුව රැඳු
හද තුළ පෑරෙනා දහසකුත්
පැතුම් කඳු
අමුණන්ට හැකිද සිඳී බිඳී
ගිය පසු

ඈත පියඹා මෑත නොබලා
සියලු බැමි ලිහාලා
ඉගිල යන්නට පියාපත් යුග
කසාවතින් මග බලා ඉඳි
සසර මංපෙත් විවර වන තුරා...

~~ පුබුධිකා ~~



Thursday, July 20, 2017

~~ සොඳුරු සන්නාලියක ~~











නෙතු මතට ගැටෙන රුව
පිනා යන සිත් සතන්
සන්නාලියේ පවසනු මැනවි
කවුරුන්ද නුඹ කියා අද


මිලින වන හිරු කිරණ මැද
සොඳුරු සැන්දෑ යාමයක
දහසකටත් පිරි තුරුණු මල්
අතර දිටිමි නුඹ රුවද මුදු


අටකටත් පැය ගණන් වැඩියෙන්
ගැටෙන සඳ මැසුම් යන්ත්‍රය මත
වෙහෙස අතරින් පෑ මද හසින්
රැඳුනි හද අද නුඹ වෙතම තුමු


මදිවා නොවේ දනිමි දිනකට
ඇනුම් බැනුම් රැවුම් ගෙරවුම්
ඉලක්කය දිනකටත් මදිවන
යාන්ත්‍රික මුදු මිනිස් දියණිය


ගමද පවුලද දෙමාපිය සහෝදර
ඇයම වන්නට ඇතිය රැකුමට
ගතමනාවෙන් සුළු ලෙසින් ඇති
සිනාසෙන්නිය ඈ සියල් දුක් මැද


සිහිනයන් ඇත නුඹටද අපට මෙන්
දෑඟිලි තුඩින් ස්පර්ශක තිරය මත
දිවෙන සඳ නෙතු දිළිසෙනා හැඩ
නුඹයි සොඳුරිය නිති වාසනා පිරි


මුවින් නොබිණි නෙතින් තෙපලද
සිත පවසයි වත ගොතද ඇසුමට
නිහඬ විමි මුත් සිතද චංචල විය
හමුවෙමුද අප නැවත දිනකට


සිහින ලොව නොව සැබෑ ලොව මත
දිවි ගෙවන ඔබ සැබෑ යුවතියක
වරම අහිමි මුත් නුඹ වෙතට ඒමට
බොහෝ මල් ඇත තවත් ඒ මත


කළල් දිය වන කුරිරු ලොව තුළ
නුඹද නෙළුමකි දියෙන් මතු වන
වාසනාවකි නුඹ රටට ලොවටද
දුක දිනන නිති මද හසින් නිරතුරු


පතමි දිනයක සිහින ඉටුවන
වසන්තයකට පිය මනින්නට
කරමි ඇරයුම් සන්නලියකට
ගෙත්තමට නව ලොවක් මා හට


---රකිත---




Tuesday, July 18, 2017

~~ හිස් අඳුර ~~


තාරුකා වියන වසාලන
අඳුරු කළු වළා පෙළ
මුවා කර සොමි කිරණ මුදු
ඝනඳුරු රාත්‍රිය මැද

චිත්ත ධාරා ප්‍රභව වන
නොව හිසින් නමුදු හදින්
අඳුරු විනිවිදව යන
රිදී රේඛා සේ මැවෙන්නා

විදුලි පහන් එලි මැද
කැඩපතින් දුටු යථා බව
වියැකෙනා වසන්තයක
ජනිත සොඳුරු සිතුම් 

පෑදෙනා හිස පෙනුම පරිණත
වුවන ලවනත නොමැති කල
පමා වූ වරදකට පෙර නොදැන
විඳින දිවියක නොකළ වරදට

මුවා වන්නට නොව සතුරු
මුත් අහිමි ලොව නෙතු ගැටෙන
සැඟව යන්නට නොව සිතින්
එක් වනු නොහැකි සඳ ලොවට

හිමි නොවන වසන්තයකට
ඉකි බිඳින හද තද කරන්
තැත් කරමි ජය ගැනුමට
ලොවක් හිමි නොවූ නිසි කල

ඝනඳුරු රැයේ පිය මනිමි
සැඟවෙන්න ලොවකට හොරෙන්
පහන් ආලෝකය නෙතින්
දකිනු වස් කෙදිනක හෝ නිතින්

දිවි ගමන අවසාන සසර නිමවන දිනක්
පතමි නිති සිටිනා කුරිරු ලොව
සමුගන්න සිත් ලෙසින්
ජය නොමැති අඳුරු දිවි මගින්

---රකිත---


Thursday, July 13, 2017

~~ නිමැවූ චිත්ත ධාරා ~~










අවුල් වියවුල් වූ
සිතක් නම්
සොයන සැනසුමක්
ලැබගන්න


පෙරුම් පුරන්නා
කලක නුඹ
සිහිනයෙන් හෝ
පැමිණේද


නිවන්නට දුක්
මැකුමට කාන්සිය
ඉවසා වදාරන්නට
වැකුනු සවනත


නින්දා අපහස උපහාස
මුදු බසින් බිණුමට
ඉමිහිරි වදනින්
අමතක කෙරුමට


මදක් රුදු
කුරිරු ලෝකය සිතින්
හිසටත් මතින්
ගොඩ ගැසුනු


රැකියා ගැටලුද
පමණ නොව
රිදවනා සිත් හද
උසස් අධ්‍යාපනයද


පමාවූ සඳ
අවසරයි සුදූ
තුරුලට වන්නට නුඹේ
විඳුමට උණුසුම


දින්නට මුළු ලොවක්
පෙනෙන සුභ
මංගල සිහිනයන්
වන්නට සැබෑ ලොව


---රකිත---


Monday, July 10, 2017

~~ පෙම් බැඳි සිතක් ! ~~



කතරක තනි වූ තුමු - මගක් නොදන්නා
සිට කල ඇසෙනා සඳ - නුඹ ගී රාවය

සප්ත ස්වර වැයෙනා -කන්කලු නදින් ඔබ
පිනා යන සඳ සවනත - දැකුමට ලොල් විය

නුඹ රුව මෙලෙසට - සොඳුරු සිතැත්තිය
මද නල අතරින් ඇදී - වළා පෙළ විනිවිදව

ඇසෙන හඬ අවකාශ - නොපෙනෙනා රුවින්
පවසනු මැනවි නුඹ -කවුරුන්ද සිත් කොඳුරනා

ගිම්හානයක අබිමුව - නිමාවන වසන්තය අතර
සිහිනයක් දකින්නෙමි - වස්සානයේ මිහිර පිරි

සියොත් කැල නාද දෙන - තුරු ලතා මල් පිපෙනා
ලා හිරු රැසින් සිසිල් සුව දෙනා - ඒ සොඳුරු ලොව

මල් වැසි ඇද හැලෙනා - සොඳුරු හැඟුමන් පිරි සිත
පවසනා රහසින් මුදු - සැලී කිති කවෙනා හදින්

අතිනත් ගෙන පා නැගුමට - නව ලොවක් දැකුමට
සිත් කොනක සඟවා ඇති - මංගල සිහිනයක රුව

සිටිමි ඉවසා සිත් පහන් - දකිනා තුරා නුඹ රුව
මවන්නට නොව සිහින - තැනුමට සැබෑ ලොවක්

කතරින් එතෙරට තුමු - කෙම් බිම දකිනා කල
මිරිඟුව නොව ඔබ විය - නිති සිසිලස් දිය දහරක්

---රකිත---



Thursday, July 6, 2017

~~ දිවියක අරුම~~



පෙරද මදකට හිරු කුමරු
වඩිනට නුබ ගැබට
සවනත වැකේ විදුලි හඬ
ජංගම දුරකථන

සීනු සර උදෑසන දකින
පෙර දිනක නිදි නොවූ
නෙතු පියන් විවර
කරනු කෙලෙසක කියා

අඩක් නිදි ඇති ඉතිරි
ගත අඩ ඇදේ
නව දිනක උදාවට
සැරසෙනු වස් කදිමට

සිරව ගිය කල සෙක්කුවක බැඳි
ගවයෙකු නොව මහිෂයෙකු සේ
මහ මගටද කන්තෝරුවට නිති
සති අන්තයද සරසවියටද යන

ගෙවෙන දිවියක අතරමං වූ
සොයන්නෙමි වස්සනයද
හැර ගියද අමතකව වී ඇති
කිමද කරුණු හමු නොවෙනා 

සරදමින් අපහාසයෙන්
විටෙක අත්හැර යනෙන
විලසින් නේක හැසුරුම්
පිරි වෘත්තීය දිවියක්

දරමි නිති සියල් බාධක
තුටු ලෙසින් නිති
අහිමි බව දැනුමින්ම
තොප කුලකයට නම්

යුගල වන්නට පතන මුත්
නොලැබෙනා කලට එය
සැපත සොයනෙමි නිතින්
තනිකඩව සිට තුටින්

සැනසුමක් සොයනා සිතට
නොව පමණ හදවතද
විභාග පැවරුම් ව්‍යපෘති මැද
සිහින දකිනා නිදහසේ

ගමන තව දුරක් මුදු
නිමා වන සොඳුරු තුරුණු
පටලවා අග මුල නොවන වැල්
සිටිමි නිරතුරු පාළු ලොව

---රකිත---



Tuesday, July 4, 2017

~~ සිතක් ? ~~



නිසල නොවනා
සසල වන සිත
සුන් වූ පැතුමකට
ඉකිබිඳින යාමයක

නිවා ගැනුමට
වියෝ ගින්දර
අවැසි නැත හිස
බරව සිටි කල

නේක වැඩ රාජකාරි
මැද වන්නට නිරත
අධ්‍යාපනයද
පමා වූ කර්මයට

නිසි දෑ නිසි කල
නොකළ සඳ
විඳිනා දුක් ගොන්න
නිරතුරුද

වන මලක විඳිනට
පුසුඹ තුරු ලතා මැද
සිහින දකිනා සිතත්
බැඳ වැරෙන් නිති

අහිමි ලොව හිමි
කරනු වස් නිති
සිටිමි නිරතුරු
වෙහෙස දරමින්

සොඳුරු සන්ධ්‍යාවක
සිහිල් සෙවනක රැඳී
වෙරළක උද්‍යානයක
තුටින් කුමරියක හා

නාදළු යුවලකින් මදහසින්
විඳින්නට පෙම් සුවයක්
සිත දකින සිහිනයන්
දැවී මිරිකී රාජකාරියද හා

ගලා නොඑනා සඳ
සුපහන් සිතිවිලිද
ගෙත්තමට මුදු
කවි පද වැල් නිති

දිනක හමුවෙමුද අප
සොඳුරු නවාතැන් පළක
විඩාබර ගත සිතට
සිසිල් සැනසුම දෙන්න

---රකිත---



Saturday, July 1, 2017

~~ මධ්‍යයේ සිට ~~










කැඩපතින් මෙන්
පරාවර්තිත
ආරක්‍ෂිත කැමරා
නෙතක් දුටු
ප්‍රතිබිම්භය තුමු
ප්‍රක්ෂේපණය
වන සඳ පැතලි තිර
මත රූපයට


දුටිමි තුමු
මුහුණත් තලය
නොදුටුව යථා
ස්වභාවය සොඳින්
පෑදෙනා හිස
ගිලිහෙනා කෙස
නිමා වී යන
තුරුණු බව


වරක පැවසූ අයුරු
හිස කෙසද ගිලිහෙනා
වියැකී යනු ලාවන්‍ය
කාලයේ ශාපයට
හසුවූ සඳ මෙලෙස
අවසරයි සමුදෙන්න
වසන්ත සෘතුවට
තද කරන් සිත හදද


පරිණතව යන කලක
පෑදෙනා බුද්ධියට
ඉඩ දෙමින් අහිමි වූ
වසන්තය ලැබ ගන්න
පමා නම් වැඩිය අද
සුව වින්දුමට වස්සානයේ
ගිම්හානයද පැමිණ ඇත
දිවි මග දොර කඩට

සරසවියේ වසන්තය

නිමා වේ මතු කලක
යන්නටද ඇත තවම
කාලයක් එහි තුළට
තුරුණු නොව පරිණත
ලෙසින් සිටිනා සඳක
කෙසේ නම් දිනන්නද
තුරුණු හදක් මෙලෙස

කේශය ගිලිහෙන

ශ්වේතය මතුවන
ලවනත වියැකෙන
පරිණත බව එන
සිහිනය දුර ඇති
යන්නට සිත් ඇති
ගිලිහෙනු වස් නොව
අදිටන ලැබුමට


ගත වියපත් වන මුදු
හද සිත තුරුණුව
පමා වුවද වෙර දරනෙමි
ජය ලැබුමට ලොව
අවමන් සරදම් ගැරහුම්
ඉවසමි තුටු ලෙස
ඉටුකරලමි දෙමාපිය
සොයුරු පැතුම් පෙළ


---රකිත---