Thursday, November 26, 2020

~~ අප ? ~~


 









රස මතක රැස රැගෙන 
ගලා යන ජීවිතය
නිමක් නැති සසර මග 
නැවතුමක් වූ කලක

පෙර භවත් මේ ලෙසින් 
හමුවෙලා ඇති අපත්
ජීවන ගීය ගැයුවාද 
එදත් මේ ලෙසින් අප

ළමා කල තුරුණු කල 
අපටත් හොරා ගෙවී ඇත
සොඳුරු ලොව ඇති මහිම 
සොයා යන කල තවද

හිමි අහිමි හැමදේට හිනැහී 
හඬා වැටුනු සැටි අපද
සැනසුමක් සොයමු අද 
යට ගිය මතක ඇද දමා 

වෙහෙසකර ගමනකට 
විඩාබර ගත මනස
නිවාලන ඔසු ඇතිද 
සනහාලන මුළු දිවිය 

ගෙවා ආ මගක තතු 
බලා ආපසු හැරී සිට
හඬා හිනැහෙමු අපිද 
ඒ මතක ලං කරන්

පිරිස් බල උගත් කම 
ධන බලය තෙදවත්ව
දමා පෑ විකුම් අද කුමට 
අප ලොවට නැති කල

රූ සපුව කඩවසම් 
සිත් ගත්ත දනන් සැම
නොවේ අද උන් කොතන 
මතකයක් නම් නැතිව

උගත් කම් නැණවන්ත කම් 
එදා පෙළහර පෑව
තිබුනාට කම් නොවෙද 
අදත් ඒ වැඩක් ඇති

දරු දැරියන් කරන 
හපන්කම් එදා සිට
උන් ලැබූ සිප් සතර 
අරන් ඉගිලී ගොසින්

හිරු බසින යාමයක 
ලොවට අප ගොඩ නැගූ
අඳුර ඇද වැටෙන සඳ
අප ජීව ආයුෂ මතට

යථා බව තථා ලෙස 
අත් දකින කාලයක
සසර මග එකට යමු 
පැතුම් ගෙන හමුවෙන්න

---රකිත---




Saturday, November 21, 2020

~~ කල් පෙම ~~




සිතක රැඳි මතකයන් 
අද්දරක තනි වෙන්න
ප්‍රේමයක ඇරඹුමක් 
සනිටුහන් උදෑසන

හඬක් හෝ වදනක් 
නොනැගි හැඟුමකින්
සුරත් පැටලුනු කලක 
වූ සොඳුරු නිමේෂය

හද පෙළන තනිකමක 
දොම්නසක බර මහිම
ඒ සියල් කම්කටොළු 
දුරු කෙරූ ඔබ සිතින්

දෙහදක ඇරඹි පෙමක තතු 
බෙදා සන්සුන් ලෙසින්
දෛවයක ගොඩනැගුම 
කළ හැඩය ඔබ හා එක්ව

බැඳුනු හදවතක සුව 
සහන් එළියක් සේ දිලෙන
කිලිපොලා යන ගතක 
රැළි නැගෙන කම් සැපය

පොරොන්දුව වීමි නුඹ
රකින්නට නිරතුරුව
අයදිමින් බල මහිම 
ගොඩනැගූ ලෝකයට

නිමා නොවනා ආලයක 
ඇරඹුමක් කර සනිටුහන්
බලා සිටියෙමි නුඹේ රුව 
අනිමිස ලෝචනයෙන් සිට

මුවා කළ කාලයට 
වැටහෙනා අනියතක තතු ඇතිද
නොවෙනස්ය උණුසුමත් 
එදා මෙන් ලැබී ගිය

පෙර කුසල් මහිමයට ලැබූ 
මිනිසත් භවයක් මැදින්
නුඹ නමට ජීවිතය 
කැප කරන බව සිතන

හිරු නැගෙන යාමයේ 
සඳ නැගෙන රාත්‍රියේ
වෙනස් වන කාලයට 
නොවෙනස්ව එක සිතින්

ගීතයක් ලෙසින් ජීවන නදිය 
ගලා යන රටාවක
ඔබේ දෙනෙතින් දකිමි 
නව ලෝකයක සිතුම්

මෙතෙක් මා නොදුටු 
මා දුටිමි නුඹ නෙතු අගින්
පැහැබර අනාගත ලොවක් 
දකිමි නුඹ ආලෝකයෙන්

වචනයෙන් කිව නොහැකි 
ඒ හැඟුම් බර මොහොත
පියඹා එන්නට සිතේ 
නුඹ වෙතට තව මොහොතකට

රැයක නුඹ රුව සිත්තම් කරමි 
සිහිනයේ අහස යට
සෝ සුසුම් කඳුළු බිඳු 
අවැසි නැත තවත් අප ලොවට

---රකිත---




Sunday, November 15, 2020

~~ වසංගත කලක තතු ~~











ලතාවකට ඇවිදින 

හැඩ මනහරය
ඇඟලුම ගත වැටි 
පැහැයත් කදිම

පා පොඩි වැසුනු 
උස අඩි පාවහන් යුග
මුහුණත බලන්නට 
අවසරයක් ඇතිද

කේශ කලාපය ඇති
දිගු කලු පැහැබරය
නාස් මුව වසා 
ආවරණය ඇතිව

දිදුලන නෙතින් 
කරනා ඇති කතාවක
දුටිමි නුඹේ රුවත් 
අද මහ මග අද්දරක

මුවගින් තෙපලනු බැරි 
ආවරණිත වූ කලක
නෙතකින්  කියන දෑ 
තේරුම් නොයනා කලක

පැමිණිය නොහැකි සඳ 
මීටරයකට දුර වැටෙන
උණුසුම් පහස සිහිනය 
වන කල ඇති සොඳින

විඳින්නට මුදු සුවය 
නුඹේ ලඟ දැවටිලා 
සිහිනයක් පමණක් වේද 
කතාවට ඉඩ නැති නිසා

වරම් නැත අසලට එන්න 
වසංගත සාපය වැදී
මීටරය දෙගුණ වෙයි 
ආවරණ වැඩි වෙන නිසා

එදා විඳි සුව සිහින 
මෙදා උරුමය නොවන
තනිකමක පුරුදු කම 
දැනේ වටිනාකමට

කොරෝනා උඹ ඇවිත් 
කරා වැඩි දුක සිතේ
සිරව නිවහන තුළට 
පර වෙලා පෙම් සිහින

---රකිත---




Thursday, November 5, 2020

~~ ජීවිතයක් ! ~~

 



 










හිමි නොවන ලොව පැතූ

අහිමි කම හිමි කෙරුනු

සිව් දෙසට සිසාරා

හද මඬල කළඹලා

 

සුදුසු කල නොකළ දෑ

රඟ දැනේ කල් ගත වෙලා

හඹා යනු ජය කණුව

පමා වැඩි බව සිතන

 

තුරුණු කම ගිලිහෙනා

වසන්තය නිම වෙලා

සිතක් හදවත දරා

අකුණු එළි විහිදෙනා

 

දහස් වර සිත මැවේ

සොඳුරු පෙම් පැතුම් මල්

අහිමි ඒ සෙනෙහසට

නොසලන්න කඳුළු කැට

 

ගමන් මග දුර ඇති

ගෙවා ආ කාලයට

අහිමි දෑ විඳගන්න

පිනක් නැති කල කුමට

 

සිප් සතර ලබන්නට

තවත් ඇත අදියරට

නොපසුබට අදිටනින්

යා යුතුව ඇත එයට

 

ඉලක්කම පමණක්ම

නොවන කළ වයසට යෑම

සිතුම් ඇති විය යුතුය

ජයක් නම් ලබන්නට

 

දිවි මගේ පරාජය විඳ

ඇද වැටී එමට ඇත

තැවී විඳවා සිටින්නට

වරමක් නම් නොමැත

 

කාලයා පැන යමින්

බැට දෙනා යුගය ඇති

විඳ දරා සියල් දුක

ජය ලබන්නට ලොවේ

 

සසර පිං මදිවාට

නොවේ වරදක් කිසිවෙකුට

කල පවට පෙර භවක

ගෙවමි කර්මය නිසි ලෙසින්

 

---රකිත---