Thursday, July 28, 2016

~~ පුංචි සරසවි නැගණියට ~~

                                
පළමු ජය ලැබු දිනක
අහඹු ලෙස දුටිමි ඔබ
පැමිණ හඬ අවදි කළ
පුංචි නැගණිය නුඹය

සොඳුරු සරසවි බිමේ
නුඹ දුටිමි මද හස පෑව
පවසන්නට වදනක්ම
බලා සිටිනෙමි තුටින්

කරමින් කෙළි කවටකම්
පාමින් මුදු සුපහන් සිනා
සොඳුරු මිතුරියක් විය
කටකාර හැඩකාර පිරි

ඇසූ තතු විත්ති මතින්
හදාරන එකම විෂයය
ඉහළ පහළ වසරවල
එකම පීඨයේ සිටම

සොඳුරු මුදු වදනටම
දඟකාර නම් විලසටම
පරිණත තුරුණු සිතම
ඇදේ ඔබ වෙතටමද

නමුදු දැනගතිමි පසුව
බාල බව දස වසරකින්
පුදන්නට සිතුනු හදවත
සඟවමි නුඹෙන් අද දින

නිසි කල නිසි මග යන්නට
නිසි කල නිසි දෑ කෙරුමට
ප්‍රමාදය නම් විය මෙමා හට
වසරකින් නොව දශකයට

දුරින් සිට බලන්නෙමි සොඳින්
නුඹේ දඟකාරකම් කවටකම්
වරම් නැත එක්ව දිවි ගෙවුමට
පුංචි කෙල්ලේ නුඹ ලඟට වී

නැගුමට දිවි ගමන් හිනි පෙළ
පතමි සුභ පැතුමන් හදින් අද
පුංචි යෙහෙළිය සොහොයුරිය
ලෙසක සිතිනෙමි මින් මතුව

පතන්නෙමි මතු භවයක ඉපද
සිත් ගත් කුමරිය සේ දකින්නට
බැඳෙන්නට සොඳුරු ආදරෙන්
නුඹ මගේ වන්නට නැගණියේ

---රකිත---


Wednesday, July 27, 2016

~~ වර්ෂා ~~


මුවා කර චණ්ඩ හිරු රැස
කාල වර්ණ වළාකුළු රැස
හමා එන මද නල සිසිලස
ඇද වැටෙන පොද වැස්ස

අඳුරු මුදු වැසි බීරුමෙන්
විහිදෙනා රිදී එලියකින්
මවන මනරම් දසුනකින්
තුමු පිනවමින් සිත තුටින්

හිස මුව සිපින වැසි බින්දු
හෙණ හඬ සවන ගී සින්දු
මද නල සිසිල සුව දුන්නු
වස්සානය තුමු සිරි දුන්නු

රටා මවන ගලනා දිය දහර
සිසිල බෙදන මද නල දහර
විදුලි එලිය විහිදන රැස් දහර
ගත සිත සුවය සිසිලස් දහර

එකම කුඩය යට ගමනට
එක්ව ගමන යන තුරුලට
ප්‍රේමවන්ත තුරුණු හදට
වස්සානය සොඳුරු බවට

මුවා වෙමින් එක් පසෙකට
දෑත බැඳන් අතැඟිලි ගැනුමට
සිසිල් උණුසුමක් විඳින්නට
වසන්තය පැමිණ ඇත ඔවුනට

පහස විඳුමට සැබෑ නිදි සුවයක
පහස විඳුමට සැබෑ දිවි සුවයක
පහස විඳුමට සැබෑ මුදු ප්‍රේමයක
පහස විඳුමට සැබෑ වස්සනයක

වියළි පොළව සරු කෙරුමට
වියළි දිවියෙ නව පිබිදුමකට
වියළි සිතක සැනසුම ලබනට
වසිනු මැනවි ලොව තුටු වන්නට

---රකිත---



Monday, July 25, 2016

~~ අපේක්ෂා ~~











නෙතු පියා සිටින සඳ
නොපෙනේය කිසිවක් අවට
හදේ ගැස්මෙන් විවර
කරනෙමි නෙතු සඟල
අවබෝධයට සොඳින්
කිසිවක් නොමැති බව
අනාගතය හැරෙන්නට

අහෝ තාරකාවිය දිනක
නුඹ සමුගෙන යනු ඇත
දෙනු මැන ඔබ ආලෝකය
දැකුමට ඉදිරි ගමන් මග

ඉදිරියට යන්නෙමි මා
කුමන බාධක මැද වුව
ඉදිරියට යන්නෙමි මා
සමුගෙන තාරකාවියේ

ඉහළට ගෙන පපු තුළ රැඳි
සෑම වායු බිඳකම සවියෙන්
රුදු නියඟ වැසි කුණාටු සුළං
බාධක කම්කටොළු මැද
දරා ගත නොහැකි වුව හදට
ගමන් කරනෙමි සිහිනය වෙතට

නිමක් නොවනා අවකාශයේ
විසිරි සිටින්නා වූ තාරකාවියේ
දිලෙනු මැන විහිදුවා කාන්තිය
දිනක සුපහන් එලි නිවෙනා තුරු

ඉදිරියට යන්නෙමි මා
සැබෑ කෙරුමට හද පැතුම
ඉදිරියට යන්නෙමි මා
සමුගෙන තාරකාවියේ

අහෝ කිසිවෙකු යම් දිනක
ගමන් කරනු ඇත මේ මග
ඉදිරියටම යනු මැන සොයුර
රුදු බාධක ජයගෙන නිතොර
ගතට සවි ගෙන සිතට දිරි ගෙන
දිවි ගමන් මග තරු එලිය පිරි


---රකිත---


Wednesday, July 20, 2016

~~ අද්දර ~~










සූර්ය දිවි රදුන්
නික්ම යන
සන්ධ්‍යාවක සොඳුරු
ගෙන අසුන්
කනු පාෂාණ මත
තැනූ දැව
බංකුවක් මත
නොපියා නෙතු
නරඹන සඳ
දසුන් සාගර තලය
හමන මද පවන
ගෙන දෙන
ලුණු මුසු රසක්
දෙතොල් මත
රැඳෙන කල
විඳිමින් මතකය
හාදුවක
සිතින් මවනෙමි
පෙර දිනක
සුළඟට සැලෙන
කෙහෙ රැලි
පිරිමදිමින් අතැඟිලි
පහස ලබනා
නාසය දෙකොපුල
සවන වෙත
සිහින් හඬින්
මුමුණන
මුදු පෙම් වදන්
මිහිරෙන්
නරඹමි අවරගිර
අහස් කුස
පෙර මතක අද්දර
විඳිමින්
සොබාදම් අසිරිය
මුව සිපින
සැන්දෑ හිරු
රැසින්
සාගර නලේ
සිසිලෙන්


---රකිත---



Monday, July 18, 2016

~~ වෙනසක් ? ~~









පෙර මෙන් බසක්
නොදොඩන
සිනා නොවෙනා
කරුණු කිම
පෙර ලෙසට
වරදක්වත් සිදුවුනද
මා වෙතින්
හැඟෙයි නොගෙනා
සිටින විටකදි
ගණන්

නොමැත සිනා මුසු
වදන් පෙර මෙන්
දෙඩුවත් වදන්
පමණි රජකාරියටම
පමණකිය
ඇතිය මිතු දම්
අන්‍යයන් හා
සබැඳිව වර්ධනය
නොදැනේ කිමද
වෙනස අරුමය

සිතේවිද නොගැලපෙන
බවක් මා
ඔබ සමාජයට
කණ්ඩායමට
තව දුරටත්
මදිවා වගේද මා සතු
පෙනුමද පෞර්ෂය
උගත්කමද
වත් පොහොසත් කම්
සමාජ තත්වය

තැත් කරනවා නොවේ
කරගැනුමටද අත්පත්
ගැලපෙන ලෙස
උගත්කම තත්වයද
සැකසුමට තැත් කරමි
නොතිබෙන බව
දනිමි සොඳින්
පෙනුමද පෞර්ෂයද
නොමැති බව
තරමට දකින්නට

වැළකිය නොහැක
ගෙවෙනා කාලය
වයසද මිතුරු මිතුරියනී
වරදක් වෙතොත්
කිව මැනවි ඍජුවම
නිවැරදි කරගැනුමට
නොපමාව අද
අකමැත්තෙමි දැකුමට
අහිමිවන මිතුදම්
පතමි මිතුදම සෑම විට


---රකිත---


Friday, July 15, 2016

~~ සිහින රෝමාන්තික ශෘංගාරය ~~



නිදිබර නෙතු අද්දර වෙත
පාට පාට එලි අරගෙන
විමානයෙන් බැස එන්නා
මගේ සිහින කුමරියේ

නීල දෑස දෙතොල් රතින්
රෝස කොපුල් දිගු දෑඟිලි
රණ තිසරුන් පුලුළුකුලෙන්
ඇත් දළ පැහැ දෑත් දෙපා

නීල වරල ගවසා සුවඳ මලකින්
වත්සුණු තැවරූ රූමත් වතකින්
දුහුල් සේද පට රැඳවුණු ගතකින්
යහන වෙතට සුමුදු පා තබමින්

මකාලන්න තනිකම රුදු ඇති
තනි යහනේ සොඳුරු ලෙසින්
රෝස පෙති මතින් නැගෙමින්
එනු මැන සුදූ මුදු පා තබමින්

දෝතට ගෙන ඒ දෙකොපුල්
සනහා ලමි මා දෙතොලින්
ගිලිහෙන්නට ඈ ධවල සළුව
වැළඳ ගනිමි තුටු ලෙසින්ම

රළ පිට රළ නැග එන්නා
කෞතුක ආශා පොපියනා
සිත් සේ ඉටු කර යන්නා
නිසැකව ඇරයුම් කරනා

සුසුම් සිහින් හඬ ඇසෙනා
සුව පහසක මත දැනෙනා
උපරිම සතුටක් ලැබෙනා
සිහින ලොවක පාවෙන්නා

ශෘංගාරයෙ සිහින මැදින්
නිල් එලියක් විහිදුවමින්
ඇසෙයි පුරුදු සීනු නදින්
නව දිනයක් උදා කරන්

ඇසිපිය හෙළනා මොහොතට
සිහින බිඳෙන කම් සැපතට
බිඳී සුන්ව යන මායා ලොවට
උදේ අලුත් ඉරක් පායන්නට

---රකිත---




Wednesday, July 13, 2016

~~ සත්‍ය ~~










නොදැනෙනවා නොවේ
කලණ මිතුරේ
නිසි කල්
ගෙවෙන බව
මතුවන තැන තැන
හිස අද්දර
ශ්වේත වර්ණ කෙස
පරිණත පෙනුම
වියැකෙන
හැඩහුරු කඩවසම්
කුමක් නම්
කරම්ද මම
වන සඳ සෑම කල
ප්‍රතික්ෂේපය
අවක්ෂේපයක් ලෙස

පිළිගනිමි නිරතුරු
නොකළ දෑ
නිසි කල නිසි වයසේ
වරද කොතැනද
නොදනිමි කවුරුන්දැයි
කියන්නට නම්
ප්‍රමාද නම් විය
පමණටත් වැඩියෙන්
ගැටෙන්නට
මහා සමාජය අද්දරට
දුටිමි ජය කණු
පසුකර යන්නන්
නව පරපුරේ අද
කුමන අරුමද
වරදින්න මෙලෙසට

සිහිනයන් සැම
සිහිනයන්ම වෙන්නා
විලසට අහෝ
කෙසේ නම් ගමනේ
යම්ද ඉලක්ක
අරමුණු පරමාර්ථ
සඵල කෙරුමට
දැනේ සැම විට
වැඩි ලෙස
ප්‍රමාදය වූ බව
බලා සිටිනෙමි මෙදා
තොරව හැඟීමෙන්
එකත්පස්ව සිට
සිනහ මුසු වතින්
පිරිසිදු හදින්

නොකරමි කුහක කම
ඉරිසියාවද කෝපද
ගමනක් යමි
හැකි පමණට ජය
කණු පසුකරමින්
මදිව ඇතිද පින
ලබන්නට පෙමක් වුව
නිසි කලක
සිටිනට හැකිය නිරතුරු
තනිකමින් සොඳුරු
බලා සැම විට
අන් සියල්ලන්ගේ
සාර්ථක දිවි මග
තුටු වන්නෙමි සැමදා
මුළු හදින්


---රකිත---