Saturday, March 27, 2021

~~ හුරුවෙලා දැන් ~~


හිස මුදුන් මත පායනා 
පුන් සඳක හැඩ ඇතිව
ඉදිරී ඇද වැටෙන කෙස් 
ගසින් සුදු පැහැය එන

පෙර පෙනුම අද නොමැති 
ලවනතත් ගෙවී ඇති
වසන්තය අගට සපැමිණි 
ගිම්හානයේ සුවයක පහස

පමාවී ඉගෙනුමත් 
සිප් සතර ලැබ ගන්න
වයස් ගත වූ කලක 
සරදමක් ලෙස පෙනෙන

විකල්පය නොමැති කල 
එකම මාර්ගය ඇතිව
හුරුවෙලා දැන් එතන 
කල් ගතව ඉගෙනුමට 

තුරුණු විය ගෙවී ගිය 
අහිමි වූ මල් සමය
ප්‍රේමයේ නාමයට 
ප්‍රතික්ෂේපිත ලොවට

බොහෝ කල් තනිකඩව 
වසයේ මහිමයට
හුරුවෙලා දැන් එතන 
තනිකඩව සිටින්නට

බුර බුරා නැගෙන ආශාව 
කම් සැපය ලොව විඳින
නොදැනෙනවා නොවේ 
නොවිඳි රසයක කුහුල

නිතිපතා දිනපතා ඇති වෙන 
වැඩ ගොන්න අතර මැද තනිව
හුරු වෙලා දැන් සිටින්නට 
හැඟුමන් සියල් දරාගෙන

කළත් කොතරම් හොඳක් 
අසා නැත නම් හොඳක්
දොසක් නැති වුවත් එහි 
ඵලක් නොලැබෙන නියා

නිවැරදිව කළ කම් ඇතිව 
නිසි දෑ නිසි ලෙසින් නිති
හුරුවෙලා දැන් දරන්නට 
කම්කටොළු දුක් සිතට 

ලොවක් නගනා දොසක් 
නොදැන තතු සැබෑවට
පෙර කලක පහරකට 
පහර දුන් පිළිතුරු මතින්

සිතක් නම් දැන් නොමැති 
කියන උන් කුමක් වුව
හුරුවෙලා දැන් සිතට 
කිසින් නොතකා ඉන්න

අවැසි නැත අන් දනන් 
පවසනා දෑ නුඹට
ගමන යා යුතුව ඇත 
තනිව ලොව දිනන්නට

කල් ගතව ඇති බැවින් 
යා යුතුව ඇත මටත්
හුරුවෙලා දැන් ගෙවන්නට 
ජීවිතය තනිකඩව

---රකිත---




Wednesday, March 17, 2021

~~ දිනක ඉන්-ඉක්බිති ~~









පෙර දිනක හමුවන්න 
ඇඟිලි ගැනි දින ගණන්
නොයිවසිලිවන්ත ලෙස 
බලා සිටි කල් මරණ

කිමද අද කෝපයෙන් 
මොරවමින් පිපිරෙමින්
පවසන්න හිමි සඳුනි 
වෙනසකට වූ හේතුවක්

පෙම් වදන් ආදර කියුම් 
පැවසූ මුවින් ඔබ
තෙපළමින් බිණුමන් 
නොසරුපෙන් කළ

මුදු වදන් පවසමින් 
ආලයෙන් වැළඳ ගත්
ඔය දෑත් කිමද අද 
පහර පිට පහරින් දෙමින් 

රස කතා කියවමින් 
අත් පා සලමින් එදා
පයද ඔසවමින් මට 
රිදවන්න කරුණ කිම

මහ කලක් නොවේමයි
වසර කිහිපයක්මද
කාලයා ගෙවී ගොස් 
මනස් වී ඇත සලිත

එදා සිටි නුඹත් අද 
වෙනස් වනු ඇයි මෙලෙස
අඩු පාඩු වූවාද හිමියනී 
ඔබටත් දිනක මා වෙතින් 

රිදවන්න පෙර මදක් 
මතකයට අරගන්න
පෙම් කළ ඒ කලත් 
අතිනත ගත්ත ඒ දිනත්

දහස් වදනින් ඇතිව 
ගලපලා සෙනෙහසක්
හිමියනී නුඹට ඇතිවාද 
එක සිතුවිල්ලක්වත්

අඩුපාඩු වෙන්න ඇති මටද 
ඉතින් නොවද අපි මිනිසුන්
වැරදි ඇති කරන්නට නිවැරදි 
එක්ව අප දෙදෙනා නිතර

තලා මරා පෙලා නුඹ 
දිනන්නට තනන්නේ
ජීවිතය විඳින්නට 
නොවේ විඳවන්නටද

---රකිත---




Thursday, March 4, 2021

~~ අසන් පුවතක් ~~












දුටු දිනම සිත බැඳුනි 
කඩවසම් රූපයට ඔබ
තෙද බලය නැණ බලය 
දුටිමි නුඹ වෙතින් ඇය

ප්‍රේමයට නම් කුමද 
වයස ධන බල මහිම
ආලයෙන් නෙත් අඳව 
වැටී තහනම් රසට ලොල්

කාලයා ගෙවී යන 
ඇවෑමට මුල පුරන ඇය
දිනෙන් දින දළු ලමින් 
වැඩී යන ප්‍රේමයට

රැළි පිටට රැළි නගින 
කම් සැපට වී ලොල්ව
නියම් අමතකව ගොස් 
වීය අනියම් ඔහුට

නීතියෙන් සන්තකව ගිය 
දූ පුතුන් බිරිඳත්ද සිහිවෙන
ඇද වැටේ සිහින් අලොවින් 
සැබෑ ලොව වෙතට ඔහු

පහදා කරුණු තතු ඇයට 
නොවන්නට විපතකට වුවද
වශීකෘත වූ කල කුමට ඔහු 
ආශාක්ත වූ ඇය කදිම

අනියමින් වූ ආලයද වීය 
බාධක කරදර සේම ඔහු වෙත
පලා යන්නට මගක් නැත 
ප්‍රේමයෙන් වියරු ඇය වෙත

නොවේ අන් විසඳුමක් 
මිදෙන්නට අනියමින් ඇති
මියෙන්නට හැර ලොවක් 
දොස් නගන කල සැම

ප්‍රේමයේ නාමයෙන් කළ 
තියුණු වූ තල මතින්
හෙළා රුහිරය බිමක වී 
රුවැත්තිය කාවන්ද කර 

එකිනෙකට හෙළිදරව් 
වන්නට වූ කලට තොරතුරු
සැඟවිය නොහැකි විය තතුද 
නූතන ලොවේ මහිමයට

තොර කළ කල එක් දිවියක් 
වරම් නැත දිවි ගෙවන්නට
විරුවෙකු සේ මිය යා යුතු ඔහුද 
මිය ගිය අපූරුව එල්ලී ගසක

තලු මරා තතු සොයා කුණු 
රසය විඳවන සමාජය ඇතිව
නොමිනිසුන් සේ රඟන 
මධ්‍යයක බලයක් විඳින

තහනමක් නම් නොමැත 
කම් සැපය විඳින්නට 
විඳිනු මැන එය ලෙසින් 
තේරුම් ගෙන හිසින්

දියණියනි පුතනුවනි 
සොයුරු සොයුරියනි ගරු
ප්‍රේමයක් ඇත්තේම 
විඳවන්න නොව විඳිනට පමණි 

---රකිත---