Thursday, March 24, 2022

~~ සිදුවූ කල ~~



මොහොතකට නැවතිලා 
වේගවත් වූ ලොවක
අහඹු ලෙස දුටු සඳක් පායා 
ඇතිද අඳුරු වූ ගුවන වෙත

නොනවතින තරගයක 
හති වැටී ධාවනය නවතා
සිතන්නට හැකි විය මදක් 
වුවන දෙස බලා මොහොතක්

දකිනා ලොවත් මනරම් 
දකිනා සිහිනයන්ද මනරම්
සොයනා දිවියද මනරම් 
හමුවූ නුඹද වූ කලක මනරම්

සිතා ඇරඹුමට අලුත් ගමනක් 
පැතූ පැතුමන් පොඩි බැඳන් සිට
නොවේ විමසූ නුඹේ සිතුවිලි 
තිබූ වෙනතක් බලා යන කල

වරම් නැත නවතා ලන්නට 
නුඹ යනෙන ගමනක් මටත්
නුඹේ සිත සොරා ගෙන ඇතිද 
කුමරෙකු පැමිණි වෙනතක සිට

කල් ගතව සියල්ලට 
පමා වැඩි බව දැනෙනා ලෙසට
බැට කමින් කාලයෙන් 
පරාජය විඳිමින් දැඩි ලෙසින්

ඉඩ හරිමි හැර යන්න නුඹට 
පතනා ලොවක් ඔබ දකින
සදා තනි වෙමින් දිවි ගමනක 
සොයා වෙනතක් තවත්

අහිමි කම පමණ හිමි වන යුගයටත් 
කුමන අරුමද කරුම නොවෙනස්
ඉතින් කුමකට වෛරයක් ඇයටත් 
අපට අප හිමි නොවනා කලකටත්

නැවතුනත් දිනක නුඹත් මමත් 
නවතීවිද ලොවක් අප සමග
අප පසුකරන් සියල්ලන් යන කලට 
කුමන නැවතුම්ද නුඹටත් මටත්

හමුවේවි දිනක් නුඹත් මම 
නොදන්නා අයවලුන් ලෙස
සිනාසී යමු මදක් එදිනටත් 
කතා බස් කරමින් නැවත

---රකිත---



Thursday, March 3, 2022

~~ පෙර මදක් ~~











ලොවම දුබලව අඳුරුවන 
කලක අත් හැර අපත්
බියෙන් තැති ගත් පීඩිත 
දනන් සොයන පිළිසරණක්

චණ්ඩමාරුත හමා යන කල 
සසල කරමින් හාත් පස විහිදී
සොයන්නෙමි සෙවණක් 
ආදර බර උණුසුමක් පිරි

දැවී මියෙන්නට නොව 
රැකෙනු වස් ඝෝර සිසිලෙන්
පසුපසින් එමි නුඹ වෙතම 
දිවි ඇති තුරා මෙලෙසින් 

කුරිරු කළු වළාවන් 
වසාලන අහස් කුස
අඳුරු වේ මුළු ලොවක් 
අප එක්ව ගොඩ නැගූ
 
තාරුකා නොදිලෙන 
වසාලන පාපයේ නාමයට
විසිරෙනා බලය නපුරේ 
මිදුම් සයුරක් ලෙසින්

මත ගැටුම් බල ගැටුම් නැගෙන
මධ්‍යයේ වූ කෙම් බිම සොයා
නුඹ වෙතට පා තබන්නෙමි 
දැකුමට ආලෝකයක් අඳුරේ

යුධ මතින් දැවී ඉරී 
පිපිරී යන ලොවක
උණ්ඩ වැසි ඇද වැටී 
මියෙනා ලෙසට අප

සරත් සෘතුවේ තුරු මතින් 
වියුත් වූ පත්‍ර සේ පෙනෙන
බිම සිපින මාර සේනා ලෙසට 
බෝම්බ අවි ගැටී ඇද වැටෙන

ගිනි නිරය මැවී පෙනෙන 
දෑස් ඉදිරියට වී නුඹ දකින
සොයන්නෙමි දෙව් ලොවක් නම් 
අදත් නුඹ තුරුලට වෙලා සිට

නිසැකයන් නම් නොමැති 
හෙට දිනක පැතුම් නැති
වැළඳ ගමි තව වතාවක් 
සිතේ අවසන් ලෙසින

බල කාම පල්නේ 
අභික්‍රමණ වන්නට මතුව
වියරු වූ උන් සෙනවියන් 
සිව්රඟ සේනා රැගෙන 

වෙන්ව යමු දෙපසකට 
රැකෙන්නට හෙට දිනට
රැගෙන යනු මතකයක් 
උණුසුම් ලෙසින් දිවි තුරාවට

---රකිත---