Thursday, February 21, 2019

~~ පැරණි පෙම ~~













පෙර කලක යට ගිය දවස
ලැබූ ඒ සෙනෙහසේ පත
සුවඳ පැන් නොමැති වුනු
පියරු ඉස කර සුගන්ධය

සැඟව ඇත පොත් පිටු අතර
ප්‍රේමයේ මුල් හැඟුමක පහස
පැරණි වුව මතකයන් 
අලුත් වන අපූරුව

ගුරුපාර මත තාර වැටී 
ඇත සුදු ඉරි සමග
තැබූ ඒ පිය සටහන් 
මැකී නැත හදවතේ

වෙල් යාය අද්දරට 
මාදං පඳුරු වන රොද
ඇල පාර සිහි කරයි
නුඹේ ඇති ගැමි සුවඳ

වෙල් නියරයන් මතින් 
බඩවැටි දිය කඩිති ඕවිටි මැදින්
සිනාසෙන මිතුරියන් අතර
පළමු දින සිහි විය නුඹ දුටුව

සිනාවෙන් කතාවට හුරුව
කතාවෙන් පෙමකට යොමුව
හුවමාරු කළ පෙම් හසුන් පත
කරයි මතකය සොඳුරු අද දින

ලොවට හොරැහින් මුවා වී සිට
ආල බැඳි කල ගෙවී ගිය සඳ
සිප් සතර කළ දුරස් අප සැම
නුදුටුවෙමි නුඹ ගම් දනව් අසබඩ

සිප් හලේ අවසන් දිනක ලැබ
හමුව අතැඟිලි බැඳ සිත් ලෙසින්
හමුවෙමුද අප නැවතත් දිනකදී
හසුන් පත දුන් සුවඳවත් ලෙස

කල් ගතව මුත් සිටිමි තනිකඩ
තතුද නොදනිමිය නුඹ ගැන
හසුන් පත මතකයක් පමණකි
අවැසි නැත එය නව ලොවට අද 

ගමද ඇත අද වෙනස් වූ හැඩ රුවින්
නුඹත් සිටිම්ද රටේ කොතැනක
දුටුවොතින් හනිකට අමතනු මැනවි
පැරණි පෙම ඇත තවත් සිත් තුළ

---රකිත---



Monday, February 11, 2019

~~ නිම් නොලත් සෙනහසක් ~~













නිමිත්ත - මහලු නිවාසයේදී හමුවූ කාන්තාවක හා මිනිසෙකු පෙම්වතුන් සේ ඉන් නික්ම ගිය පුවත.


ගලා බසිනා ජීවන නදිය 
හැල හැපිලි මැද
සයුරු තෙර වෙත යන 
ගමනක නිමාවක්
පෙනේ නුදුරක ක්ෂිතිජ ඉම 
හිමි වනා දින
ඇවෑමෙන් කාලය ගෙවී 
ලොවටත් හොරා 

දූ පුතුන් තනා ඇති කර 
දරා වෙර නිතර
පියඹා ඇතිය උන් තනවා 
කැදලි ලොව
කර කාර බැඳගත්ත බලයට 
වැඩිහිටි එදා
ප්‍රිය බිරිඳ නැතිය අද හැර ගොස්ය 
ඈ මෙලොව

පිළිසඳරක යෙදෙන නුඹ 
දුටිමි ශාලාව තුළ
සිත බැඳුණි කිමද අප දුටු 
පමණ එක් වරක
සිනාවට කතාවට වඩා 
දුර ගිය කලක
දැනුණි හදකට අහිමි වූ 
පෙමක මහිමක්

ගිලී ගිය දෑස් යුග පැසුණු 
හිස කෙස සුදට
රැළි වැටුණු අත් පා යුගල් 
ශේෂ නැති වුවන
දත් අඩුව ඇති මුවින් මුමුණනා 
හඬ මැදින්
දුටිමි වැහැරුණු ලැමත් නොවන 
ගත පැහැපතින් 

නුරා බිඳ ඇති දයාබර 
සිත් මතින්
කෙලෙස් අත් හල 
සොඳුරු ප්‍රේමය
සරදමට ගෙන 
පටහැනිව විනයක
කිමද වන්නට 
සිරකරුවෝ සම්මතේ 

බිණින පවසන කරන 
පිළිකුල් අපට
ලෙසක උන් නොව 
ලබා ආලය
අකැප වන්නට 
කරුණු කිම අද
ආල හැඟුමන් 
වියපත් වූ මලකට

හැර යමු කද බැඳන් 
ඉතිරිව ඇතිව
සිහිවටන සොච්චම් 
ඇඳුම් කඩමළු
වාරු නැති ගත මුත් 
වෙර දරා සිත
එක්ව යමු අප මගට 
පිළිපන්ව

අතීතය ගෙවා ඇති 
නටඹුන් මතින්
විඳිමු සුවයක් බැස යන
රිවි කුමරුවන් හා
ලොවට නොහැඟෙන 
අපේ පෙම් කව
ගොතමු මේ ලෙස 
සැඟවිලා සැමගෙන්

---රකිත---



Tuesday, February 5, 2019

~~ ලැබුම ! ~~











කලක් තිස්සේ 
සොයා වෙහෙසුනු
දෙයක් ලැබුණා 
ලෙසේ අද 
අහිමි විය නිදි සුවය 
මා වෙත 
විලසකට පැතු දෑ 
ඉටුව යන

ක්‍රියාවන් ප්‍රතික්‍රියාවන් 
පවසාවි කිසිවක්
වදන් පෙළකින් 
නොවන ලෙසකට
කතාවන් පමණ නොව 
නුඹ සිනාවන්  
කියන රහසක් 
ලජු බරව හදවත

දිවිය රැකුමට කරනා 
සටන අතරින්
රැඳුනු සැටි 
අප දෙදෙන හදවත්
සොඳුරු හැඟුමන් 
අතර තනි වී
නුඹේ නාමය 
ඇසෙන මොහොතක

තනිව ගිය මග 
නිමා වන 
සලකුණ පෙනේ 
දුර ඈත නොව ලඟ
නැණැති රුවැති ගත 
සිත සපිරි ඇති
නුඹේ පහසින් 
වන්න කුල්මත්

සතර ඇත 
හැම දිසාවක අද 
පෙනේ නුඹ රුව 
මැවී නෙතු අග
අවසරද අරඹන්න 
ගමනක් 
එකට එක්වී 
සොයා නොව ලොව

දෙමි පොරොන්දුව 
නුඹ රැකුමට නිරන්තර
දරා වෙර ගත 
සිතද එකතුව
මුළු හදින් නොව 
ආත්මයද කැටි කොට
විඳිමු ප්‍රේමය 
සොඳුරු ලෙස අප

---රකිත---





Sunday, February 3, 2019

~~ අබියසක සිට ~~


නිමිත්ත - සවනත වැකි කල යුවතියක පැවසු වදන් වූ “එයා නම් වයසයි නේද දැන්”

හිරු අවර ගිලී යන සැන්දෑව මනරම්ය
පියා සලනා කලට සියොත් කැල සුන්දරය
කුසුම් වට සැරිසරන බඹරිඳුද යහපත්ය
නුඹට පෙම් බැඳි සිතද ඔහුට නිති සතුටක්ය

කාලයා ගිල ගත්ත තුරුණු බව අද නොමැති
අග පැමිණි කල තුරුණු ඒ මිහිර අද නොමැති
ගෙවුනු වස්සනයට තැවෙන කල සිත නොමැති
වියපත් වන බව වසමි වදන පරිණත නොමැති

දහසක් දනෝ යනෙනා මග නිරන්තර
සොඳුරු ලඳුන් නෙතු ගැටෙනා නිරන්තර
නොරිසුම් පෙනුම් හසුරුම් ඇති නිරන්තර
පවසයි ඇතැමෙකුත් වදනින් නිරන්තර

ඉඳ හිට මුණගැසෙන සුන්දර ලලනාය
වියපත් බව පවසාවි දූතයන් වෙත රැගෙනය
කල් පිරි වන තුරා කුමක් කරද නුඹ නම් සිටිය
හිනැහී සරදමට මුමුණන උන් සිට පිටුපාය

පෙර කළ පවකට කරුමය විඳවනා හැටී
තරගය දිනන අයවලුන් හිනැහෙනා හැටී
ආලය ඉගෙනුමද උන් අද දිනවනා හැටී
එකත්පස්ව නරඹමි සිත සනසවනා හැටී

කරන අනුභවය අහරත් දැන් රස නැතුවා වාගේ
පානය කරන බීමක මිහිරක් නොදැනෙන වාගේ
පවසන වචනයක කරුණාවක් නැතුවා වාගේ
ගොතනා කවි පදද දැන් තාලය නොදැනෙන වාගේ

කල් ගතවෙනා නොදැනේ එකලද දිවියේ
කාලය දිගුව ඇත ගිම්හාන මුව විට හමුවේ
කුසුමන් නොමැත පර මල් වුව නොබැලේ
යහනක තනිව ඇත මිහිරක් දකිනා සිහිනේ

දැඩි සිත නොමැත ඇත අද සුපහන් සිතිනේ
වෛරය නොමැත ඇත සැනසුම් සිතිනේ
මතු භව පතමින් පැතුමන් ඉටුවන සිතිනේ
අවසර සොඳුරියේ සමුගෙන යන්නට සිතිනේ

---රකිත---