Wednesday, September 28, 2022

~~ මා දත් දෑ ~~



නුදුටු ලොවක තතු දකින්නට
නුහුරු හැඟුමක පහස විඳිනට
නොලැබු මිහිරක සුව ලබන්නට
පැතුම් දැරූ හදවතක අපේක්ෂාවට

නොලැබූ දෑ බොහෝ ඇති කල්හි
ලැබූ දෑ නොවේ පමණට ඇතිව
සිප් සතර රැකියාව ඉලක්කයන්ද
පසු පසට ඇද වැටේ වූ පීඩනයට

හැර දමා නික්මෙන්න සිතුවිලි ඇතිද
තරගයෙන් නික්මෙන්න නැත වරම්
දැවී මියෙනා තුරාවට තුරුණු මැදි විය
දිවෙන්නට බල වදියි රුදුරු ලොව

අඳුරු වී යන කලට ඉදිරි මග දකින
පහන් එළි නොවේ ඇති සහයෝගයට
මදක් සිට විඩා හැරුමට සහනයක්
සිහිනයක් වී ඇති සැටි බලන් මිතුරේ

මා පැතූ වසන්තය ගෙවී ගොස් හමාරය
ගිම්හානයට පැමිණ සිතුවිලි වේ තුරුණු
අවැසි අනවැසි දෑට කාලයා පැන ගොසින්
තනි වී සිටිමින් බලා ඒ දෙස පසු තැවෙමි

නුදුටු ලොව නොදකිමිය එය නොවේ කැප
නුහුරු හැඟුමන් නොවිඳිමිය එය නොවේ කැප
මිහිරි පහසින් නොලබමිය එය නොවේ කැප
හදවතක පිරි පැතුම් ඉටු නොවේ එයද කැප

---රකිත---

    



Wednesday, September 14, 2022

~~ තෙහෙට්ටුව ~~

 



පුරා දශකයක් වඩා කලක්
එකම මග ගමන් ගත්තෙමි
දින සති මාස අවුරුදු ගණන්
ගෙවෙන බව නොදැනම තුමු

උගත්තෙමි ලැබගත්තෙමි බොහෝ
ශිල්ප ශාස්ත්‍ර අත්දැකීම් ගොන්නක්
වෘත්තීයභාවය නිතැතින්ම ලැබ ඇති
සුවිසල් ලොවක් මවා සිට සිත තුළ

කාලයාගේ අවෑමෙන් ගතට සිතටත්
වෙහෙසක් දැනෙන බව හැඟෙන කළ
යළි හැරී බලනු පිණිස කල් ගණින
ඵලක් නැති බව වටහා ගන්නෙමි නැවත

එක පිටට එක වැටෙන නිති නේක වැඩ
රාජකාරිය කියා පීඩනය ඇති උපරිමය
සීමාව ඉක්මවා පිනීමට ආසන්න ඇති
දරා ගැනුමත් ඉවසීමත් තමන් සතුවන

තුරුණු බව මැකී යන දින දිනම කල් ගතව
වුවද පරිණත බවත් එහි නොමැත බලයත්
වෙනසක් කෙරුම තැත් කළද විටෙකත්
නොවේ ඉන් පිළිතුරක් ගැටලු ඇත එලෙසින්

ක්‍රමවේද නොමැති කල නිසි ලෙසින් දක්වා
අවසාන ඵල ලබමි මානසිකව පීඩනයෙන්
පාලනය ගිලිහිලා හිසින් ගත වෙන් වූ විලස
අඳුරු වී යන කලට හාත් පස සියල් සිත්තම්

හැඟෙන දැනුනු විට පීඩනය ගත සිත දවන
රුචිය නම් හිමි නැතිය තවත් නම් සේවයට
හැර දා පලා යන්නට හැකි නම් මෙහි නොවී
සොයා සැනසුම සතුට නිදහස මුළු ලොවට

දොළොස් වසක සේවයට දැනේ වෙහෙසකර
නොහොඳ මිස නොව හොඳක් නම් අසන්නට
නව මං පෙත් සොයා පියඹා දොර හරින්නට
තෙහෙට්ටුයි දැන් ඉතින් කල් ඇතිව සමුගන්න 

---රකිත---