Thursday, April 25, 2019

~~ 04/21/19 - පෙ.ව 8:45 ~~



දිනක් සතලිස් පුරා වතාවත්  
සැරසි අලංකෘතව ඇඟලුම්
පැමිණි දෙව් බැතියෙන් පුදන්නට  
උත්ථානය සැමරුමට සතුටින්

යාඥා ගීතිකා සරයෙන් ඉමිහිරිව 
පුද දෙමින් දෙවිඳුන් වෙතට මිනිසුන්
දෙව් පුතුන් ලද නැවත ඉපදුම 
සිත් සතන් සනසවන ජන හද

ප්‍රේමයෙන් බැතියෙන් පුද දෙමින්  
සිටින බැතිමත් පිරිස් අතරින්
සිත් අඳව ඇති හදවත් නොමැති වූ  
මිසදෙටුව ඇති කෙනෙකු ආ කල

පිළිවෙතින් සැදැහින් දෙව් පුතුන් ඇදහූ  
උන් අතර වෙත පැමිණි බියකරු
මිනිස් කම් නැති අධම තිරිසන් බඳුව  
තෙමාලන බිම රුධිර පිදුමෙන්

පුපුරවා හල රුදුරු බෝම්බය රැඳි  
දෙව් නිවස කළ ඝාතකාගාරය
ලෙයද මස සුන්බුන් සිරුරු මැද  
දුටිමි ඇතැමුන් ඉව කරන මිනිස් කම

කිතුනු බැතිමත් අගය කළ දින  
පාස්කුව ලේ විලක් කළ උන්
සිනාසෙන විට සැඟවී ලොවට උන්  
ශාපයන් නැති ප්‍රේමයද යැදි කිතුනුවන්

අහිමි මව්පිය දරුවන් තැන තැනය  
දූ පුතුන් අහිමිව ඇති මව්පියන් ඇති
එකම පවුලේ සියලු දෙන අහිමි වී ඇති  
දනන් දිටිමිය දස වසරකට පසු

එක් පොළක නොව අට පොළක පිපුරුම්  
සොයා කළ වුන් යන රණ විරුවන් රට වටා
සිනා කලඳක් නොමැත බෙහෙතට  
කඳුළු පමණකි දිවයින පුරා විසිරෙන

සැනසුමක් නැත බිය ඇතිය හැම තැන
සලිත වේ බිය ඇති පුවත් සවනට ඇසෙන
යනෙන ගමනත් සේවයත් නුහුරට
දිවිය අද ගෙන ඇති උන් පාලනයකට

භාර ගනු මැන දිවි පිදූ මිනිසුන් 
ස්වර්ගයේ වැඩ සිටින දෙවිඳුනි
හෙලෙනු මැන අපායට නිසි ලෙස
ලෙයින් තෙත් කළ උන් පාස්කුව 

--- රකිත ---



Wednesday, April 10, 2019

~~ සන්නාලි කෙල්ලට ~~



නිමිත්ත - කටුනායක වෙළඳ කලාපයේ සවස් කළ බසයේ හමුවූ ඇයට

හැරදා ගම දනව් මව්පියන් සැම
පිසදා අග කඳුළු කැටි නෙත 
පැමිණ සෙයිලම වෙත රැගෙන
පැතුම් ගොන්නක් සිත් දරන්

ගොතන සළු පිළි පාගා යන්ත්‍ර
මුහු කරන් දහඩිය ශ්‍රම වැගුරුමට
දහසක් ගැටලු තෙරපෙනා සිත
සඟවා හිනැහෙන දරණා යත්ත

රන්දා මුව සිනාවන් සවස් කල
නිමවා වැඩ සොඳින් කර සියල්
පිරිවරා මිතුරියන් කැළ හඬින්
දිටිමි නුඹ මා සවස් කල දිනක

සිරව සිට බාග බස් රථ තුළ නැගී
අහම්බෙන් හමුවුනා නෙතට නෙත
දසන් විදා පෑ මද හස සිත් ගත් සේමා
කවුරුන්ද නුඹ මා සිත් පැහැර ගත්

සුරත රැඳි අත් මල්ල ගෙන සතුව
සිටිය නුඹ මා අසලටව සිටගෙන
අසුන ඉඩ නැති වුවද ඔබට හිඳුමට
සුසුම් පොද මුව දැනුනි මා හට 

මැදි රට සිට පැමිණි බව පැවසූ ඈ
බදුලු කුමරිය සේ නම් තැබීමි සිතින්
සිනාවට කතාවට වශී වී ගිය කලට
කාලයා නොදැනී ගෙවී ගිය රඟද

ගුවන් තොට පිහිටි කටුනායක නුවර
ඇති කලාපයේ ඇය කරන සේවයද
අසන්නට අමතක වූ සැබෑ නම නුඹ
රුව පමණි ඔබ හදවතේ රැඳි ඇති

හයයි තිහ හතයි තිහ නුඹ එන වෙලාවද
නොදනිනා මුත් බලා සිටිමි එන තුරු
දකින්නට වටකුරු මුහුණු තලය හැඩ
අසන්නට කට හඬ සියුමැලිව ඇති

උදාවන නව අවුරුදු කලට ඔබත් හෙට
යනවාද මැදි රටට දැකුමට මව්පියන්
බදුලු කුමරියෙ එන්නේ කවදාද ආපසු
කියන්නට ඇත දහසකුත් දෑ නුඹට

දුටුවොතින් කවි පෙල මුහුණු පොත
අමතන්න උප ආදමින් පණිවුඩකරු
දකින්නට සිත ලතවෙනා හැටි
නුඹයි සිත් ගත් සන්නාලි කෙල්ලකද

---රකිත--- 



Wednesday, April 3, 2019

~~ සොඳුරු පෙම් සිතුම් ~~



සුව යහන මත සැතපි 
නිති දකින මුදු සිහින
එකිනෙක ගැලපී පැටලි
රුවන් රන් දැකුමන් සිහින

සඳ කුමරි මුව සිඹින 
මිහි කතේ සුව විඳින
රළ පෙළක පෙණ පිඬුද
පා ගැටෙන තෘණ තලා

කුසුම් ලෙස වන්න විකසිත
සුළං රැළි සේ හමා යන
වළා පෙළ නුබ කුස වසාලන
ලොවක් නළවනා රිද්මය

පා තබන සැබෑ ලොව මත
හදේ සිටුවා හැඟුම් මහිමය
දිය දහර ලැබ ගංතෙරක අසබඩ
ලබන්නට උණුසුමක් නුහුරට  

සුසුමකින් පාවී ඇවිත්
ඇතුලු වී හද ගැබ තුළින්
ගීත රාවය වී ප්‍රේමයේ 
ස්වර තන්තු කර කම්පනය

සිනාවෙන් කතාවෙන් පිරි
කරන ආලෝකයද ජීවිත
උදා දහවල සවස් කල රැය
නුඹම වෙන මා ගීත සවනට

නුදුටු සිහිනයන් දකින්නට
කී නොකී කතා අසන්නට
පැමිණියේ කෙදිනකද ඔබ
ලොවට මා දිදුළන නුඹෙන්

නුවරින් නුවරට යන්නට
බෙදා හදා ගන්නට ලොව
අහස් මළිගාවන් මතින්
දිනක එක් වන්නට පුරන

එකම කැදැල්ලක වන්නට
විඳින්නට මිහිරක් දිවියක
ඇරඹුමට නව ගමනක්
බන්දා අතිනත සසර පුරා
  
---රකිත---



Monday, April 1, 2019

~~ ස්කූටි කෙල්ලට ~~















නිමිත්ත - සවස දුටුවෙමි මහ මගක ඇගෙ රුව 


මහ මග යනෙන 
සිත් පිත් නැති රථ අතර
දුටුවෙමි සවස 
නුඹ යන හැටියට කදිම

වුවනක සිරිය ගැටි 
නෙතකින් වසනාවද
නිසඳැස් කවිය ගොතනෙමි
නුඹටම අද කුමරියේ

පුංචි යතුරු පැදියක නැගී 
නම් ඇති ස්කූටී
සුදු දම් වර්ණ අතරින් ඇති 
රෝස පැහැයකද

හිස් වැස්මද ආරක්‍ෂිත 
ඒ පැහැයටම හරි
දුටුවා සවස නුඹ අද 
මහ පාර මැද

සිනා පිරි වත 
වදන් ඇති නෙත්
වුවන පැහැපත් 
රෝස කොපුල් තල

හැඩට ඇති ඉඟ සුඟ 
සිහින් ගත ඇති
කදිම රුව සිත 
යන ඇදී වෙන ලොව

නොමැති බව 
ගමනද සෙමින් යන
වේගයක් නම් 
නොමැති අනවැසි

යන්ත්‍ර මත නැගි 
මිනිස් වෙස් ගත්
සුරඟනකි නුඹ 
මිහි බටව සිටි අද

දනන් කියනා වදන් 
කෙලෙසක සිතන
පෙනෙන සේ මරු 
කියනා දුටුව කළ ඔබ

සීරුවට නියමිත 
ලෙසින් මග යන
නුඹ නොවේ මරු 
කියන උන්මය

හෙටත් මහ මග
දකිනු රිසියෙන්
මවමි නුඹ රුව 
පැති කණ්නාඩි දෙපලෙන්

වීද කෙල්ලක 
පදවනා ස්කූටිය
වේය මා හද 
දිනන ප්‍රේමිය 

---රකිත---