Wednesday, June 30, 2021

~~ අවැසි නැත ~~










හිමි අහිමි කම ඇතිව 
පෙර භවක කළ කරුම 
රැගෙන ආ ගමන් මග 
නිමා නැත සසර මග

එක පිටට එක රැගෙන 
පැමිණෙනා පීඩනය
දුරු නොවන කල කුමද 
දරා ගත නොවන ලෙස 

සිතක ඇති සැනසුමක් 
වටින විට මුදලට වඩා
සිතේ පෙර කලක ගත් 
මුග්ධ තීරණයක මහිම

අවැසි නැති දෑ දමා කර 
රාජකාරිය අපුල කර
ලබන ඒ අපහසුව 
නොතේරෙන උන් අතර

විසඳුමක් නම් නොමැති 
හැර යන්න සිත් දෙනා
කලක් කර රැකියාව 
අප්‍රිය වූ කල කුමට

වසංගත මාරයා පැමිණ 
වෙලාගෙන සිටින ලොව
වටින බව කියයි උන් 
කරන රැකියාව ඇති

ධනය බල ඇති තැනක 
තිබෙන මුත් සැනසුමක්
සිතක සැනසුම තරම් 
වටීවිද ඒ සැනසුමක්

ලොකු පුටුවලට අවැසි ඇතිවද
නෙරපන්න හුන් තැනින් අප
පවසපන් වතට පිරිමි ලෙස
හැර යන්න සැණෙකින් පිටට

වෛරයක් සිත ඉපදෙනා 
බර දමා යටපත් කරමි අද
තවත් නම් නැත ඉවසුමක්
රුධිරය දකින සිත ඉල්ලනා

ඉතිරිව ඇති මිනිසත් බවත්
රැකගෙන අවමානය නොවී
තවත් නම් ප්‍රියක් නැත
සිටින්නට අවැසි නැති බිමක

---රකිත---



Friday, June 18, 2021

~~ නික්මෙනු වස් ~~











හති වැටී ගිමන් නිවුමට 
මදක් නවතිමි ගමන මැද
හැරී බලනෙමි ආපසුවට
ආ මගක තතු බලන්නට

මග හැරුනු බොහෝ දෑ 
ඇති නමුදු ගත නොහැකි
ඉතිරිවට ඇතිව ඇති 
සිප් සතර පමණක් නොවෙද 

හිස් මුදුන් මත නැගෙන 
චන්ද්‍රයා පෙනෙන සැටි
කෙස් වනය ඉදිරී වැටෙන 
සුදු පැහැය හැරී ඇති

වතක ඇති හැඩයක්ද නැතුවා 
පෙනේ ඇදටම රුවත් එලෙසින්
කියුම් සරදම් ඇසේ සැම අත 
නොවේ තැකුමක් තවත් ඒ දෙස  

කාලයක් අවෑමෙන් 
වසන්තය ගෙවී ඇත 
වූවාද අමතකව ගොස්
කළ යුතු දෑ එකල නිති

ඵලක් නැත කියන්නට 
දොසක් නැත අන් අයවලුන් 
මෙමා නම් පමා විය 
නොදැන කළ කරුමයට

එකම එක ඉලක්කය 
සිප් සතර උසස් ලෙස 
ගෙන සිහින සැබෑ කර 
මව්පියන් එදා දුටු

කම් නොවේ හර සුන් වදන් 
තෙපලනා නොරුසප් බස් ලෙසින්
නොවේ තව නම් ඉතින් 
නොඇලෙමින් යන කලට

දිවෙන ලොව තරගයට 
නොහැක තව දුවන්නට
ගතද සිත සවිය නැත 
සොයමි සැනසුම පමණ

ලැබූ පීඩන නිමක් නැති කළ 
සොයමි සැනසුම අත් හරින්නට
නොහැක තව නම් සියල් විඳුමට 
නික්ම යමි අද සොයා දිවි මග

---රකිත---




Saturday, June 5, 2021

~~ විඩාබර රැකියාව ~~


ජීවිතයක් ජයගන්නට
සිතේ පැතුම් කරගන්නට
ලෝකය හා හැපෙන්නට
රැකියාවක්  කරගන්නට

උදැහැනැක්කේ නැගිටලා 
කන්තෝරුව හොයන් යන්නේ
කාඩ් එකත් ගහලා වැඩ 
ඔක්කොම පටං ගන්නේ

අව්වද වැස්සද නෑ ඒ මැසිමත් 
වැඩ එසැනින් කරන්නේ
හිතේ හයිය නිසාය නුඹ 
මේ අයුරින් වැඩ කරන්නේ

දරුවන්ගේ බඩගින්නයි 
සවන් පුරා රිදුම් දෙන්නේ
දෙමාපියන් ඇත බෙහෙතුත් 
අරන් එනතුරු බලන්නේ

බිරිය ඉන්නේ මග බලාන 
එළවළු මල්ලත් අරගන්නේ
මේ හැම දේ නිසාය නුඹ 
නොමැරි මැරී වැඩ කරන්නේ

මහන්සි වී වැඩ කෙරුවා 
අරමුණකුත් ඇති හින්දා
අනන්‍ත නුඹ දුක් වින්දා 
ගෙදර පුතෙක් ඇති හින්දා

රණ්ඩු වුනා ගෙදර එක්ක 
මීටිම දැන් ළඟ හින්දා
අම්මා වෙව්ල වෙව්ලා ඇවිත් 
බත් දුන්නා මට බඩගිනි හින්දා

රැකියාවේ පීඩනයටට 
රණ්ඩු වුනා බිරිඳ එක්ක
දරාගන්න බැරි කමටම  
නොකා හිටියා කෑම එක්ක

කියාගන්න බැරි හින්දා නොකියා 
හිටියා කාත් එක්ක
දරාගත්තා අමාරුවෙන් ඒ දුක 
එකතු වෙලා මාත් එක්ක

කෑම ඔතද්දී අම්මා දාලා දිව්වා 
පරක්කු වෙලා මීටිමට
විනාඩි පහට පරක්කු ඔබ 
කපලා ගියා පඩි බාගෙට

විනය නීති තිබ්බට උන් 
හිතුවේ නෑ අපේ ජීවිතයට
රැකියාව ඕනේ රැකගන්නට 
කන්න දෙන්න පවුලකට

පොඩිදේටත් පීඩාවෙන් උත්තර තෝතැන්නක 
කොහෙද මල්ලි නව අදහස්
වැරදුනාම නොමරා මරණ මුඩු බිමක 
කොහෙද මල්ලි හිත නිදහස්

වැඩ විතරක් හිතන් ඉන්න තැනක 
කොහෙද ඉදිරි ගමන් මගක්
විඩා බරිත සිත පමණයි මේ මට
නෑ මට ලැබුනේ සැනසුම නම්

බිරිය කියයි වෙන් වෙන්නට 
යන්න ඕනේ ඩිවෝස් වෙලා
සැලකුවා විතරයි  ඔහු 
හොයලා බැලුවෙ පමා වෙලා

දරුවොත් අරං බිරිය ගියා 
ඔහු හැරදා ගේ දොර පාළු වෙලා
රැකියාවක් නොව හෙණ ගෙඩියක් 
වී ඒ ලොව වෙනස් වෙලා

අම්මා තාත්තා දවස ගානේ 
මග බලන් ඉඳලා මැරිලා ගියා
දරුවෝ මල්ලෝ දන්නේ නැතුව 
කුඩ්ඩො වෙලා හැදිලා ගියා

ගෑණි නිකං මළ මිනියක් 
වගේ වෙලා ඇදිලා ගියා
රස්සවක් කරන්න මම උදේ හවා 
දවස ගානේ කොළඹ ගියා

වයස හැටයි දුවන්න බෑ 
රස්සාවක් කරගන්නට 
පුපුරුගසයි දනිස් රිදුම්
පඩි සොච්චම තිස්දාහයි 

ඉතුරුත් නෑ කෙරුවේ 
දරන්න බෑ හරි වියදම්
හැරිලා බැලුවා ආපූ පාර 
විඩාවකුයි ඉතිරි වුනේ

උඹෙ මැට්ටම් කමක් නැතේ 
කරන්න බෑ රස්සවක් 
වෙන්නේ හිඟා නොකා 
හිඟා කාන්න දැන් මට නම්

---කලිඳු රණසිංහ---




Friday, June 4, 2021

~~ ඇය නොකී කව ~~

 









සිතූ මුත් මංමුලා වූ ලෙස 
නොවිමි දිවිමග අතරමං
හමුවෙලා නුඹ අහම්බෙන් 
කර්මයක පෙර ඵලයක් විලස

නොදැන ලොව නොදැන නුඹ 
සිත බැඳිව වේගයට හැඟුම
අතිනතත් ගෙන ජීවිතය ගෙන 
සිහින දුටුවෙමි සොඳුරු ලොව මැවි

මුවා කළ නුඹ බැටළු සමකින් 
වෘක ගති මතු වෙනා කලකට
සැබෑ රුව නුඹ සඟවලා මට 
රවටවා ඇත පිටස්තර ලොව

සැකය පමණකි ඉතිරෙමින් කුහුලින්
වෛරයෙන් පිපිරෙමින් ඊර්ෂ්‍යාවෙන්
අඳින ඇඳුමට යනෙන ගමනටද
පනවනා නුඹ නිති තහංචිය

ඇසුරකට මිතුරු දම් ඉඩක් නම් නැත
විනෝදය නිදහස් සුවය නැත වලංගුව
සිර වෙලා බිතු සිව් කොනට හැඟුමන්
නුඹ තලා පෙළා යයි සිත් ලෙසින් කැකුළු

සිර කරන් මා නිවසට නුඹ විඳියි ජීවිතය
පවසමින් ආලයම හේතුව සිර කරන්නට
සොඳුරු දිවි මග උරුම නොවනට තතු
පවසමින් ඔහු කෙස් පැලෙනා තර්කයෙන්

මනස හැසිරෙන අයුරු නොම දැන්
වදන් කී නුඹ මවා විසිතුරු ලෙස
හද පතුල සිට විශ්වාසයේ මහිම
කළ වරද මා නුඹේ අත ගත්

කළ වරද කිමද හිමියනි මා නම්
විඳවන්නට දිවිය මෙලෙසින් 
නුඹේ රුදු බස් තෙපළවන්නට
පෙර අසනු මැන මගේ මෙවදන්

අහිමි කළ වෘත්තියේ රැකුමත් 
අහිමි කළ සිප් සතර ලැබුමත්
අහිමි කළ ඒ සොඳුරු ලොවත් 
අහිමි කළ නුඹ මාද මෙමටත්


---රකිත---