Tuesday, September 29, 2015

වසන්තයේ මල් වැස්ස











නුබ ගැබෙන් ඇද වැටෙන 
වැසි බිංදු පිට පිටම
කොපුල්තල සිප ගනියි 
පෙර දිනක මතකයන්
එක කුඩය ගෙන මැදින් 
දෑත බැඳ තුරුලුවී
ඇවිද ගිය සොඳුරු කල
වසත් කල මල් වැස්ස


වැහි බීරුමෙන් අඳුරු
සිසිලසෙන් මද නලේ
ඇවිද යමු සොඳුරියේ
තුරු සෙවන රැඳී මගට
සොඳුරු හැඟුමන් දැනේ
උණුසුමෙන් ඔබෙන් ලද
තනිවෙන්න සිත කියයි
මල් වැස්සේ ඔබ සමග  


රැඳෙන්නට මොහොතක්ම
ඔබේ උණුසුමට වී
තෙමෙමු මල් වැසි මැද්දේ
වසත් කල ගෙවෙන තුරු
පතමු සුභ සිහිනයන්
පුරමු පෙරුමන් තුටින්
සොඳුරියේ රැඳෙන්නට
සදාකල් වසත් කල 


නියඟයෙන් බැට කන්න
වරම් නැත තව දුරට
මල් වැස්ස ඇද වැටේ
වසන්තය පැමිණ ඇත
ඉතින් අප එක්වෙන්න
කාලයද පැමිණ ඇත
සොඳුරියේ එක්ව යමු
වසන්තයේ දිවි ගමන 


---රකිත---





Sunday, September 27, 2015

ඔබද නිහඬයි !














කිමද මේ නිහඬ බව
වදන් නොමැතිද
තෙපලන්න පෙර
මෙන්
පවසන්න සොඳුරියේ
වරදක් වූවාද
වදනකින් හෝ
පිට වූ මුවෙන්


පිට පිටම එකින් එක
යනෙන කෙටි
පණිවුඩද නැත
මුදු හඬින් කොඳුරන්න
නැතිය දුරකථන
ඇමතුම
කුමන අරුමද
නිහඬ බව


පැමිණියද සයිබර්
අවකාශයට
මාර්ග ගතව ඇති
නමුදු
කතා බස් නොමැත
සිරව ඇත සිතුවිලි
ඩිජිටල් අංකිතයෙන්
මුදාලන්නට


සමාවනු මැන
වූවා නම් වරදක්
මගෙන්
නොදැන වන්නට
කරන්නට ඇත
නොකරමි ආපසු
එම වරද
මතු කල


හිනැහෙන්න සොඳුරියේ
පෙර මෙන් තුටින්
පවසන්න සොඳුරියේ
මුදු වදන් පෙර මෙන්
බඳිනු මැන සොඳුරියේ
කවි පදය පෙර සේ
එනු මැන සොඳුරියේ
පෙර සේම ආලයෙන්


---රකිත---


Wednesday, September 23, 2015

ආලයෙන් / ප්‍රේමයෙන් මත්ව ගිය සඳ !



නොයිඳුල් දෙතොලින් කුළුඳුල් හාදුව - ඔබේ කම්මුල මත සතපාලන්නට
අවසර දෙනු මැන සොඳුරියේ මා හට - ආදර බර නෙතු සඟල පියාගෙන
නාදළු පැහැයෙන් ඔපවත් වී ඇති - රූබර මුහුණේ තොල් පෙති මත්තේ
තැම්පත් කෙරුමට අවසර දෙනු මැන - වුවනෙන් වුවනට ලංවී ආලෙන් 
 
දෑතම දිගුකර සෙනෙහෙන් ලංවී - තුරුළට එනු මැන ආලෙන් මත්වී
සවනට ලංවී කොඳුරන මුදු බස් - කන්කලු ගීයකි සෙනෙහස පිරිපුන්
දෑතම මතුපිට එකිනෙක බැඳෙනා - දැඟිලි පටලමු අත් නොහරින්නට
මොහොතක් රැඳුමට අවසර දෙනු මැන - සොඳුරියේ ආදර උණුසුම ලැබුමට     
 
දිනකර අවරින් බැස යන මොහොතේ - සීත සුළං රැල් සැලෙනා මොහොතේ
නුබ ගැබ අඳුරින් පිරෙනා මොහොතේ - සොමි සඳ අවරින් නැගෙනා මොහොතේ
සමුගෙන යන්නට සැරසෙන මොහොතේ - කාලය වේගෙන් ගෙවෙනා මොහොතේ
සිත් නැත නික්මී යන්නට ඔබ හැර - ඉල්ලයි යටි සිත උණුසුම තව නැවතත් 
 
දෑසින් දෑසට ලංව බලන්නේ - හිස හොවමින් පපු මත්තේ සිටිමින්
තුරුළේ සිටිමින් උණුසුම වින්දේ - දැඟිලි පටලා ඇත තල මැද්දේ
වෙන්වී යන්නට කළ පැමිණෙන්නේ - හෝරා මිනිත්තු තප්පර කාලේ
ආපසු එන්නට වරමක් ඇත්තේ - මතු දිනයේ සම කාලය මත්තේ
 
ගෙනයමි මතකය නික්මෙන යාමේ - පතමින් ආපසු හමුවන්නට ආලෙන්
යහනේ තනිකම් හොඳින් දැනෙන්නේ - දිගුවී ඇත රෑ යාමේ නිදි නැති
ලංවී ආපසු සිහින මවන්නට - කෙදිනද එන්නේ අතිනත ගන්නට
දිගු ගමනක පෙම් සිහින දකින්නට - නැවතත් හමුවෙමු මතු දිනයක අප  
 
---රකිත---


නින්දට යන්නට පෙර ?









සිතට කිසිත් නැත 
අදහසක්
පද බැඳුමට අද
නොදනී කිම්ද
කරුණ
නොපැමිණීමට
සිතිවිලි
හැරවුමට
කවි පද
ලෙසින්


දෑස වැසේ ඇසි
පියන්
ඊයම් බාරු
එල්ලූ කළ
මෙන් 
කාලය ඇත
පැමිණ
නිදි සුව විඳීමට
යහන මත
තනි


පතනෙමි දැකුමට
සිහිනයන් සුභ
ඔබේ අත
ගෙන
සැරිසරන්නට
අනන්තය තෙක්
පාව යන්නට
මුදු වදන් අසමින්
රැඟුමක්
දකින්නට


නැගෙන්නට පෙර
අරුණ
දකින්නට තුටින්
පෙම් සිහිනය
සතපනු මැනවි
මා ඔබ
තුරුළේ
හිස හොවන්නට
ඔබේ ලැමැදේ
නිදි සුවේ


---රකිත---

Monday, September 21, 2015

ඔබටමයි කුමරියේ



වැසි අඳුර වැළඳ ගති
සරසවියේ අහස් කුස
කළු වළා එක්ව එයි
සිසිල් මද නල සැලෙයි
සිරි සිරියෙ හඬ ඇසෙයි 
වැසි බින්දු ඇද වැටෙයි
මුවා විය පීඨයෙ දොරට
වැසි අසිරි දකින්නට


නිමාවිය දේශනය ඇගේ
පන්තියට පෙර
බලා සිටියෙමි අදද  සුපුරුදු
බංකුවට වී තුටින
ඇද වැටෙන සිරි සිරි වැස්ස
දැක මුවා වී ගියද
සිතුනි ඇදවැටෙන්නේ
වසත් කල මල් වැස්ස


වැසි වැටෙන අතර මැද
මතුව එයි සොඳුරු රුව
මල් වැස්සේ එක කුඩය
රැගෙන යමි දෑත් බැඳ
වැසි බින්දු රැඳී කවුළු
රථ කොනේ අසුන මත
ඔබ සමග සිටින්නට
වරම් ලැබුණි වෙතට මා


ඇසි පිය හෙළන සැණින්
කාලය ගත වන්නේ
වදනක් තෙපලන්න
සැරසුන මොහොතේ
දැනවිය ඇයද වෙන්වන්නට
කල පැමිණ ඇති වග
නික්ම ගිය සඳ ඇයද ආපසු
තනිවූයෙමි පෙර මතකයන් හා


නොදන්නෙමි සොඳුරියේ
පැතූ ලෙස සියලු දෑ
සිදුවේද අකුරටම වරදක්
නොවන්නට
පතන්නෙමි සෑම දින
ලබන්නට ඔබේ හද
සසර ඇති තුරාවට
සැරිසරන සෑම දින 


---රකිත---


 
 

Saturday, September 19, 2015

කාලයම පැමිණ ඇත !


අඳුරු මං පෙත 
එලිය කළ සඳ 
නිමවිය දුක් 
සෝ සුසුම් හඬ 
පාළු තනිකම 
පිරුණු හදවත 
පිරී ඇත දැන් 
ආදරය මත 

කළු වළාවන් මත 
ඇඳී ගිය රිදී රේඛාවන් 
විලස ඇය පැමිණි 
කළ මා අඳුරු දිවියට
පැමිණ ඇත 
සෙවු වසත් කාලය
නුබ ගැබම
ආලෝකයෙන් පිරි 

කඳුළු පිරි නෙතු සඟල 
නැත දැන් ඔබ 
සිනාසෙන නෙත් යොමුව 
ඇතද මා වෙත 
හැඬුම් සුසුමන් නොමැත දැන් 
අද සිනාසෙන මුව 
ඇතද පියකරු ලඟින් 
හිඳුමට සදාකල් යුග 

එක්ව යමු අපි දිවි ගමන දැන්
අයෙකු විලසින් නොමැත 
දෙදෙනකු
පුරමු පෙරුමන් මුලු හදින් 
දැන් එක්ව යන්නට
දෑත් බැඳ මෙ භවේ 
පමණක් නොව සසර 
කෙලවර දකිනා තුරාවට

---රකිත--- 


Wednesday, September 16, 2015

සොඳුරු පැතුමක් ?


කලක් දුටු සිහිනයන් - කලක් පැතු පෙම් පැතුම් 
බිඳින් බිඳ ඉටුව යන - සුභ කලක් පැමිණ ඇත 
දුක් කඳුළු සුසුම් මැද - හද රිදව ගත් යුගය 
නිමා වෙන කලද ඇත - වසන්තය පැමිණ ඇත

අඳුරු මග එලිය කළ - පහන් ටැඹ නුඹම විය 
මරු කතරේ සුව දුන්නු - කෙම්බිමද නුඹම විය 
වියලුනු පරවුණු ලොවට - වසන්තය නුඹම විය 
තනිකමට තිත තැබූ  - සොඳුරු පෙම නුඹම විය      

නව පැතුම් නව හැඟුම් - සිත තුළින් පෙරට එයි 
නව දිවිය නව මගක - සුභ සිහින පෙරට එයි 
දෑත බැඳ එක්වන්න - සැරසෙන්න යුගය එයි 
දින ගනිමි ජයගන්න - ජීවිතය නුඹ සමග 

---රකිත ---


Monday, September 14, 2015

කෙම්බිමක හමුවක් !



දුකද කඳුලද උරුම කරගත්  
රුදුරු වැලි කතර අද්දර 
විරහ වේදනා උරුම කරගත්  
චණ්ඩ දූවිලි කුණාටු අද්දර  
තැවුල් සුසුමන් උරුම කරගත්  
චණ්ඩ රුදු රිවි කිරණ අද්දර 
දුටිමි කෙම් බිම කතර මැද මා 
හමුවූ කළ ඔබ සරසවි බිමේ සිට

මුණගැසුණු සඳ සවස් යාමේ 
මුව පුරා පිරි පෑ සුහද මද හස
තුරු සෙවණ වැටි බංකුවේ හිඳ 
මිහිරි වදනින් තෙපෙලු කළ 
ආගිය කතා බස් කවිද 
කොනේ සිට මා දෙස බලා 
වැටහෙන්න ගති ඈ මා දුටු 
සිහින කුමරිය සැමදා පැතූ

සිහින් මද නල ඇගේ වරලස 
පිරිමදින කළ ලෙලදෙමින් එය 
සුහද බව පිරි වුවන සැබවින් 
කියයි ඇගෙ ඇති අව්යාැජ දිවිමග
යෙහෙලියක් හා බස් රථයේ නැගී ඈ 
පිටව ගිය මුත් නැවත හමුවන්න
ලබන ඉරුදින ලබන තුරු කල් 
බලාසිටිනෙමි යළි ඇගේ රුව දකින්නට

කතර තරණය නිමා කරනෙමි 
සොඳුරු කෙම්බිම අතැර නොයනෙමි 
ලැගුම් ගන්නට ඔබේ හද තුළ 
ඉඩක් ගන්නට පතමි අද සිට 
ඔබය සොඳුරියේ මහද සිත්ගත් 
සිහින කුමරිය සැබෑ ලොව ආ 
පතන්නෙමි පැතුමක් හදින් මුලු 
හිමිව එන්නට කුමරි මා වෙත

---රකිත--- 


 

Thursday, September 10, 2015

කරුමය? නොමිනිස්කම? අසාධාරණය?



ගිනි ගහන මද්දහනේ - හිරු රැසින් ඔප වැටුණු 
කළු ගැසුණු මහ පාරේ - ඇදී යන රථ ගොන්න 
ඉස්පහසුවක් නැති දනෝ - යනෙන ඒ මග අයින 
ඔහු යදියි කොනක සිට - බඩ පනුවෝ සනසන්න

කලබලෙන් යනෙන වුන් - දෙස බලා අත පාන 
කිසිවෙකුත් නොදැක ඔහු - පසුකරන් යන කලක 
ගිලී ගිය දෑස වියලි ගිය මුව - හිස් බැල්ම පාන කළ 
කුසගින්නේ ඒ ඇති රඟ - නොවැටහෙන මිනිස් කැළ  

කොතක් සේ ගොඩ ගසා - අඩක් කා ඉතිරි කළ 
ඉඳුල් බත එකතුවේ කඩ - කුණු බඳුන් මුව විටට 
යදින ඔහු ඇදී එයි ඉව කරන් - කඩ පිල වෙතට 
මුදලාලි කෑගසයි එලවන්න - කාලකන්නියා නමට

උණු හදක් ඇති අයෙක් - පුදයි කෑමක් ඔහුට 
දෙව් බුදුන් වඳින අත් - පිං දෙවයි ඔහු වෙතට 
මග කොනක බිම ඇදී  - ඔහු බුදින කළ බතට 
දුටිමි ඔහු නෙතු කොනින් - වැටෙන කඳුලක් අතට

කුසගින්න දැනෙන සඳ - පිපාසය දැනෙන සඳ 
අසරණව සිටින සඳ - සිහින බිඳ වැටෙන සඳ 
මතකයට නැගෙන සඳ - මග කොනේ සිටිය සඳ 
කුරිරු බව දැනෙයි ලොව - මුලු හදේ පතුලටම

---රකිත---  

     

Wednesday, September 9, 2015

හිම කිරීම වෙළෙඳ තැන වෙත ලියමි





චණ්ඩ රිවි කිරණ මැද - තුන් රෝද රථයේ නැග 
ගීත නද විසිරමින් - කන්තෝරු බිමට එන 
රස නහර පිනවන්න - විවිධ වූ රසය ගෙන 
හිම කිරම රැගෙන එයි - බෙදලන්න ඒ සිසිල

ගීත නද කන වැකුණු - සියල්ලන් හනි හනික 
නිල තලය බල තලය - පසෙක ලා මද කලක 
තරුණ වැඩිහිටි සැමද - අවට පැමිණෙන සැමද
හිම කිරම රස බලයි - මිල ගෙවා ගෙන තුටින්

හිස කෙස්ද සුදුව ඇත - වුවන ඔහු කළු පැහැය 
මැදිවියද ගෙවී ඇත - මහලු විය පැමිණ ඇත 
අත පයේ ඇති සවිය - සිතේ ගත ඇති දිරිය
පෙනෙයි සඳ රැකියාව - කරයි පරපුටු නොවී

හිම කිරම සේ ඇතිද - මිහිර මේ බඩ වියතෙ 
හිම කිරම සේ ඇතිද - සිසිල ඔහු ජීවිතයෙ 
හිම කිරම සේ ඇතිද - වෙනස ඒ තුළ කලෙ  
හිම කිරම සේ ඇතිද - සතුට ඔහු සිත තුළේ

නික්ම යන කල ඔහුද - නැවත තුන් රෝදයේ
හිස්ව ඇත හිම කිරම - ඇතිය හිස් භාජනේ 
ගත වෙරද සිත දිරිය - ඇති ඔහුගෙ ජිවිතේ
ගොතමි මේ කවි පදය - ඔහුගෙ ඒ නාමයේ 

---රකිත---  



Tuesday, September 8, 2015

සොඳුරු කවිකාරියට


අරඹන්න සිතක් ඇත නව ගමනක් තුටින් 
පියඹන්න සිතක් ඇත සුදු වළාකුළු මැදින් 
පොපියන්න සිතක් ඇත සිහිල් මදනල ගතින් 
හිනැහෙන්න සිතක් ඇත ඔබේ හදවත ලඟින් 

පෙර කලක සිත් පෙළුණු මතකයන් වියැකෙන්න 
නෙතු කෙවෙණි තෙත් කරන කඳුළු බිඳු වියලෙන්න 
මුදු වෙරළ සිපගන්න සයුරු රළ නැග එන්න 
පතනෙමි පැතුමන් තුටින් ඔබ ලඟට දිව එන්න 

වදනින් වදන එක් කරන ගෙත්තමින් කවි පදය
තාලයට හසුරවන පන්හිඳක අකුරක්ය මුතු හැඩය 
සියොලඟම කිති කැවෙන සිත් ආල හැඟුමක්ය
පවසම්ද සොඳුරියේ ලියු වදන් පෙම් කවිය 

නොසඟවා පවසම්ද සැබෑ තතු සොඳුරියේ 
දුටු දිනය දා පටන් සිත් බැඳුණි ආලයේ 
පැදි පෙළ ගෙත්තම් කරන සයිබර් අවකාශයේ 
ඔබ සිත ලඟින් නවතිම්ද සොඳුරු කවිකාරියේ       

---රකිත ---

 

Monday, September 7, 2015

???දිවියද ???



කවි ගද්‍ය පද කුමට ඔබ නොමැති කල මෙමට
වෙණ වැයෙන නද කුමට ඔබ නොමැති කල මෙමට
නෙතු පිනන දසුන් කුමට ඔබ නොමැති කල මෙමට
යහන් ගැබ නිදි සුව කුමට ඔබ නොමැති කල මෙමට

අරුණැල්ලේ හිරු කිරණ දකින්නට වරම් නැති 
හැන්දෑවේ රිවි රැසද වදින්නට වරම් නැති
රාත්‍රියේ සඳ සිසිල විඳින්නට වරම් නැති
පෙම් සුවය හද ඇගේ ලැබගන්න වරම් නැති 

නුබ ගැබද මිහිකතද දුටින මුත් ඇති තරම් 
නිදහසේ විසිරෙන්න ඉඩක් නම් නැති තරම්
හැර දමා සෑම දේ නික්මෙන්න නැත වරම් 
සිරකරන් සිටිමි හද පරවන පෙම් හැඟුම් 

තනිකමේ තනියටම සිතින් එන කවි වදන් 
අමුණමින් ගොතන්නෙමි ඒ වදන් සඳ තුටින් 
කිටි කිටියේ සිරව ඇති හැඟුම් කියවෙයි වදන් 
මැදින් එනු මැන සිහින මුදු වදන් ගෙන තුටින් 

බිඳී යන සිහිනයන් කරයි නෙත් කෙවෙණි තෙත් 
හී තුඩක් වන් වදන් විනිවිදව යති මුදු හදවතත්
නව දිනක් එළඹෙන්න හිරු නැගෙන තෙක් සිටිත් 
වකුටුවී නිදි වදිමි නව දිනක් උදා වන තුරුත්

---රකිත ---   


Thursday, September 3, 2015

?????????



සවන් පත් වටා 
භ්‍රමණය වෙමින් 
නද දෙමින් 
හඬ කූං 
නිදි මරණ රාත්‍රිය 
අමු අපායක් 
කරන 
පැයක් මහ පාරට 
අට පැයක් 
කන්තෝරුවට 
තවත් පැය 
එක හමාරක් ආපසු 
ගමනට 
පිළිස්සුනු රුධිරයෙන් 
ඉතිරිය 
උරා බොන්නට 
වැයම් 
කරන තී
චටාස් හඬින් 
පොඩි කළ සඳ 
මතකයට 
නැගුණි 
පෙර පෙමක 
සේයාවන් 

---රකිත--- 


පහේ කණිසමේ සොඳුරු වූ වර්ෂාව


කළු වළා රොද බැඳුනු 
වැහි බීරුමෙන් එතුනු 
සිසිල් මඳ නලින් එනු 
දිය බින්දු ඇද වැටෙනු 

අඳුරු නුබ ගැබින් මිදුනු 
හී තුඩක් සේ ඇදුනු
වා තලය විනිවිදිනු 
මිහිකත සිප ගන්න එනු

මතකයන් ගෙන යන්න එනු 
සිහිනයන් දැක ගන්න එනු 
අඳුරට පෙම් කරන්නට එනු 
සැනසුමක් සොයන්නට එනු  

කොපුල් තල මත වැටෙනු 
හිස දිගට දෙපසට වැටෙනු 
මුහුණු අත පය මත වැටෙනු
මුලු ගත තෙමා ඇද වැටෙනු 

අට පැයක් එකම තැන - මස් කඳන් සේ සිටිනු 
අට පැයෙන් පසුව එන - කලට සෙලවී සිටිනු 
අට පැයක් හිරු කිරණ - නොවැටි කළ සේ සිටිනු
අට පැයෙන් පසුව ගත - දොවනු වැසි බිඳු වැටුනු 

පැය අටේ සිත් තැවුල් සෝදා හරින්නට 
පැය අටේ ගත විඩා නිවා සනහාලන්ට
පස් පැයක් වත් හොඳින් ගත සිත සතපන්ට
ඇද හැලෙනු මැන වැස්ස ජීවිතය සනසන්ට

---රකිත --- 


Wednesday, September 2, 2015

පැතුමක් ?



දෙවයේ සරදමින් 
හමු නොවුනද 
වසත් කල 
හමුවෙමු අප 
ගිම්හානයේ 
කල පමා 
වුව කළ
දුබල ගතින් 
වාරු නැති 
සීත
ඍතුවේ 
එක්වෙන්න 
නොව 
කරනට පැතුමන්
පිංකම් 
මතු භවේ
හෝ 
හමුවන්න
පෙරුමන් පුරන්නට 
අවසන් හුස්මට 
පෙර 

---රකිත ---     

 

වෙනසක් සැනසුමක් !

රැක්කෙමි නිහඬතාවය 
පැවසූ ලෙසින් ඈ 
සැනසුම දැනුණි 
පෙර පැවසූ 
ලෙසින් ඔහු
හිතට සැහැල්ලුයි 
සොම්නස හදට 
දැනෙයි 

පෙර කල පටන් ලැබුනද 
ඔවදන් ගුරු හරුකම්
නොකළ කල මායම් 
වින්දේ අපහස 
උපහාස 
සිත් රිදුම් 
එරවුම් ගෙරවුම්
සමග 

කිසිත් නැත ගෙවුණු 
දෙදිනට හද 
පාරවන රිදුම් 
සැබෑ සැනසුම 
ලැබී ඇත තුමු 
පස් වසක 
නිමාවෙන් 
මතු 

රැකගනිමි ලැබ ගත් 
සැනසුම 
පීඩා බාධක මැද 
වුවද 
අරඹමි නව වූ
ගමනක් 
නව දිවියකට 
ආසිරි මැද 

---රකිත ---