Tuesday, April 28, 2020

~~ තත් කාලීනවූ කල ~~



සිර කරන ජීවිතය නිවසේ 
ඇඳිරි නීතියට ඇති
මනුසතුන් නොමැති ලොව 
නිරී සතුන්ගේ රඟට 

දින ගණන් මතක නැත 
සති ගණන් ගෙවෙන කල
නිදහසක ඉමිහිරි සේයාව 
තව දුරද කියනු මැන

විදුලි බල ජල සැපයුමත් 
ලැබෙනවා ඇති තවම
රෝහලත් වැඩ ඇතිව 
වෙද හෙද දෙවිවරුන් අත

ත්‍රිවිධ හමුදා පොලිස් 
රණවිරු රැකවලුන් මැද
රකිනු මැන දෙවියනේ 
ඒ අපේ විරුවන් නොවෙද

බරට බඩු පටවා ගෙනෙන 
කුසගිනි නිවන්නට දනන්
රථ පදවනා දෑතට 
සහය වන ඒ පිරිස් කැළ

ඉත සිතින් පතන්නෙමි 
රැක දෙන්න ඒ මිනිසුන්
නොසිටියා නම් උන් අද 
අප නොවේ කුස පිරුමට

ඇසටවත් නොපෙනෙනා 
සවනටත් නොඇසෙනා
කොරෝනා රෝගයේ 
විෂබීජ පැතිරිලා

පන කෙන්ද රැකගන්න 
බියට පත්වූ දනන්
සරණක් පතයි නිති
දෙවියන් බුදුන් වැඳ

පරදවා මනු සතුන් ලොව 
රජ කරන තිරිසන් සතුන්
ජය රැගෙන පැමිණ ඇත 
සොබාදම් මාතාව

වෛරසය රඟ දේවි 
තව කලක් ලොව පුරා
ඉතින් අපි ඉවසමු ටිකක් 
දැවී යන තුරු එයත්

---රකිත---


Monday, April 13, 2020

~~ 2020 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ~~











කොහෝ නද ඇසෙනවද 
අදත් ඈතට මිහිරි
කැවිලි නැති මේසයක් 
හිස්ව ඇත ඒ දිනට

දූදරුවො නෑසියන් 
පැමිණ නැත පෙර ලෙසට
ගිනි කෙළිත් අද නොමැති 
නිහඬ කම රජ වෙලා

නැකත් පත අවැසි නැත 
අනුභව වැඩ ඇල්ලුම් නැති
ගනුදෙනුත් වලංගුව නැති 
හිස තෙලුත් කුමට නම්

පමණටම ඇතිය සහල් 
තුන පහද එක් කරන්
එළවලුත් ටික ටිකය 
වෙනදා මෙන් නැතුවාද

සීනි නැති කිරි කහට 
පිටිත් අඩියට හිඳී ඇති
පළතුරක් දුටු දිනක් 
මතකවත් නැති තරම්

වේලක් දෙවේලක් 
පිරිමහන කල ගෙදර
සිහි වෙනා පෙර දිනක 
කුස දැරූ රස මවුළු

අවැසි දෑ රැගත් රථ 
හඬ ඇසෙන දකින කල
පසුම්බිය අත දරා 
දුවන රඟ කට වසා

දින ගණන මතක නැති 
දිනය හඳුනන්න බැරි
නින්ද ගෙන ඇත ගතේ 
පාලනය මසක සිට

දහවලත් නිහඬ කළ 
ඇඳිරි නීතියද වැටි
නොපෙනෙනා නෙතේ 
වෛරසය රැඟුම ඇති

කොරෝනා ආ නිසා 
අවුරුදුත් නම් නොමැති
කවිපදත් ලියෙන මුත් 
එහිත් නම් රසක් නැති 

වෙද හෙදි රණවිරු පොලිස් 
රකින්නට මනු දැයේ
වෙහෙසෙනා සැටි දකිමි 
අසනෙමින් නිරන්තර

ඉවසා සිටින්නට 
රුදුරු කල් ගෙවෙන තුරු
සමරමුද අවුරුදුත් 
ලබන වසරේ සිටම

---රකිත---




Saturday, April 11, 2020

~~ ගැහැනිය සහ පිරිමියා... ~~












විටෙක බොලඳ වූ අදහස් දරන
ඒ මහා පතිනිය නුඹයි...
ගැරහුම් නොයෙක් විදින්නට වූ
මහාමේරුව නුඹයි...
නමුදු එක් තැනක පමනක් නුඹ
පිරිමියා පරයා යයි...
තිඹිර ගෙය, 
නුඹයි ඒ මහාමේරුව තවත් සවිමත් කරන්නට වූ....

දහදිය පමණක් උරුමයක්ම වී
නුඹයි දිවියට සවිය වූ...
හිත හයිය ඇති මහ සයුර වී
නුඹයි රළ කළඹන්න වූ...
නමුදු නුඹද එක් තැනක
ගැහැණිය පරයා යයි...
හයිය හිත,
නුඹයි... ඒ සයුර මහමෙරක් සේ 
කළඹන්නට වූ...


යථාර්ථයෙන් ඔබ්බට
From Lyrics Writer :- මාලින්ද බණ්ඩාර


Sunday, April 5, 2020

~~ සිරව ලියමි ~~



සුපැහැදිලි පියකරු 
අහස කුස මනරම්ය
පැතිරෙනා දසත 
සියොත් නද ඉමිහිරිය

රඟන වන සතුන් කැළ 
අද්දරට වී නගර
සිටින අප නිවසේ 
සිර වෙමින් දුක සේ

දවන මුත් උණුසුමින් 
මිහිකත චණ්ඩ හිරු
හමන මද නල සිසිල 
ගෙනේ වැසි සමග එන

නිහඬ බව රජ කරන 
පරිසරය සුවය දෙන
විඳින්නට පින නොමැති 
මර බියට සැඟවිලා අප

ඇසටවත් නොපෙනෙනා 
වෛරසය චීනය ගෙනා
අරුමයක් ලොව පුරා 
පැතිර ගිය අපූරුව එයත්

මහ ලෝක බලවතුන් දණ 
නමයි සොබාදම් ඉදිරියේ
මනු සතුන් පැරදේද වැනසේද 
ගැටලුවකි සිත ඇතේ

මහ නගර අගුලු ලා 
නිරෝධායන වෙලා
මහ මගද සාගර තලය 
නුබ ගැබත් සැනසිලා

යාන්ත්‍රික ජීවිතය 
එක තැනක කොටු වෙලා
කාලයත් නොදැනීම 
ගෙවී යන රඟ බලා 

වායු ගෝලය වෙනා පිරිසිඳු 
සාගරය නොවේ දූෂණ තවත්
භූමියත් වන ගහනයට 
සුදුසු ලෙස පවතින ලෙසට

සියල් සතුන් විඳිනා නිදහස 
සුවය කලකින් ලැබූ
බිතු සතර මැද සිරව 
යදියි දෙවිඳුන් මනු සතුන්

කොරෝනා නුඹ කළ හදිය 
කදිමය සිර කරන් මනු සතා
අහිමිකරමින් දිවි දහස් 
දින දිනට ගෙවෙනා

පද බඳින්නට නිසඳැස් කවෙන් 
නොහැක නම් සිත් ලෙසින්
රස මරා දමා ඇත සිතේ
සිර ගතවූ ඇඳිරි නීතියෙන්

---රකිත---