Thursday, June 29, 2023

~~ රැයක සිත ~~




තරු එළිය තුරන් වූ 
අඳුරු ඇති නුබ ගැබත්
සුසුම් ලන මද නලින් 
සෙලවෙනා තුරු ලතා

ඉටු නොවූ පැතුමන් මතින් 
වේදනාවද රැගෙන එන
කෙලෙසකද කරනු 
මා රැය පහන් මේ ලෙසින්

ප්‍රිය වදන් ඒ කලක 
මුමුණමින් සවනතට
ලොවට බියවී සැඟවිලා 
රහසින්ම සිටියා වූද

මදහසින් නෙතු අගින් 
කියැවෙනා කතාවක්
අසා සිටි මොහොත 
නික්ම ගොස් කල් ගතව

නොකළ දෑ පමාවට 
නොවේ නම් කරුණු සමාවට
ආලයේ නාමයට වූවාද 
ගොසින් ඒ කලාවට

අත්හරින්නට වූ තැනක 
තදින් අල්ලා ගන්න
කිමද ඒ හේතුවක් 
අරමුණට නොයන්නට

හිස මතට පැටවෙනා 
බර දැනෙන විට හදට
නිදහසේ අරුමයක් 
නොදැනුනා නොවේ මට

දරා ගනු නොහැකි සඳ 
තබා ගනු කෙලෙසකද
හැර දමා ගොසින් ඇත 
දැන් බොහෝ කල් වැඩිය

ඉඳ හිටත් දැනෙන විට 
බුර බුරා නැගෙන කල
කරමි යටපත් හැඟුම් 
වැර වෑයමින් නිබඳවම

පිං මහිම අවැසිමය 
ලබන්න යම් වූ සැපත
හිමි අහිමි කම නොවෙද 
ඒ මඟුල් සක්වලත්

--- රකිත ---



Monday, June 12, 2023

~~ ඇයට ලියූ කව ~~




සිර කළ හැඟුමන් පහව නොයන කල
දැනේ නුඹ අසලක සිටිනා ලෙසින්
පැතූ දෑ අද නොලැබ යන සඳ අප හට
නොදැනුනා නොවේ අහිමි කම ඇති

අමුත්තිය වූ නුඹ සුපුරුදු දිනයක වුව
එහි සැඟව ගිය අරුත තේරුම් ගතිමි
නුඹම පමණි එනමුදු සිටින්නේ ගැබ්ව
හදවතේ පතුලකට සිතුවිලි රටාවට

හඬා වැටෙන සිත දරා රැගෙන වෙර
මුවග සිනාවෙන් වසා කඳුළු කැට
රැඳෙන්නට මදක් වෙනදා මෙන්ම
වරම් නැත අද අප ඇතිවා වෙන්ව

සියල්ල හැර යන්නට කල් පැමිණ
පෙර සේ දැකුමට නොවේ කිසිවිට
නොමැත වන්නට මුසුප්පුවට කල්
අප තනි කර ගමන යන ලෝකයක

නුඹට ගයනා ගීතයක තනුව නිමැවුමට
අවැසි නොවේ තව දොසක් නගන්නට
එක් මගක යනු නොහැකි බව දනිමු අපු
නුදුටු නුහුරු ලෙස පසු කරමු එකිනෙකා

සසර කළ කර්ම බල ඵල දෙනා යුගයකට
පිං තකා කළ දෑම නොවය ඉතිරිව ඇතිව
බල මහිම පුණ්‍ය කර්මයේ ලැබෙන විටක
හිනැහිලා හමුවෙමුද මතු සසර එක් දිනක

--- එච්. එම්. ආර්. බී. රත්නායක ---