Monday, July 29, 2019

~~ නුඹට~~











වැසි බිඳක් 
ඇද වැටී 
වළා ගැබෙන්
සිසාරා හමා යන 
සුළං මතින්

පාවී මුසුව 
සිසිලෙන් වෙලී
ගැටී නළල් තල 
මත ඉනික්බිති
ගලා වුවන මත 

දෙතොල වෙත
හාදුවක ඉමිහිරි 
මතකයන් තුළ
කිමිදෙන්නට සිතින් 
පියා නෙතු

හැපී ඇදෙනා 
සුළං රැළි
වෙලෙන ගත 
සුව දෙනා
මතකයන් අතර

වැළඳ ගෙන සිටි 
නුඹ දිනක
සිහි කරන කල
රමොද්ගමනයක
සිරි විඳින ගත

ගිලිහි වැටෙන 
තුරු විටප
මල් නටු 
අගින් සිඳී එන
කල් ගතව 

පැමිණ සිට
නික්මෙනා නුඹ 
මතක අතරින්
වසන්තය හැඟී
තවත් දුර ලෙසින්

හිරු අවර වූ කල
විදියේ කොනේ
සුපුරුදු තැනේ
පහන් කනුවට
සිටිමි තවමත්

ඇති නම් වරමක්
ඉතිරිව ඇතිව
පැමිණෙන්නට නුඹ
නැවතත් වරක්
ඉඳිමි මග බලා

---රකිත---





Sunday, July 21, 2019

~~ ගත වූ කල් ~~



කාලයා බැට දුන්නු 
මුහුණු තහඩුව දිරන
වසන්නට තැත් කරන 
පරිණතව ගිය පෙනුම

තුරුණු කම් සිත රඳන 
නොරඳනා ගත මතින
ඉදින් වස්සානයට 
සමුදෙන්න කල් ඇවිත්

මල්ලී වූ නම අයියා 
වන්නට කලක් ගත වුවද 
අයියා මාමා වන්නට ගත 
නොවුනි එතරම් කලක්

කරන්නට ඇති දෑ තවත් 
බොහෝ එමට ඇත
කාලය කිමද නුඹ ගෙවී යන 
ඉක්මන මෙලෙස

තප්පර විනාඩි පැය ගණන් 
පෙරළෙනා කල
දින සති මාස වසරද 
ගෙවෙනා නොදැනීම

කල් ගත වුවද ජිවිතයට 
වෙනසක් නොම වේද
ගිම්හානයේ අභියස 
පෙනේ සැබෑ නෙතින්ම

රැඳී ඇත එක් තැනක 
කාලයා ගෙවෙනා මොහොත
ගතත් දැන් අඩපන සේය 
ප්‍රතිචාර ප්‍රමාදයි නිතර 

මතකයන් ඇති නමුදු 
ටිකක් අමතක වන සැටිය
හිටිහැටියෙ ටික ටිකම 
වෙහෙසක් දැනෙනා හැඩය 

ගමන් වේගය නොවද 
වටිනාකමට කියනා දනෝ 
නොදනීද පසු කරන්
සියල් සැම යන ඉදිරියට

ජය කනුව පෙනෙන දුර 
වාරු නැති බව දැනෙන
අවසරයි පිවිසෙන්න 
ගිම්හානයේ දොරටුවට

---රකිත---


Friday, July 12, 2019

~~ යථා බව හැඟුනු ~~



විකසිත වන්නට 
වස්සනයට සොඳුරු
වරම් නැත 
ලැබ අවාසනාවට

වසන්තය අග 
ගිම්හානයේ දොරටුවේ
පිපෙනු නම් කුමට 
අහිමි වස්සානයට

සිරව සතර බිත්තියට 
කාලයා පැන ගොසින්
පිටත ලොව පැමිණි කල 
පමාවක් දැනේ සිත

පසුකරන් සියල් 
මනු දනන් දුටු නුදුටු දින
ඉදිරියෙන් සිටින ඔවුන් 
මා පමා වැඩි නොවෙද

නොලැබි සරසවි වරම ලැබුමට 
සති අගට වෙහෙසෙනා
වරම් ලද උන් දකින 
සිනහා පහල නොකරයිද

ඉගෙනුමට කම් නොවේ 
විවාහය තව දුර යැයි කියා
උන් කියන වදන් නම් 
පාරවයි විටෙක සිත

හිරිහැරද සරදම්ද 
අඩුවක් නැතිව දින පුරාවට
ඇනුම් බැණුම් ගැරහුම් 
කෙළවරක් නැතිවාද

කල් ඇවෑමෙන් සියල් 
විසඳී යන බව සිතා
ගෙවී ඇති කල් පමණ 
නොවේ කිසිවක් වෙනස

දිනක් පාසා ගෙවෙන 
එකම දැති රෝද ලෙස
නොවෙනස්ව ඇති දිවිය 
රසවත්ව නොයා යන

දිනා ඇති ලොව දකින 
වෙනත් අය සුන්දරව
අහිමි වූ යුගයකට 
සිත දිවෙන හැටි කදිම 

සිහින දකිමින් මවා 
සොඳුරු ලොවක් නින්දෙන්
සැබෑ ලොව අමිහිරි 
දැකුම් විඳිනට නිරන්තර

වසන්තය ගෙවී අවසන් 
තව කලකින් නුදුරු
ඉතින් අවසරයි නික්ම යන්නට 
සමුගෙන ලොවෙන්

---රකිත---  


Monday, July 1, 2019

~~ මළ පුතු කී කව ~~



එකත් පසෙකව මගක් අයිනක
නිමවා සේවය ගමන නිවසට
සොහොයුරන් මව්න් දැකුමට
හානි හනික පා තබා ගමනනින්

රැක සිටි මරුවා කුලී මරුවෙකු වෙසින්
වැරදි ඉලක්කය බලා රුදු නෙතින්
වෙඩි සැර හෙළා ලය මැදට වන්නට
සිව් සකෙන් කරවා යට තහවුරු කෙරුමකට

හෙළා රුහිරය පපු කැනති සිදුරින්
බිඳී ගිය අත් පා රිය සකේ සවියෙන්
මුසු කරා වා තලයට අවසන් හුස්ම පොද
අත්හැර දමා ප්‍රාණය අහිමි සිරුරින්

ඇසිමි අහසක සිට භූමිය උපන්
මව නැගූ විලාපය මළ කඳ දුටු කලට
සොයුරන් නිහඬව කඳුළු කැට සලන
රැගෙන යන සිරුර මල් සල වෙතට 

උපන් ගෙට ගෙනා බහාලූ සිරුර පෙට්ටිය
හඬන මව කියමින් අහිමි පුතු ගුණ
මිතුරු මිතුරියන් අසල්වාසීන් හිතවතුන්
කරන බුහුමන් අවසන් ලෙසට හැම

දින තුනක රැය දෙකක පුරාවට
හඬන මව සැනසුමට පිරිවර සිටින
නෑසියන් පවසනා නිමක් නැති කතා
පාරවයි ගොතනා ඇතැමුන් කියන බොරු

අවසන් ගමන සොහොන් බිම වෙත
ආදාහනාගාරයට තව ටිකක් දුර ඇති
මතක වස්ත්‍ර පුජා ගුණ කතන මැද
දවන්නට යන මෘත කලේබරය ඇත

වායුවෙන් පිඹ දල්වා ගිනි යන්ත්‍රයෙන්
දවන සිරුර එක්වේ කළු දුමින් අහසින්
දෑත් එක් කර හඬනා මව දුටිමි ඒ අතරින්
සොයුරන් දෙපෙල නිහඬව බලා ඇති

සේයාරූ දෙස බලා සුසුම් හෙළනා මවද
තනිකම දැනෙනා සොයුරන් දෙපෙල
නිලදරුවන් සොයයි වරදක් කළ වුන්  
දඬුවමට නීතියට හසු කරන්නට

අවසරයි මනු ලොවෙන් සමු ගැන්මට
පර ලොවට මං විවරව ඇත දැන්ම
සොයා යන්නට නව ලොවක් නිම නැති
සිහිනයෙන් හෝ හමු නොවන්නට

පිං ඇත පව් ඇත ගෙවන්නට මතු භාවය
සසර පුරාවට ලබන්නට සෙනෙහස
මවුනි සොයුරනි පතමි නුඹ සැම අද
ලබන්නට මතු භව එකම පවුලක් විලසකට 

---රකිත---