Tuesday, August 27, 2019

~~ තනිකඩ කව ~~



ඇද වැටෙන මල් වැසි 
හීතලට සුළං රැළි
කිළිපොලායන ගත 
සොයන නුහුරු උණුසුමක්

වැළඳ කන්වයිනයක් 
පොරෝනය තුළට වී
සිහිනයෙන් විඳිමි සුව 
නොලැබූ සැබෑ ලොව

රැළි පිට රැළි නැගී එන 
සයුරු තල කළඹවා
හැඟුම් දළ සිත පුරා 
රැඳෙන පිරිපුන් ලෙසින්

මත් බඹරිඳු ලෙසින් 
සොයා රොන් උරන්නට
සිහින අවකාශයේ 
සිතක් පියඹනා හැඩ 

රෝමාන්තික වනු කිමද 
සිසිලසත් නුඹ මෙලෙස
රිදවන්න තනිකඩ සිතක් 
ගතට දුක් ගැහැට දෙන

උරුම නොවනා සුවය 
සිහිනයෙන් ලබන්නට
නිදි කුමරියත් අද නැතිවාද 
කුටිය තුළ සිටින්නට

වසන්තය විඳින්නට 
මකරන්ද රසයෙන්ම
මුහු කරන්නට යෞවනය 
මල් පෙති මතට ගෙන

රඟන්නට රතිය නියම
නුරා ගිනි දල්වමින් හදේ
යහන් තල දෙදරවා 
අකුණු සැර විදින්නට

සඟවමින් කඳුළු කැට 
හෙලන්නට වරම් නැති
සොවින් සිට තුටින් යුතු 
වතක් සේ පෙනෙන්නට

මුවා වී කාලයට 
ගෙවෙන වස්සනයක
ඉම පෙනේ නුදුරු ලෙස 
තනි යහන අද්දරට

---රකිත---


Thursday, August 15, 2019

~~ අවසන් අබියස ~~



පවසනා කැඩපතක් 
රහසක් ලොවක් දන්නා
නර කෙසක් පැසී ඇත 
හිසේ දෙපසින් සිටින

රැවුල් ගස් අතරින් 
සුදු කෙසක් සැටි මතුවෙනා
කෙසේ නම් සඟවම්ද 
තුරුණු බව වියැකෙනා

මුහුණතක ලවනතක් 
මැකී යන නියාවෙන්
දෑස් කෙවෙනිද ගිලී ඇත 
ලඟද මන්දා ඇඳිරියට

රැළිත් එක දෙක පෙනෙන 
ගෙල අද්දරින්
නොතේරේ සිතට දැන් 
කුමක් වේ දැයි කියා

පපු තුරේ මස් ගොබ පෙනෙන 
නොපෙනෙන සේම
නෙරයි උදරය කළ හැඩය 
ගෙන  දිස්වෙනා පිටට

දෑත් දෙපා නහර වැල් මතුව 
රැළි වැටේ එක එකින්
ගත අසමබර බවත් දැනේ 
නොදැනෙනා ලෙසට

දෑස් පෙනුමත් දුරට දැන් 
හොරට මෙන් දැනෙන
සවන් ඇසුමන් ඉහළ හඬ 
දරනු නොහැකි ලෙස

සීනී තෙල් මේද ගත රුධිර 
පීඩනද බිය ගෙන දෙනා
මතකයත් එහෙ මෙහට 
අමතක වීමුත් ඇතිව

නැගෙන හිරු බැස යන්න 
කලක් උදා වන බව දනිමි
දිවා සන්ධ්‍යා කලත් ගෙවා 
අඳුරු රැය එන බව දනිමි

වසන්තය සදාකල් නොවන 
බව සිහියෙන් දනිමි
නුදුරු කළ එන මරණයක 
සේයා රැඳෙන බව දනිමි

---රකිත---



Sunday, August 4, 2019

~~ වියෝව ~~



සරසා ගත අගනා 
සළු පිළියෙන්
වත කරවා මනරම් 
හැඩ තලයෙන්

රැගෙන මල් 
කළඹක් දෝතින්
කිමද නුඹ අද 
නිසලව සිටිනු රිසින්

පෙර දිනක සිප සැනසූ 
උණුසුමින් වෙලී
සිසිලසින් දරදඬුව ඇත 
නළල් තල මතද

නිල්වන් නෙතු සඟල යලි 
විවර නොවනා ලෙස පියා
දෙතොල් රත් මුදු නොමැත 
වරම් හාදුවකටත්

මනාලිය වන්නට 
පුරා පෙරුමන්
මනාලිය විය 
මරණ මංචකය වෙත

නිදන නුඹ සුන්දරය 
නොදුටු මනාලිය ලෙසින්
මෘත කලේබර පමණි 
නුඹ නොමැත එහි

වරම් නැත එදා මෙන් නුඹ 
දෑත ගෙන වැළඳ ගැනුමට
වැඳ වැටෙමි දෑත් එක් කොට 
පිදුමට අවසන් ගෞරවය

රතු රෝස කුසුම් පෙති 
එදා නුඹ වෙත පුදා සිට
පුදමි මෙදිනට සුදු රෝස 
කුසුමක් නුඹ වෙතට 

රැව් දෙනා මතකයන් 
දවන හදවත මතින්
ලොවට සැඟවූ පෙමක්  
නොදනිනා කිසිවෙකුත්

සඟවමි කඳුළැලි ලොවෙන් 
ප්‍රේමයේ නාමයෙන්
නොවන්නට නුඹ වෙත 
කලු පැල්ලමක් ලෙසකින්

මතක වත් පිළි ගන්වා
පැන් වත් කරන් පිං දෙනා
මොහොතකින් නුඹ ගතත් 
වෙලෙනු ඇත ගිනි ජාලයෙන්

අවසන් ගමන කැරකොප්පුවේ 
ආදාහනාගාරය වෙතට 
බර දරා මමත් එමි නුඹ 
දේහය රැගත් පෙට්ට්ටියට

නුඹ නොමැත 
අදින් පසුව
මතකයක් පමණක්ය 
අතීතය හා එක්ව

සසර මග අකල් මරණයන් 
නොම වේ පැතුම්
එක් කරමි හදවතින් 
සෝ සුසුම් මුසු කරන්

---රකිත---