Thursday, January 26, 2017

~~ සොර නික්ම ~~












නිමිත්ත  

සුපිරි වෙළඳ සැල් ආරක්ෂක නිලධාරිනියක විසින් අන්නාසි කැබැල්ලක් කෑ වරදට කළමනාකරු විසින් කළ වාචික හිරිහැර හේතුවෙන් කම්පනයට පත්ව මිය යයි.


පැය අටක් නොව
දොළොස් පැයකටත් 
වැඩියෙන්
වැගුරුවෙමි ශ්‍රමය 
උදෑසන සිට රාත්‍රිය
පුරාවට
හිස නමා සියල්ලට
පැමිණෙන
කළෙමි රාජකාරිය
නිවැරදිව
නියමිත ලෙසින්

දෙනෙත් පිනා යන 
නේක වර්ණිත දසුන්
අහර පාන මෙන්මද ඇති
අරුමෝසම් බඩුද
බලා සැනසෙමි
සෝ සුසුම් මැද
අහිමි බව ඒ ලොව
පන්තියට හිමි
මා සිටින මායිමට
තුටු වන්නෙමි සිට
දුරින් බලමින

නැවුම් ඵල වැල තිබෙන
අලංකාරය දුටු සඳ
සිත පැවසුවේ
බැලුමට රසයක් දිව පිනන
වරම් නොමැති කළ
ලබන්නට රසය
ඇදී ගිය අත් දඬුව
අතැඟිලි තුඩට හසුවන්න
නැවුම් ඵල කැබලි
අන්නාසි නොදුටුවෙමි
රැක සිටින රකුසු ඇස

ගුගුරන නුබ ගැබ 
වැසි නැති හෙණ හඬ
රකුසු වෙසින් 
මුව අග රැඳි විෂ පිරි වදනින්
දෙදරවමින් මුළු මහලම
සැර පරුෂ බවකින්
සුදුමැලි වත සේ සුදු කඩදාසිය
තෙලිතුඩකින් පවසයි
කෙරුමට අකුරෙන්
මහා බල පාප කරුමයක්
විලසකින්

මැවෙනා  රුව දරුවන් 
බඩගිනි දුක් විඳිනා
අතමිට හිඟ ඇති වදනන්
ඇසෙනා සේ සැමියාගේ
වාරු නොමැත අත
කරනට වියමන් අකුරෙන්
නුහුරට ගැස්සෙයි
හද ගැබ 
නරඹන මිනිසුන් අතරේ
භ්‍රමණය වන ලොව
අතරින් අඳුරට

පාවී යන ඉහළට ආකාසේ
පැන නැති කය
ගෙනයයි මා සොයුරු 
සොයුරියන්
මහතුනි නැත මා කළ
සොරකම් ලෙස
කිමද නොපෙනෙනා
නොමිනිස්කම
උජාරුවෙන් බිනියි
වදන් කර පටි ඇති
මහතුන්

කෝටි ගණන් 
සොරකමෙන් උපදවන
දහස් ගණන් ලෙස
රුහිරයද උරා බොන
උන්ට නොමැති
නීතිය නම් කුමටද
තැලෙනා පොඩිවන
විඳිනා දහ දුක
කිව මැන
මහතුනි වරදක්
ඇත කොතනද

---රකිත---



Monday, January 23, 2017

~~ හදවත පවසන ~~


කොඳුරයි හදවත 
එන්නට ඔබ වෙත
නොයනු මැනවි 
සැඟවී මා වෙතින්

කුසුම් නොපිපෙනු ඇත 
ඔබ නොඑන තුරු
පවසයි හද ගැස්මේ 
රිද්මය ඔබේ ආලය

දින්නට හද ගැබද 
ලංවී සිටින්නට නිති
සරසවන්නෙමි ඔබ 
දිවිය අලංකාරයෙන්

දිවිමග ජීවය ඔබ ලැබදෙනා
ඔබ හද පිළිගැනුමට සිටිනා
ආදර බර මද හස ලබන්න
කුල්මත් හද තුමු සැනසෙන

සවන් යොමනු මැන හදට
සිතින් සිතනු මැන ගැඹුරට
නෙතින් බලනු මැන දුරකට
ගතින් හදින් එක්වෙමු ලොවට

---රකිත---


Thursday, January 19, 2017

~~ අහිමි කම ~~












නැත ඇමතුමක් 
නැත පිළිතුරක්
නැත කතා බහක් 
නැත සිනාවක්
තනිවූ අසුන 
මත හිඳිමින් 
නෙතු යොමා අවරගිර
දෙසට කවුළුවෙන්
ගිලෙනා හිරුද
නැග එන සිකුරු
තාරකාවද
සංවෘත රථය මුදු
සිසිල් වායු සමනය
සුවය දෙන
නොමැති වුව
මහ ගොඩක් පැතුමන්
ඉඩ දෙන්න
තනිවෙන්න මට
නින්දක සොඳුරු
දකින්නට සිහින ලොව
විඳින්නට මුදු
තනිකමක
සුවය

---රකිත--- 




Monday, January 16, 2017

~~ උපන් දිනයක ~~













යටගිය දිනක 
පුරවරයේ මීගමුව
සාත්තු නිවාසයක
සවනත වැකුණි
විලිරුදාවක හඬ 
මවකගේ
සුතිකාගාරය සිසාරා
පියාණන් හට

මොහොතකින් 
හඬ ඇසුණි
ළදරුවෙකු හඬන
දෙදරවමින් මුළු
සාත්තු නිවසම
තුරුළු කරගන්නට
ඇතිය මව ඔහු
අමතකව විලි වේදනාවන්

මද්දුමයා ලෙසින්
එක්විය පවුලටම
සොහොයුරටද තව
සොහොයුරෙකු ලැබුමට
ගත රුධිර ක්ෂීරයට
හරවා ආදර බරින් මව
සෙනෙහසින් ඇති දැඩි
කළේ දෙවන පුතු ලෙසින්

රැඳී ඇත මතකයේ පවසන
මව පියා නිරතුරුව
කැන්දුවේ වාසනාව
මද්දුම පුතා මුළු පවුලටම
මවුපිය සෙනෙහසින්
හැදී වැඩෙන්නට
වරම් ලැබීමි
සහෝදර ප්‍රේමයද මුසු

ළදරු විය ළමා විය
පසු කරන් තරුණ විය 
පැමිණ ඇත මෙතැන් සිට
වස්සානයේ අගට
මවගේ  මුදු සෙනෙහසද
අහිමි පිය සෙනෙහසද
මිහිරි අමිහිරි මතකයද
රැගෙන යන්නට අවසරයි

---රකිත---



Sunday, January 15, 2017

~~ පෙර නියඟයට ~~





















චණ්ඩ රිවි කිරණ
විහිදන
හිරු රජිඳු විලසිනා
දිලෙන සඳ
නුබ ගැබේ මුදුනින්
විනිවිදව
වළා පෙළ සිසාරා
දවන උණුසුමින්
ගතද සිත සේම
පරිසරය
කටුකය වියළි
දාහයද දවටෙනා

පොළෝ තලය
හඬයි දිය
බිඳක පහසක්
ලබන්නට
ඉරි තැලුණු
දෙතොල් මතින්
ගත හිරි වැටෙන සහ 
විටක වෙවුලවන
සිසිලසින්
උදෑසන සොඳුරු බව
සිහි කරයි
මොහොතක් 

ගත කීරි ගැසෙනා
හීතලට ගුලි වෙන්න
සිත අයදිමින්
නිදි කුමරියට
සැතපෙන්නට තව
එක් වරක්
සිසිලසද උණුසුමද
එක ලෙසින්
නොදැනෙන්න
කිමද මේ අරුමයක්
නොඉවසන
රුදුරු කාලගුණයක්ද

නොහැකි ලෙස දරන්නට
උදෑසන සිසිලසද
දහවල් සවස උණුසුමද
සිසිල නැවතත් රැයේ
පෙරනිමිති ලෙස පෙනේ
මහා නියඟයක දසුන්
දිව නෙත යොමා ලොව
වැසි පාලක දෙවිඳුනී
දුක් විඳින නිරි සතුන්
තිරසනුන් තුරුලතා
සනසවා ජිවය දෙන්න
එවනු මැන මහ වැස්ස

---රකිත---



Thursday, January 12, 2017

~~ වසරක ඇරඹුම ~~



අදයි දුරුතු පෝය
වසරක ඇරඹුමේ ස්මාරකය
ගියෙමි පන්සල බෙල්ලන්විල
දල්වන්නට තනිකමේ දැල්ල

දහසක් මල් මැදට දෝතින්
පූජා කළෙමි එක් මලක්
ඒ මල මෙන් නොවේද බුදුනි
තනිවුන අද මාත්

පරව යන දැල්වී නිවෙන
සියලු අනියතය මැද
ප්‍රේමයේ විරහව කියා දුන්
නුඹට බොහොම පිං

( පාරමී )



Tuesday, January 10, 2017

~~ බිංදුව ~~













ඇරඹුමෙන් 
ඉහළ නැගි
ගලා 
හැලෙනා 
පහලට 
විටෙක සිහින්
විශාලව
තවත් විටක
හිස මුදුනතින්
පිට දිගට
දෙපා දක්වා
නළලත් මතින්
නාසයට පහලින්
දෙතොල්
ලුණු රසයෙන්
කරනා
පපුව සිට උදරයට
ගලනා
සිත ගත වෙහෙස
වන සඳ
ගන්ධය මෙන්ම
සිසිලසක්
දෙනු පිණිස
උනන මතුපිටට
සම සැනසුමට
බිංදුව නුඹය
දහඩිය
විකුණන විකිණෙන
මිල කරන
ධනපති නිර්ධනද
පන්තිය

---රකිත---



Sunday, January 8, 2017

~~ පරිණත ~~


ලවනත වියැකෙනා වුවනක
ශ්වේත වර්ණ වන හිස කෙස
කල ගෙඩි ලෙස නෙරනා බඩ
දන්ත කලණ වන අව පැහැය

රස මසවුළු අනුභව කරන නිරතුරු
නොහැක පෙර ලෙස උදර සනසන
වෙලී යන ගතද සිත භීතියෙන් නිති
රෝග දෙන ගත සිහිවෙන්න සැමවිට

සිතට නොමදෙන අවශෝෂණය
මතකයක අමතකද කරවන නිති
ස්මරණය නිර්මාණශීලි හැකියාව
කිමද මෙලෙසට මිලිනව යන සඳ

ධීර තෙද බල ශක්තියෙන් සිටි කල
නොදැනෙනා සඳ ගතට පෙර ලෙස
රිදුම් දෙන හන්දි කොඳු අස්ථි පෙළ
නොහැකි පෙර සේ වන්නට දිරිය

පෙර කලක කළ කියුම් කෙරුම් නම්
දැනේ බොළඳ දෑ ලෙසින් විටෙකට
දකිමි නිරතුරු තුමු පසු කරමින් දිවෙන
නව පරපුරක තුරුණු පෙළ ජවයෙන්

දුරස්ථව ඇති ඉලක්කයන් පෙළ වෙත
වෙර දරයි සිත ලඟා වන්නටද නිරතුරු
හරස් වන සඳ වයස් ගත කයද සිතමද
කටුක ගමනකි අද වසන්තය ලැබුමටද

රක්ත වර්ණිත අවර ගිර හිරු බසින
නැගී එන සඳු සොමි කිරණ විහිදෙන
අසිරි නරඹන කලා බර නෙතින් මිහිරි
යටව වියපත් ගතට හඬයි තුරුණු සිත

---රකිත---



Wednesday, January 4, 2017

~~ නික්මෙනු වස් ~~



කෙතරම් ආදරය වුනත්
කෙතරම් මා ගැන සිතුවත්
සිංහයෙකු සේ එඩිතර වුවත්
සමාජයට බයයි නේද නුඹත්

පැවසිය හැකිය දහසක් දේ
ඉටුකළ හැකිද එයින් එකදු දේ
ආදරයෙන් මෙයද නුඹ මා පැතූ දේ
අසරණ වූයේ කවුරුද අද කියන් සඳේ...

සියල් ඉවසිය හැකි නිසා මැද සිතින්
කිසිත් නොකියමි පලක් නැති බැවින්
යලිත් ලඟ නොබලමි මිස දුරින්
අවසරයි යන්නට හැරදා නුඹේ ලොවින්...

( පාරමී )


Tuesday, January 3, 2017

~~ ( අ ) නියම ~~













ලොවට හොරෙන් කරනා මේ පෙමට
නමක් දෙයි " අනියම් "
පෙමක් මිස රාගයක් නෑ
කවුරු කිවුවත් " අසම්මත් "

ලං වුනේ සිතින් මිස ගතින් නොවේ
එක් වුනේ දැඟිලි මිස තුඩු නොවේ
ස්පර්ශ වුනේ සිතුවිලි මිස ලවන් නොවේ
ආලය කළේ හදට මිස මසට නොවේ

හසයි හංවඩු, කියයි අවලාද
ගසයි අඬ බෙර, කියයි ඇනුම් පද
" වෙශ්‍යාව "
එහෙත් ඒ සැවොම
කරයි ඊර්ෂ්‍යා නුඹේ පිවිතුරු ප්‍රේමයට...

( පාරමී )


Sunday, January 1, 2017

~~ නව වසරක පැතුම් ~~












බොහොමයක් ඇත ඉලක්කයන්
සපුරන්නට මේ ලෙසින්
හරස් වන බව දනිමි කාලය
වයසද නිතින්
එනමුදු නොමැත නම්
විරාමයක්
හඹා යන්නෙමි පසු පසින්
ජය ටැඹ පෙනෙනා තුරා

රැකියාව අධ්‍යාපනය හා සමව
දිවි ගමනක සුභ සිහින
ඉටුකරවා ලබන්නට
ඉල්ලුම් කරන හදවත
සිත සිතුවිලි පිරෙන
ජය ලබන්නට පෙම් ඉලක්කය
දකින්නට මංගල සිහින
ආදරයේ නාමයෙන්

අළු ලෝගු කළු ලෝගු ගත
නොවැටුනද දැනුමට
ලබන්නට සම සුදුසුකම
උපාධියකට සපිරි ලෙසකින්
දෙමාපිය සොයුරන් දුටු
තුමු උගත් කම් පිරි සිහිනයක්
සැබෑ කෙරුමට මෙසේ
තව දුරය ඒ සිහිනයට

ඉහළ තලයක වැටුපක්
ලබන්නට
වැජඹෙන්න ලොකු
පුටුවකට වී සොඳුරු ලෙස
ඉහළ යන්නට රැකියා
ගමන් මග නිති
නිසි ගෞරවය පිළිගැනුම
වෘත්තිකයෙකු විලස

නිරන්තර ලෙසින් සිට
රැකගන්න මිතුරු දම් නොබිඳ
දිනනන්ට ලොවක් නිතින්
සුභ අනාගතයකට
සිතේ රැඳි මුදු සුභ සිහින
නිති පතන පැතුමන් මෙසේ
ඉටුව යන්නට පතමි
නව වසරකට ආසිරි පැතුම්

---රකිත---