Tuesday, April 26, 2022

~~ බියෙන් විඳවා ~~



ලෙය රත් විය ගත 
පහර දෙන කල නිළ දරුවන්
පීඩිත ජනයා වෙත 
පොලු මුගුරු වෙඩි පහරින්

අංකිතව දුටු දසුන් 
පැරදවිය ප්‍රඥාව හදවත් හැඟුම
අතැඟිලි දිව ගියා 
යතුරු පුවරුව පුරා තනා වැකි

පොලිස් ත්‍රිවිධ බල හමුදා වෙත 
නොව පමණ යොමු වූ සඳ වෛරය
අක්ෂර ගැට ගැසී තැනූ වැකියකි 
සියල් හමුදා පොලිස් පවුල් රිදවන

කොන් කරන්නට දුටු තැන 
පවුල් සහ ළමුන් සියලු තැන්හි සිට
එහි ලියැවී තිබුනි වෛරය පිරි 
හැඟුමන් පිරි වැකි මතින්

දිනක් ගත වන්නට මත්තෙන් 
ඇදී ආ සඳ විරෝධය දසතින්
නොවේ අරගලයක් මෙසේ 
ගුණමකු කමද යන්නට විමසා

අසැබි වදනින් නොව පමණ 
අපහාස උපහාසයන් පිරිව
දසත සංඛ්‍යාංගික අවකාශයේ 
විසිරි ගොස් තිරිසනෙකු ලෙස

පණිවුඩ ලෙසින් තර්ජන ගර්ජන පැමිණ 
රුව යොදා තැනූ අපහාසයන් විසිරි යමින්
ඉවත් කළද ලියූ වැකි එ සැණින් සිටම
පමා වැඩි විය උන් ගෙන ඇති සැන රූ එහිද

දසතින් පැමිණ ඇත නේක ආරංචි පෙළ
ගත සිත බියෙන් කරවා සලිත වී ඇතිව 
එය බෙදා හැර ඇතිලු හනිකට සියල්
ත්‍රිවිධ හමුදා පොලිස් සමූහ තුළ නියම ලෙස

වසා දමා මුහුණු පොත් හා සියල් සමාජ ජාලා 
සැඟව යමි අංකිත අවකාශයෙන් පලා ගොස්
බිය දැනේ හද නීතිය සොයා ඒවිද වරදක් බලා
සැනසුමක් අහිමි විය එයින් මතු සැම දිනක

අසික්කිත නැහැදිච්ච නූගත් දනන් වදන් ගෙන
නොදන්නා මව්පියන් හට බැන වදිනා ගතිය කැත
සියල් විඳ දරා නිහඬව සිට බියෙන් මිරිකී සිට
කල් ගත වනු කිමද මෙලෙසින් සෙමෙන් යන

නවතන විට රථයක් දකින විට නාදුනන මුහුණක්
සැක බිය ඉතිරී පැමිණෙනා හානියක් වේදෝ සිතා
ගොඩ නගා ගත් නාමය ගෞරවය කලක සිට
සියල් වැනසී ගොසින් හැඟුමන් නිසා ආවේගයට

කල් ගතව ගිය වුවත් බිය රැඳී සිත නොවේ සැනසුම
තවමත් පල වේය සැන රුව පීඩිත වදන් රැඳී ඇති
සැඟව සිටිමි හැකි නම් පලා යමි අත්හැර දමා නම්
පැතුමන් ඉලක්කයන් ආ ගමනත් නිමා කරමින්

---රඛිත---





Thursday, April 7, 2022

~~ අරගලය අවැසි කල ~~

 



කලක් නම් සිටියාලු 
දෙපිලටම රැවටිලා
දෙනෙත් අන්ධව සිටිය 
පක්ෂයට රැවටිලා

නොදැන නොදැක අවට 
දැනුනු සඳ සැබෑවක්
දෙනෙත් හැර දුටිමි අද 
සැබෑ ලොව පෙර නොදුටු

ඉන්ධනද එල් පී වායුවද 
ආහාර කිරිපිටි ඖෂධ අවැසි
නොමැත ඒ කිසිවකුත් 
අහවර වෙලා සෑම තැන

දකින පෝලිම් නිමක් නැති 
සෑම දේ නම් හිඟලු
ඉවසන්න පවසාවි උන් 
රටක් වෙනුවෙන් කියා

පිටපත් ගන්නා ලෙසින් 
සිත් සේ මුදල් මුද්‍රිතව
උද්ධමන අහසට නැගේ 
වැටුප් පත එක තැනම

වසංගත නිසා ලොව 
අපට පමණක් නොවේ බැරිකම්
උන් කියයි සිත් ලෙසින් 
හිනැහෙමින් ඔච්චමට

බෙදී වෙන් වී ගොසින් 
පක්ෂ පාට කුල මල ජාති භේදයන්
ලැබී ඇතුවාද සම්පත් 
නුඹලා සැමදා පැතූ 

දින දිනම ඇද වැටී 
රටක් යන අගාධය වෙත
උන් හටත් ඇත වරම් 
ලොව පුරා පැන යන්න 

තව කුමට ඉවසමුද 
සොරා කන උන් කලට
නිදහසින් ලැබූ අප 
ලැබුවාද නිදහසක්

අරගලය ගොඩ නගමු 
නිවස තුළ ප්‍රථමයෙන්
අසල්වැසි අවට නම් 
ගොඩ නගමු දෙවනුවට

තෙවනුවට ගම් දනව් 
නගරයන් සිසාරා
රැල්ල පෙරළිය කරමු 
මගට බැස අරගලෙන්   

සඟ වෙද ගුරු ගොවි කම්කරු 
රණවිරු පොලිස් සියල්ලන්
ලොකු තැන් පොඩි තැන් 
නොවෙනස්ව එකම රැලක් ලෙස

අරඹමු අරගලයක් නසා 
පන්නා දමන්නට සොර රැලක්
ගෙනෙමු නව නායක පරපුරක් 
මිනිසත් භාවයෙන් යුතුවට

මැඬලා බාධක සියල් පැමිණෙන 
නොසැලී එක්වෙමු තැනුමට නව ලොව
අරගල බිම සාමය පිරි බිම් කඩ වන
එක්වී අප සැම නව ගමනක් වෙත

---රකිත---