Sunday, December 30, 2018

~~ අවැසුමක් ~~



නිමිත්ත - වසර 1934 - 1935,  මැලේරියා වසංගතයෙන් නිවසේ සිටි අම්මා දුව සහ පුතා මිය යයි.

බතක පහසක් නොලද 
කුස පොත්ත පිට ඇලී
දියක තෙත නොමැති 
තොල් වියළි පුපුරා ඇතී

ගිලී ඇති දෑස් යුග වසා සම 
අස්ථි පමණකි ලෙසේ
අයා මුව පවසන්න 
වදන් නැත ඇත දිව ගිලී

සිදුරු වූ පියැසි තුළ 
පෙනේ ආකාසය නිලේ
හඬින් කෙඳිරිලි මතින් 
වැතිරව පන් පැදුරේ

ව්‍යධිය කරවා වෙහෙසින් 
ගතද පන නැතී
සොයනු නම් කෙසේ අද 
මාරු සිටින දිසාවේ

මහතුන් ඇති ඇඳ සුදට 
පැමිණියා මතකව ඇතී
කඩදාසියේ එතූ පෙති බිව්වා 
නොව පොවා ඇතී

ලොක්කිගේ හඬ නම් නැත 
පොඩ්ඩාද නොපෙනේ
වාරු නැත සොයන්නට 
උන් ගියාදෝ කොහේ

දැනේ හිරු අවරට 
ගොහින් රාත්‍රිය උදාවී
පිටට ගිය දරුවන්ගේ 
පියා නැත තව පැමිණි

වරෙක ගත වෙව්ලවන 
උණ නගින වෙලාවේ
සතිය නම් වියැකෙනා 
විඩින් විඩ මහිමයේ 

සුදු මහැතන් වෙද මහතුන් 
කී ලෙසේ ප්‍රතිකර්ම
කළද නැවතිය හැකිද 
කරුමය ලොවේ

පුතුද දියණිය පැමිණ රෑ 
කියා එන්නට අම්මේ 
යන්න අවසරයි මට 
උන් දෑත් ගෙන එලොව

---රකිත---




Monday, December 24, 2018

~~ උඳුවප් පෙම ~~










සිසිල් උඳුවප් මහේ 
සොයා උණුසුම සිතට
පැමිණෙන්න නුඹ සොයා 
දින ගණන් දුටු

නුහුරු මිහිරක රහස 
කොඳුරනා හදවතට
අවසරයි එක වන්න 
සිහිනයක් දකින්නට

නිදි වැරූ රැයක තතු 
පවසන්න එක්ව සිට
දහවලක දුටු සිහින 
මුමුණන්න සවනතට

ඇඟිලි තුඩු අග රැගෙන 
මුලට ගණින්නට
හමුවෙමුද අප දෙදෙනා 
අදත් සැන්දෑවකට

ක්ෂිතිජ ඉම මත ඇඳෙන 
මනෝ රේඛාවන්ට
තනා මාළිගාවන් 
අනාගත ලොව දින්නට

සුළඟට ලෙළෙන 
කෙහෙරැලි ගෙන මතට
ඔබ මුදු වුවන දකිනෙමි 
හදවත මත් කෙරුමට

අවසර නැතිවාද 
දෙකොපුල් වෙත හාදුවට
දෙතොල් මතට ඒවිද 
ගැඹුරින් හැඟුමකට

සිසිලස දැනෙනා විට 
ඇවැසිද උණුසුමකට
පමා නොමැත ඇත 
යහනක් පිළිගැනුමකට

කැරොල් ගීතිකා නද 
දස අත පැතිරි කාලයට
දුටිමි නුඹත් දෙව් ගෘහ තුළ 
අල්තාරය වෙතට

යැදුම් හඬින් ඉමිහිරි 
ඇසුමන් සිත බැඳුමකට
අවසර ලැබේවිද 
මව්පිය දෙවියන් වෙතින

---රකිත---



Sunday, December 16, 2018

~~ ඈ ගැබ්වූ ~~










පිරී ඇති මුව සොඳුරු 
සිනහවෙන් සැඟවූ වේදනා
දෙපා ඉදිමුම් පෙනේ 
දින දිනම මතු වනා

අත තබා පිටි මුලට 
වෙර දරයි ඈ නිතර
දෑස් මත පෙනේ 
අද නව බලාපොරොත්තුව

මුවට ගත් අහාර පිඬ 
ගිලින්නට වරම් නැත
සුවඳ පවා දැනෙන 
දුඟඳක් සේ නාස් පුටු

උදෑසන සවස් කළ 
කරන වමනය නිතර
විඳින ඈ පීඩාව 
නොතෙපලූ වදනින් මටද

නෙරා එන ඉදිරියට 
සුපැහැදිලි කුසක හැඩ
කළු තලා වන බෙල්ල 
පපුව ඉඳ හිට දකින

නාරි හැඩ නොවේ නම් 
පෙනේ තර විලස ඇය
නිහඬ වූ ලොවට මා 
ඇයම විය ආලෝක ඉර

ඉඳ හිටක කෝප වී 
මුමුණාවී වැඩි හඬින් ඇය
වරදක් නොවේ ගත 
වෙනස දැරිය යුතු වන

ඉවසා සිටිමි කළ හැකි 
කිසිවක් නොමැති විට
බැවින නුඹ වන 
මා පුතු දරණා මව මතු දින

රාග නුරා මවිත කළ 
නිදි යහන සන්සුන්ය 
ගත නොවේ සිතින් 
මැඬලනා හැඟුමන් සෙමින්

නිදන ඇය දෙස බලා 
සිනාසී තනිවම ඉඳන්
සිපිමි ඒ කොපුල් යුග 
නළල් තල ආදරෙන්

කිරි සිනා දකින දින 
ගනිමි රැය පහන් වන
දඟකාර හැඩකාර 
පුතු දකිනු වස් සිටින

දුකක් ලෙස ලොව දකින 
වෙහෙසෙනා ඈ නිතර
නුඹයි මා සොඳුරියද 
මව් පදවි ලබන්නට

---රකිත---



Tuesday, December 11, 2018

~~ සොඳුරු සන්නාලිය ~~










ඇසුරු සැණින් සළු පට 
මත මැවෙනා
ඉඳි කටු තුඩු අග 
සුසංයෝග වූ
වර්ණ රටා පිරි 
හැඩ තල නිමවන්නා
සියුමැලි දෑතින් 
විස්කම් කරනා 

ලාබ පවහන ලබයි ඔබ 
සුසිනිඳු දෙපා පහස
ලෝහ පැදිය තෙරපා 
බල කවා යන්ත්‍රයට
යොමා නෙත සළු මතට 
පියකරු වන්නට
ඇය වේද යුවතිය 
වියනා රටාවන් දිවිය

හමනා විලවුන් සුගඳ වුව 
යටවනා දහවල සැරට
හැඩ වැඩ නැති ඇඟලුම් වේ 
ගත විලි වැසේනා 
විච්චූරණ පිරි 
විසූක දස්සන පෙළ
හිමි නැති ඇය වෙත 
දුටිනෙමි මහ මග

පිරිවරා මිතුරියන් සවස් කල 
වැඩ නිමා කර
මියුරු හඬ අවදි කර 
මිහිර ගෙන සවනතට 
නවාතැන් පොළ වෙත ඇදෙන 
රැගෙන අඩුම කුඩුමද
කුමරියක සේ පෙනේ ඔබ 
මිහි බට රජ මැදුරකින්

දිළිඳුකම සිප් සතර 
නොලැබුම නැණ නුවණ
නුඹ නතර වීද අද 
කලාපය අද්දරට
ගැරහුම් උපහාසයන් 
මුළු ලොවක් එල්ල කරනා
දරණ ඒ සියලු දෑ 
සිනාවෙන් පිරි වතින්

විස්කම් මවන රන් දෑත 
නුඹ දරණ මව් බිමේ
ගෙනෙන ධන බල 
සශ්‍රීක බව නිතර
දිරිය දියණියකි නුඹ 
රට රකින නිහඬව සිටින
පුදමි හද අද ඔබට 
රහසින්ම නොදන්වා

---රකිත---  



Sunday, December 2, 2018

~~ විශ්‍රාමික වනු වස් ~~










උදෑසන ගෙයි සටන 
අවසන්ය හෙට සිටම
මහ මගක තදබදය 
අවැසි නැත තව දුරට

රතු ඉරට පෙර දුවනු 
කුමකටද මෙතැන් සිට
නිමාවක් පෙනේ අද 
වෙහෙසකර ගමනකට

මේස මත පිරෙන්නට 
ගොඩ ගැසෙන ලිපි ගොනුද
පිරී යන විද්‍යුත් තැපැල් 
අංකිත බහලුම් නිතර

ඉලක්කයන් නැගුමන් ඉහළ 
යනු වස් වෘත්තීය දිවිය
නොමැත සිට අද පටන් 
හිසට බර නොවෙනා කලට

නිති නිතර දකිනා තොමෝ 
සොයුරු සොයුරියන් ලෙසද
දූ පුතුන් සේ දකින 
අයවලුන් අඩු නැතුවද නොව

මත ගැටුම් සිත් රිදුම් කේලාම් 
පැති ගැනුම් කුමට තව
සනිටුහන් වන මොහොත 
අවසාන දිනක වැඩ   

බල නොමැති බලැති කල 
නොවෙනස්ව සිට
මෙනෙහි කෙරුමට අනියත 
කමටහන් තව කුමකට

පහේ කණිසමට තව 
තිස් මිනිත්තුවක් ඇත
පෙළ ගැසේ සියල්ලන් 
එක්ව හනිකට සවස 

අතට අත දී කොපුල් 
සිප සනසාලන්න
දුටිමි නෙත් කෙවෙණි තෙත් 
වනා කඳුළු කැටි එක්ව

දෙවැනි නිවසක් වූද සොඳුරු 
කන්තෝරු බිමට අද
සමුදෙන්න අවසරයි 
තවත් හිමි නැති ලොවට

අර්ථ සාධක පාරිතෝෂික මුදල 
එක් වේ ඉපයූ මෙතෙක්
හරි හම්බ කළ මිනිස් කම් ඇතේ 
මිල නොකළ සතු

මතකයන් පමණි අද 
රැගෙන යන්නට ඉතිරී සිතට
ඉතින් ආයුබෝවන් 
සියල් ඔබ සැමට අද

---රකිත---



Sunday, November 25, 2018

~~ ධීවර බිරිය ~~
















තෙමා දෙකොපුල් දෙතොල් 
කරදිය රසින්
සවස් කල රැයට පෙර 
එක සිතින්

රැකුමට අප හිමි සඳ 
නොවේ ගොඩ බිමින්
සයුරු තෙර හා 
යනු ගැටුමට නිතින්

ගයා වාරකන් ගීතය සැඩ 
සුළං තනුවෙන්
මොර ගසයි සාගර තොමෝ 
කළඹවා දිය රැළිද

සිසිල නැත හද 
ගිනි අරන් දැවෙනා
හිමියනි ඔබ 
රැකෙනු කෙලෙසක

අහස් ගැබ ගුගුරා හැලෙන 
වැසි වැටෙන රාත්‍රිය
නිදි නොමැත හිමි සඳුනි 
සිතට වද දේ නිතර

යදිමි දෙවියන් රැයේ 
රකිනු නුඹ සාගර තලේ
ඔරු කඳින් සටන් වැද 
එනු මැනවි හිමි සඳේ

මසු ගිලිද ඇම දමන
දැල් වේද ඵල රහිත
මුහුදු රළ රුදුරු වන 
උන් එයිද දිය මතට

කාසි නැත මසු නැති කලට
පවසනා නුඹ වදන්
අවැසි නැත අසන්නට 
පපු ගින්දරේ තරම

වැසි වළා දෙවියනී අසා 
මේ දුක මගේ
පවසන්න හිමි සඳුට 
පැමිණෙන්න මා වෙතට

වෙනු මැනවි මේඝ දූතය 
අසරණිය වෙනුවෙන්ම
ඔහු රකිනු වස් යන්න 
ආපසු ගමනක අරුම

රන් මසු කුමට නුඹ 
නැති ලොවක හිමි
මාළිග කුමට නුඹ 
ඇති පැල්පතද සැප

රස මසවුළු නැත 
අවැසි කුස පුරා ජල
දුක සැප විඳිමු එක ලෙස
අප දෙදෙනා හැම 

---රකිත---



Sunday, November 18, 2018

~~ පෙම් ( වියපත් ) සිතක් ~~











වියපත් ගතට වන් තුරුණු 
සිත් අවදි කළ
පිපි මලක් දුටිමි කල් 
ගිම්හානයේ අග සිටින

හිරු අවර ගිර ගිලෙන 
චණ්ඩ නොව මුදුව ඇති
කුමරියේ අවසරද 
පෙම් බඳිනු වස් රහසකින්

හද කුටිය විවර කර 
පිවිසෙන්න නුඹට අද
රැඳුමට වරම් නැති කල 
කාලයා බැට දුන්නු

පැමිණ නික්මෙනු 
නොසිට දිගු කල්
නෙලා ගැනුමට 
අනවසර වූ සඳ

සුපහන් නිසල සිත 
නිවා සිටි ලොව
අවදි වන සඳ ජාගර නුරා 
හැඟුමින් පිරිපුන්ව

බඹරු නොවනා 
දෙබරෙකු ලෙසින් රළු
මල් පෙති ඉරනු කෙලෙසක 
දියණියක් වන

සිහින ලොව සැතපෙනා 
විඳි සුවයකින්
අත ගනිමි නුඹ එහි 
සැබෑ නොවනා කලක

රාත්‍රිය පැමිණෙනා 
හැර යන්න මේ ලොව
සොඳුරියේ පැමිණෙන්න 
එක වරක් හමුවන්න

---රකිත--- 




Tuesday, November 13, 2018

~~ හමුවක සෙනෙහස ~~










නිසල හදගැබ සසල 
කෙරුමට 
ගීතයක් සේ පැමිණ 
දිවියට

උණුසුමින් පිරි පැතුම් 
පිරි ලොව
ඔබ වේද මා සිහින 
කුමරිය

සිනා නුහුරු වත පුරවා 
හසරැල්ලෙන්
දිදුළන ලොවකට මා 
කැඳවන්නට

සොඳුරු දිනක අසිරිය 
නිති රන්දන
රැයක සිහිනයේ මිහිර 
දකින්නට

මනෝ ලොවක තනි වී 
රස විඳිනා කල
නුදුටු ලොවක සිට නුඹ 
මා වෙත එන

ජිවිතයක නව පිටුවක් 
ලියවෙන කල
සවනත යොමු වන නුඹ 
හද රිද්මය

වදනින් වදනට මා 
සනසන්නට 
සිතක රැඳුනු රහසක් 
මුමුණන්නට

තිතක් තබන්නට
නැවතුම් තනි ගමනක
ඔබත් එක්ක මුළු 
ලොවක් දින්නට

ඉතින් ඇවිද යමු 
සසර දනව්වේ
රැස් කර පිංකම් 
සැපය ලබන්නට

දෙව් මිනිසුන් මැද 
උපත ලබා අප
එතෙර වෙමුද සසරත් 
එක්වී මේ ලෙස

---රකිත---



Wednesday, November 7, 2018

~~ සුවය ~~











තවා සුවඳ දිය ගැල්වූ
කෙහෙරැලිද
රඟා නලින් කරවන සඳ
වත මත වැටී


හමුවී නෙතු එකිනෙක
අහඹු ලෙසද
ඇඳුනු මදහසක සටහන්
දුටු දිනක


රිදී පැහැයෙන් දිළි
නිය තුඩු අගින්
රළු සුරත ගෙන හොවා
කිටි කිටියේ


නුහුරු උණුසුමක වෙලා
සිත ලොව අමතකව
හමුවූ මහිම විඳගමි
සිතු ලෙසින්


අඳුරු වැහි බීරුම්
අහස යට
සිරි පොද මල් වැසි
වැටෙන රඟ


මල් කුඩය යට
සොයා පහසක්
අසිරි නරඹමි
සිසිලස් සුවෙන්


දමා දොරගුලු අඳුරු
කුටියක
විවර කරවා හැඟුමන්
හද පිරූ


වාන් දොරටු බිඳ
ගලා හැලුමට
ආලයේ සොඳුරු තැන්
සොයා නිබඳව


ලොවක් හඬ ගා
කළත් අවමන්
නොකළ මායිම්
උන් විලාපය


මිහිර විඳගමු
මුවා වී ලොවට
අදත් හෙට මෙන්
මතු දිනත් නුඹ හා


---රකිත---


Thursday, November 1, 2018

~~ සමුගැන්මක ~~








උඩු සුළං හා රැඳී ඇදී යන
වළාවක් ලෙසින්
නුඹත් නික්මෙන අපූරුව
හමුවීම අවසාන


වදනක් නොමැතිව
පවසන්නට අද
සමුදෙමි නුඹ හට හඬනා
හද සඟවා ලොව


මතු කල සැමදෙන
සමුගනු ඇත ලොව
මංපෙත අද්දර
අප තනිවනු ඇත


සිහිනය නොදමා හැර
දිදුළන දෙනෙතින්
නොතැවී නොතැලී
නුඹ නොමැතිව වුව


රිදවන සිහිවන මතකය
මනසක රැඳී
කාලයා විසඳනු ඇතිය
නිසි තරමටම


දුක් නොම වන්නට
ඔබ මතු ගමනට
හමුවනු ඇත ඔහු
ඔබ වෙත පැමිණෙන


වේදනාව නම් විඳුමක්
පමණකි ඉතිරිව ඇති
බිම් බටව මැකී යනු
ඇත එයද අවෑමෙන්


සිහිනයන් වූ පැතුමන්
දරා මනසින් හිසින්
දුර ඈතක යමි
නොදුටු ලොව සොයා


---රකිත---



Sunday, October 28, 2018

~~ වැසි සුවයක් ~~









වසා පියන් පත්
කවුළු දොර
යොමා නෙත
තිරය අතරින්
බලන්නට වැසි
වැටෙන හැඩ
සිසිල් සුව
විඳිනා මොහොතකට


පිය මනිමින්
හඬ නොනැගෙන්න
පා ඇඟිලි තුඩු තබා
ගෙබිම මතුපිට
කිති කවා නුඹ
සිහිනිඟ ස්පර්ශයෙන්
මදක් ගන්වා
කෝපය මුසු ආලයෙන්


කරවා කෙහෙරැලි
පසෙකට අතින්
උණුසුම් සුසුමින්
පුරවා කන් පෙති
තබා හිස උර මත
හොවා මුව
සුරත් දෙපසින්
ඉඟ සුඟ වටා එති


කෝණයට මුව පිහිටි
පා තබා හැරෙමින්
නෙතින් නෙත්
මුවින් මුව මුණ ගැසී
වෙලෙන ලතාවන්
රුක් වටා සේ ඇති
ඉමිහිරි හැගුමන්
දනවා ගත පුරාවට 


දුහුල් වළා සළු
අතරින් විහිදී
පෙනේ රන් කුඹු
වටොර ඉඟ සුඟ
ඇත් දළ පැහැ
රූ ඇති අගනා
යදම් බිඳින බැඳි
හැඟුමන් පරදා


විදුලි අකුණු හෙණ හඬ
පරයා නැගි
සුසුම් හඬින් උණුසුම්
සිසිලස් වන
රැළි පිට රැළි නැගි
ආශා නුරාවෙන්
තෙමා ගත රන් වැසි
වසා පුරාවට


සිනා පිරි මුව පෙනේ
කොපුල් තොල් රත් වූ
තුරුල් වේ වැසි
බීරුම් තවම ඇති
නිමා වූ කුණාටු
සුළි සුළං අතරින්
පෙනේ අප තැනූ
ලොව සිහිනයෙන්


මල් වැස්ස ඇද හැලෙන
පැමිණි අද වසන්තය
විඳිමු අප සුවෙන් සිට
එදා දුක් විඳි ලොවට
සිසිලසින් පිපෙන්නට
හිරිගඩු ගතට
පූදින්න වෙර දරණ
මල් කැකුළු දකින්නට


---රකිත---


Wednesday, October 17, 2018

~~ නයනා.........ට ~~


හෝඩියේ පන්තියේ  - එක මේසේ අකුරු කළ
එකට දෙකට තුන හතරට - පහ වසරට ඇවිදින්
පහේ කඩඉමත් පැනලා - නුඹත් ගියා සිදාදියට
හය වසරක තනි වීලා - තනා වෙනම ලොවක් මටද

හයෙන් හතට එයින් අටට - නමයෙන් දහයෙන්
එකොළහ වසරට ඇවිදින් - ළමා මනස තුරුණු වෙලා
හැඟුමන් දැනුමන් අද්දර - ඉඳ හිට සිහි වුනා තමයි
නුඹත් ඉතින් සිත් අහසට - පරණ මතක ඉතිරිව ඇති

වැඩ හතරයි සම්මානයි - සමත් වෙලා සා.පෙ ඉතින්
කන වකුණා වැඩ දහයම - සමත් වෙලා නුඹ ඉහළට
වසර දෙකේ උසස් පෙළින් - වැඩ දෙක තුනක් මටත්
නුඹත් ගියා සරසවියට - වැඩ තුන විශිෂ්ට සම්මාන ලබා

ලෝකය දකිමින් දුටු නැති  - සිතක් ගියා අයාලයේ
මග පෙන්නුම් ඔවදන් - ඉවත දමා දෙමාපියන්
කල් ගත වී පෑදෙන මොළයක - රඟ දැනුණා සැබෑවටම
විසිපස් වසකුත් ගතවී - රැකියාවක යෙදෙන කලට

උගතුන් වියතුන් අතරක - තනිවී නූගත් විලසක
පමා වෙලා ඉගෙනුම අරඹා - තිස් වසරක වයසට
සරදම් කියමන් අතරක - ඇනුම් බැණුම් සහ එරවුම්
සරසවි යන ඉරු දිනකදි දුටුවා - හුරු රුවක් නෙතට 

සැප රියක ඉදිරි අසුන - අරගෙන ඈ එහි සිටියා
පැදවූ රිය පිරිමි දෑත - පමණකි රන් මුදු දිලිසෙන
පිටු පස අසුනක - දරුවෙකු සහ බිලිඳියක සිටින
දුටුවා රථ කවුළු තුළින් - පෙර කල හමුවූ ඒ රුව

ගතින් නෙතින් සිතින් - නොවේ ලොවෙන්
වෙන්වී ඇති ඔබත් මමත් - නොවී ඔහුත් හා සමගින්
හෝඩියේ පන්තියේ අයනු  - ආයනු කීමට පමා වැඩිය
හිමි නැති මට ඒ ලොව ඔබ - ජයගෙන ඇති බවද දුටිමි

සල්මල් තවමත් වේ විකසිත - තුරු මුල තනි වී ඔබ හා
එකල නෙලූ දැනුමැති මල් -නෙලා ගනිමි පමාවෙලා
අර බලන්න අර සල්මල් - ලස්සනයි එය සැමදා
නෙලමි මලක් පමා වෙලා - නයනා මා වෙමි අමර

---රකිත---



Monday, October 15, 2018

~~ ඉංජිනේරු / සුපරීක්ෂිකා ~~



නිමිත්ත - නව කැලණි පාලම් වැඩ බිම වෙත යන, උදෑසන දුටු ඇයට

සිර කර කෙහෙරැලි දිග
ගල් හිස් වැසුමෙන්
සියුමැලි පා යුග වසවා
රක්ෂිත පාවහනින්

නාරි දේහ ගත සඟවා
රළු නිල් වස්ත්‍රයකින්
පීත වර්ණ කබා හැඳි එන
නුඹ වේද කවුරුන්

ඡවි වර්ණය වත
රිවි කිරණ වෙනස් කළ
අත් වැසුමන් රැඳි
දෑත් යුගල ඇති

ශ්වේත දසන් මුව
මතුවන හසරැලි
හිමිදිරි වැටි රැඳි
පිණි බිංදු ලෙස මත

ඉක්මන් ගමනට
දිගු පියවර තබනා
නාරිලතා ගමනක
නොව ඇය යන්නා

හුස්මට විලවුන්
ගන්ධය නොහඳුනනා
දහදිය පුසුඹින්
මිනිසුන් හඳුනන්නා

තිත් ඉරි කඩ ඉරි රේඛා
මිතික කෝණයෙන්
ගණන් මිනුම් පරිමාණය
අරය දිග පළල උසින්

ද්විමාන ත්‍රිමාන කරමින්
සැබෑවක් පොළවෙන්
නුඹ දකින සිහිනයක්
තිබේද පවසනු මැනවින්

අව් වැසි සුළං
නොම වේ බාධක
ගොඩනැගුමට රට
රන් දෑතින්

උරුම නොවූ
මට සිලිටි ජීවිතය
ලඳකි නුඹ
මා සිත් වශී කළ

හෙට දින උරුම
පරපුරක් නූපන්
කැප කරන නුඹ
සොඳුරු දිවියෙන්

අත්වැලක් වන්න
නුඹට සවියෙන්
නිසඳැස ගෙතිමි
නුඹ නාමයෙන්

---රකිත---


Tuesday, October 9, 2018

~~ සොඳුරු ආඛ්‍යානය ~~



කාලය හා අවකාශය තුළින්
බැඳි හේතුව හා ඵලය
සැබෑ ලොවින් එපිටට රැගත්
සුරඟනක් වී කතාවක්

පැවසූ කල ක්‍රියාවෙන් සිදුවීම්
සොඳුරු චරිතයෙන්
හඳුන්වා දී යාන්ත්‍රික ලොවක
යාන්ත්‍රණය වූ කල්හි

නොවූ අනුමානිත නොකළ
උපකල්පනය වූවක්
සුපැහැදිලි දෘශ්‍යමානිත කෙරූ
පසුබිම හමුවූ රංගයක්

අහඹු ලෙස නොවේ සැලසුම්
නොකළ පැවසූ වදන
කාලයා මුසු කරන ගලා යන
අතීතයේ අනාගතයක

අනුපිළිවෙල නොමැති
තාවකාලික සිතිවිලි දහර
හැඳින සමතුලිත වී ගැටුම්
ඇරඹුමක සූදානමින්

ගොඩනැගුනු දුෂ්කර ලොවේ
බිඳවැටී අරගලය
නිරාකරණය කෙරෙනු
අවසානයක සන්ධි ගලපා

සංඛ්‍යාතය පිහිටි තාවකාලික
එක පිටට එක
විටෙක සිමා සහිත වූ
වරෙක සර්වඥ වන

සජීවී වූ පිටපතක
කුතුහලය විශ්මයක් වූ
සංශ වූ ජීවිතය සඟවමින්
අවසාන දසුනකින්

තාලයේ වෙනස
මන්ද්‍ර නම් උච්ච වූ
අනුක්‍රමය අතරකින් 
නිසි කල නිසි තැන සිදුව

රංගනය කළ මතකයක්
අත්දැකීම් එකතු වූ
වහල් වූ මනස සටනක ඔබත්
මුළු ලොවක් හා

දුෂ්ටකම් වීරකම්
සුපිරි බලැති උන් ඇතිද
සහය දුන් අයවලුන්
විජ්ජාවක් නොවේ නම්

කුමරියක අත ගැනුම
පාලක පියා පැරදුමට
ජය ලබන කල නැවත
ලඟා වූ යථාර්තය වෙතට

---රකිත---


Monday, October 1, 2018

~~ අවසාන // නව ඇරඹුමක් ~~





විසිතුන් වසක අභිමන්
විඳි රටක සවිමත්
රැකවරණ ලැබුමට 
ජනතාව රැකුමට

දින්නට නව ලොව
අනාගතයක පැහැබර
පැතුම් පිරි හදවතින් 
සිටි කලක මතකයන්

සෙනේ බර මිතුදමින් 
සහෝදර ප්‍රේමයෙන්
දෙවන පවුලක එකතුවක 
දිනපතා පැය අටක

රාජකාරි වගකීම් රිදුම්
බිණුමන් මාධ්‍යයක
නොසැලී සිටි අයුරු 
සිහි වේය නිරන්තර

වැඩිම ඉල්ලුමට 
යහපත් වූ වෙළඳපළකට
විකිණී යනු ඇතිය 
නොදන්නා ලෙසක අප

අවසානයේ සවනත
රැඳුනු පණිවුඩයක මහිම
තුටු නොවේ වූ දුකට 
සඟවලා කඳුළු කැට

මහ ගෙදර එක පවුල 
එක්ව සිටි සැමදා නිබඳ
වෙන් කළා දෙකට 
එක අත්සනින් විකිණිලා

එක් බිමක වෙන්ව සිට
කෙරුමකට කාරියන්
නාමයක ඉතිරියක් පැවති 
තාවකාලික ලෙසින්

අවෑමෙන් සත් මසක 
කාලයෙන් ගෙවුණු
සපිරී ඇත අත්පත් වූ 
මහ ගෙයි කොටස

නාමයද බිහි කෙරූ
නිමා වී යන දිනක
නව නාමයක නිවස 
නම් ලබා අද එන්න

නව පැතුම් නව පෙනුම් 
රාජකාරියද නව
නව පිරිස් නව නීති 
මැදක හමුවනා අප

ප්‍රීතිමත් පෙනුමකින්
සඟවලා පැරණි දුක
එක් වෙමින් දින්නට 
ලොවක් සයුරින් එහා

මැකී ගිය නාමයක 
ස‍ටහන් රැඳේ හදවතක
වියැකෙනා මතකයක 
හිමිකරුවන් නොවන්නට

වෙන්වන්න කාලයද
පැමිණෙනා අසළින්ම
අවසාන මොහොත වුව 
එක්ව සිටිමු අප සැවොම

---රකිත---

  


Sunday, September 30, 2018

~~ යථා රංග ~~










තෙවැනි නෙතින්
කර යුමුහුව
කාචය
සමබර කර ආලෝකයද
ශ්වේත වර්ණිත
එලිමහනක
අංග රචනා රහිත
මුහුණු තහඩුව
වදනින් නොම කළ
රංගය
පැවසූ තුමු ඇති
ආඛ්‍යානය
ගත කළ කාල තීරුව
දිවි මගේ
තප්පර විනාඩි
කිහිපයෙන්..........


---රකිත---


Wednesday, September 26, 2018

~~ අබියසක ~~



බිඳින් බිඳ ඖෂධ පැන්
කරනා ගත
වියළි නහර වැල් තුළට
ගසා කටු

නල බැස උගුරු දඬු
මැදින් උදරයට
වායු මුව වසා නාස් පුඩු
හුස්ම පොද

හිස් බැල්ම සිවිලිම මතට
වාරු නැති ගතින්
ඉකිබිඳුම් හඬ ඇසෙන
දෙසවන පුරාවට

ගිලන් ඇඳ මත සුදු පිරුවට
මත වැතිර සිට
ගණින ආයුෂ ගෙවෙනා
කාලයට අවසන්

දිවි මග කුසල් සිහි කර සතියේ
පිහිටුවන්න සිතද
බණ පද ඇසෙනා සැටියේ ඉහ
අද්දර සිට රෙදෙව්ව

කළ කම් පල දෙන කල් ඇත
පැමිණිව මොහොතට
මැවෙනා සිතුවම් සටහන් සිතිවිලි
උපතේ සිට එන  

හිරිහැර කළ කපටිකමින් දුසිරිත්
වූ සිරිත් ලෙසින්
සරදම් කර ගුණ දහමට බහුරූ
කෝලම් කළ රඟ

තේරුම් යන සියල් වැරදි පමාව
දැන් නම් වැඩියට
නික්මෙන මොහොතක සිතකට
පසුතැවුම් පමණ ඉතිරී 

ඉඳ හිට කළ කුසල් දහම් සිහියට
නොනැගෙනා පවට
අඩවන් දෑසකට පෙනෙනා
යම පල්ලන් අවි දරණා

ගිනි දළු අතරින් දිලිසෙන උන්
නෙතු දත් සිරුරු රකුසු
මාරයාට ඇත කල් පැමිණිව
ගෙන යන්නට ආත්මයම

ප්‍රබල ආශ්වාසයකින්
අවසන් හුස්මින්
සලිතව සිත සිරුරද
මදකින් සොලවා

කුණු කය හරිමින්
හැර යන කල
යම ලොව උපදින
පව පල දෙන 

---රකිත---





Tuesday, September 18, 2018

~~ ( මුඩුක්කු ) ලොව ~~





වැසි දිනක තෙමාලන
පියසින් වැගිරි දිය පොදින්
හිරු රැසින් රටා මවනා
බිමද ටකරමේ සිදුරින්

හැරුමටවත් ඉඩ නොමැති
බිම් අඟල අල්ලකින්
ගුලි වෙලා එක පැලේ
දිවි ගෙවමු සත්තකින්

මඩ කඩිති පල් වතුර
කුණු ඇළද ඇත ළඟින්
ජල කරාමය අසළ පෝලිමකි
වැසිකිළිය අද්දරින්

ලෑලි තහඩු කුටි අතර
ඉඳ හිට ගෙයක් බැඳි ගලින්
ගන්ධයන් හමා යයි මුසුව
වාතල කාක හඬ මතින් 

තහනම් සුරා මත් කුඩුද
ගංජාද සුලභ වෙන
වෙසඟනන් මරඟනන්
පාතාලයන් නායකද වන

සොරකම් මැරකම්
පරකම් සියල් සපිරි වෙන
වෙන්වී ලොවකින්
තැනෙනා අමුතු ලොවක් වන

කෙහෙවලු පටලා
යුගල රැඟුම් ඇති
ගුටි බැට මැරුමන්
කල්ලි ගැසී ඇති

නොරසුප් වදනින්
පිරි සවනින් ඇති
පොඩිවුන් හරි මග
නොයනා සැටි ඇති

අග නගරය ඇසුවොත්
පවසන සැටියෙන්
යැපෙනා දිවි මග
එදා වේලද ගැට ගසමින්

පැතුමන් සිත් තුළ නැත
මතු දිනයක වෙත
සිරවී ඇති උන්
තැනූ ලොව ගැලවිලි නැති

ඉපදී මියැදී ලොව
නොදකින උන්
සිරවී වියැකී යන
තහනම් ලොව

නෝනාවරුනි මහතුනි
හැකි නම් දිනයක
පිවිසෙනු මැන
මුඩුක්කු ලොව වෙත

---රකිත---


Thursday, September 13, 2018

~~ ( සු අ ) පිරිසිඳු ~~









පිරුවටය මත වැටි
ලෝහිත රුහිරු බිඳු
සොයන කුලපතිය
මා නොසෙවූ නුඹ කුමර බඹසර


සතිය පරයා නැගි
සැකය පිරි නෙතින් අද
මන්ද නුරුසනා මුසුප්පුව
මධු දිනට පසු


මත් වෙලා ආලයෙන්
රැය පුරා මගුල් දින
රැඟුම් හැඟවුනා නොව
පුහුණු කම නුඹට ඇති


නොදැනුනා ලෙස
ඉඩදී සිටිය හැඟුම් බර
රුදුරු බැලුමන් කුමට
වරද මා අත නොමැත


පළමු පෙම නොවුණු ඔබ
සොයා ආලයේ සොඳුරු තැන්
සුවය වින්දත් අහිමි පෙමකට
පතිවතද රැකගතිමි එකලද


නොඅසමි නොසොයමි කිසිත්
නුඹ තතු ලද පෙම් සුවය පෙර
යහන් තලා සැප විඳි කම් සුව
කම් නැත මට නුඹ කළ දෑ


හී සර වන් බිණින වදන්
පාරවනා මුදු සිතකට
රෙදි නැන්දා කුටියට ආ සඳ
වත මිලිනව මව්පියන්ද


නැන්දම්මා ඔරවන්නා
ගස්සා ගතු කියවන්නා
වරුණය දස අත පෙන්වා
පුතු අද සුදනෙකු වන්නා


නෑනා මස්සිනාලා මුව හංගා
සරදම් හසරැල් පානා
පෙම්බර හිමි සඳු මුමුණයි
ඔහු මව් සවනට


දහසක් පැතුමන් පිරි දීගය
එක් රැයකින් නිමාවේද
ලේ බිඳුවෙන් තොප මා
පිවිතුරු බව මනින්නේද


වස් සියවස් දහස් වසක්
ගත් වුව සිතිවිලි මිනිසුන්
දිවි ගෙවනා අතීතයේ නොදැක
සැබෑ ලොවක තතූ


සලෙලුන් විරුවන් කරනා
පිරිමින් ගැහැණුන් ලොව ඇති
පතිවත රුහිරෙන් මනිනා 
සු අ පිරිසිඳු ලෙසින් තවම


---රකිත---


Saturday, September 8, 2018

~~ වැඩක(ට) යාම ~~










රිවි කිරණ චණ්ඩ
වන නුබද
දවාලන ගත
වෙහෙසකර
දෑස් පියා
නොහරිනු වස්
වියරුවෙන්
උණුසුම දරණ


සිරව ගත දුම්රියට
බසයට රියට
සැපට යන්නෝ
දුක් විඳින ඇත්තෝ
මිහිර ඇත නැත
තැනේ හැටියට
ගැටලු බර විය
මතක සති අන්ත


වැගිරෙන දහදිය
පොලු පෙළ
තෙමාලන මුළු ගත
මුසුව ගන්ධය විලවුන්
ඉසුම් ගෑවුම්
සකල විද
නුහුරට දැනේ
නාස් පුටයට


වායු සමනය වූ
කුටි අතර
සීත ශාලා පෙළක
සිටි නුඹ
උණුසුමින් සිසිලට
වන්නට දරන
සුසුම් හඬ
නෑසේනා ලෙසකම


වර්ණ සළු පිළි නේක
හැඩ රටා පිරි
අලංකෘත නෙත
පිනා යන රඟ
කරන තිරිහන්
වියපත් සිතක් වුව
ලොව අපූරුය
මවා ඇති තැන


ස්නයු නහර වැල්
මස්තිෂ්ක හදවත
දරා නොහෙනා
රාජකාරී මැද
යත්ත දැරුම් ඇති
සිනා වනන්නට
පුරුදු සසරක
සරදමින් පිරුමට


ඇනුම් බැණුම්
ගෙරවුම් කැපුම්
අතර ගලවා
හිසින් දිවි රඟ
පානු පෙළහර
විටෙක මනු ලොව
විරුවන්ද නැත
පරාජිත ඉතිරියද


නිමා නොවනා
තරගය ඇති
දිවෙන කළ
වෘතියක් ඉහළට
සඟවා සැබෑ වත
මවා මුහුණත
තරප්පුව ඇත
නැගුමක්ද වරමට 


අතැඟිලි එක සේ
නොවේ නොතේරෙන
පෙනෙන මිනිසුන්
කුරිරු ලොව ඇති
අපට අහිමි
අප දකින සිහිනෙන්
නැගිට යමු අද
සැබෑ ලොවකට


භේද භින්න නැති
ලෙසින් සැම ඇති
සහෝදර පෙම්
තබා එලෙසට
දිනක් ගෙවෙනට
සිහින දැකුමට
හෙටත් යමු අපි
වැඩට නිසි ලෙස


---රකිත---



Monday, September 3, 2018

~~ මහලු කව ~~



කේස තුරු මැදින් අඩ සඳ මෝදු වන
සෞම්‍ය වත මතින් වල රැළි පිහිටු වන
කාල වර්ණ දෙනුවන් යුග ගිලීහි යන
සවන් යුගල සත් සරයන් නොහසු වන

වාරු නොමැත අතැඟිලි වෙව්ලනා කල
දෙපා නොමැත කීකරු පැටලෙනා කල
කුදුව ගැසෙන කොඳු ඇට රිදවනා කල
සතිය නොඑන හිස පපු දී වේදනා කල

සිරුරු කිසද ඇත තවමත් තනිව හැකි
හැරමිටි වාරු මත ගමනත් තනිව හැකි
දැනුම ලදින් සිත කවිකම් තනිව හැකි
කාන්සියට හසුරුම් අංකිත තනිව හැකි

ඉගිල ගොසින් පැටවුන් අද කැදලි තනා
කිරිල්ලියද දෙව් ලොව සිට සැප විඳිනා
අඳුරු ලොවක එලියක් සිහිනෙන් දකිනා
දින සති ගනිමි එනතුරු මරු ලොව සිටිනා

කළ කී දෑ මතක ලෙඩ යහනේ සිහිවෙනා
දෙව් ලොව අපායද සිහිනය අතරින් දකිනා
පෙරළා බණ පොතින් සිත දහමින් සොඳිනා
අනියත දකිමි ලොව ඇත නියතින් කියනා

මහලු වුවද ගත නම් සිත ඇත තුරුණු ලෙසේ
මිහිර විඳින දිවියේ ඉතිරිය ඇත නුවණ ලෙසේ
කවි කම් කළත් හිරු බැස යන ලොවක ලෙසේ
අවසන් හුස්ම පොද යොමු කරනෙමි මෙලෙසේ

---රකිත---